
අවසන් කොටස
එදා ආ ධාරාණිපාත වර්ෂාව ශ්‍රීජය වලව්වේ ඇත්තන්ගේ ජීවිත උඩුයටිකුරු කර පතිත වුණා වගේය. පොලොන්නරුවේදි සිදුවූ රිය අනතුරින් විල්ප්‍රඩ් රත්නසේකර හාමුත් නිර්මලා මැණිකේත් එතැනදීම ජීවිතක්ෂයට පත්වීමත් රියැදුරු කරුණාදාස දෙපා බිඳී ගිය අබ්බගාතයෙකු බවට පත්වීමත් හරියට දෛවයේ වියරු කුරිරු සරදමක් වගේය.
ශ්‍රීජය වලව්වේ අවමංගල්‍යයට ගම්මුන්ද හැමෝම වාගේ රොද බැඳගෙන ආවේ හැමෝම පුදුමයට පත්කරමිනි. ශ්‍රීමාල් සිටියේ වේදනාවෙන් ගල්ගැසුණු සෙල්පිළිමයක් වගේය. විටෙක ඔහු මහා හඬින් මොර තියා හැඬුවේය. පොළොවේ හැපුණේය. වලව්වේ නෑදෑ ඇත්තන්ට ඔහුව මෙච්චල් කිරීම ලේසි පාසු දෙයක් වුණේ නැත. රත්නපුර වලව්වේ ගොඩලියද්ද ජෝඩුවත්, සමන්ති සහ ජයේන්ද්‍රත්, මලින්දත්, ජයසුන්දර හාමුලාගේ පවුලේ අයත් හතරදිග් බාගයේම නෑයනුත් නොනෑයනුත් අතරේ ජයමාල්ද ඇවිත් සිටියේ ශෝකයෙන් පීඩිත වෙමිනි. අයියාව අස්වසන්ට ඔහු රදීශ් සමඟ මහා වෙහෙසක් ගත්තේය.
******
හත්දවසේ දානයෙන් පස්සේ මුළු වලව්වම මහා සොහොන් පිටියක් වගේ ශ්‍රීමාල්ට දැනුණේ ජීවිතාශාව පවා ගිලිහෙමින් පවතිද්දීය. සිරියා සහ ජන්තු සමඟ කුමාරත් ශ්‍රීමාල් බේබිහාමු ළඟ නිතර ගැවසෙමින් ඇපඋපස්ථාන කළේ ඔහුව අස්වසන්ටය. මේ භයානක රිය අනතුර පුවත්පත් කිහිපයකම වාර්තාවී තිබුණේ ගමේ ගොඩේ විවිධ කතාවලටද නිමිති සපයමිනි.
බෝම්බයක් පිපිරුණාක් මෙන් ඉරිතැළී තිබුණු වලව්වේ කැණිමඬල යළිත් වරක් දෙදරා ගියේ එක්තරා අඳුරු උදෑසනකදීය. ශ්‍රීමාල් එදින රාජකාරිය සඳහා පිටත්ව ගියේ නැත. වැඩ නවතා තිබූ කම්හල්වල වැඩ ගැන බැලීම් ජයතිස්සට අමතරව ජයේන්ද්රට සහ කුමාරට පවරා ඔහු ඔහේ බලා සිටියේය.
“බේබි හාමු.. බේබි හාමුව හම්බවෙන්න කවුද ජෝඩුවක් ඇවිල්ලා...”
සිරියාගේ හඬින් ඔහු තිගැස්සුණත් ඒ කාරණය තිගැස්සෙන්නම සිදුවන කාරණයක් බව නොදත්තේය.
ආලින්දයේ සිටිය වයසක ජෝඩුවක් ශ්‍රීමාල් දැකලා තිගැස්සිලා එකිනෙකා දිහා බලාගත්තේ විදුලි කෙටුවා වගේය.
“මාව හම්බවෙන්නද ආවෙ... වාඩිවෙන්න...!”
පිරිමියා ගැමි පන්නයට සරම සහ කෝට් එකක් ඇඳලාය. ගැහැනිය තම අම්මාගේම වයසේ ය. ඇය ඔසරියක් ඇඳලාය. දුප්පත් ජෝඩුවක් බව බැලූ බැල්මටම පෙන්වන ලකුණු බොහෝ දුටුවේ ශ්‍රීමාල් ය. එකවරම ගැහැනිය මහා හඬින් හඬන්ට පටන්ගත්තාය. පිරිමියා ඇය අස්වසන්නට හැදුවත් මොන ක්රමයකින්වත් එය කරන්ට බැරිව අසරණ වූවේය.
“මට වෙලාවක් නෑ.. කරුණාකරලා කියන්න මොකක්ද කෙරෙන්න ඕන කියලා..!”
ශ්‍රීමාල් කීවේ මොවුන්ගේ දරුවෙකු ෆැක්ටරි වැඩට දාගන්න ඇවිත් කියා උපකල්පනය කරමින්ය.
නමුත් උපකල්පනය සුන්නද්දූලි කරමින් පැමිණ සිටි පිරිමියා කතාවක් පටන් ගත්තේ බිරියගේ ඉකිබිඳුම් හඬ මධ්‍යයේය.
කිසිවක් අදහාගත නොහැකිව ශ්‍රීමාල් අන්දමන්ද වූයේ ඔහුගේ දෙකකුල් වෙව්ලන්නට විය. ඔහුට ඉබේටම කෑ ගැසිණි.
“ජන්තු... කෝල් එකක් දෙන්න රත්නපුරේ වලව්වට...!”
“ඇයි බේබි හාමු මේ හදිසියෙ..”
සිරියා ගේ ප්‍රශ්නයට ශ්‍රීමාල් උත්තර දෙන්න ගියේ නැත. වහාම දුරකථනය ළඟට ගොස් රත්නපුර වලව්වට ඇමතුමක් ගෙන බරපතළ විස්තරයක් කියාගෙන ගොස් දඩස් ගා රිසිවරය තැබුවේ ජන්තුලා පුදුමයට පත්කරමින්ය.
එකෙණෙහිම සිරියා ආලින්දයට ඇවිත් පැමිණ සිටිය යුවළ දිහා බැලුවේ විපරමිනි. හීන්දාඩිය දමා ඇගේ සියොලඟම වෙව්ලන්නට වූයේ වසාගන්නට බැරි විදියට මුවද අයාගෙනමය. ජන්තු දිවවිත් සිරියා වත්තම් කර පුටුවකට බර කළේ වෙන කළ හැකි දෙයක් නුවූ නිසාය.
“හත්දෙයියනේ... මේං... මේ... තියෙන්නෙ ජීවමාන සාක්කි... අනේ බුදු නංගියේ.. උඹට මතකයි නේද.. අපිව... මේ අහිංසක ගෑනි එමලින්.. අවුරුදු විසි හතරකට පහකට උඩදි වෙච්ච සංගදිය... දෙණියායෙ වතුයායෙදි...!”
පැමිණ සිටි අමුත්තා එසේ කීවේ සිරියාටය. තොල කට වේළී සිටි සිරියා ඇස් ලොකු කරගෙන හිස කෙළින් අතට වැනුවේ ශ්‍රීමාල් හාමු දිහා බලමින්ය. ශ්‍රීමාල් හිස බදාගෙන සිටියේ අමුතුම ලෙඩක් හැදිලා වගේය. ඊටත් හෝරා දෙක තුනකට පස්සේ විල්ප්‍රඩ් රත්නසේකර හාමු ජෝඩුව සහ ජන්තු සිරියා සේවක ජෝඩුව විසින් ඔසවාගෙන සිටි මහා අභිරහසක් එළිවෙද්දී මුළු වලව් වහලම දෙදරා ගියාක් බඳුවිය.
සියලු සිද්ධි විමසා ලියකියවිලිද පිරික්සා ඉක්බිති ඩග්ලස් ගොඩලියද්ද බර අඩි තබමින් එහා මෙහා ඇවිද්දේ සුදු මැණිකේ බියපත්ව බලා ඉඳිද්දීය.
“නංගිලා දරුවො නැතුව අවුරුදු දෙකක් විතර හිටියා මතකයි. ඒත් ඒ එක්කම කළුතර පැත්තෙ මහ ඉඩමට අපි අතර ලොකු ආරවුලක් ඇතිවෙලා අපි වලව් දෙගොල්ලො විරසක වුණා. ඒ කාලෙ නංගියි ඩග්ලසුයි අවුරුද්දක් විතර දෙණියායෙ බංගලාවෙ හිටියා මට මතකයි. ඇයි හොඳයියක් නැති නිසා විස්තර දන්නෙ නෑ. සිරියාට මොකක් හරි මතකයක් ඇති ඒ ගැන..”
ගොඩලියද්ද හාමු හැරුණේ සිරියා දිහාටය. දැන් පැමිණ සිටි ජෝඩුව සිරියා දිහා බලාසිටින්නේ උසාවියේ නඩුකාරයා දිහා බලා සිටින චූදිතයන් ගානටය.
“හාමු.. බොරුවක් කියන්න ඕනකමක් මට නෑ. මේ රහස හාමුලා දෙන්නා හැරුණුකොට දන්නෙ මම විතරයි. මම ඒක අපේ මනුස්සයාට කිව්වෙ එයා දේවරහස් විදියට මේක රකිනා බව දන්නා නිසයි...” සිරියා තතනයි. වටපිට බලයි. ජන්තු ද සිටින්නේ නළලට ඇස් අරගෙනය.
“නිර්මලා මැණකෙ හාමුව දෙණියායෙ බංගලාවෙන් වලව්වට එක්කරං එන්න යන ගමනෙදි මාත් එහෙ ගියා කරුණාදාසත් එක්ක. මාසතුනේ දරුවා අරගෙන ආවෙ. ඒ විදියෙම ඒ වයසෙම දරුවෙක් අතේ තියාගෙන මේ එමලින් නංගි අඬ අඬා හිටියා මට මතකයි..”
“අනේ ඔව් හාමු.. මට ලැබිච්ච නිවුන් දරුවො දෙන්නාගෙන් එක්කෙනෙක් තමා හාමුලාට දුන්නෙ. දුප්පත්කම හින්දමත් දරුවාට යහපතක් වෙන බව දන්නා නිසා මිසක් කීයටවත් මම දෙන්න හිතුවෙ නෑ..”
“කෝ.. ඒ අනිත් දරුවා”
“එයා ගමේ ඉන්නවා හාමු.. ඇරපු අතක් නෑ මේ පුංචි හාමු වගේමයි. දැක්ක ගමන් අපි දෙන්නාගෙ ඇස් ගිනිකණ වැටුෙණ ඒකයි.”
“අනේ ඒකාට ඉගෙන ගන්න ලැබුණෙ නෑ. වතුපිටිවල වැඩ කළා මිසක්..” ආයෙත් එමලින් හඬයි.
“හාමුලාට කියන්න.. මේ මනුස්සයා දරුවා දීපු දවසෙ ඉඳලා දැන් අවුරුදු විසි හතර පහක් තිස්සෙම මතක් කර කර අඬනවා දරුවා බලන්න ඕනෑ කියලා.. මම බොහොම අමාරුවෙන් තමා මෙයාව වළක්කා ගත්තේ.. අපි හාමුට පොරොන්දු වුණා.. මේ පැත්ත පළාතෙ එන්නෙ නෑ කියලා දරුවා හොයාගෙන.. දරුවා වෙනුවෙන් අපිට හිටපු ගේ කෑල්ලත් ලියලා දුන්නා.. ඒ හාමු හරිම පිංවන්ත හාමු කෙනෙක්.. දෙයියනේ පත්තරේක දැකලා හාමුලාට වෙච්ච ඇබැද්දිය අපි කම්පා වුණා. මෙයැයි බය වුණා දරුවාටත් අනතුරක් වෙලාද දන්නෙ නෑ කියලා.. බේරෙන්න බැරිකමටමයි මේ මනුස්සයාගෙන්.. මම මේ ගමන එන්න කැමතිවුණේ.. පහුගිය සතියෙම අසනීපෙනුත් හිටියෙ.. අපි මේ දරු දුකට ආවා මිසක්කා කිසි දෙයක් කඩා වඩා ගන්න ආවෙ නෑ හාමු මහත්තයා..!”
ඊළඟට ආයෙත් සිරියා කතා කරයි.
“ඒ දරුවා වලව්වට ගෙනාවාට පස්සෙ වාසනාව උදා වුණා කියලා තමා හාමුලා කිව්වෙ.. අවුරුදු ගානක් දරුවො නැතිව හිටපු මැණිකෙ හාමුට දරුසම්පතක් ලැබුණ අවුරුදු තුනකට විතර පස්සෙ.. ඊට පස්සෙ තමා මේ දරු දෙන්නාගෙ නම් එකතු කරලා ‘ශ්‍රී ජය” වලව්ව කියලා වලව්වට නමත් දැම්මෙ..”
ශ්‍රීමාල් සෙල් පිළිමයක් සේ සිට කටහඩ අවදි කළේ නැඟී සිටිමිනි.
“වෙන්න පුළුවන් හැමදේම. හරි ඒත්.. මං කොහොම කියන්නද හිතන්නද මෙහේ ඉන්නෙ මගේ අම්මයි අප්පච්චියි නෙමේ කියලා.. ඒ දෙන්නා මට ආදරේ කරපු හැටි.. සලකපු හැටි.. සමහර වෙලාවට මල්ලිටත් වඩා මට ආදරේ කළා කියලා හිතෙනවා..!”
ශ්‍රීමාල් කුඩා දරුවෙකු සේ හඬා වැටුණේය. ඊළඟ මොහොතේ නැන්දා සහ මාමා බදාගෙන හැඬුවේය. ඊළඟ මොහොතේ එමලින් සහ ධර්මදාසගේ පාමුල වැටී හැඬුවේය.
ඒ උද්වේගතර දර්ශනය එසේ හමාර වෙද්දී ඊළඟට තවත් අවස්ථාවක් උදාවිය. ඒ මොහොත වෙද්දී ශ්‍රීජය වලව්වට තවත් අය ඇවිල්ලාය. ජයසුන්දර හාමු සමඟ රිදීශ් ද මලින්ද ද ජයමාල් ද ඇවිත්ය. ශ්‍රීමාල් ඔවුන් හැමදෙනාම එක පොකුරට බදාගෙන තම ශෝකය බෙදාගත්තේ හරියට ත්‍රාසජනක චිත්‍රපට ජවනිකාවක විස්මය විඳිමින් වගේය. ජයමාල් ද බොහෝ වේලාවක් අයියාව බදාගෙන හැඬුවේය.
ටිකකින් සංග්‍රහ කර ඉක්බිති අමුත්තන් ජෝඩුවට යන්නට සමුදුන්නේ ඔවුන්ගේ ලිපින සහ සම්බන්ධ කරගත හැකි දුරකථන අංක ද ලබා ගැන්මෙන් අනතුරුවය. ඔවුන් වෙනුවෙන් තමා කළ යුතු දේවල් ගැන ශ්‍රීමාල් හිත ඇතුළේ පෙළ ගස්වාගත්තේය. මේ අතරේ හවස් වරුවේ පැමිණි පවුලේ නීතිඥයාගෙන් දැනගන්නට ලැබුණේ පුදුමාකාර ආරංචියකි.
එනම් රත්නසේකර හාමු තම බූදලය තනිකරම ශ්‍රීමාල් ගේ නමට ලියා ඇති බවය! මේ ආරංචිය ඇසූ හැමෝම පුදුමයෙන් ත්‍රස්ත වූවත් වඩාත්ම අසරණ වූයේ ශ්‍රීමාල් ය!
හැමදෙයක් ගැනම සාධාරණව හිතන ශ්‍රීමාල්, කලබලයට පත් ජයමාල්ව අස්වැසුවේය. ජයමාල් සිටියේ කෝපයෙන් කෑ මොර ගසමින්ය. අයියාගේ වදනින් ඔහු මෙල්ල වූයේ මොහොතකිනි.
“මාමේ.. මම කවදාවත් මල්ලිට අසාධාරණයක් වෙන්න ඉඩ තියන්නේ නෑ. මට ලියාපු මේ බූදලෙන් බාගයක් මල්ලිට දෙනවා!”
හැමදෙනාම පුදුමයට පත්කරමින් ශ්‍රීමාල් එසේ කීම හැමදෙනාටම මහා අස්වැසිල්ලක් වූයේය.
******
තවත් දින කිහිපයක් ම ගත වුණි.
ශ්‍රීමාල්ට ඇති වුණේ ජීවිතය ගැන මහා කලකිරීමක් වැනි හැඟීමකි. දින ගණනාවකට පස්සේ කාර්යාලයට ගියේද ඇල්මැරුණු හැඟීමකින්. රාජකාරි ස්ථානයේ අය පවා ශ්‍රීමාල් දිහා බැලුවේ දුකෙනි. ඒ තරමට ඔහු ලෙඩෙකු සේ සුදුමැලි වෙලාය.
“මේ ඔක්කෝම අතෑරලා දාලා මට මහණ වෙන්න හිතෙනවා අයියේ...” දුරකථනයෙන් කතා කළ මලින්දට ඔහු කීෙව් එහෙයිනි. එහෙත් දිවා විවේකයේදී පුදුම දේකට මුහුණ පාන්නට සිදුවිය.
“සර් හම්බවෙන්න කවුද මිස් කෙනෙක් ඇවිල්ලා..” සහායක ළමයා ඇවිත් එසේ කියද්දී ශ්‍රීමාල් ගණනකට ගත්තේ නැත. සමන්ති අක්කා හෝ කවුරු හරි එන්න ඇති. එසේ සිතමින් වැරැන්ඩයට ගිය ඔහු සසල විය.
පැමිණ සිටියේ මේඛලාය.! අවුරුදු ගානකට පස්සේ මේ දකින්නේ මේඛලාය!
“ආ.. ඇයි මේඛලා... ඔ..ඔයා බැඳලා රට ගියා නේද?”
තමා ඇසුවේ මෝඩ ප්‍රශ්නයක් බව තේරෙද්දිම මේඛලා කතා කරයි.
“මට ආරංචි වුණා ඔයාගෙ අප්පච්චිලාට වෙච්ච අනතුරත්... මට තාම පුදුමයි.. ඒත්... ඔයා හොඳටම කෙට්ටුවෙලා ඇදිලා ගිහිල්ලා සනීප නැද්ද... ශ්‍රීමාල්..”
දැන් අසුන්වල වාඩිවී දෙදෙනා කතා කරති.
“කෝ හස්බන්ඩ් ආවෙ නැද්ද..?”
ශ්‍රීමාල් අසන්නේ අහක බලමිනි.
“හස්බන්ඩ්...? හහ් එයා හස්බන්ඩ් කෙනෙක් නෙමෙයි යකෙක්.. මාව නැති කරන්න ආපු.. ඉතාලියට මාව අරන් ගිහින් එයා මාව නැති කරන්නයි හැදුවෙ.. මම බොහොම අමාරුවෙන් ඩිවෝස් එක ගත්තේ.. හොඳ වෙලාවට මට ඒ මිනිහගෙන් ළමයෙක් හිටියෙ නෑ.. නැත්නම් ඒ දරුවත් අනාථයි...”
මේඛලා සිහිනියට කඳුළු සලයි. ශ්‍රීමාල්ට අතීතය මතක් වෙයි. මේඛලා තමාට මොනතරම් ආදරය කළාද? ඒත් අප්පච්චිලාගේ වලව් මාන්නය නිසා.. ඔවුන්ගේ සිත් සනසන්නට තමාට ඇයට පිටුපාන්නට සිදුවුණු හැටි.. ඒත්.. දැන් තමාගේ වර්තමානය.. ඒවා කිසිවක් මේඛලා දන්නේ නැත! ඇසුවාම පුදුම හිතෙනවා ඇත. ඔහු බර සුසුමක් හෙළයි.
“මට දැන් ජීවිතේ එපා වෙලා තියෙන්නෙ මේඛලා..!”
මේඛලා මොහොතක් බලා සිට හෙමිහිට කටහඬ අවදි කරයි.
“ජීවිතේ ගැන කලකිරෙන්න එපා.. ශ්‍රීමාල්.. ඔයා ඒ තරම් අවාසනාවන්තයෙක් නෙමේ.. මම ඔයාට හැමදාම ඉන්නවා..!”
“මගේ ජීවිතේ මට ම අභිරහසක් වුණා මේඛලා.. මම තවම ඉන්නේ ඒ තිගැස්මෙන්.. මට...”
මේඛලා ඔහුගේ වදන් නවත්වයි.
“මම.. ඔයා ගැන ඔක්කොම විස්තර දන්නවා.. ශ්‍රීමාල්.. මට මලින්ද අයියා කිව්වා.. ඔයා ඇත්තටම හරිම ගුණගරුක සාධාරණ මනුස්සයෙක්..! මට ඔයා ගැන ආඩම්බරයි!”
ඊළඟ මොහොතේ වරුවක් නිවාඩු දැමූ දෙදෙනා යන්නේ සුපුරුදු අවන්හලටය. සිසිල් බීම බිඳක් තොල ගාමින් මේඛලා නැවත කියයි.
“විල් දෙකක පිපුණත් එක ජාතියෙ මල් එකම සුවඳයි.. එහෙම නේද ශ්‍රීමාල්..!”
ශ්‍රීමාල්ට හිනාවක් මතුවෙයි. ඒ ආකර්ෂණයට මේඛලා වශීවෙලාය.
“ඔව් ඔව් පාට වෙනස් වෙලා පිපුණත් එකම ජාතියෙ මල්වල තියෙන්නෙ එකම සුවඳම තමා.. ඒ ආදරේ සුවඳ...!”
හෙටත් මල් පිපෙයි. පරවෙයි. නැවත මල් පිපෙයි. මතකයේ සුවඳ එක්ක ආදරය හැමදාම ජීවමානය! මනුස්සකමත් එක්ක එකතුවන ආදරය කොහොමත් ජීවමානය පූජනීයය!
නිමි