අධ්‍යාපනයෙන් ඔබ්බට ගොස් එළිදුටු අපේ දරුවන්ගේ කුසලතා | සිළුමිණ

අධ්‍යාපනයෙන් ඔබ්බට ගොස් එළිදුටු අපේ දරුවන්ගේ කුසලතා

පසුගිය දින කිහිපය මුළුල්ලේ අන්තර්ජාලය පුරා සැරිසැරූ ඡායාරූප රාශියක් සමාජජාලාවල ඉහළ ඇගැයුමට පාත්‍රවනු දක්නට ලැබිණි. අපේ දරුවන් නිවාසාන්තර ක්‍රීඩා තරගවලදී සිය නිවාසය සරසා තිබූ අපූරු ආකාරය එම ඡායාරූපවල සටහන් වී තිබිණි. එහි ප්‍රකටව තිබූ සුවිශේෂි ලක්ෂණ කිහිපයකි.

නිර්මාණශීලිත්වය ස්වභාවික අමුද්‍රව්‍ය භාවිතය පරිසර හිතකාමීබව දේශීයබව

එම සැරසිලි කළ පාසල් බොහෝමයක් අඩු පහසුකම් සහිත පාසල් බවත් සමහර පාසල් ඉතා අඩු සිසුන් සංඛ්‍යාවකින් සමන්විත බවත් පෙනිණි. පරිසරයෙන් ලබාගත් ස්වභාවික අමුද්‍රව්‍ය මඟින් තමන්ට කළ හැකි උසස්ම නිර්මාණ ඉතා අලංකාරව ඉදිරිපත් කර තිබිණි. සිසුන් ඒ සඳහා දරා තිබුණේ අඩු පිරිවැයකි.

ඒ නිර්මාණ මඟින් ඔප් නැංවෙන සිසුන්ගේ කුසලතා සහ පරිකල්පනය අපේක්ෂා දනවයි. ඈත ගැමි පාසල්වල කෙළි බිමේ දී එසේ ඔප් නැංවී ඇත්තේ ඔවුන්ගේ ඉගෙනුම් කුසලතා ය. එදිනෙදා ජීවිතයෙන් ලබාගත් අත්දැකීම්ය. එය අධ්‍යාපනයෙන් ඔබ්බට ගිය කුසලතාවකි.

වර්තමානයේ අධ්‍යාපනයට පමණක් මුල් තැන දෙන මානසිකත්වයක් මවුපියන් සහ දරුවන් තුළ ඇති වී තිබේ. එම නිසා ඉතා විශාල පෞරුෂ ගැටලු රාශියක් පුද්ගලයන් තුළ ප්‍රකට වී ඇත. ඉන් ප්‍රධානම ගැටලුව වී ඇත්තේ අන්තර් පුද්ගල සම්බන්ධතා පැවැත්වීමේ කුසලතාව වර්ධනය නොවීමය. නිරන්තරයෙන් අන්‍යයන් මත යැපෙන ලක්ෂණ දක්නට තිබීමය. මෙය අධ්‍යාපන ක්‍රමය ඇති කර තිබෙන අනිටු අතුරුඵලයක් ලෙස දැක්වීම වරදක් නොවේ.

අධ්‍යාපනය යනු, කිසියම් සමාජ ක්‍රමයක් ඒ අයුරින් පවත්වාගෙන යෑම සඳහා ඒ සමාජයේ වෙසෙන දරුවන්ට එම සමාජ ක්‍රමය මඟින් තෝරා බේරා ලබාදෙන ඥාන සම්භාරයක් යැයි මහාචාර්ය කුලසේන විදානගම පවසයි. අධ්‍යාපනය සහ ඉගෙනුම යනු එකක් නොව දෙකකි. ඉගෙනුම යනු පුද්ගලයකු සිය ජීවිත කාලය මුළුල්ලේම අත්දැකීම් ඇසුරෙන් උපයාගන්නා දැනුම් සම්භාරයයි. විදානගමට අනුව අධ්‍යාපනය යනු එම ඉගෙනුමේ එක් කොටසක් පමණකි. අපේ මවුපියන් දවසේ වැඩි කාලයක් දරුවන් අධ්‍යාපනයටම යොමු කරමින් ඔවුන්ගේ සාර්ථකත්වය අපේක්ෂා කරන්නේ ඒ පිළිබඳ නිසි වැටහීමක් නැති බැවිනි. වර්තමානයේ අධ්‍යාපනයෙන් උසස්ම ජයග්‍රහණ ලබා ඉහළ පුටු හොබවන බොහෝ අයගේ තීන්දු තීරණ ප්‍රායෝගික නොවීමට හේතුව එම ඉගෙනුමෙන් බැහැරව අනුභූතීන්ගෙන් තොරව ඔවුන් ලද ඥානයයි.

බොහෝ දෙනාගේ අදහස ක්‍රීඩාව යනු කාය ශක්තිය උරගා බැලෙන්නක් බවය. එහෙත් ක්‍රීඩා මනෝවිද්‍යාව අනුව ක්‍රීඩාව මුළුමනින්ම මානසික දෙයකි. එසේ නම් එම ක්‍රීඩා සැරසිලි මනෝවිද්‍යාත්මක අගයකින් යුතු බව පෙන්වා දීම ඉතා වැදගත්ය. මතු පැවැත්වෙන ක්‍රීඩා උත්සවයන්හිදී සිසුන්ගේ ඉගෙනුම් කුසලතා ඔප් නංවන ආකාරයේ තරග ඉසව් සංවිධානය කිරීමට, ක්‍රීඩා තරගයෙන් ඔබ්බට ගොස් පාසලේ නිර්මාණාත්මක ක්‍රියාකාරකම් වලට ඉඩකඩක් සැපයීමට සහ වින්දනීය මනසක් දරු පරපුරට ලබා දීමට ඒ අවබෝධය වැදගත් වේ. එමඟින් ඔවුන්ගේ පෞරුෂ සංවර්ධනයට ඉවහල් වන සාධනීය පැතිකඩක් පාසල මඟින් ආවරණය කළ හැකිය.

එම නිවාස සැරසිලි සඳහා පළමු සැලසුම් සකස් වන්නේ මනසේය. එය එක් සිතුවිල්ලක් නොවේ. සිතුවිලි රාශියක එකමුතුවකි. ඒ සිතුවිලි රාශිය හටගන්නේ එක් සිතක නොවේ සිත් රාශියකය. ඒවා අදහස් සංකල්ප වී පිටට පැමිණෙයි. මෙය ක්‍රීඩාවේ ප්‍රධාන අරමුණකි. එනම් කණ්ඩායම් සහභාගිත්වය, කණ්ඩායම් තීරණ, අරමුණ හඹා යෑම, ඒ සඳහා අවැසි අදහස් හුවමාරුව සහ සැවොම එක් අරමුණකට ගොනු වීමය.

සැරසිල්ලේ ආකෘතිය සම්මත වූ පසු එයට අවශ්‍ය අමුද්‍රව්‍ය පිළිබඳ සැලකිලිමත් වෙයි. මෙහිදී ක්‍රීඩා නිවාස ඉදිකරුවෝ ඒ සඳහා තෝරාගෙන ඇත්තේ එදිනෙදා පරිසරයෙන් ලබාගත හැකි දිරායන පරිසර හිතකාමී අමුද්‍රව්‍යයන්ය. වර්තමානයේ මිනිසා විසින් මේ මහ පොළොව, ගංගා සමුද්‍ර සියල්ල තමාගේ කුණුබක්කිය ලෙස සලකා කටයුතු කරන කාලයක මේ සිසුන් පසට පොහොර වන දේවල් අමුද්‍රව්‍ය ලෙස තෝරාගෙන තිබිණි. ඒ සඳහා ගුරුවරුන්ගේ මඟ පෙන්වීම් අනිවාර්යයෙන් සිසුන්ට ලැබෙන්නට ඇත.

ඔවුන්ගේ නිර්මාණය ඔවුන්ට මෙන්ම අන්‍යයන්ටද කුමක්ද යන්න තේරුම් ගත හැකි ආකාරයෙන් සැබෑ ස්වරූපයට සමානකම් ඇතිව ඉදි කිරීමට අවශ්‍ය නිර්මාණශීලී සංකල්පනා ඔවුන් තුළ තිබීම මෙහි තවත් විශේෂත්වයකි. මේ සැරසිලි කරන්නේ ළමා වියේ සිටින දරු පැටවු ය. ඒ වයස් කාණ්ඩයේ අය වෙත එම හැකියාව තිබීම මඟින් පෙන්නුම් කරන්නේ ඔවුන්ගේ පරිකල්පන වපසරියේ ප්‍රමාණයය. එය පරිසර බද්ධව ගොඩ නැඟී ඇත. තවමත් මේ රටේ අනාගතය ගැන යහපත් බලාපොරොත්තුවක් තබාගත හැකිය. මේ ක්‍රමය තවමත් අප සහමුලින්ම වනසා නැත. ඒ හැඟීම බලාපොරොත්තු උපදවයි.

ලෝකයේ දියුණු රටවල් පරිසර බද්ධ පරිකල්පන ඇති දරුවන් බිහි කිරීම අරඹා කලක් ගත වී ඇත. එහෙත් අපගේ අධ්‍යාපනය ගමන් කරන්නේ විවිධ රාමුවලට කොටුවීය. අපගේ විෂය නිර්දේශයේ පවා ඇත්තේ විෂය දැනුමට ප්‍රධාන තැනකි. බාහිර ප්‍රායෝගික දැනුමට ඇත්තේ අල්ප ඉඩකි. එසේ අල්ප වූ ඉඩක් ඇති තැනකදී දරුවන් වියදම් අඩු උසස් නිමාවෙන් යුතු , පරිසර හිතකාමී නිර්මාණයක් සාමූහික ප්‍රයත්නයකින් ඉදි කර ඇත.

අඩු පහසුකම් සහිත පාසල්වලට මෙයට වඩා කළ හැකි යමක් නැති බැවින් එසේ කර ඇතැයි යමෙකු තර්ක කළ හැකිය. එහෙත් නිර්මාණශීලිත්වය යනු තමා අත ඇති සම්පත් ප්‍රමාණයෙන් උපරිම ඵලදායිතාවෙන් යුතු කාර්යයක් කිරීමයි. එය ධනාත්මක චින්තනයේ ප්‍රබල න්‍යායකි. අත ඇති දේ පිළිබඳ අවබෝධයෙන් එය මනා ලෙස කළමනාකරණය කර ගනිමින් නැති දේවල් පිළිබඳ හෝ අන් අයට ඇති දේවල් තමාට නැති වීම පිළිබඳ දොම්නස් වීමෙන් හෝ වැළකී උසස් නිර්මාණයක් සාමූහිකව කළ හැකි දරුවන් වේ නම් ඔවුහු අනාගත සම්පත් වෙති. එම කුසලතා මෙන්ම මනෝභාවයන්ද සංවර්ධනය කිරීම සඳහා මඟ පෙන්වීම ගුරු දෙගුරුන්ගේ වගකීමය. ඒ වගකීමේ ප්‍රධානම කොටස නම් මෙය අගැයීමය. එයට දිරිදීමය. මොවුන්ගේ මේ කුසලතා අන් පාසල අතරද පැතිරවීමය.

Comments