මාධ්‍ය ඔස්සේ වැඩි­පු­රම අස­න්නට දකි­න්නට ඇත්තේ හර­සුන් දේවල් | සිළුමිණ

මාධ්‍ය ඔස්සේ වැඩි­පු­රම අස­න්නට දකි­න්නට ඇත්තේ හර­සුන් දේවල්

 

 

අතොරක් නොමැතිව ඇසෙන අරුත් සුන් ඒකාකාරී සංගීතය මැද සුබාවිත ගීතය තුළින් සැබෑ රසඥතාවක් මතු කරලීමට ඇය ගන්නා උත්සාහය පැසසිය යුතුය. රසික සිත් නිම් වළලු පුළුල් කරමින් මියුරු ගී රැසක් සිංහල ගී කෙතට දායාද කළ ඇය විශාරද දීපිකා ප්‍රියදර්ශනී පීරිස් නම් වෙයි. තම සෞන්දර්ය ශිල්ප ශාලිකාව මඟින් සිසු දරුවන් රැසකට තමා දැන උගත් ශිල්ප ඥානය නිර්ලෝභීව බෙදා හදා ගැනීමටද ඇය නිරතුරු වෙහෙස වෙයි.

සුබාවිත ගීතයට අද නිසි තැනක් තිබේ යැයි සිතනවද ?

සුභාවිත ගීතයට අපේ රටේ හොඳ තැනක් තිබෙනවා. ඒක කවදාවත් නැතිවෙන්නේ නැහැ. එදා අපේ ප්‍රවීණයන් ගැයූ ගීත අදටත් පවතිනවා. සුභාවිත හොඳ ගීතයක් සවනත වැකෙන විට කොතරම් මිහිරක් අපට දැනෙනවාද. කලාව තුළ ගීතය හෝ වේවා නර්තනය හෝ වේවා ඒ සෑම දෙයකින් ම මිනිසා ආනන්දයෙන් ප්‍රඥාව කරා ගෙන යා යුතුයි. කලාව කියන්නේ රසිකයාගේ නිම් වළලු පුළුල් කරමින් රසඥතාව ඇති කළ යුතු තැනක් විනා එය මොට කරන තැනක් නෙමෙයි. එය රැකගනිමින් අපි සංගීතය තුළ නියැළෙනවා. එය කවදාවත් නතර වී නැහැ. ඩබ්ලිව්. ඩී. අමරදේවයන් අද අප අතර නැතත් එතුමන් ගායනා කළ ගීතයක් අහන්න අහන්න ආසයි. ඒවැනි ගීත බොහෝම කැමැත්තෙන් අසන සහ අසන්නට කැමති විශාල පිරිසක් සිටිනවා. නමුත් ඔබ ඇසූ ප්‍රශ්නයට පිළිතුරක් දෙනවා නම් අද ඇති වී තිබෙන්නේ සුබාවිත ගීතයට ඇති තැන නැතිවීමක් නොවේ. එවැනි හොඳ උසස් ගණයේ නිර්මාණ රසිකයාට අසන්නට මගක් නොලැබීමයි. නමුත් සමහර නාළිකා හරහා හොඳ වැඩසටහන් ඉදිරිපත් කරමින් සූභාවිත ගීතය රසිකයාට අසන්නට සලස්වන්න උත්සාහ කරන අයද නැතිවා නොවේ. ඒ අය විශේෂයෙන් මතක් කළ යුතු වෙනවා.

සුබාවිත ගීතය අසහන්නට නොලැබෙන්න ප්‍රවීණයන් නව ගීත නිර්මාණය කිරීම අඩුවීමත් බලපානවා නේද?

නැහැ. කිසිසේත්ම නැහැ. ප්‍රවීණයන් ලෙස අප ඕනෑ තරම් ගීත නිර්මාණය කරනවා. මම පසුගිය කාලයේම හොඳ ගීත රාශියක් නිර්මාණය කළා. නමුත් තිබෙන ප්‍රශ්ණය ඒවා ප්‍රචාරය නොවීමයි. අද බොහෝ නාළිකාවලින් අසන්නට ලැබෙන්නේම හරයක් නැති ගීත . අපි හොඳ පදමාලාවන් හොයාගෙන ඒවාට මිහිරි තනුවක් හදාගෙන බොහොම මහන්සි වෙලා උසස් මට්ටමේ ගීත නිර්මාණය කළාට ඒවා රසිකයන් අතරට රැගෙන යන්න මඟක් නැති වෙලා. නාළිකාවලින් ඒවා ප්‍රචාරය වෙන්නේ නැහැ. අපේ පැරණි ගීත ටික විතරක් ප්‍රචාරය කරන මට්ටමක් ඇති වෙලා. ඒ නිසා අද අපේ අලූත් ගීත රසිකයා අතරට රැගෙන යන්න වෙලා තිබෙන්නේ සමාජ මාධ්‍ය ජාලා වගේ දේවල් හරහායි. ඒක අප වැන්නවුන්ට පමණක් නොවේ. උසස් නිර්මාණයන් රස විඳිමට කැමැති විශාල පිරිසකට කරන අසාධාරණයක් වෙලා.

නමුත් අපේ එවැනි අලූත් හොඳ නිර්මාණ කෙසේ හෝ සොයාගෙන ඒවා අහන පිරිසක් අද වෙනම බිහිවෙලා. ඒ අයගේ ප්‍රතිචාර නම් පුදුම සහගතයි. ඔවුන් තුළ හොඳ රසඥතාවක් තිබෙන බව මම දුටුවා.

පසුගිය කාලයේ මම විශාල මුදලක් වියදම් කරලා ගොඩක් මහන්සි වෙලා ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂක ජයන්ත චන්ද්‍රසිරි සමඟ ‘බුදු නෙතින් දකින්නට සංගායනාවකට කාලයයි‘ කියන මගේ නවතම ගීතයට රූප රචනාවක් පවා කරලා එළිදැක්වූවා. එය රචනා කළේ නවකයකු වන මහින්ද නාමල්. සංගීතවත් කළේ කරුණාරත්න විජේවර්ධනයන්. මෙතරම් මහන්සි වෙලා කළ එම ගීතය බෞද්ධයා- ශ්‍රද්ධා- ජාතික රූපවාහිනිය හැරෙන්න කිසිම නාළිකාවකින් ප්‍රචාරය වුණේ නැහැ. යම් දුකක් මේ ගැන තිබුණත් අපි නිර්මාණ කරන එක නතර කරලා නැහැ. ගිය වසරේදීත් ‘මගේ ජීවිතේ’ කියා ගීත එකතුවක් මාධ්‍ය සඳහා මුදා හැරියා. 2019 වසරටත් අලූත් පරපුරත් එක්ක එක්ව නව ගීත ගොන්නක් එළි දක්වන්න මම බලාපොරොත්තු වෙන්නෙත් මේ කාරණාව පෙරදැරි කරගෙනයි. මම ආරාධනා කරනවා අලූත් ගී රචනා කරන අයට හොඳ ගී පදමාලාවන් මා හට ලැබෙන්නට සලස්වන්න කියා.

සංගීතය හැදෑරීමට කැමති අයට ඒ සඳහා සෞන්දර්ය ශිල්ප ශාලිකාව නිරන්තරයෙන් විවෘතයි. පෙර පාසලේ සිට 5 වසර දක්වා ගායන වාදන පුහුණුවලද තරුණ දරුවන්ට භාත්කණ්ඩේ සංගීත විද්‍යා පීඨ ප්‍රවේශිකා ප්‍රථම ඩිප්ලෝමා විශාරද සහ සංගීත් නිපුන් පාඨමාලාවන් ගායනය සහ සංගීත භාණ්ඩ වාදනය යන අංශ දෙකෙන්ම ඉගැන්වීමේ කටයුතු මෙන්ම රජයේ සියලූම සංගීත විභාගයන් සඳහාද ඉගැන්වීම මේ මඟින් සිදුවෙනවා. ඒ සඳහා කැමති සිසු සිසුවියන්ට දැන් අප හා එක්විය හැකියි.

කලාකරුවක් වීමට ඔබ ලැබූ පූර්වාදර්ශය මොන වගේද?

ඇත්තටම අප කුඩා කාලයේ අසන්නට ලැබුණේ ගුවන් විදුලිය පමණයි. එයින් ප්‍රචාරය වුණු ගීත උසස් ගණයේ ඒවා වුණා. ඒ ගීත සවනත වැකෙන විට තිබුණේ බොහොම චමත්කාරයක්. අමුතුමක ලොවකට අපිව ඒ ගීත රැගෙන ගියා. ඒ රැගෙන ගිය මාර්ගය අයහපත් එකක් වුණේ නැහැ. ඒ උසස් නිර්මාණයන් කළ ප්‍රවීණයන් සහ නිර්මාණ ඇත්තටම අපිට පූර්වාදර්ශයන් වුණා. අප වැන්නවුන් පවා බිහිවීමට එය සැබැවින් ම අත්වැලක් වුණා. සංගීත ක්ෂේත්‍රයට පමණක් නොවේ ඕනෑම ක්ෂේත්‍රයකට යහපත් පූර්වාදර්ශයන්හෝ මඟපෙන්වීමක් අත්‍යවශ්‍යයි.

අපට ඒ දේ ඒ ආකාරයෙන් ම ලැබුණු නිසා අදටත් පවතින යමක් තරන්නට හැකිව තිබෙනවා. නමුත් අවාසනාවකට මාධ්‍ය ඔස්සේ වැඩිපුරම අසන්නට දකින්නට ඇත්තේ හරසුන් දේවල් නම් නවකයින්ට එතැනින් ගත හැකිව ඇත්තේ යහපත් පූර්වාදර්ශයක් නොවේ. ඒ නිසා ක්ෂේත්‍රයට පිවිසෙන්න ඉන්නා දරුවන් මීට වඩා සවිඥානක විය යුතුයි අයහපත් දේ සහ යහපත් දේ අතර වෙනස වටහා ගන්න. එවැනි වටහා ගැනීමකින් හොඳ පූර්වාදර්ශයන් සොයා ලබා ගත හැකියි. එපමණක්ම නොවේ කලාකරුවන් වශයෙන් ඉටුවිය යුතු යුතුකම් සාරධර්ම පවා රැකගනිමිනුයි ඉදිරියට යායුත්තේ. අප සංගීත කටයුතු කරනවාට අමතරව එවැනි කටයුතු පවා සිදුකරන බව විශේෂයෙන් කිව යුතුයි.

ඒ කටයුතු මොනවාද?

මට මතකයි ප්‍රවීණ මාධ්‍යවේදියකු සහ කලාකරුවකු වන දිවංගතත ධර්මසිරි ගමගේ මහතා සමඟ ඉස්සර ඈත දුෂ්කර ගම්වලට ගොස් විවිධ ජනකොටස් සමඟ වැඩමුළු පවත්වමින්, නිදර්ශන ගායනා ඉදිරිපත් කරමින්, දේශන පවත්වමින් අපි එක්ව වැඩ කළා.

එතුමන් මිය යන්නට ප්‍රථම අපි මෙවැනි වැඩසටහන් ඉදිරියට ගෙන යන්න සාකච්ඡා කළා. ඒ අදහස මල්පල ගන්වමින් ‘දීපශිකා’ කියා පදනමක් අප පසුගිය ඔක්තෝ්බර් මාසයේ ආරම්භ කළා.

එතුමන්ගේ නැගණිය වන ලතා ගමගේ මහත්මිය සහ නිමල් ගමගේ මහතාගේ උදව් ඇතිව පසුගිය දිනෙක පළමු පියවර වශයෙන් දුෂ්කර පාසලක් වුණු කෑගල්ල දෙහි / වී ඔය කනිෂ්ඨ විද්‍යාලයට අත්‍යවශ්‍යවම තිබුණු පොත් පත් රාශියක් වගේම සංගීත භාණ්ඩ පරිත්‍යාග කරමින් විශේෂ වැඩසටහනක් පැවැත්වූවා. නැසී ගිය ප්‍රවීණ සංගීතඥ ඩී ඩී ඩැනී මහත්මයාගේ පුත්‍රයා විසින් ඒ මහතා පරිහරණය කරන ලද බටනළා වැනි සංගීත භාණ්ඩ පවා එහි දී පරිත්‍යා කළා.

මාධ්‍යවේදී සමන් ප්‍රියංකර මහතාත් මේ සඳහා සහභාගී වුණා. මේ වසරේ මගේ පෞද්ගලික ජීවිතයේ සිදුවූ වෙනසත් සමඟ මගේ ස්වාමියා වන චාමික කුමාරගෙන් මට ලොකු සහයක් මේ වැඩ කටයුතු සඳහා ලැබෙනවා.

Comments