වෙලේ සුදාගේ අභියාචනය වැඩිදුර විභාගය හෙටට | සිළුමිණ

වෙලේ සුදාගේ අභියාචනය වැඩිදුර විභාගය හෙටට

ගම්පොළ විදානලාගේ සමන්ත කුමාර නොහොත් වෙලේ සුදා විසින් තමන්ට අධිකරණයෙන් පැනවූ දඬුවමින් නිදහස් කරන මෙන් ඉල්ලා ඉදිරිපත් කළ අභියාචනය අද (30) අභියාචනාධිකරණය හමුවේ විභාගට ගැනිණි.
 
දීපාලි විජේසුන්දර සහ අචල වෙංගප්පුලි යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ විභාගය පැවැත්විණි.
 
එහිදී විත්තිකාර වෙලේ සුදා වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනුර මැද්දේගොඩ මහතා කරුණු දැක්වීය.
 
වැඩිදුර විමසීම හෙට දිනට කල් තැබුණි.
 
2012 වසරේ දෙහිවල ප්‍රදේශයේදී හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 7.05 සන්තකයේ තබා ගෙන ජාවාරම් කිරීම සම්බන්ධයෙන් වෙලේ සුදා නැමැත්තාට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කර තිබුණි.
 
දීර්ඝ නඩු විභාගයකින් පසුව එම චෝදනාවලට වරදකරු කෙරුණු වෙලේ සුදාට කොළඹ මහාධිකරණය මඟින් මරණීය දණ්ඩනය පනවනු ලැබුවේය.
 
එම මරණීය දණ්ඩනය පනවා ඇති ආකාරය නීතිවිරෝධී බවත් එම චෝදනාවලින් තමන්ව නිදොස් කොට නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලමින් වෙලේ සුදා විසින් මෙම අභියාචනය ඉදිරිපත් කර තිබේ.

Comments