ඔක්ස්ෆ­ර්ඩ්ව­ලින් ඉංජි­නේ­රු­ව­ර­යකු වී කේම්බ්‍රිජ් සර­ස­වි­යෙන් විශේ­ෂඥ වෛද්‍ය­ව­ර­යකු වූ ලංකාවේ ප්‍රාඥයා | සිළුමිණ

ඔක්ස්ෆ­ර්ඩ්ව­ලින් ඉංජි­නේ­රු­ව­ර­යකු වී කේම්බ්‍රිජ් සර­ස­වි­යෙන් විශේ­ෂඥ වෛද්‍ය­ව­ර­යකු වූ ලංකාවේ ප්‍රාඥයා

උදාර කුල­රත්න ඔස්ට්‍රෙ­ලි­යාවේ මොනෑෂ් සර­ස­වියේ ප්‍රථම පන්ති උපා­ධි­ධාරී විදු­ලි­සං­දේශ මෘදු­කාංග ඉංජි­නේ­රු­ව­ර­යෙකි. එම විෂය පිළිබඳ ඔක්ස්ෆඩ් සර­සවියේ පශ්චාද් උපාධි ඩිප්ලෝ­මා­ලා­භි­යෙකි. පසුව කේම්බ්‍රිජ් විශ්ව­වි­ද්‍යා­ල­යෙන් වෛද්‍ය විද්‍යාව හදා­රන ඔහු මේ වන විට විකි­ර­ණ­වේ­දය පිළි­බඳ විශේ­ෂඥ වෛද්‍ය­ව­ර­යෙකි. එංග­ල­න්තයේ එම විෂය සම්බ­න්ධව සිටිනා ප්‍රමු­ඛ­තම විශේ­ෂඥ වෛද්‍ය­ව­රුන් අතර සිටින උදාර පසු­ගිය දා කොළඹ විශ්ව­වි­ද්‍යාල ශ්‍රව­ණා­ගා­රයේ දී සිය ප්‍රථම කාව්‍ය සංග්‍ර­හය ‘අරු­ණෝද සීයක්‘ නමින් එළි දැක්වූ­වේය. මේ අපේ කාලය නියෝ­ජ­නය කරන ලෝක ආද­ර්ශ­යක් වූ එම විශිෂ්ට විද්වතා සමඟ සිළු­මිණ පුව­ත්පත කළ සම්මුඛ සාක­ච්ඡා­වකි.

ඔබේ මූලික අධ්‍යා­ප­නය ගැන මතක් කරමු. පාසල් ගියෙ කොහෙද?

මුල් ඉස්කෝලෙ කොට්ටාව ධර්ම­පාල කනිෂ්ඨ විද්‍යා­ලය. බාලාං­ශයේ ඉඳන් පහේ ශිෂ්‍ය­ත්වය වන තුරු ගියෙ ඒ පාස­ලට. දැන් මහා විද්‍යා­ල­යක් වුණත් ඒ වක­ව­නුවේ එය ප්‍රාථ­මික විද්‍යා­ල­යක්. මගේ අම්මා ඉගැ­න්නුවේ ඒ ඉස්කෝලේ. ඒ පාසල හරි ප්‍රසි­ද්ධයි. ඒ වක­වා­නුවෙ ශිෂ්‍යත්ව විභා­ගය සම්බ­න්ධව. බොහොම දක්ෂ ගුරු­ව­රුන් හිටපු තැනක්. ශිෂ්‍ය­ත්වය ලියන ළම­යි­න්ගෙන් බාග­යක් පමණ ශිෂ්‍ය­ත්වය පාස් වෙලා කොළඹ ඉස්කෝ­ල­ව­ලට යනවා.

කොහොම නමුත් ඔබ ශිෂ්‍යත්ව විභා­ග­යෙන් ලංකා­වෙන් පළමු වැනියා වෙනවා. ශිෂ්‍ය­ත්ව­යෙන් ලංකා­වෙන් පළමු වැනියා වීම ඔබේ හීන අතර තිබුණ ද?

ඒක නම් කොහෙත්ම බලා­පො­රොත්තු වෙච්චි දෙයක් නෙමෙයි. ඒත් මගෙ අම්මගේ ලොකු හීන­යක් තිබ්බා මාව කොළඹ රාජකීය විද්‍යාලයට ඇතු­ළත් කරන්න. ඒ කාලේ රෝයල් එකට යන්න පුළු­වන් එකම මාර්ගය ශිෂ්‍ය­ත්වය විභා­ගය සමත් වීම. නැත්නම් රෝයල් එන්ට්‍රන්ස් කියන ඇතු­ළත් වීමේ විභා­ගය සමත් වීම විත­රයි. අපට කලින් අවු­රු­දු­ව­ලත් ළමයි පන්නි­පි­ටිය ධර්ම­පාල කනිෂ්ඨ විද්‍යා­ල­යෙන් රෝයල් එකට ගිහින් තිබ්බා. අම්මා මාව ඒ ඉල­ක්ක­යට යොමු කළා. ඇත්ත­ටම තනි­ක­රම මගේ අධ්‍යා­ප­නික විනය හැදීම අම්මගේ ප්‍රය­ත්න­යක්. ඒ දව­ස්වල අපේ ඔළුවේ තිබුණෙ සෙල්ලම් කරන එක විත­රයි.

විභාගෙ ඉවර වුණාම තනි­ක­රම සැණ­කෙ­ළි­යක්නෙ. ප්‍රති­ඵල ඇවි­ල්ලත් නෑ. ඉස්කෝලෙ ඇරිලා අපි සෙල්ලම් කර­මින් ඉන්නවා. එක දව­සක් හවස දෙකට විතර ලේක්හ­වුස් එකෙන් දෙන්නෙක් හදි­සි­යෙන්ම ඉස්කෝ­ලෙට ආවා. ඇවිත් අම්ම­වම මුණ­ගැ­හිලා කියලා තිබුණා ශිෂ්‍යත්ව ප්‍රති­ඵල කලින් දැන­ගත්තා. මේ ඉස්කෝලෙ දරු­වෙක් තමයි ලංකා­වෙන් ශිෂ්‍ය­ත්ව­යෙන් පළ­මු­වෙ­නියා. ඔහුගේ නම උදාර කුල­රත්න. ඔහුව මුණ­ග­ස්සන්න පුළු­වන් ද කියලා. අම්මා තිගැ­ස්සිලා කතා කරන්නෙ නැතිව ඔවුන් දිහා බලා­ගෙන ඉඳලා තිබුණා. ඒක කව­දා­වත් අම­තක නොවන මොහො­තක්.

කොළඹ රාජ­කීය විද්‍යා­ල­යට ඔබ ඇතු­ළත් වෙන­වානෙ. ඉන් පසසෙ පාසල් ජීවි­තය පෙළ ගැහෙන්නෙ කොහොම ද?

මුලින්ම අපේ පොඩි ඉස්කෝ­ල­වල අපි ලොකු මිනිස්සු. අම්මත් ඉස්කෝලෙ. එත­කොට තවත් ලොකුයි. එත් රාජ­කීය විද්‍යා­ල­යට ආවාම ඒක වෙනම තැනක්. අපි වැටුණෙ ඉතාම දක්ෂ මිතු­රන් පිරි­සක් මැදට. දැන් ලොකු මිනිස්සු නෑ. මේ මිතුරු පිරිස ඇසු­රෙහි ඇති වුණ තර­ග­කා­රී­ත්ව­යත් මිහි­රක්. ඒ වගේම අපට හමු­වුණු ගුරු­වරු ඉතාම දක්ෂයි. අපේ අධ්‍යා­ප­නය විත­රක් නෙමෙයි. පාසල ඇතුළෙ ඇති වුණු සංවා­ද­යෙත් හරා­ත්මක ගැඹු­රක් තිබුණා. අපි පාසල් අව­ධි­යේ­දීම සාහිත්‍ය කට­යු­තු­ව­ලට යොමු වෙන්නෙ එහි ප්‍රති­ඵ­ල­යක් විදි­හට.

ඔබ වර්ෂ 1991 දී උස­ස්පෙළ ගණිත අංශයෙන් ලංකා­වෙන් තුන් වැනියා. ඔබ ඉන් අන­තු­රුව විදේ­ශ­ගත වෙනවා.

ඒ වක­වා­නුවෙ ඔස්ට්‍රෙ­ලි­යානු රජ­යෙන් දුන්නා ලංකා­වෙන් උස­ස්පෙළ විභා­ගයෙ වැඩිම ලකුණු ගත්ත 10 දෙනාට නිද­හස් ශිෂ්‍ය­ත්ව­යක්. එය කෙමෙන් නැති වෙලා ගියා. විශ්වවි­ද්‍යාල ප්‍රති­පා­දන කොමි­ස­මෙන් වැඩිම ලකුණු සහිත කණ්ඩා­යම අර­ගෙන ඔවු­න්මයි ඒ ශිෂ්‍ය­ත්වය දුන්නෙ. කිසිම ආකා­රය බාහිර මැදි­හ­ත්වී­මක් නෑ. ඊට අම­ත­රව ඔවුන් මැදි­හත් වෙලා ඉහ­ළම ලකුණු නොග­ත්තත් දක්ෂතා සහිත අඩු ආදා­ය­ම්ලා­භීන් කණ්ඩා­ය­ම­කට අර්ධ ශිෂ්‍ය­ත්ව­යක් දුන්නා. ඒක සාධා­රණ වැඩක්. නමුත් දැන් ඒ ශිෂ්‍යත්ව ක්‍රමය නැති වෙලා.

ඔබ ඔස්ට්‍රේ­ලි­යා­වට ගිහින් හදා­රන්නෙ ඉංජි­නේරු විද්‍යාව. ඔබ හදා­රන්න තෝර­ගත් විෂය පථය කුමක් ද?

මම විශ්වි­ද්‍යා­ල­යට ඇතු­ළත් වන්නේ වර්ෂ 1993. ඔස්ට්‍රෙ­ලි­යාවේ මොනෑෂ් විශ්ව­වි­ද්‍යා­ල­යට. ඒ කාලයේ ජංගම දුර­ක­ථන ප්‍රච­ලිත නෑ. අන්ත­ර්ජා­ල­යත් ආවා විත­රයි. බට­හිර අද­හ­සක් තිබ්බා මේ දෙක ඉදි­රියේදී සන්නි­වේ­දන විප්ල­ව­යක් ඇති කරයි කියන මත­යක්. ඒ නිසා අපේ විශ්වි­ද්‍යා­ලයෙ ඉංජි­නේරු පීඨය මේ විෂය සම්බ­න්ධව දැඩි උන­න්දු­ව­කින් කට­යුතු කළා. පර්යේ­ෂණ කළා. මා තෝරා ගත්තෙ විදුලි සහ පරි­ග­ණක පද්ධති කියන විෂය ක්ෂේත්‍රය. අන්තිම අවු­රුද්දෙ ක්ෂේත්‍රයේ එක් විෂය ඒක­ක­යක් පිළි­බඳ විශේ­ෂඥ දැනු­මක් ලබන්න ඕන. මම තෝරා ගත්තෙ විදුලි සංදේශ ඉංජි­නේරු ක්ෂේත්‍රය. විදුලි සංදේශ ඉංජි­නේ­රු­ව­ර­යෙක් විදි­හට තමයි මුල් උපා­ධිය ලබා ගත්තෙ.

ඉතින් මගේ පළමු උපා­ධිය ඉවර වෙන්න කලින්, ඒ කියන්නෙ තුන් වැනි අවු­රුද්දෙ සිංග­ප්පූරු පුජිට්සු සමා­ග­මෙන් ආවා රැකි­යා­ව­ලට බඳ­වා­ගන්න. ඔවුන් මාව බඳ­වා­ගත්තා.

මගේ වෘත්තිය වුණේ විදුලි සංදේශ ජාල කළ­ම­නා­ක­රණ මෘදු­කාංග හදන එක. ඒ කියන්නෙ මුළු පද්ධ­ති­යම එක තැනක ඉඳන් පරි­ග­ණ­කය හරහා කළ­ම­නා­ක­ර­ණය කරන්නෙ කොහො­මද කියන එක. අපි වැඩ කළේ නව නිපැ­යුම් කරන්න.

ඒ ක්ෂේත්‍ර­යේම තවත් ප්‍රධාන ආය­ත­න­යක් තිබුණා නෝටෙල් කියලා. ඒක කැනඩා ආය­ත­න­යක්. ඒ වුණාට එහි පර්යේ­ෂණ මධ්‍ය­ස්ථා­නය තිබුණෙ එංග­ල­න්තයෙ. මම ඒ ආය­ත­නයෙ රැකි­යා­වට අයැ­දුම් කළා. රැකි­යාව ලැබුණා. මං එංග­ල­න්තෙට ආවා. මගේ පශ්චාත් උපා­ධිය කරන්න අව­ස්ථාව ලැබුණෙ එංග­ල­න්ත­යට ආවට පස්සේ. ඔක්ස්ෆඩ් විශ්ව­වි­ද්‍යා­ලයෙ තිබුණා මෘදු­කාංග ඉංජි­නේරු පශ්චාත් උපාධි පාඨ­මා­ලා­වක්. ඔක්ස්ෆර්ඩ් සර­ස­වියේ එම පශ්චාත් උපාධි පාඨ­මා­ලාව හදා­රන්න මට නෝටෙල් ආය­ත­න­යෙන් අනු­ග්‍ර­හය දැක්වුවා. මම ඒ පාඨ­මා­ලාව ඩිප්ලෝමා මට්ට­මින් නැවැ­ත්තුවා.

ඇයි ඔබ ඉංජි­නේරු විද්‍යාව සම්බන්ධ ඔබේ පශ්චාත් උපා­ධිය සම්පූර්ණ කළේ නැත්තෙ.

ඇත්ත­ටම ඒ වෙන කොට මට අවශ්‍ය වෙලා තිබුණා වෛද්‍ය විද්‍යාව හදා­රන්න.

තනි­ක­රම වෙනස් ක්ෂේත්‍ර දෙකක්. ඇයි ඔබ එහෙම හිතුවෙ?

හේතු කීප­යක් තිබුණා. පොඩි කාලෙ ආසා­වක් තිබුණා වෛද්‍ය විද්‍යාව හදා­රන්න. එය වෛද්‍ය­ව­ර­යෙකු වීම පිළි­බඳ සුබ­වාදී සිහි­න­යක්. ඒ සිහි­නත් එක්ක අපි ගොඩ­නැ­ඟුණා. ඒත් එක් වක­වා­නු­වක අපිට අපේ අනා­ග­තය පිළි­බ­ඳව තිගැ­ස්මක් ඇති වුණා. 88 වක­වා­නුව රටම බර­ප­තළ අර්බු­ද­යක ගිලිලා තියන කාල­යෙදි තමයි අපට අපේ අනා­ග­තය සම්බ­න්ධව තින්දු­වක් ගන්න වෙලා තිබුණේ. අපේ වය­ස්ව­ලම තරු­ණයො අකාලෙ මිය ගියා. සර­සවි නැවත ඇරෙන දින­යක් දන්නෙ නැතිව වැහුණා. මොන­වද කරන්නෙ කියලා අවි­නි­ශ්චි­තයි. පිට­රට අධ්‍යා­ප­නය ගැන සිහින තිබුණෙ නෑ. අඩුම ගානෙ ගණිත අංශ­යෙන් විභා­ගය කළොත් සී.අයි.එම්.ඒ හරි කරන්න පුළු­වන්. බයෝ කළොත් මොනවා කර­න්නද? වගේ අද­හ­සක් අවා.

ඒත් මං ඔස්ට්‍රෙ­ලි­යා­වට ගිය හැටියෙ මගෙ ශිෂ්‍ය­ත්වය දුන්න අය­ගෙන් ඇහුවා මට වෛද්‍ය විද්‍යාව හදා­රන්න පුළු­වන්ද කියලා. මොකද රසා­යන විද්‍යාව, භෞතික විද්‍යාව සහ ගණි­තය හදා­රලා තියන කෙනෙ­කුට එහෙදි වෛද්‍ය විද්‍යා උපා­ධිය හදා­රන්න පුළු­වන්. මුල සිට විෂය කියලා දෙනවා. ඔස්ට්‍රෙ­ලි­යාවෙ වගේම එංග­ල­න්ත­යෙත් එහෙ­මයි. එත් ඔස්ට්‍රෙ­ලි­යාවෙ වෛද්‍ය විද්‍යා උපා­ධිය අවු­රුදු හයක්. නමුත් ඉංජි­නේරු විද්‍යා උපා­ධිය අවු­රුදු 4 යි. ඒ අය කිව්වා ඔයාට වෙන් කරලා තිබුණ අර­මු­දල් මදි කියලා. ඒ නිසා මං ඒ වේලා­වෙදී වෛද්‍ය විද්‍යාව හැදෑ­රීමේ අද­හස අත්හැ­ර­ගත්තා.

මට වෛද්‍ය­ව­ර­යෙකු වීමේ ප්‍රධා­නම පෙල­ඹ­වීම සිදු වන්නෙ මගෙ තාත්තා අස­නීප වීමත් සමඟ. තාත්තට බයි­පාස් ශල්‍ය­ක­ර්ම­යක් කළා. තාත්තා ඉතාම අමා­රු­වෙන් ඉඳලා බයි­පාස් සැත්කම කළාට පස්සේ පහුව දා ඉඳ­ලම ඉතා සනී­ප­යෙන් ඉන්නවා දැක්කා. ඒක ඉතාම සුබ­වාදී විදි­හට වුණේ. මට ඒක ආශ්ච­ර්ය­යක් විදි­හට පෙනුණෙ. මේ සිද්දිය වෛද්‍ය විද්‍යාව හදා­රන්න මාව මුළු­ම­නින්ම පොල­ඹ­වනු ලැබුවා.

කොහො­මත් ඇම­රි­කාවෙ වෛද්‍ය උපා­ධිය දෙවැනි උපා­ධි­යක්. ඉස්කෝ­ලෙන් පස්සෙ ශිෂ්‍යයො කෙළින්ම වෛද්‍ය විද්‍යා­ල­යට යන්නෙ නෑ. ඉස්ස­ර­වෙලා පළමු උපා­ධි­යක් කරන්න ඕන. ඊට පස්සේ වෛද්‍ය විද්‍යා පාඨ­මා­ලා­වට ඇතු­ළත් වීමේ විභා­ග­යක් තිය­නවා. එය සම­ත්වන අය අවු­රුදු හත­රක වෛද්‍ය විද්‍යා උපාධි පාඨ­මා­ලාව හැදෑ­රිය යුතුයි. ඒ ක්‍රමය ඔස්ට්‍රෙ­ලි­යා­වට හා එංග­ල­න්ත­යට ගෙනාවෙ මම වෛද්‍ය විද්‍යාව හදා­රන්න තදින්ම තීන්දු කර­ගත්තු කාලෙදී.

මේ පාඨ­මා­ලා­වට ඇතු­ළත් වීමේ විභා­ග­යෙදි උරගා බලන්නෙ විද්‍යා දැනුම විත­රක් නොවෙයි. ඉංග්‍රීසි රචනා දෙකක් ලියන්න ඕන. කලා අංශයේ දැනුම මැන බලන සාහිත්‍ය විචාර සහිත ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍ර­ය­කට පිළි­තුරු ලියන්න අව­ශ්‍ය­යයි. මේ විභා­ගය කළා. විභා­ගය සමත් වෙලා ඔස්ට්‍රෙ­ලි­යාවෙ අැඩි­ලේඩ් විශ්වි­ද්‍යා­ලයෙ වෛද්‍ය විද්‍යාව හදා­රන්න තෝරා­ගෙන තිබුණා.

මේ කාලෙ මං එංග­ල­න්තයෙ ජීවත් වුණේ. කොහො­ම­හරි මේ වෙන කොට කේම්බ්‍රිජ් විශ්ව­වි­ද්‍යා­ලය ඇතුළු එංග­ල­න්තයේ ප්‍රධා­නම සර­සවි කීප­යක් දෙවන උපා­ධිය ලෙස වෛද්‍ය විද්‍යාව හදා­රන්න කුඩා කණ්ඩා­යම් වශ­යෙන් විද්‍යා­ර්ථ­යන් බඳ­වා­ගත්තා. එක් කණ්ඩා­ය­මක් 25යි. මට හිතුණා මං එංග­ලන්තෙ ජීවත් වෙමින් සිටි නිසා කේම්බ්‍රිජ් විශ්ව­වි­ද්‍යා­ලයේ වෛද්‍ය විද්‍යා උපාධි පාඨ­මා­ලා­වට ඉල්ලුම් කරලා බලන්න. ඒ විභා­ග­ය­ටත් පෙනී සිටියා. විභා­ගය සමත්. ඊට­පස්සේ සම්මුඛ පරී­ක්ෂ­ණ­ය­කුත් තිය­නවා. ඊටත් සහ­භාගී වුණා. මා කේම්බ්‍රිජ් විශ්ව­වි­ද්‍යා­ලයේ වෛද්‍ය පීඨයට තේරුණා.

2003 සැප්තැ­ම්බ­ර්වල කේම්බ්‍රිජ් සර­ස­වියෙ වෛද්‍ය විද්‍යා පාඨ­මා­ලාව පටන් ගත්තා. ඒක අවු­රුදු හර­තක්. එත­කොට මට වයස 30 යි. ටිකක් පරි­ණ­තයි. කාලය බෙදා­ගෙන වැඩ කරන්න දන්නවා. පුහුණු කරපු අධ්‍ය­යන ක්‍රම ටිකක් වෙනස් වුණා. වැඩි­පුර කට­පා­ඩම් කරන්න සිද්ධ වුණා. මහ­න්සි­වෙන්න වුණා. නිත­රම වැඩ කර­න්නත් වුණා. ඒක මගෙ ක්‍රමය තුළ තිබුණ දෙයක් නොවෙයි. ඒත් මාත් එක්ක හිටිය පිරි­සත් විවි­ධයි. ඔවුන් සම­හරු නීති­ඥයො. ඉංජි­නේ­රුවො. ඉංග්‍රීසි භාෂාව හදා­රපු අය. බැංකු­ක­රුවො. දෙවන උපා­ධි­යට වෛද්‍ය විද්‍යාව හදා­රන මේ වගේ පිරි­සක් එක්ක වැඩ කරන එක හරිම රස­වත් අත්දැ­කී­මක් වුණා.

අපි මේ පාඨ­මා­ලාව හදා­රන්න එන්නෙ ලෝකය දැකපු, ලෝක යථා­ර්ථය යම් පම­ණ­කට අත්වින්ද පිරි­සක් විදි­හට. කොහො­මත් ලෙඩ­කට බෙහෙත් ටිකක් දෙන එක ඕන රොබෝ කෙනෙ­කුට කරන්න පුළු­වන්. වැද­ගත් වෙන්නෙ වෛද්‍ය­ව­රයා හා රෝගියා අතර සිදු­වන මානු­ෂික ගනු­දෙ­නුව. එය පුහුණු කිරී­මට හැකි මාන­සික පරි­ණ­තිය මේ පාඨ­මා­ලා­වට එක්වන කාලයේ දී අපට ලැබී තිබුණා.

ඔබ වෛද්‍ය­ව­ර­යකු ලෙස තෝරා­ගන්නෙ විකි­ර­ණ­වේ­දය. ඇයි එවැනි ක්ෂේත්‍ර­යක් තෝර­ගත්තෙ.

එහෙ සම්ප්‍ර­දා­යට අනුව උපා­ධිය ලබා­ග­ත්තට පස්සේ අවු­රුදු දෙකක් වැඩ කරන්න ඕන කනිෂ්ඨ වෛද්‍ය­ව­ර­යෙක් හැටි­යට. සම­හර අය කරන්නේ කනිෂ්ඨ වෛද්‍ය­ව­ර­යෙකු ලෙසම කට­යුතු කර­නවා තමන් කැමති ක්ෂේත්‍ර­යක් සොයා ගන්න­කම්. මම ටිකක් කල් ගිහින් වෛද්‍ය විද්‍යාව තෝර­ගන්නෙ. කනිෂ්ඨ වෛද්‍ය­ව­ර­යෙක් ලෙස සේවය කළ අවු­රුදු දෙක නිමා වුණ හැටි­යෙම මම අයැ­දුම් කළා විකි­ර­ණ­වේදී විශේ­ෂඥ පාඨ­මා­ලාව හදා­රන්න. ඒ විෂය තෝර­ගන්න හේතු­වක් තිබුණා.

වෛද්‍ය විද්‍යා­ලයේ පළමු අවු­රුද්දෙ අපට උග­න්ව­නවා කාය විච්ඡේදනය. මා ඉතාම කැමැ­ත්තෙන් හදා­රපු විෂ­ය­යක්.

කේම්බ්‍රිජ් විශ්ව­වි­ද්‍යා­ලයේ තිබෙන්නෙ වෙනස්ම ව්‍යුහ­යක්. අපි නැව­තිලා ඉන්න නවා­තැ­නට කියන්නෙ කොලේජ් එක. මේ වගේ කොලේජ් රාශි­යක් තිය­නවා. අපේ සියලු අව­ශ්‍යතා සම්පූර්ණ කරන්නෙ කොලේජ් එකෙන්. ඔවුන් අපි ලෙක්චර්ස් ගිහින් ආපු­ව­හම හවස ටියුට් ක්ලාස් පව­ත්ව­නවා. ඒවා කරන්නෙ ඒ ක්ෂේත්‍ර­වල ප්‍රවී­ණයෝ.

මට කාය විච්ඡේදනය ඉගැ­න්නුවෙ රේ ගොඩ්වින් කියලා රේඩි­යෝ­ලො­ජිස්ට් කෙනෙක්. ඔහු අප්‍ර­මාණ රස­ව­තෙක්. ඔහු රැකි­යාව හා ජීවි­තය සම­තු­ලි­තව රැගෙන යන විශිෂ්ට ආකා­රය මට අති­ශ­යින්ම ප්‍රිය වුණා. විශේ­ෂඥ වෛද්‍ය­ව­ර­යෙක් වුණාට ඔහු හව­සට බෑන්ඩ් එකක ප්ලේ කර­නවා. අස්ස කර­ත්ත­ව­ලින් රේස් පදි­නවා. කැට­යම් කප­නවා. මධ්‍ය­කා­ලීන වාස්තු­විද්‍යා සම්ප්‍ර­දාය ගැන හදා­ර­නවා. ඔහු වෛද්‍ය විද්‍යා­වට අම­ත­රව විචි­ත්‍ර­ත්ව­යෙන් යුතු, ඇසූ පිරූ තැන් සහිත මනු­ෂ්‍ය­යෙක්. අපි රැකි­යාව හැටි­යට වෛද්‍ය වෘත්තිය කළාට ඒ ක්ෂේත්‍ර­යෙන් පිට තිබෙන රස­වත් ලෝක­යට ආද­රය කරන්න පුරුදු වෙච්චි මිනිස්සු. රැකි­යාව හා ජීවි­තය සම­බර විය යුතුයි. මං හිතුවා වික­ර­ණ­වේ­දය තමයි වෛද්‍ය වෘත්ති­යෙදි මගේ විෂය ක්ෂේත්‍රය විය යුත්තෙ කියලා.

මං තෝර­ගත් පශ්චාත් උපාධි පාඨ­මා­ලාව අවු­රුදු පහක්. මම හය­වෙනි අවු­රු­ද්ද­කුත් කළා. ඒ අස්ථි හා සන්ධි පිළි­බඳ විශේෂ හැදෑ­රී­මක්. අපි අවු­රුදු පහක් පුහුණු වෙන්නෙ රෙජිස්ට්‍රා කෙනෙක් හැටි­යට. ශික්ෂණ රෝහල් දිස්ත්‍රික් රෝහල් ගණ­න­කට යන්න ඕන අත්දැ­කීම් ගන්න. හය­වැනි අවු­රුද්ද මගෙ විෂය දැනුම ගන්න අස්ථි හා වික­ලාං­ග­වේ­දය සම්බන්ධ විශේෂ රෝහලක් ඔස්වෙස්ට්‍රි. රොබට් ජෝන්ස් ඇන්ඩ් ඇග්නස් හන්ට් රෝහලේ වැඩ කළා.

ඔබ මේ රටට උරුම සම්ප­තක්. ඔබ නිර්මා­ණය වන්නේ මේ රටින්. රට වෙනු­වෙන් ඔබේ දාය­ක­ත්වය කුමක් ද?

දැන් මං ආසම දේ උග­න්වන එක. මට මගේ රට වෙනු­වෙන් මගෙ දැනුම බෙදා දෙන්න අවස්ථා කීප­යක් ලැබුණා. මෙහෙ විකි­ර­ණ­වේ­දය සාමාන්‍ය උපා­ධි­යක්. උදා­හ­ර­ණ­යක් වශ­යෙන් හිස, උරස, සන්ධි ආදී වශ­යෙන් වෙන් වෙන් අංශ සම්බන්ධ විකි­ර­ණ­වේ­දය සම්බන්ධ විශේ­ෂඥ දැනු­මක් අර­ගත්තු වෘත්ති­කයො නෑ. මට මගෙ රටින් ආරා­ධ­නා­වක් ලැබුණා ඔවුන් එක්ක දැනුම බෙදා ගන්න. මං ඒ කට­යුත්ත කළා. මේ අවු­රුද්දේ මං නැවත ඇවිත් එවැනි දේශ­න­යක් තිය­නවා.

අපේ රටේ ඉන්නෙ ඉතාම දක්ෂ පිරි­සක්. දැනුම පිළිබඳ පිපා­සෙ­කින් පෙළෙන පිරි­සක්. උග­න්වන්න එන හැම අව­ස්ථා­ව­කම මං මගෙ රටින් ඉගන ගන්නවා. අඩු විය­ද­ම­කින් විශාල රෝගීන් පිරි­සක් කළ­ම­නා­ක­ර­ණය කරන්නෙ කොහො­මද කියලා ප්‍රායෝ­ගි­කව පෙන්වන විශිෂ්ට ආද­ර්ශ­යක් ලංකාවෙ තිය­නවා. බට­හිර මේ වගේ ආදර්ශ හැදෑ­රිය යුතුයි.

ඔබ තව­මත් සිංහල සාහිත්‍ය සේව­නය අත්හැර නැහැ. නිර්මා­ණ­ක­ර­ණය අත්හැර නැහැ.

සත්කුළු මතින් ගීතය නිර්මා­ණය වෙන්නෙ අරුණ ගුණ­ව­ර්ධන, හර්ෂණ දිසා­නා­යක, කියන දක්ෂ තරුණ නිර්මා­ණ්ක­රු­වන් දෙදෙ­නාගේ ඍජු දාය­ක­ත්ව­යෙන්. එංග­ලන්තෙ ජීව­ත්වෙන මට මගෙ අම්මා අස­නීප වෙලා කියලා දැන­ගෙන ඒ මොහොතෙ ඇයව දකින්න එන්න බැරි වීම නිසා උපන් කම්ප­යෙන් ලියැ­වුණු කවි­පෙ­ළක් තමයි අරුණ සහ හර්ෂණ ගීත­යක් බවට පරි­ව­ර්ත­නය කළේ. ඔවුන්ගේ නිර්මාණ දාය­ක­ත්වය අති­ශ­යින්ම විශි­ෂ්ටයි. වෘත්තී­ම­යයි. අම්මාට අපව අවශ්‍ය මොහොතෙ ඇයව බලන්න මවු රටට එන්න බැරි වීමේ යථා­ර්ථය පිළි­බඳ කම්ප­නය විදේ­ශ­ගත වෙලා ඉන්න බොහෝ දෙනෙ­කුට දැනෙ­නවා. මේ ගීතය ඔවුන් මේ තරම් තදින් වැල­ඳ­ගන්න ඇත්තෙ ඒ නිසා.

ඔබගේ නිර්මාණ ඇතු­ළත් අරු­ණෝද සීයක් කවි පොත පසු­ගිය 27 දා කොළඹ සර­ස­වි­යෙදී එළි දැක්කා. මේ ඔබේ පළමු කවි පොත ද?.

ඔව්. අරු­ණෝද සීයක් කෘතිය ඇතුළෙ සංගෘ­හිත වෙලා තිබෙන්නෙ අවු­රුදු ගණ­නා­වක් තිස්සෙ ලියැ­වුණ කවි එක­තු­වක්. එය පොතක් ලෙස පසු­ගිය 27 දා එළි දැක්කා. එය මා සිංහල කවි­යට කරන ගෞර­වය හා ආද­රය පිළි­බඳ පුංචි ප්‍රකා­ශ­න­යක් පම­ණයි.

ඔබ පුරා වසර තිහක් වැඩි­පු­රම ගනු­දෙනු කළේ ඉංග්‍රීසි භාෂාව එක්ක. එහෙත් ඔබ අති­ශය විච­ක්ෂණ විදි­හට සිංහ­ලය වහ­ර­මින් සිංහ­ලෙන් නිර්මා­ණ­ක­ර­ණයේ යෙදෙ­නවා.

අපේ රටේ බුද්ධි ප්‍රබෝ­ධ­යක් ඇති කළ ගෞර­ව­නීය විද්වත් පර­ම්ප­රාව ද්වීභා­ෂික අය. ඔවුන් ලෝකය එක්ක විච­ක්ෂණ විදි­හට ජාත්‍යා­න්තර භාෂා­ව­ලින් ගනු­දෙනු කරන අතරෙ ඒ අත්දැ­කී­මෙන් සිංහල සාහි­ත්‍යය පෝෂ­ණය කළ අත්දැ­කීම් අපට තිය­නවා. මේ පොළොව එක්ක හැදුණ, සිංහල භාෂා­වෙන් තමන්ගේ සංස්කෘ­තික රික­ල්ප­නය ගොඩ­න­ඟා­ගෙන මේ සංස්කෘ­තිය තුළ සමා­ජා­නු­යෝ­ජ­නය වුණු, විශේ­ෂ­යෙන්ම සිංහල භාෂා­වෙන් මූලික අධ්‍යා­පන ලබපු කෙනෙකු විදේශ ගතවූ විට මවු භාෂාව වැහැ­රීමේ ශූර­ත්වය හීන වෙනවා කියලා හිත­න්න­වත් එපා.

මගෙ තාත්තා විශ්ව­වි­ද්‍යාල ගුරු­ව­ර­යෙක්. ඔහු කොළඹ විශ්ව­වි­ද්‍යා­ලයේ අධ්‍යා­පන පීඨයේ හිටපු පීඨා­ධි­පති මහා­චාර්ය ඩබ්.ජී. කුල­රත්න. එතුමා හරිම සුන්දර රස­ව­තෙක්. අම්මා විද්‍යා ගුරු­ව­රි­යක්. ඇය සාහිත්‍ය කෘති­යක් තරම් පිරුණු කෙනෙක්. ඇය ආඩ­ම්බ­ර­යෙන් කියන්නෙ ඇයගේ පුතා වෛද්‍ය­ව­ර­යෙක් කියලා නෙමෙයි. ඔහු සංවේදී නිර්මා­ණ­ක­රු­වෙක් කියලා. ඔවුන් මගේ ළමා කාලය පුදුම විදි­හට අර්ථ­වත් කළා.

මගේ බිරිය බිනීෂා අද මට නිර්මාණකරණයට අවශ්‍ය පරිසරය හදලා දෙනවා. ඔවුන් මට මගෙ ජීවිතේ වටිනාම දේ දීලා තියෙනවා.

ජානක ලිය­න­ආ­රච්චි 

Comments