කාරණා කීපයක් නිසා මං සෝර්බාට ආදරෙයි. ඒවයින් එක කාරණයක් තමයි සෝර්බා තුළින් මට අපේ සීයව ආයෙමත් හොයාගන්ඩ පුළුවන් වෙච්චි එක. ඔහු කෑමට බොහොම ලොල් කළා. කිසි කෙනකුව විශ්වාස කෙරුවෙ නෑ. ඔහු කෑම පිළියෙල කෙරුවෙ තනියෙන්මයි. මගෙ ජීවිත කාලෙ මං ඉන්දියාවෙ පවුල් දාස් ගාණක ආරාධිත අමුත්තෙක් වෙලා ඉඳල ඇති. ඒත් ඒ කිසි තැනකින්වත් අපේ සීයා උයපු කෑම තරම් රහ කෑම රස විඳල නෑ. උන්දැ කෑම උයන්ඩ කොච්චර ආස කළාද කිව්වොත් සුමානෙකට දවසක් තමන්ගෙ යාළුවො ටික ගෙදරට ගෙන්නල රසට කන්ඩ දුන්න. මුළු දවසම ගෙවිල ගියේ ඉවිල්ලට ම තමයි.
අපේ අම්ම, නැන්දල, වැඩකාරියො , උයන කට්ටිය හැමෝම කුස්සියෙන් එළවලා දාල තමයි සීය උයන්ඩ පටන් ගත්තෙ. කිසිකෙනෙක් සීයගෙ ඉවිල්ලට බාධා කෙරුවෙ නෑ. ඒත් උන්දැ මාත් එක්ක හුඟක් යාළු හින්ද උයන හැටි බලං ඉන්ඩ මට ඉඩ දුන්න. ‘උයන්ඩ ඉගෙන ගනිං! අනුන් මත යැපෙන්ඩ එපා! තමන් විතරයි තමන්ගෙ රහ දන්නෙ. වෙන කව්ද දන්නෙ?’ උන්දැ කිව්ව.
‘මුළු දවසෙම ඉවිල්ල මට හරියන්නෑ. මට කම්මැළියි. ඒත් මං බලන් ඉන්නං’ මං කිව්ව. ඒ හින්ද මං කිසි දෙයක් ඉගෙන ගත්තෙ නෑ. ඔහේ බලාගෙන ඉඳල විනෝද වුණා. උන්දැ උයන්නෙ හරියට කැටයමක් කපනව වාගෙ. සංගීතකාරයෙක් සංගීත නිරිමාණයක යෙදෙනව වාගෙ. චිත්රකාරයෙක් චිත්රයක් අඳිනවා වාගෙ. උන්දැගෙ ඉවිල්ල කලාවක්. උයද්දි මොකක් හරි දෙයක් උන්දැ හිතපු මට්ටමට නාවොත් උන්දැ වහාම ඒක විසිකරල දානවා. ‘ඒක හොඳටම හොඳයිනෙ. ඇයි විසිකරලා දාන්නෙ?’ මං අහනවා. ‘ඒක හොඳයි තමයි. ඒ වුණාට හොඳට ම හොඳ නෑ. මං හරියටම වැඩ කරන මිනිහෙක්. මං හිතං ඉන්න තත්ත්වෙට ආවෙ නැත්තං මං ඒක කොහොමද කෙනකුට කන්ඩ දෙන්නෙ? මං මගෙ කෑමවලට ආදරෙයි’ උන්දැ කියනවා. උන්දැ හුඟක් බීම ජාතිත් හැදුවා. මොනව කෙරුවත් මුළු පවුලෙ ම අය උන්දැට හරහටයි හිටියෙ. උන්දැ වදකාරයෙක් කියලයි ඒ අය හිතුවෙ.
සීය ටවුමෙ ඉන්න අදේවවාදියො ටික ගෙදරට රැස්කර ගන්නවා. ජෛනාගමේ සිරිතට විරෝධය පාන්ඩ උන්දැ ඉර බහිනකම් බලං ඉන්නව.
ඉර බැහැල යන්ඩ කලිං කන්ඩ කියලයි ජෛනාගමේ කියන්නෙ. ඉර බැස්සට පස්සෙ කන එකට ඉඩ නෑ. ඒ හින්ද උන්දැ ඉර බහින්ඩ කලිං කන්නෙ නෑ. ඉර බැහැලද නැද්ද කියල බලන්ඩ උන්දැ සැරින් සැරේ මාව එළියට යවනවා.
උන්දැ මේ වැඩෙන් මුළු පවුලෙම තරහ ඇවිස්සුව. මේ වැඩේට ගෙදර කවුරුත් හිටියෙ කේන්තියෙන්. ඒත් ඒගොල්ලන්ගෙ කේන්තිය පිටවුණේ මං පිටින්. ඒක ලේසියිනෙ.
’මොකද උඹ ඉර බැහැලද නැද්ද කියල බලන්ඩ සැරින් සැරේ එළියට බහින්නෙ? ඔය නාකි මනුස්සය උඹවත් නරක් කරනවා. හොඳටම නරක් කරනවා’
සෝර්බා ද ග්රීක් පොත මට හම්බවෙනකොට සීය මිය ගිහින් තිබුණ හින්ද මට ලොකු කනගාටුවක් ඇති වුණා. (සීයා මියගොස් තිබුණේ ඕෂෝ මහාචාර්යවරයකු වූ පසුයි) සීයගෙ මිනිය පුච්චද්දි මට දැනිච්ච එකම දුක තමයි ඒ පොත පරිවර්තනය කරල උන්දැට ඇහෙන්ඩ කියවන්ඩ නොලැබිච්ච එක. එහෙම උණා නං උන්දැ කොච්චර සන්තෝස වෙයිද කියල මට හිතුණා. මං උන්දැට ඇහෙන්ඩ හුඟක් පොත් කියවල තිබුණ.
උන්දැ අකුරු දැනගෙන හිටිය කෙනෙක් නෙමේ. අස්සන ගහන්ඩ විතරයි දැනගෙන හිටියෙ. ඒත් ඒ ගැන උන්දැ හිටියෙත් හරි ආඩම්බරෙන්.
‘අපේ තාත්ත මට ඉස්කෝලෙ යන්ඩ බල කරපු නැති එක හොඳයි.
එහෙම උණා නං උන්දැ මාව නාස්ති කෙරුව වෙනවා. ඔය පොත් හින්ද මිනිස්සු කොච්චර නාස්ති වෙලා තියනවද? මිනිස්සු දිගට හරහට ආගම් පොත්, ශුද්ධ ලියවිලි කියවනවා. ඕව ඔක්කොම වැඩකට නැති දේවල්.
උං කියවද්දි මං ජීවත් වෙනවා. අත්දැකීමෙන් යමක් ඉගෙන ගන්න එක තමයි හොඳ’ උන්දැ කිව්වා.
‘උං උඹව විශ්වවිද්යාලෙට යවයි. පරිස්සං වෙයං! ඔය පොත් අස්සෙ නාස්ති වෙන්ඩ එපා!’ උන්දැ මට එහෙම කියන්ඩ පුරුදුවෙලා හිටියා.
සීයා පුංචි දේවල්වලින් සන්තෝස වුණා. ‘හැමෝම දෙයියො විශ්වාස කරනවා. ඇයි බාබා ඔයා දෙයියො විශ්වාස කරන්නැත්තෙ?’ මං ඇහුව.
‘මං බය නෑ. ඒකයි’ උන්දැ උත්තර දුන්නා.
බොහොම සරල උත්තරයක්. ‘ඇයි මං බයවෙන්නෙ? බය වෙන්ඩ කාරණාවක් නෑ. මං කිසි වරදක් කරල නෑ. හිංසාවක් කරල නෑ. මං මගෙ ජීවිතේ සතුටින් ගත කෙරුව විතරයි.
දෙවියෙක් ඉන්නව නං සමහරවිට මට හම්බ වෙයි. එයාට බෑ මාත් එක්ක තරහ වෙන්ඩ. මං එයත් එක්ක තරහ වෙන්නං. “ඇයි ඔබ මේ ලෝකෙ මැව්වෙ? මේ වගෙ ලෝකයක්!” මං එහෙම අහන්නන්’
මට මතකයි සීයගෙ කඩේ. උන්දැ රෙදි වෙළෙන්දෙක්. උන්දැ ඒකෙං කොච්චර සතුටක් වින්දද කියනව නං ඒක අපේ පවුලෙ හැමෝටම ප්රහේලිකාවක් වුණා.
උන්දැ පැය ගණන් පාරිභෝගිකයො එක්ක විහිළු කෙරුවා. යමක් වටින්නෙ රුපියල් දහය නං සීය ඒකට රුපියල් පනහක් ඉල්ලනවා. ඒක පිස්සු වැඩක් කියල උන්දැ දන්නවා. වැඩේ කියන්නෙ පාරිභෝගිකයොත් ඒක දන්නවා.
ඒගොල්ලොත් දන්නව ඒක රුපියල් දහයක් වගේ ගාණක් තමයි වටින්නෙ කියලා. ඒ හින්ද ඒ අය ඒක රුපියල් දෙකේ ඉඳල ඉහළට ඉල්ලනවා. ඔන්න ඔහොම මහා දිග කේවල් කිරිල්ලක් පැය ගාණක් තිස්සෙ කෙරෙනවා.
ලබන සතියට