
අම්මා, මලින්ද මල්ලිගේ හිතුවක්කාර කසාදය ගැන දැක්වූ ප්‍රතිචාරය පුදුමසහගත එකකි. ඒ සමහරවිට තමුන්ගේ සැමියාගේ වලව් චර්යාව ගැන ඈ තුළ වූ අප්‍රසාදය නිසා හටගත් පළිගැනීමේ චේතනාවක් මඟින් ඇතිවූ අභ්‍යන්තර පෙලඹවීමක් වගේය. කොහොම වුණත් අම්මා ඒ ආකාරයෙන්වත් හිත හදාගත් එක ලොකු දෙයකි. කුඩා දරුවා සුරතල් කරන ගමන් ඇය කල්පනා කළේ එසේය.
හාස්කමට ඇරුණ දොරෙන් පෙනුණු දර්ශනයෙන් මොහොතකට සියල්ලෝම ගොළුවෙලාය!
ගොඩලියද්ද හාමුගෙ අතින් දඩාස් ගා පොරෝකෙටිය බිම වැටුණි. රත්නසේකර හාමුට ඈ කියා කෑ ගැසුණි. නිර්මලා මැණිකේ ‘දෙයියනේ’ කීවා පමණි. ජයතිස්ස මැගීගේ මුහුණ බැලුවේ පුදුමයෙනි. කරුණාදාස බලා සිටියේ තම හාම්පුතාගේ ඉරියව් දිහාය!
යහන මත වාඩිවී සිටිය සුදු මැණිකෙ හාමු මහා හයියෙන් කොක්හඬලා සිනාසුණි. ඇය මොනතරම් සිනාසුණාද කීවොත් ඇයට ම හිනාව පාලනය කරගනු බැරිව කැස්සක් ද සෑදුණි.
“.... ඉවරයි... ඉවරයි... ආයෙත් ලෙඩේ හරි...!”
මැගී සුසුමක් හෙළා කීවේ වේදනාවෙනි.
ගොඩලියද්ද බිරිය ළඟට ගියා නොවේ පැන්නේය. සුදු මැණිකේ නැඟී සිට ඇඟිල්ලක් දික් කරගෙන මහා දේශනාවක් පටන් ගන්නට වගේ සැරසිලාය.
“හහ්... කට්ටිය හිතුවා.. මගෙ පුතා පැනලා ගිය විත්තිය ඇසුවාම මම පිස්සුවක් නටයි කියලානේ...? එල්ලිලා හරි මැරෙයි කියලා හිතුවා නේ....? හහ්... ඒ එළදෙන විකුණලා දැන් ගොඩාක් කල්... අපෙ මහත්තයා...! මම හොඳින්.. හහ් හා.. ඔව් හුඟාක් හොඳින්.. ආ මගේ දෝණිත් ඇවිල්ල ඉන්නෙ මයෙ මුනුපුරු පැටියත් එක්ක! කොච්චර එකක්ද... දැන් ඔය කට්ටිය ඔක්කෝම තම තමුන්ගෙ වැඩවලට යන්නකො... අපෙ මහත්තයා.. එන්න මට ඔයත් එක්ක කතාවක් තියෙනවා කරන්න... ඒකට මේ ගෙදර කිසිකෙනෙක් අවශ්‍ය වෙන්නෙ නෑ... මේක අපි දෙන්නාගෙ පුද්ගලික කතාබහක්? අපෙ මහත්තයා එන්න... මෙහෙන් වාඩිවෙන්න කො.. දැන් අනිත් අය පිටවෙලා යන්නකො...!”
ඩග්ලස් ගොඩලියද්ද බිරියගේ ඇණවුමෙන් යහන මත වාඩි වුණේ දෙතොල් තදකරගෙනය.
******
මලින්ද අයියාට දුරකථන ඇමතුමක් දුන් ශ්‍රීමාල් ඔහුව හමුවන්ට ඉටා ගත්තේ එක් දේශනයක් ද මඟ හරිමින්ය.
“හරි.. හරි මේ වෙලාවෙ හැටියට උඹ ටිකක් හොයලා බලපං මලින්දයා ගැන.. ඒක උඹේ යුතුකමක්.. ලෙක්චර්ස් පාඩු වෙන එක කොහොම හරි ෂේප් කර ගනිමු...”
සිරිනාත ගේ කීමෙන් හිතට ධෛර්යයක් ගත් ශ්‍රීමාල්, මේඛලාට ද පණිවිඩය දී මලින්ද සොයා ගියේ ගාල්ලටය. ඒ වනවිට මලින්ද තරංගා සමඟ නැවතී සිටියේ මලින්දගේ මිත්‍රයෙකුගේ ගෙදරය.
ශ්‍රීමාල් දුටුගමන් මලින්ද පැමිණ ඔහුව බදාගෙන හඬන්ට පටන්ගත්තේ පුංචි එකෙකු වගේය. තරංගා ද වික්ෂිප්ත දෑසින් බලා සිටියේ අසරණවය.
“මට කරන්න කිසිම දෙයක් තිබුණෙ නෑ මල්ලි... අපේ අප්පච්චිගෙ ජරා තුට්ටු දෙකේ වැඩ නිසා තමා මේ විදියට ඉක්මනට මේ දේවල් වුණේ...!”
ශ්‍රීමාල් මොහොතක් මලින්දට සිය ආවේගය පහකරගන්ට ඉඩදී නිසොල්මන්ව සිටියේය.
“කමක් නෑ අයියෙ දැන් අපි ඉස්සරහට තියෙන දේ ගැන කතා කරමු.. කොහේද දැන් ඔයාලා පදිංචි වෙන්න හිතා ඉන්නෙ.. දෙන්නාගෙ රස්සාවල් බේරගෙන කරන දෙයක් කරන්න.. දන්නවනේ දැන් ආර්ථික පැත්ත ගැන සැලකිලිමත් වෙන්න වෙයි...”
තේ බොන ගමන් තිදෙනාම දිගින් දිගට ම කතාබහේ යෙදුණේ අනාගත සැලසුම් ගැනය.
“මම කොහොමත් මේ තීරණේට ආවෙ... අප්පච්චිලාගෙන් එක තඹ සතයක්වත් අවශ්‍ය නෑ කියලා හිතාගෙන මල්ලි.. මට ඒ ගැන දුකක් නෑ...!”
ශ්‍රීමාල්ට මලින්ද අයියා ගැන පුදුමය. ආදරය වෙනුවෙන් ඔහු කළ මේ කැපවීම.. එය එසේ මෙසේ කැපවීමක් නොවේ!
“මට තියෙන එකම දුක.. මගේ අහිංසක අම්මා ගැන මල්ලි... අප්පච්චිලා වගේ යටිකූට්ටු වැඩ නැති අපේ අම්මලා හරි අහිංසක ගෑනු මල්ලි...”
ශ්‍රීමාල්ගේ හිතත් පත්තු වුණේ ඒ කාරණාවටමය. එවිට ම ඔහුට මතක් වුණේ ජයමාල් මල්ලී ය. ඒ මතක්වීමත් සමඟම ජංගම දුරකථනය නාද විය. එහි මූණේත් ‘මල්ලී’ නාමය වැටෙද්දී ඔහු එක්වරම තිගැස්සී ගියේය.
“අයියෙ.... මට ඔයාව හම්බවෙන්න ඕනෑ...”
“ඇයිමල්ලි... මම මේ ගාල්ලට ආවා මලින්ද අයියලාව බලන්න..”
අයියා මල්ලි දෙදෙනා අතරේ කතාබහ යද්දී මලින්ද වහා තරංගා සමඟ ලෑස්ති වුණේ ශ්‍රීමාල්ට කෑම ටිකක් පිළියෙල කිරීමේ කටයුත්තටය. ඇමතුම හමාර කළ ශ්‍රීමාල්, මලින්ද වෙත ආවේ සිනා මුහුණින් නොව අමුතුම වෙස් මූණක් දමාගෙන වගේය.
“මුලින්ම මල්ලි ඔයාලට සුබ පැතුවා... ඒත්...”
“මං දන්නවා මල්ලි ජයමාල් මල්ලි මට කීප සැරයක්ම කතා කරලා තිබුණා. මම ආන්සර් කළේ නෑ. මගේ මේ වැඩේට එයා බොහොම සතුටු බව මම දන්නවා. ඒත් මම කැමති නෑ එයත් මාව ආදර්ශෙට අරගෙන ඒකෙන් ‘ගැම්මක්’ ගන්නවාට. කවදත් එයා හිතුවක්කාරයානේ... එයාගෙ අප්පච්චි එක්ක ඔරොප්පු වෙච්ච ගමන් ඉන්නේ... මේ පිටට ම එයත් හිතුවක්කාර වැඩක් කළොත් ඒක වලව් පරම්පරාවටම කරන මහා අපහාසයක් වේවි....”
මලින්ද අයියාගේ කතාවෙන් ශ්‍රීමාල් මොහොතකට උත්තර නැතිව බලා සිටියේ පුදුමයෙනි. ඊළඟට ඔහු හෙමිහිට කටහඬ අවදි කළේ සීරුවෙනි.
“හීන් තාලෙන් ම අපේ අප්පච්චිත් ඔන්න ජයමාල් මල්ලි යාළුවෙලා ඉන්න කෙල්ලගෙ පැත්තට දෝස්මුරයක් දම්මලා”
“මොනවා... ෙම් අව් අස්සෙම...?”
“ඔව්! මලින්ද අයියෙ.. අපේ මලයගෙ හැටි දන්නවානෙ හොඳ මූඩ් එකක නොවෙයි මිනිහා ඉන්නේ...!”
******
චන්ද්‍රලතා ගේ ගෙදර දැන් පවතින්නේ අමුතු ම වාතාවරණයකි. චන්ද්‍රානි දුවගේ පැමිණීමත් ඇය තමාගේ තෝම්බුව ගැන දැන ගැනීමත් හැරුණු කොට රත්නපුර වලව්වේ මලින්ද බේබි හාමු අල්ලන ලද ‘කස්තිරම’ පුදුමාකාර කැලඹිල්ලකි. චන්ද්‍රානි ද ඒ ආරංචියෙන් කැලඹී ගියත් ඇය හිත හදාගත්තේ සමන්ති නෑනාගේ උපදෙස්වලට අනුකූලවය.
කිසිම කෙනෙකුට වරද පටවන්නට කිසිම කෙනෙකුට අයිතියක් නැති ගානට හැමදේම ඇවිල්ලාය. ඒකත් හරිම පුදුම වාතාවරණයකි.
සමන්ති, ඉතාම බුද්ධිමත් විදියට මේ සියල්ල ගැන සමාලෝචනය කළේ හැමදෙනාගේ ම යහපතටය.
එහෙත් තම සැමියා වන ජයේන්ද්‍ර ගේ තාත්තා වශයෙන් ඔහු හිතාගෙන සිටිය ජයතිස්ස පත්වී ඇති මානසික වියවුලය. ඊළඟට සියලු මානසික වියවුල්වල මධ්‍ය ලක්ෂ්‍යය වන ජයේන්ද්‍රගේ අම්මා වන චන්ද්‍රලතා ය! ඊළඟට ඇය ගේ දුව චන්ද්‍රානි ය. අනිත් පැත්තෙන් තමාගේ අම්මා වන සුදු මැණිකෙ හාමුය.
කොහොම වුණත් අම්මා, මලින්ද මල්ලිගේ හිතුවක්කාර කසාදය ගැන දැක්වූ ප්‍රතිචාරය පුදුම සහගත එකකි. ඒ සමහරවිට තමුන්ගේ සැමියාගේ වලව් චර්යාව ගැන ඈ තුළ වූ අප්‍රසාදය නිසා හටගත් පළිගැනීමේ චේතනාවක් මඟින් ඇතිවූ අභ්‍යන්තර පෙලඹවීමක් වගේය. කොහොම වුණත් අම්මා ඒ ආකාරයෙන්වත් හිත හදාගත් එක ලොකු දෙයකි. කුඩා දරුවා සුරතල් කරන ගමන් ඇය කල්පනා කළේ එසේය. නමුත් මේ අතරේ ‘ශ්‍රී ජය’ වලව්වෙත් මොකක් හෝ මහා කලබැගෑනියක් සිදුවෙතැයි ඇගේ සිත කීවේය. ඒ විල්ප්‍රඩ් මාමා තම බාල පුතා වන ජයමාල් ගේ සම්බන්ධය ගැන බොහෝ සේ කිපී යම් යම් ප්‍රකාශ කරනවා ඇයට ඇසුණු නිසාය.
චන්ද්‍රානි අධ්‍යාපන කටයුතු සඳහා විශ්වවිද්‍යාලයට යාමට පිටත් වුණේ නිවාඩුව ඉවර වෙන්න දින දෙකකට කලිනි.
“බෝඩිමට වෙලා ඉන්න එක මට මීට වඩා සැපයි සමන්ති අක්කේ... මේ ජරමර හිත හිතා ඉන්නවාට වඩා...!”
තමාව සිප වැලඳ සමුගෙන විශාල බෑගයත් අරගෙන පිටත්ව ගිය චන්ද්‍රානි ගැන සමන්ති කල්පනා කළේ දුක්මුසුවය. දෙමාපියන්ගේ චර්යාවන් නිසා අපහසුතාවයට පත්වන දරුවෝ මොනතරම්ද? දරුවන්ගේ චර්යාවන් නිසා ජීවිතය පවා එපා කරගත් දෙමාපියන් ද මොන තරමක් නම් සිටිනවාද? මේ ප්‍රශ්න කිසිවක් නොදත් කිරිකැටි පුතා හුරතල් වෙවී සෙල්ලම් කරයි... “අම්මා... අප්පච්චි” කියමින් කෑ ගසයි. තමා නිසා තම අප්පච්චිටත් අම්මාටත් ගින්නක් අත්විඳින්නට ලැබුණා ඇත්තය.
නමුත් දැන් කාලයාගේ ඇවෑමෙන් ඒවා සමතයකට පත්වෙලාය... මේ පරම්පරාගත ගැටුම් - ප්‍රශ්න හැදාම සිදුවෙමින් - ලිහෙමින් - විසඳෙමින් පවතියි.
ඇය කල්පනාවලියෙන් මිදෙන්නේ සාලයේ දුරකථනය මහා හඬින් නාද වෙන්නට පටන්ගත් විටය.
“හෙලෝ... සමන්ති... අන්න ශ්‍රී ජය වලව්වෙ තව ගින්නක් පත්තුවෙලා...!”
ජයේන්ද්‍ර ගේ කටහඬින් සමන්ති තිගැස්සී ගියාය!
ලබන සතියට...