
විද්‍යාත්මක සහ තාක්ෂණික අතින් ලොව නවීකරණය වුව ද එදා පැවැති ඇදහිලි හා විශ්වාස තවමත් අප රටේ ගැමි සමාජයේ අලුයට සැඟවුණු ගිනි සේ පවතී. එනිසාම දෝ සිනමාව හා කලාව හරහා වුව එම ඇදහිලි හා විශ්වාසයනට නැවත පණ ලබාදෙමින් මහජනතාව අතරට ඒවා ගෙන එන්නට කටයුතු කරන අයුරු වත්මන් සමාජය දෙස විමසිලිමත් වීමේදී පෙනී යයි. මේ අතුරින් කළු කුමාර දිෂ්ටිය යන සංකල්පය අනාදිමත් කාලයක සිට අප රෙට් සාම්ප්‍රදායික ගැමි සමාජයේ එල්බ ගත්තකි. කළු කුමාර සංකල්පය අළලා චිත්‍රපට පවා නිපදවෙන වකවානුවක සැබෑවටම කළු කුමාරයා යනු කවරෙක් දැයි සොයා අපි විමසුමක යෙදුණෙමු. ඒ කළු කුමාර සංකල්පය පිළිබඳ පර්යේෂණ සිදුකළ සම්මානිත මහාචාර්ය ලයනල් බෙන්තර ගේ සමඟය. මේ කළුකුමාරයා ගැන ඔහු පවසන කතාවයි.
කවුරුද මේ කළු කුමරයා?
කළු කුමාරයා කියලා කියන්නේ හිතේ ඇතිවන සංකල්පයක්ම තමයි. ගැමි සමාජයේ මෙයට පුද්ගල ස්වරූපයක් ආරෝපණය කර තිබෙනවා. ඒ ශාන්තිකර්ම, වෛද්‍ය ශාස්ත්‍ර, ගුප්ත විද්‍යාව හා සම්බන්ධව කටයුතු කරන පුද්ගලයින්ම තමයි. යම් කෙනෙකුට නිකන්ම මේ වගේ කළු කුමාරයෙක් ඉන්නවා කියලා වචනෙන් කියනවට වඩා මෙන්න මෙහෙමයි එයාගෙ හැටි, එයාගෙ පාට මෙහෙමයි, එයාගෙ වීර වික්‍රමාන්විත වැඩ මෙහෙමයි. එයාගෙ බලය මෙහෙමයි, එයා සිදු කරන අපල උපද්‍රව මෙහෙමයි. ලෙඩ රෝග මේ වගෙයි කාට ද මෙයා උපද්‍රව කරන්නේ, යනාදී ලෙස කළු කුමාරයා පිළිබඳ කියැවෙන විස්තරාත්මක සාහිත්‍යයක් අපේ ගැමි සමාජය ආශ්‍රිත ශාන්ති කර්ම කලාවේ ගොඩනැඟී මුල් බැසගෙන තිබෙනවා.
මේ විශ්වාස අනුව කළු කුමාරයා වැඩි වශයෙන් ම බලපෑම් කරන්නේ කාන්තාවන්ට. පිරිමින්ටත් බලපෑම් නොකරනවා නොවෙයි. කාන්තාවන්ට නොයෙක් උපද්‍රව හිරිහැර කරන යක්ෂයෙක් විදිහට තමයි කළු කුමාරයා හඳුන්වන්නෙ.
කළු කුමාර යක්ෂයා දරුවන් ලබන්නට සිටින කාන්තාවනට, ගැබ් ගත් කළල විනාශ කිරීමට දරු උපතින් පසු වැදුම් ගෙයි සන්නිය, අධික රුධිර වහනය ඇතිවීමට වගේ ම කාන්තාවනට දරු උපත් ඇති නොවීමට විවිධ උපද්‍රව සිදුකරන බවත් විශේෂයෙන් ම තනිපංගලමේ දියකඩිති අසල මල්වර වන යුවතියන්ට, මාස් ශුද්ධිය ඇති දවස්වල ඇඳුම් එළිමහනේ වැනීමෙන් වගේ ම ගොම්මනේ රෙදි සෝදන, ගොම්මනේ එහෙමෙහෙ යන එන කාන්තාවනට වගේ ම පිරිමි උදවියට ද මේ යක්ෂයාගෙන් යම් බලපෑම් ඇතිවෙන බවට ගැමි ශාන්තිකර්ම සාහිත්‍යයේ විශ්වාස මතවාද පවතිනවා.
මේ උපද්‍රව නිසාම උපන් බිලිඳා සහ මව වගේම තරුණ යුවතියන් කළු කුමාර යක්ෂයාගෙන් ආරක්ෂා කර ගැනීමට ගැමි සමාජය මේ යක්ෂයාගේ ම පිහිට නිතර බලාපොරොත්තු වුණා. එනිසාම මේ ආතුරයන් වෙනුවෙන් ලංකාවේ විවිධ පළාත්වල කළුකුමාර යක්ෂයා වෙනුවෙන් වත්පිළිවෙත් සිදුවෙනවා. විශේෂයෙන් ම තොවිල් පවිල්.
මේ අතරින් බෙන්තර ප්‍රදේශයේ කළු කුමාර යාග පිළිවෙත ගැන වඩාත් ප්‍රසිද්ධියක් උසුලනවා. බෙන්තර ආශ්‍රිතව කළු කුමාර යාග පිළිවෙත කියලා බෙන්තරටම ආවේණික වූ ශාන්ති කර්ම රටාවක් තිබෙනවා. කළු කුමාර සමයම කියලා එය හඳුන්වනවා. මෙහිදී මුලින් ම සිදුකරන්නේ කළු කුමාරයා වෙනුවෙන් කුමාර කළසක් සකස් කිරීමයි. මැටි කලයක් අරගෙන එයට ගොත් තෝඩු (යක් තෝඩු) පහක් බැඳලා පොල්මලක් දාලා, ඇට වර්ග, බිත්තරයක්, පඩුරු වැනි අවශ්‍ය කරන පූජා ද්‍රව්‍ය යොදලා කළසක් සකසනවා. ඉන්පසුව අදාළ ආතුරයා නිදාගන්නා ඇඳ විට්ටමේ හෝ වහලයක ආතුරයාට නිතර පෙනෙන ස්ථානයක එල්ලා තබනවා. එය තමයි කළු කුමාර යාග පිළිවෙතේ මූලික අවස්ථාව.
මේ කළස එල්ලූ විට ආතුරයාගේ හිත සුවපත් වෙනවා. මට කළුකුමාරයාගෙන් කිසිම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ කියන දේ ඇගේ හිතට දැනෙනවා. ඒ විශ්වාසය මත ආතුරයා කටයුතු කරන්න පටන් ගන්නවා. ඉන්පසුව අදාළ කාල සීමාව පසු වූවාට පසුව කළු කුමාරයා වෙනුවෙන් තොවිලයක් පවත්වනවා. එයට කළු කුමාරයාගේ බලියක් අබලා, පිදේනි දීලා වත්පිළිවෙත් කරනවා. මේ කළුකුමාර සමයම ඒ ඒ පළාත්වල විවිධ නම්වලින් හඳුන්වනවා. බෙන්තරදී සිදුවන කළුකුමාර යාග පිළිවෙත මාතර පළාතෙදි හඳුන්වන්නේ රටයකුම එහෙම නැත්නම් රිද්දි යාගය ලෙසයි. ඒ ශාන්ති කර්මය පවත්වමින් ඔවුන් කරන්නේ මේ කළුකුමාර යාගයම තමයි. නමුත් මෙහිදී ඒ පළාතට ආවේණික වූ වෙනත් ශාන්ති කර්මවල ආභාෂයෙන් පෝෂණය වුණු ශාන්තිකර්ම විධි තියෙනවා. ඒ පළාතෙත් කළුකුමාර බලියක් අඹනවා. ඒ බලියත් අනෙක් පළාත්වල අඹන කළුකුමාර බලියත් එක වගෙයි. උඩරට සබරගමු පළාත්වලත් මේ වගේ ම තමයි.
කළු කුමාරයා හඳුන්වන නම් බොහෝ ප්‍රමාණයක් තිබෙනවා. ඒ නම් පවා පළාතෙන් පළාතට වෙනස් වෙනවා. ප්‍රධාන වශයෙන් යක්කු පස්දෙනෙක් ගැන කියවෙනවා. කළු යකා, රීරි යකා, මහසෝනා හා අභිමානා ඒ අතරින් කිහිප දෙනෙක්. නමුත් කළුකුමාර යක්ෂ යයි කළු යකයි කියන්නේ දෙදෙනෙක්. කළු කුමාරයාව නම් තිහකට වැඩි ගණනකින් හඳුන්වනවා. කළු කුමාර, නීල මදන කළු කුමාර, කළු කුමාර දේවතාව, කළු සාමි, කුමාරයකු, රට යකා, සන්ති කුමාර, වෙල්ලස්සේ බණ්ඩාර, මනමාලයා, කඩවර, කළු යකු වගේ තවත් නම් ගණනකින් කළුකුමාරයා හඳුන්වනවා. ඒ වගේ ම කළු කුමාරයාට තවත් අවතාර හතක් ඇති බවත් ගැමි නාටකය පොතේ සඳහන් වෙනවා. අඳුන්කුමාර, මල්කුමාර, වාත කුමාර, සපුමල්කුමාර, සොහොන් කුමාර ආදී වශයෙන්. ගැමි විශ්වාසය අනුව නම් අවතාර 5 ක් පමණයි තිබෙන්නේ.
කළු කුමාරයා කියන්නේ කළු පැහැති, රාගාධික ඇඟක් සහිත කුමාර පෙනුමක් ඇති බෙල්ලේ නයෙක් සහිත අත් හතරකින් යුක්ත එක අතක කාන්තාවක් ද අනෙක් අතේ දරුවෙක් ද තවත් අතක කඩුවක් ද දරාගත් රුවක්.
සෙංකඩගල කළුකුමාර උපත, උඩුගම්පල කළුකුමාර උපත, බොක්සැල් උපත, රට යැකුම, නිල මදන කළුකුමාර උපත ලෙස කළු කුමාරයාගේ උත්පත්ති කතා පහක් පමණ ශාන්ති කර්ම සාහිත්‍යයේ පවතිනවා. සෙංකඩගල කළුකුමාර උපතට අනුව මහනුවර යුගයේ රජ කෙනෙක් වටා තමයි මේ කතාව ගෙතෙන්නේ. මේ රජුගේ පුතා කොණ්ඩ කුරුල්ලෙක් හිරකරගෙන මැරුවයි කියන සිදුවීම නිසා රජු තම පුතාගේ බෙල්ල කපා කුමරා විනාශ කළා කියන මතයක් තිබෙනවා. මිය ගිය කුමරා මරණින් පසු දේවත්වයට පත්වී කළුකුමාර දෙවියන් බවට පත් වුණා කියලා ඔවුන් විශ්වාස කරනවා.
ඒ වගේ ම උඩුගම්පල කළු කුමාර උපතට අනුව කියවෙන්නේ සකල කලා වල්ලභ රජුට සිදුවූ උපද්‍රවයක් ගැන. රජු මරවන්න යුව රජු රජු ස්නානය කරන පොකුණේ උල් සිටුවා තිබෙනවා. රජු ස්නානයට ගිය විට උල් තුඩක මැස්සකු වසා සිටිනවා දැක ඒ ගැන විපරම් කර තිබෙනවා. රජු මරන්නට දියත් කළ කුමන්ත්‍රණය හෙළි වී යුවරජු සහ එයට උපකාර කළ සෙබළා පැන ගොස් තිබෙනවා. අනතුරුව රජුට හසුවේ යැයි බියෙන් සමනල කන්දේ උණු දිය පර්වතයෙන් පැන යුවරජ දිවි හානිකර ගෙන තිබෙනවා. ඔහු මරණින් පසු කළු කුමාරයා බවට පත් වුණා කියන සංකල්පය තමයි මේ ප්‍රදේශයේ විශ්වාසය වන්නේ. ශාන්ති කර්ම සාහිත්‍යයේ එය ඉතා විචිත්‍රවත් ලෙස පද්‍යාවලි ඔස්සේ විග්‍රහවෙනවා.
ඊළඟට බොක්සැල් උපත ලෙසත් කළු කුමාර උපත හඳුන්වා තිබෙනවා. අනුරාධපුරයේ බොක්සැල් පුරවරයේ දී කළු කුමාර උපත සිදුවූ බවට විශ්වාස කෙරෙනවා. එයට අනුව වටදා ගෙයක මහණ දම් පුරන්නෙක් තරුණ රූමත් යුවතියක් දැක සිතුවිලිවලින් එක්වී ඔවුනට දරුවෙක් බිහිවෙනවා. මේ දරුවාත් මහණ දම් පුරන්න යනවා. ඉතා අඩු වයසෙන්. මේ වනවිට රූමත් කතක් මේ මහණදම් පුරන්නා ඉදිරියෙන් යනවා. සිතුවිලිවලින් ඒ කාන්තාව සමඟ සම්බන්ධ වෙනවා. පසුව ඒ තම මව බව දැන වටදා ගෙයින් පැන මැරෙනවා. පසුව ඔහු කළු කුමාරයා ලෙස උපත ලබනවා. කළු කුමාරයා ගැන වටකුමාර උපත ලෙස ප්‍රසිද්ධ වන්නේ මෙයයි. ඊට අමතරව රට යැකුම ඔස්සේ කළු කුමාර උපත සිදුවන්නේ, රජකු යුද්ධයට ගොස් එයින් ජයග්‍රහණය කර තම බිසවුවරුන් රවටන්නට කළු කොඩියක් ඔසවා ගෙන පැමිණි නිසා යුද්ධයෙන් පරාජවී යැයි බියට පත් බිසව්වරු ගලකින් පැණ සිය දිවි හානිකර ගැනීමෙන් වේදනාවටත් වෛරයටත් පත්වී අවසානයේ යක්ෂයෙක් බවට රජු පත්වුණ බවයි. නීල මදන කළු කුමාර උත්පත්ති කතාවට අනුව කළුකුමාර උපත ගජබා රජුගේ කාලයේ ඇති වූවක්.
ගජබා රජතුමාගේ කාලයේ මේ රට ඉන්දියාවේ රජකු ආක්‍රමණය කර තිබෙනවා. මෙහිදී ලංකාවේ දෙළොස් දහසක් දෙනා වහලුන් ලෙස ඉන්දියාවට රැගෙන ගියාලු. මේ පිරිස ගලවා ගන්නට ගජබා රජු නීල මදන කුමාරයා සමඟ ඉන්දියාවට මුහුද දෙබෑකර ගෙන ගිහින්. ඉන්දියාවේ රජු හා සටන් කර ලංකාවෙන් ගෙන ගිය දොළොස් දහසක සේනාව වගේ තවත් වැඩිපුර දොළොස් දහසක සේනාවක් ද ගෙන නැවත ලංකාවට එන ගමනේදී මේ නීල මදන කුමාරයා ඉන්දියාවේ එක් ගම්මානයට ගොස් තිබෙනවා. එහි සිට ඇත්තේ කාන්තාවන්ට පමණයි. පිරිමියෙක් ඔවුන් දැක තිබුණේම නැතිලු. මේ නිසා නීල මදන කුමාරයාට ඇති වූ ආශාව නිසාම කාන්තාවන් ඔහු අතපත ගාන්න පටන් අරගෙන. මෙතැන දී කාන්තාවන් ගෙන් වුණු අන්ත දුක් පීඩා නිසාම නීල මදන කුමාරයා මිය ගිහින්. ඒ කාන්තාවන් කෙරෙහි ඇතිවුණු වෛරයෙන්. මෙයින් පසුව ඔහු කළු කුමාරයා වෙලා ඉපදුණු බවට මතයක් විශ්වාසයක් පවතිනවා.
මේ කළු කුමාර දිෂ්ටිය හැදුණහම, තරුණ කාන්තාවන් නම් අසාමාන්‍ය ලෙස හිනාවෙන්නට ගන්නවා. ඔමරි කරනවා. හිත ඇතුළෙ තිබෙන දේ එළියට දාගන්නට බැරිව ගොම්මනේ කල්පනා කරමින් ඉන්නවා. ආරූඪ වෙනවා. බලාගත් අත බලාගෙන සිටිනවා. මේ වගේ ලක්ෂණ තරුණ යුවතියන්ගෙන් ප්‍රකට වෙනවා. ඒ වගේ ම පිරිමින්ටත් කළු කුමාරයාගෙන් යම් යම් බලපෑම් ඇති වන අවස්ථා තිබෙනවා. විශේෂයෙන් ම කළුකුමාරයා ඇඟට ඇතුළු වෙලා පිරිමින්ව මෙහෙයවන්නට බලනවා. කාන්තාවන්ට, කාන්තා ඇඳුම්වලට ආසා කරන පිරිමි මේ විදිහට කළුකුමාර දිෂ්ටියට අසුවූ අය බවටත් විශ්වාසයක් ගැමි සමාජයේ පවතිනවා.
ඒ වගේ ම විවාහ නොවුණු සමහර යුවතියන්ට රාත්‍රියේ දී නින්දෙන් කළුම කළු මිනිහෙක් ඇවිත් තමා බදාගෙන නිදාගන්නවා වගේ ම ඇයත් සමඟ එකතු වෙනවා පෙනෙනවා. මේ වගේ දේවල් කළු කුමාරයා නිසා ඇතිවන බවත් විශ්වාසය වෙනවා. මේ අයව කළුකුමාර දිෂ්ටියෙන් බේරා ගන්නට තමයි තොවිල් පවිල් කරන්නේ. සාමාන්‍යයෙන් ආතුරයෙක් දකින කොට යකැදුරාට තේරුම් යනවා මෙයාට තියෙන්නේ යක්ෂයාගේ ඇල්ම ද බැල්මද කියන දෙය. ඒ අනුව තමයි අදාළ ශාන්තිකර්මය තීරණය කරන්නේ.
මේ ශාන්ති කර්මයක් සිදු කරන පිළිවෙළක් තිබෙනවා. හැන්දෑ සමයම, මධ්‍යම සමයම, අලුයම සමයම කියලා ශාන්ති කර්ම කොටස් තුනකින් යුක්ත වෙනවා. ඒ අයුරින් හැන්දෑ සමයමේදී පවත්වන වත් පිළිවෙත් ඒ පළාතේ ඇති පූජා විධි අනුව ඇඳුරන් විසින් තුරුණු වනට නමස්කාර කර යකුනට ආරාධනා කරනවා. යකුනට පිදේනි තබනවා. මධ්‍යම සමයම වෙනකොට ශාන්ති කර්මයෙන් පුද ලබන යක්ෂයා සම්බන්ධ වත් පිළිවෙත් ආරම්භ කරනවා. ඒ දොළහ එක වන විට. ඒ වත් පිළිවෙත් පුද පූජා අවසන් කළ පසුව යක්ෂයාට එන්න කියලා අලුයම් සමයමේදී දිගටම වත්පිළිවෙත් පුද පූජා කරනවා. එවිට ආතුරයා වෙත ආ යකුට යන්න කියනවා. දෙවියන්ට පින්දෙනවා. ආතුරයාට ආරක්ෂාවක් සිදු කරනවා. මෙතන දී ආතුරයා වෙනුවෙන් අරන් තැබූ කළස බිඳ දමනවා. අලංකාර පෙරහරකින් කළු කුමාරයා වෙනුවෙන් සකස් කරන ලද පිදේනිය නෑඹිලියක තබා ආතුරයාගේ හිස මත තබාගෙන පුද පූජා ඉටු කරනවා. ප්‍රධාන වශයෙන් කළු කුමාරයාට පවත්වන ශාන්ති කර්මයකදී මෙය තමයි සිදුවන්නේ.
ගුරුගේ මාලාව කියන නාට්‍ය පෙළපාලියේදී කළු කුමාරයා දෙවියෙක් ලෙස සලකනවා. අපට යම් වැඩක් කරගන්න ඕන වුණාම පිහිට වෙන්න කියලා ඉල්ලීමක් කරන විට අපි එයාට ‘අපේ දේවතාවෝ’ කියලා ආමන්ත්‍රණය කරනවා. මේ අනුව කෙනෙකුට කළු කුමාරයා දේවතාවෙක් කියලා කියන්න පුළුවන්. උඩරට පළාතෙ බොහෝ විට කළු කුමාර දෙවියො ලෙස කළු කුමාරයා පුද ලබනවා.
කළු කුමාරයා කියලා සංකල්පයක් තිබුණත් එහෙම පුද්ගලයෙක් නැහැ කියල තමයි මම නම් හිතන්නේ.