
* පායන කාලෙ දවසකට ළිඳෙන් වතුර ලීටර ලක්ෂයක් අරගන්නවා
* ‘භවන’ ළිඳ කැපුවේ තනියම
* කඳවුරේ සෙබළුන්ට වැවක් හැදුවා
අරන්තලාව යන නම ඇසෙත්ම අපි තවමත් තිගැස්සෙන්නෙමු. මුළු ලොවම කම්පා කරවමින් 1987 ජූලි 02 වන දා භික්ෂූන් වහන්සේ 31 නමක් ඝාතනය කරමින් සිදු වු අරන්තලාවේ තිරශ්චීන ඝාතනයේ බිහිසුණු මතකය තවමත් හිතේ ගැඹුරු පතුලක තැන්පත් වී අප කොනහමින් හිඳී.
එහෙත් මරණයේ සෙවණැලි දකිමින් මේ ගම්මානවල ජීවත් වෙමින් සිටි, තවමත් ජීවත්වන මිනිස්සු අසරණ කර දැමුවේ ත්‍රස්තවාදය පමණක්ම නොවේ. පායන කාලයේදී මේ මිනිසුන්ට බීමට දිය පොදක් සොයාගන්නට පහසු වූයේ නැත. නවීන ලෝකයේ සමාජ සුබසාධනයට ගැනෙන කිසිම දෙයක් නොලද මේ මිනිස්සු එදත් ජීවත් වූයේ දුගීබවේ අන්තිම අඩියේය. මේ මොහොතේත් ඒ යථාර්ථය එසේමය.
ඒ වකවානුව වන විට හමුදා කඳවුරක්, විශේෂ කාර්ය බළකායේ කඳවුරක් යනු ප්‍රදේශයේ සාමාන්‍ය මිනිසුන්ට ජීවිතය පිළිබඳ බලාපොරොත්තු ඇති කරන තැනකි. අරන්තලාව බක්මිටියාවේ එවක සිට පැවත එන විශේෂ කාර්ය බළකා කඳවුරක් තිබිණි. වර්ෂ 2006 දී මෙම කඳවුරේ සේවයට එක්ව සිටි ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙක් වූයේය. නමින් ශාන්ත ජයතිලකය. අරන්තලාව ගම්මානයේ එවකට පිහිටුවා තිබූ විශේෂ කාර්ය බළකා කඳවුරේ ස්ථානාධිපතිවරයා ලෙස පත් වූයේ ඔහුය. ඔහු වෙනස් විදිහේ මිනිසෙකි. ඔහු සිය රාජකාරිය ආරම්භ කළේ අන්ත පීඩාවට පත් මනුෂ්‍යයන් පිරිසක් සමගය. අරන්තලාව එක් අතකින් කාන්තාරයකි. වැසි ලැබෙන්නේ වසරේ එක් කාර්තුවක් පමණි. පායන සමයේ එක සීරුවට වැටෙන චණ්ඩ හිරු කිරණ පොළොව ආසන්නයේ ඇති සෑම දිය පොදක්ම වාෂ්ප කර දැම්මේය.
මරණයට අභියෝග කරමින් සිය ගණන් සිවිල් මනුෂ්‍යයන්ගේ ජීවිතාපේක්ෂාව තහවුරු කළ මේ කඳවුරුගත සෙබළුන්ට අවුරුද්දේ මාස හයකට ආසන්න කාලයක් බොන්නටවත් දිය පොදක් තිබුණේ නැත. කඳවුරේ අත්‍යවශ්‍ය ජල පහසුකම් නොතිබිණි. සෙබළුන්ගේ සියලු අවශ්‍යතා සැපිරීම සඳහා වතුර රැගෙන ආවේ මහඔය ප්‍රදේශයේ සිට බවුසර මඟිනි. ඒ තත්ත්වය පොලිස් පරීක්ෂක ශාන්ත ජයතිලක බෙහෙවින් පීඩාවට පත් කළේය. කඳවුරේ එදිනෙදා පරිපාලන කටයුතු මේ පසුබිම තුළ දුෂ්කර විය.
මේ අතරතුර වැසි සමයේ දී සක්‍රීය වී මාස කීපයක් තිස්සේ ගලාගෙන යන දිය කඳුරු කීපයක් කඳවුර අසලින් ගලාගෙන යන ආකාරය ශාන්ත ජයතිලක නිරීක්ෂණය කළේය. ඔහු එම දිය කඳුරු කීපය එක් කර කුඩා ප්‍රමාණයේ වැවක් නිර්මාණය කළ හැකි ආකාරය ගැන අවධානය යොමු කළේය. ඔහු සිය කඳවුරේ සෙබළ පිරිස සමඟ කටයුත්ත ආරම්භ කළේය.
පස් පිරවෙමින් කුඩා වෑ කන්දක් නිර්මාණය කෙරිණි. අවසානයේ වෑ කන්දේ ඉදිකිරීම් කටයුතු නිමා විය. වැසි සමයේ කුඩා වැව දියෙන් පිරී ඉතිරී ගියේය. වසර පුරාම පවත්වාගත හැකි ජල සංචිතයක් කඳවුරු පරිශ්‍රයේ නිර්මාණය විය. වසර ගණනක් තිස්සේ නියඟයෙන් බැට කමින් දුෂ්කර ක්‍රියාවක යෙදුණු විශේෂ කාර්ය බළකායේ සෙබළ මුළුවට මෙන්ම ගම්වාසීන්ටත්, ඒ අවට සැරි සරන සතා සීපාවුන්ටත් දිය පහස නිවාගන්නට මේ වැව මහෝපකාරී විය. එහෙත් මේ උත්තම සංකල්පය ප්‍රායෝගික කළ ඒ උතුම් මනුෂ්‍යයා අද ජීවතුන් අතර නැත. එය වෙනම ඛේදවාචකයක් වූ කතාවකි.
එදා පොලිස් පරීක්ෂක ශාන්ත ජයතිලකයන් තැබූ පියවර තවත් යෝධ ඉලක්කයක් වෙත රැගෙන යෑමට මේ වන විට අරන්තලාව විශේෂ කාර්යබළකා කඳවුරුගත සෙබළු කටයුතු කරමින් සිටිති. අප ඒ ස්ථානයට යන විටත් ඔවුහු ඒ සද්කාර්යයේ නිරතවෙමිනි.
අරන්තලාව ජයතිලකාරාමාධිපති මොරටුවේ විමලානන්ද හිමි ඇතුළු මහා සඟරුවනගේ ආශිර්වාදය මැද විශේෂ කාර්ය බළකායේ සහකාර පොලිස් අධිකාරි පිගේරා සහ අරන්තලාව කඳවුරේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක නිරෝෂන්, පොලිස් පරික්ෂක පඩිවිට, උප පොලිස් පරීක්ෂකවරුන් වන ගයාෂාන් සහ චාමර ඇතුළු නිලධාරීහු එම අවස්ථාවට එක්වී සිටියහ. ඔවුන් අරන්තලාව කඳවුරු භූමියේ පිහිටි ඔවුන්ගේ වැව මිනිසුන් වෙනුවෙන් පුළුල් කරදීමේ කටයුත්ත අරඹා හමාරය.
නියඟයෙන් පිඩා විඳින අරන්තලාව ගම්වාසින්ට දිය බිඳක් ලබා දී කුඹුරු අක්කර දෙතුන් සියයක්වත් යල මහ දෙකන්නයේ වගා කරන්නට සැලසීම වැව පුළුල් කිරීමේ අරමුණ වූ බව කියැවිණි. මේ සංකල්පය ඉපදවූ අද ජීවතුන් අතර නැති ශාන්ත ජයතිලකයන් මේ ඇරඹුම පුරාම ජීවමාන වන අයුරු දක්නට ලැබිණි. වෑ කන්ද පුළුල් කරන පරිශ්‍රයේ සිට මෑත නිලන ගහකොළ දෙස බලාගෙන සිටින අපට මේ කතාව කිවේ අරන්තලාව ජයතිලකාරාම විහාරාධිපති මොරටුවේ විමලානන්ද හිමියෝය.
“මීට වසර ගණනාවකට පෙර මේ කඳවුරේ අණදෙන නිලධාරී ලෙස කටයුතු කරන ලද ජයතිලක මහතා අද ජිවතුන් අතර නොසිටියත් කවදාවත්ම ඔහු අපිට අමතක වෙන්නේ නැහැ. මේ විහාරස්ථානය හදන්න මුල් වුණේ අපේ ජයතිලක මහත්තයයි. මෙම විහාරස්ථානයේ සංඝාවාසය, පරණ විහාරය, ධර්ම ශාලාව, වැසිකිළි ඇතුළු විහාරස්ථානය මුළුමනින්ම වාගෙ ගොඩ නැඟුවේ මෙතුමන්ලා විසින්. ඔහු මේ සියල්ල කළේ කොටි කලබල මැද. හතර වටින් කොටි ගහද්දි ගම්මානවලට පැනලා මිනිසුන් මැරෙන්න නොදී ආරක්ෂා කරගන්න ගමන්.”
“ජයතිලක මහතා ගිය මඟ යමින් නැවතත් වැව විශාල කර ප්‍රතිසංස්කරණය කිරීම ගැන හරිම සතුටුයි. අපේ ගමේ පවුල් 200ක් පමණ සිටිනවා. ඒ වැවෙන් අඩුම තරමින් එක පවුලකට එක් කුඹුරු අක්කරයක්වත් ලබා දී වගා කරන්න හැකි වුණොත් ඇත්ත වශයෙන් හේන් ගොවිතැනින් ජිවත් වෙන ගම්මානයේ ජනයාට එය මහා සහනයක් වෙනවා“ විපුලානන්ද හිමියෝ කීහ.
අරන්තලාවේ පදිංචි බී. එම්. අප්පුහාමි එතැනට ඇවිත් සිටියේය. ඔහු අප හා කතාවට එක් විය.
“අපි ජීවත් වෙන්නේ හරිම අපහසුවෙන්. මෙම ගම්මානයට දිනපතාම වගේ හරක් සහ අලි විශාල පිරිසක් පැමිණෙනවා. ඒ නිසා ජනයාට වගා කරගන්න බැරි වෙලා තියෙනවා. ගමට ජලය නැහැ. මේ ගමට ඒ කාලයේ කොටින්ගෙන් පුදුම කරදරයක් තිබුණේ. ගොඩක් දෙනෙක් මරලා දැම්මා. අපිට සහනාධාර මල්ලක් එපා. අපිට වගා කරන්න ජලය ටිකක් දෙන්න. වන අලි සහ ගවයන්ගෙන් වන හානිය නවතා දමන වැඩපිළිවෙළක් හදන්න. විශේෂ කාර්ය බළකායේ මහත්වරුන් හදන වැවෙන් වතුර අපට ලැබුණොත් ඒක ගමට ලොකු සෙතක්. මේ කඳවුරේ ස්ථානාධිපතිවරයා වෙලා හිටපු ජයතිලක මහත්තයා අපූරු මනුස්සයෙක්.
මම දවසක් අරන්තලාව කවුඳරට ආවා. නමුත් එහි ස්ථානාධිපතිවරයා හිටියේ නැහැ. පස්සෙ මම හොයන්න යද්දි ඔහු පාර අයිනේ ළිඳක් හාරනවා. තනියෙන් දහඩිය දාගෙන වැඩ. පුදුම කෙනෙක්. කිසි අපහසුතාවක් නැතිව වැඩ කරනවා. ජනතාව වෙනුවෙන් පුදුම කැප වීමකින් තමයි ඔහු වැඩ කළේ.”
අරන්තලාව සී. එම්. ජයරත්න ඒ මතකය අලුත් කළේය.
“ජයතිලක මහත්තයා වතුර පොදක් නැතිව හිටපු මිනිසුන්ට ළිං කිහිපයක් හදලා දුන්නා. හැමදාම නියඟයෙන් බැට කාපු අපිට එ්ක මහා අස්වැසිල්ලක් වුණා. එතුමා පාර අයිනේ විශාල ළිඳක් කැපුවා. ගමේ අය කියන්නේ එ්කට භවන කියලා. ඒක මහා පුදුම ළිඳක්. ඒකෙන් දවසට බවුසර්වලට වතුර ලීටර ලක්ෂයක් ගහනවා. ඒත් එතෙන වතුර හිඳෙන්නේ නැහැ. පායන කාලෙට මේ පැත්ත පළාතේ ළිං ඔක්කෝම හිඳෙනවා. ඒ්ත් ජයතිලක මහත්තයා හැදුව භවන කියන ළිද හැම නියං කාලෙටම සවසට වතුර ලීටර ලක්ෂයක් ගන්න පුළුවන්. පායන කාලේ අපිත් වතුර ගන්නේ එකෙන්. ඒ මහත්තයා ඒ ළිඳ කැපුවේ පුදුම තැනක. භුමිය පිළිබඳ මහා දැනුමක් එතුමාට තිබ්බේ. මංගලගම පාලම ළඟ ඉඳලා කිලෝ මීටර් තුනහාමරක් දුරට අරන්තලාව නුවරගලට වෙනකල් වතුර නැහැ. අපි පුදුම විදිහට පීඩා විඳින්නේ. අරන්තලාවට මහා සේවයක් කරපු ජයතිලක මහත්තයාට කට්ටිය කියන්නේ යෝධයා කියලා. ඇත්තටම එතුමා යෝධ වැඩමයි කළේ.”
බොහෝ දෙනෙක් ඇලුම් කරන ගම්මානයක් ගොඩ නඟන්න වෙහෙස මහන්සි වුණු මේ සොඳුරු මිනිසාට 2011 සැප්තැම්බර් 25 වන දා අවසනාවන්ත දිනයක්ම විය. නොවැටහෙන කාරණයක් මත ඔහු සහකාර පොලිස් අධිකාරිවයෙකුට වෙඩි තබා ඔහුද වෙඩි තබා ගෙන මිය ගියේය.
“වෙනස්ම චින්තන ධාරාවක් සහිත මිනිහෙක්. ඔහු ගමක් ගොඩනැඟුවා. හරියට ආණ්ඩුවක් වගේ... ඒ වගේ මනුස්සයෙක් මේ තත්ත්වයට පත්වේවි කියලා කාටවත් අදහගන්න බැරි වුණා. එදා මුළු අරන්තලාවම පමණක් නොවෙයි. මුළු විශේෂ කාර්ය බළකායම කම්පා වුණා. ඇසූවන් යෝධයා මහත්තයාගේ අකල් වියෝවෙන් ඇඬුවා.”
ඔහු මිය ගොස් වසර අටක් ගතව ඇත. එහෙත් අරන්තලා ජනයා යෝධයා මහත්තයා සිහි කරන්නේ අදත් ඔහු ජීවමානව ඉන්නවා තරමේ ආදරයෙනි. ඔහු අරන්තලාව විශේෂ කාර්ය බළකා කඳවුර ඉදිරිපිට මහා මාර්ගය අසල ඉදි කර තිබෙන විශාල පැන්තාලියෙන් මේ මඟ යන කොයි කවුරුත් දිය පහස නිවා ගිනිති.
ගමක් වෙනස් කර ගමකට ජීවය දුන් අපුරු මිනිසාගේ බිරිය ඒච්. ඒ. සේපාලිකා සිය දියණියන් තිදෙනා සමඟින් රත්නපුර ප්‍රදේශයේ වාසය කරයි.
“මහත්තයාගේ ජිවිතයේ පළමු තැන තිබ්බේ රාජකාරියට. දෙවැනි තැන තමයි පවුල් ජිවිතයට තිබ්බේ. අරන්තලාවට ගියාම කාන්තාරයකට ගියා කියලා මහත්තයා කිව්වා. ඒ ඉන්න ගමන් මහත්තයා පැළ සිටෙව්වා. වැවක් හැදුවා. 2006 තමයි මහත්තයා අරන්තලාවට ගියේ. නුවරගලතැන්න පාසලට පරිගණක පාසල් උපකරණ දුන්නා. පන්සල් හැදුවා. ළිං හැදුවා. මරණයෙන් හරකුන් බේරලා අහිංසක මිනිසුන්ට දුන්නා. .
“ඒ හැම දේම කළේ දහඩිය මහන්සියෙන් දුක් විඳලා කැප වීම් කරලා. තමන්ට ලාභ මහන්සියක් බලාගෙන නෙවෙයි. මහත්තයාට දේශබන්දු සහ දේශපුත්ර යන ගෞරව සම්මාන දෙකක් හිමි වුණා. මහත්තයා මිය යන්න මාස 03ක සිට වෙනදාට වඩා කල්පනාවෙන් හිටියේ. ගොඩක් වේලාවට හැම දෙයක්ම ඇවිල්ලා කියනවා. නමුත් සමහර දේවල් මහත්තයා අපිට දුක හිතෙයි කියලා කියන්නේ නැතිව ඉඳලා තියෙනවා. මහත්තයා මිය ගිය දවසේ උදේ මටයි දුවලා දෙන්නෙකුටයි කතා කළා. අනෙක් දුවට දවල් වෙලා කතා කරන්නම් කිවා. එත් දවල් වෙද්දි අපිට අහන්න ලැබුණේ නරක ආරංචියක්. ”
ඔහු ජීවතුන් අතර නැත. එහෙත් ඔහුගේ උතුම් සංකල්පනාවන් තවමත් ජීවමානය. ඔහු ගිය මඟ යමින් ගමට දියවර දෙන්නට ඔහුගේ සහෝදර නිලධාරි පිරිස් කැපවී සිටිති. කොතැනක හෝ වරදක් සිදු වී අවාසනාවන්ත අවසානයක් අත්වූවා වන්නට පුළුවන. වැදගත් වන්නේ පුද්ගලයෙකුගේ අවසානය නොවේ. ජීවිතයේ අවසානය තෙක් ඔහු සමාජයට දායද කළ යහපතේ ප්‍රමාණය ය. එය තීරණය කරන්නේ සමාජය විසිනි.
සුසන්ත අමරබන්දු