විලුඹ වේදනා ගෙන දී ඇවිදීම අපහසු කරන “වාත කණ්ඨක” වදයෙන් මිදෙමු | සිළුමිණ

විලුඹ වේදනා ගෙන දී ඇවිදීම අපහසු කරන “වාත කණ්ඨක” වදයෙන් මිදෙමු

ආයුර්වේද වෛද්‍ය පවන් පූර්ණ විජේරත්න

BAMS ( කොළඹ විශ්ව විද්‍යාලය )

“උදේට ඇඳෙන් බහින්න බෑ….. යටි පතුලේ විලුඹ හරියේ කටුවක් ඇනෙනවා වගේ, ලොකු වේදනාවක් එනවා… හැබැයි ටික වේලාවක් යද්දී ඒ වේදනාව අඩු වෙනවා "තරුණ විය ඉක්මවමින් මැදිවිය කරා ළං වන බොහෝ දෙනෙකුට මතු වන මේ සෞඛ්‍ය ගැටලුව රෝගයක් සේ සලකා ප්‍රතිකාර පතා එන්නෝද, නොසලකා හැර එදිනෙදා කටයුතු සිදු කරන්නට උත්සහ කරන්නෝද සුලභය.

ආයුර්වේද හඳුන්වාදීම් අනුව මේ රෝග තත්ත්වය “වාත කණ්ඨක” තත්ත්වයන් ලෙස විස්තර කෙරේ. අතීතයේ දී වාත කණ්ඨක තත්වයන් ඇති වීමට බලපෑ හේතු කිහිපයක් තිබුණ ද, සංකීර්ණ ජීවන තත්ත්වයන් සහ ක්‍රියාකාරකම් හේතුවෙන් මේ වන විට රෝගයට හේතු වන මිනිස් ක්‍රියාකාරකම් ගණනාවක් හඳුනාගත හැකිය.

යටිපතුල ආශ්‍රිතව ඇති වන “වාත කණ්ඨක”රෝගාබාධයනට හේතු වන්නේ අධික තරබාරු තත්ත්වයත්, නිතර සිටගෙන සිටීම, අඩි උස පාවහන් නිතර පැලඳ සිටීම, අනිසි ලෙස ශරීරය මෙහෙයවමින් බර එසවීම, වෙහෙසව ක්‍රීඩාවෙහි යෙදීම, නර්තනයෙහි යෙදීම වැනි ක්‍රියාකාරකම්වල යෙදීමත්ය. මේ රෝගයේ සුලභ ලක්ෂණ ලෙස දැක්විය හැක්කේ ඇවිදින විට විළුඹ වේදනාව දැනීම, රාත්‍රි නින්දෙන් පසුව උදෑසන ඇවිද යෑමේදී අඩිය තැබීමේ දී ඇති වන අපහසුතා, විළුඹ පැළීම, විළුඹ ගනවීමයි.

කාන්තා පිරිමි භේදයකින් තොරව මේ රෝගය ඇති වන තත්ත්වයක්‌ තිබේ. ඇතැම් අවස්‌ථාවන්හි දී වළලුකර ආශ්‍රිතව ඇති වන වේදනාව පාදයේ උඩු පතුලේ අස්‌ථි (Meta tarcels) කරා ද යොමු වන තත්ත්වයක්‌ ඇති විය හැකිය.

ආමවාතයේ සන්ධි ප්‍රදාහ වන එක් අවස්ථාවක් ලෙස ද මෙය හැඳින්විය හැකිය. පයක් ඔසවා පයක් තබන විට විළුඹ ඇදෙනසුලු වීම නිසා කණ්ඩරාවල ඇදීමක් සිදු වූ විට ද විළුඹ වේදනාව හටගනියි. ප්‍රධාන හේතුව ලෙස සම අභ්‍යන්තරයේ තිබෙන මෘදු පටක ආසාදනයට ලක් වූ විට ද එවැනි වේදනාවන් හටගැනීම සිදුවිය හැකිය.

රුක්පාදේ විෂම්න්‍යස්ථේ

- ශ්‍රවාද්වා ජායතේ යදා

වාතේන ගුල්පමාශ්‍රිත්‍ය

- තමාග්‍රර් වාත කණ්ඨකම්

යනුවෙන් “වාත කණ්ඨක” විග්‍රහ කිරීමට ආයුර්වේද මූල ග්‍රන්ථයන්හී දැක්වෙන කරුණු අනුව අපරදිග වෛද්‍ය විද්‍යාවේ osteopyte තත්වය හා plantar fasciitis යන තත්වයන් ද්වයේම සම්මිශ්‍රිත අවස්ථාවක් ලෙස සරලව පෙන්වා දිය හැකිය. අපගේ දේශිය වෛද්‍ය ක්‍රමවලදී ද මේ රෝග තත්වය “වාත කටුව” නමින් විග්‍රහ කර තිබේ.

වයසට යත්ම ස්වභාවිකව හෝ බාහිර සාධක මත පතුල්වලට සිදු වන විවිධ අනතුරු, ධාවනය, නර්තනය වැනි අධි ක්‍රියාකාරීත්වය, අධික තරබාරුව, විසම වූ ආහාර වර්ග නිසා ඇති වන වාත කෝපය, කැල්සියම් අධික ආහාර ගැනීම, සන්ධිගත වාත , ආම වාත , වාත රක්ත තත්වයන් පැවැතීම වැනි හේතු මත “වාත කණ්ඨක” රෝගය මතු විය හැකිය. මෙහිදී ආරම්භක අවස්ථාවේම ප්‍රතිකාර ගැනීමන් රෝගය පාලනය කර නිට්ටාවට සුව කර ගැනීමේ හැකියාවක් ඇති අතර පමුකාලීන අවස්ථා වලදී ප්‍රතිකාර ලබා දුන්නද යළි රෝගය මතු විමේ අවධානමක් පවතී.

ඇත්ත වශයෙන්ම “වාත කණ්ඨක” රෝගය යනු ඉහත හේතූන්වල දී පාදයේ අස්ථි හෝ කණ්ඩරාවලට වන හානි වීම්, ශරිරය විසින්ම යළි සකසාගැනීම සඳහා දරන උත්සාහයේ දී එම හානි වූ කොටස් ප්‍රතිනිර්මාණය වීම ඉක්මවා යමින් සිදු වන අස්ථි වර්ධනයන්ය. ඒවා අස්ථි ගැටිති ලෙස හෝ මාළු කටු වැනි සියුම් විහිදීම් ලෙස හෝ වර්ධනය වේ. රෝගියෙකුගේ එක්ස් කිරණ පරික්ෂාවක දී මේ ලක්ෂණ පැහැදිලිව හඳුනාගත හැකිය.

හොඳින් ජලය පානය කිරීමත්, නැවුම් එළවළු පලතුරු ආදිය වැඩි වශයෙන් ආහාරයට එකතු කරගැනීමත්, සිරුරේ බර පාලනය කර ගැනීමත් මඟින් එම රෝග තත්ත්වයන් අනිවාර්යයෙන් වළක්වා ගත හැකිය. එසේම පාදවලට නිසි විවේකයක් දීම, වළ ගොඩැලි සහිත බිමෙහි ඇවිදීමෙන් වැළකීම, උෂ්ණාධික ආහාර පානවලින් වැළකීම, අධි කැල්සියම් කිරිපිටි භාවිතයට නොගැනීම මඟින්ද මේ රෝගයෙන් දුරස් වීමේ හැකියාව අපට ලැබේ.

එහෙත් කිසිවෙකුට මේ රෝග ලක්ෂණ මතු වේ නම් වහාම සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු වෙත යොමු වී ප්‍රතිකාර ගැනීම කළ යුතුය. ආයුර්වේදයේ ද, දේශීය වෙදකමේ ද මෙම රෝගය සඳහා නිශ්චිත ප්‍රතිකාර පවතී.

පෙරදිග ප්‍රතිකාර ක්‍රමයට අනුව වාත කණ්ඨක රෝගය මුළුමනින්ම සුව කිරීම සඳහා බාහිර මෙන්ම අභ්‍යන්තර ඖෂධ ප්‍රතිකාර යෙදීම අත්‍යවශ්‍ය වේ.

එක් එක් රෝගියාට අනුව ප්‍රතිකාර ක්‍රම වෙනස් වන අතර ගුල්ඵ සන්ධිය අවට ශිරා විද ලේ ඉවත් කිරීම හෙවත් රක්තමෝක්ෂණය , ගින්නෙන් රත් කළ කටුවලින් හෝ ගල්වලින් තැවීම, තෙල් ගැල්වීම හා තැවීම , ඖෂධීය වාෂ්ප ඇල්ලීම , මැල්ලුම් පත්තු බැඳීම , සම්බාහන ක්‍රම ආදිය බාහිර ප්‍රතිකාර විධි ලෙස සිදු කෙරේ. මීට අමතරව අභ්‍යන්තර ප්‍රතිකාර ලෙස තිදොස් සමනය කරන ගුලි , කල්ක , චූර්ණ , කෂාය ආදිය අවස්ථානුකූලව ලබාදේ. “වාත කණ්ඨක” තත්ත්වයන් නිවැරැදිව හඳුනාගත් විට නිවසේ දී සිදු කරගත හැකි බාහිර ප්‍රතිකාර විධි කිහිපයක් ගැමි ජනයා අතර ප්‍රචලිතය.

දේශිය සිංහල වෙදකමේ දී භාවිතා වන මේ ප්‍රතිකාර ක්‍රම මඟින් “වාත කණ්ඨක” රෝග පීඩාවන් අවම කරගැනීමේ හැකියාව රෝගීන්ට ලැබෙනු ඇත.

බැලතණ , ගොරකා තැම්බූ වතුර භාජනයකට විනාකිරි ස්වල්පයක් දමා ඊට පාද බහා තැබීම ඒ අතරින් ජනප්‍රියතම ප්‍රතිකාර විධියකි. එසේම බැලතණ , අමුකහ , ගස්ලබු දළු , ලුණු කොටා මලවා වේදනා දෙන ප්‍රදේශය ආශ්‍රිතව මැල්ලුම් බැඳීම ද, අබ , විනාකිරෙන් අඹරා වේදනා දෙන ප්‍රදේශය ආශ්‍රිතව පත්තුවක් සේ බැඳ රත්කරගත් තිරුවාණා ගල් කැබැල්ලකින් පත්තුවට පිටින් තැවීම ද “වාත කණ්ඨක” සඳහා සුදුසු වෙනත් දේශිය ප්‍රතිකාරයන්ය.

වඩා වැදගත් වන්නේ රෝගයට ප්‍රතිකාර කිරීමට වඩා රෝගය වළක්වාගැනිම වන බැවින් ඒ සඳහා කටයුතු කිරීම, අවශ්‍ය විහරණයන් පිළිපැදීම තරුණ විය ඉක්මවා මැදිවියට එළැඹෙන සැමගේ අපේක්ෂාව විය යුතුය. ඒ සඳහා ඔබට පිටුවහලක් සැපයීම අපගේ බලාපොරොත්තුවයි.

 

Comments