
‘බුරුම - ලංකා මවුපිය සෑය’ නමින් හඳුන්වා ඇති මේ චෛත්‍යය ඉදිවෙමින් පවතින බිම නිසංසලය. චෛත්‍යය නමේ අරුතටම ගැළපෙන අරණකි. පරිවාර චෛත්‍යය 6 කින් සමන්විත චෛත්‍යය වඩා උස් නොවූවත් ගාම්භීරය. ෂඩාස්රාකාරව ඉදිව ඇති නිසා වන්දනා මාන කිරීමද ඉතා පහසුය.
නකල්ස් කඳු වැටියෙන් හමා එන සිසිල් සුළං රැල් නිසා එක තැන සිටගෙන සිටීම පවා අපහසුය. එහෙත් පිංතූරවලින් පමණක් දුටු දර්ශනයක් සැබෑ ලෙසින් ම දකින්නට ලැබුණ විට දැනෙනා හදිසි විපර්යාසය නිසා සුළඟ බාධාවක් නොවුණේය.
අප ඉදිරියේ දර්ශනය වන්නේ බුරුමය හෙවත් මියන්මාරයේ ස්වේදගොන් චෛත්‍යයැයි වරෙක සිතුණි. ස්වේදගොන් චෛත්‍යයේ සියලු අංගෝපාංගවලින් සමන්විතව ඉදිකෙරෙන ඝණ්ඨාකාර හැඩයෙන් යුත් මේ ස්තූපය ඉදි කෙරෙමින් පවතින්නේ මාතලේ උකුවෙල බලකඩුව පන්සල්තැන්න ප්‍රදේශයේ අනුරුධ අරණේය.
අනුරුධ අරණාධිපති ලෝක තරුණ බෞද්ධ සංඝ සභාවේ මහලේකම් මුගුණුවෙල අනුරුද්ධ නාහිමියන්ගේ මූලිකත්වයෙන් ඝන්ඨාකාර හැඩයෙන් යුත් මේ චෛත්‍යය ඉදිකෙරෙන්නේ මෙරට ප්‍රථම වරට ඉදිකෙරෙන බුරුම සම්ප්රදායයේ චෛත්‍යය ලෙසයි. එම චෛත්‍යය ෂඩස්රාකාරය.
බුදුරජාණන් වහන්සේ විසින් ලබා දුන් කේශ ධාතු නිධන් කර බුරුමයේ ස්වේදගොන් චෛත්‍යය ඉදිකළ බවට බුරුම ඉතිහාසයේ මෙන් ම ලෝකයේ සියලු ථෙරවාද රටවල මතයක් පවතී.
බුරුමයේ පරම පූජනීය ස්ථානය වන ස්වේදගොන් චෛත්‍යයේ අනුරුවක් ලංකාවේ ඉදිකිරීම බෞද්ධයන් ලත් සැබෑ භාග්‍යයකි.
අනුරුද්ධ නාහිමියන්ගේ උපදේශකත්වයෙන් සිදු කෙරෙන අනුරුව අරණේ ඉදිවන බුරුම සම්ප්රදායයේ ප්‍රථම චෛත්‍යය ඉදි කිරීමට මියැන්මායේ යොන්ගොව් හි අවුන්ෂාබු ටාව්යා විහාරයේ මහා සද්ධම්ම ජෝතික ධජ පන්ඩවොන්ත සියදෝ හිමියන්ගේ දායක්වය හිමිව ඇත.
මෙම චෛත්‍යය ඉදිකිරීම සඳහා බුරුම ශිල්පීන් 6 දෙනකුගේ සහාය ලැබී තිබේ.
නකල්ස් කඳු වැටියට මැදිව දිස්වන උකුවෙල බලකඩුව පන්සලතැන්න පිහිටි අනුරාධ අරණෙහි නිම වෙමින් පවතින මේ සෑය බුරුම ලංකා බෞද්ධ මිත්‍රත්වය පිළිබිඹු කරන්නකි.
ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායත් අමරපුර නිකායන් අපට හිමි වූයේ බුරුමයෙනි. ඒ නිකායයන් ලබා දුන් බුරුමයෙන් අද අපට උරුම වී ඇත්තේ බුරුමයේ ස්වේදගොන් චෛත්‍යයේ අනුරුවකි.
‘බුරුම - ලංකා මවුපිය සෑය’ නමින් හඳුන්වා ඇති මේ චෛත්‍යය ඉදිවෙමින් පවතින බිම නිසංසල කලබලකාරිත්වයෙන් තොරය. මේ චෛත්‍යය නමේ අරුතට ම ගැළපෙන අරණකි.
පරිවාර චෛත්‍යය 6 කින් සමන්විත චෛත්‍යය වඩා උස් නොවූවත් එහි ගාම්භීරත්වය කියා පායි. ෂඩාස්රාකාරව ඉදිව ඇති නිසා එය වන්දනා මාන කිරීමද ඉතා පහසුය.
බුරුම කලා ශිල්ප රැසක්ම චෛත්‍යයේ ස්ථාපිත කිරීමට බුරුම ශිල්පීන් විසින් කටයුතු කර තිබේ. චෛත්‍යයේ පේසාවළලු 6 ක් පමණ ස්ථාපිතය.
බුරුමයේ අතීතයේ සිට පවත්වාගෙන එන විශේෂ ආක්ෂකයින් චෛත්‍ය බුරුම මුරායුද ගෙන චෛත්‍යය වටේ ම මුර කරමින් සිටී. චෛත්‍යය ඉදිරිපිටින් ඇති කුටියේ සැකසූ මලසුන් ගෙවල් ද චෛත්‍යයේ මෙන් අලංකර කැටයමින් යුක්තය. ඒවායේ වහළ ඉහළට යන්නට සිහින්වන ආකාරයේ කැටයම්වලින් යුක්තය.
කැටයම් සංකීර්ණ බවක් පෙන්නුම් කළ ද පැයක් දෙකක් වුව එදෙස බලා සිටින්නට හැකිය. ඒ සංකීර්ණ කැටයම් එකින් එක එවිට අවබෝධ කරගත හැකිය. අපට නුහුරු මේ චෛත්‍යය සම්ප්රදාය අපට හුරු බව හඟවන්නේ ඊට ඉහළින් බෝධින් වහන්සේත් ඊට පහළින් පිළිම රැසක් ඉදිකර ඇති නිසාය.
චෛත්‍යයට ඇතුළු වන භූමියේ ඉදිකළ කුලුණේ ඉහළින් ම සිටින්නේ භේරුණ්ඩ පක්ෂියාය කුලුණේ මුරට කුලුණ පාමුල මුර දේවතාවුන් සිවු දෙනකු සිවු දෙස බලා සිටිති.
කොත පැලඳ නොමැති මේ චෛත්‍යය ලබන වසරේ කොත් පළදා මාර්තු මස විවෘත කිරීමට කටයුතු යොදන බව මුගුණවෙල අනුරුද්ධ හිමියෝ පවසති.
‘ලංකාවට වඩා බුරුමයේ ආර්ථික ශක්තිය අඩුයි. එසේ වුවත් බුරුම ජාතිකයන් අපට මේ චෙත්‍යය ඉදිකර දෙන්නට කටයුතු කළා. එය අප ලද දායාදයක් බව කිව යුතුයි. අවුරුදු සිය ගණනක ඉතිහාසයක් බුරුමය හා ලංකාව අතර තිබෙනවා.
ථෙරවාදි බෞද්ධ රටවල් දෙකක් ලෙස මේ සබැඳියාව ඉතාම වැදගත් වන්නේ ලංකාවෙත් බුරුමයට ගිය භික්ෂූන් වහන්සේ එරට ඇරැඹූ ‘සිහළ සංඝ නිකායන්’ අදත් බුරුමයේ තිබෙන නිසයි. අනුරුද්ධ හිමියන් දරන්නේ එවැනි අදහසකි.
ලබන වසරේ සිට අපට වන්දනා මාන කරන්නට ලැබෙන මාතලේ, උකුවෙල, බලකඩුව පිහිටි මේ බුරුම - ලංකා මවුපිය ගුණ සෑය අතීත බුරුම - ලංකා ඉතිහාසය සිහි ගන්වනවාට වඩා අනාගත පරපුරට මහත් වූ දායාදයක් බව කිව යුතුය.
ථෙරවාද බෞද්ධ සම්පූර්ණයෙන් පමණක් නොව සම්මිශ්රිත බුදු දහමක් ලොව පුරා පැතිර යමින් පවතින මෙවන් වකවානුවක මේ සුසංයෝගය ඉතාම වැදගත්ව ඇත්තේ බුදු දහමට විවිධ වූ තර්ජන පවා එල්ල වෙමින් පවතින අවදියකය.
අතීතයේ මෙරටින් බුදු දහම අතුරුදන් වන තත්ත්වයට පත්වූ අවස්ථාවලදී බුරුමයෙන් ලද සහායටත් වඩා සහායක් ඉදිරියේදී බුරුමයෙන් අපට ලබා දීමට එරට බෞද්ධ භික්ෂූන් වහන්සේ සූදානම්ව සිටිති. මේ මවුපිය ගුණ සෑය එක් පියවරක් පමණි.
සේයාරූ - රංජිත් අසංක