
හේන් ගොවිතැන අතෑරලා අපි වගේ අය වෙන මොනවා කරන්නද?
* වියළි මිරිස් විකුණනවාට වඩා අමු මිරිස් විකිණීම අපට ලාභයි
* ඒ කාලෙත් හේන්වලට අලි රංචු පිටින් ආවා. ඒත් විනාශය අඩුයි
* අපට කාගෙන්වත් වචනෙකින්වත් උදව්වක් නෑ
ඉඩෝරය අහවර කරමින් එක සීරුවට ඇදහැලෙන මහ වැසි සමඟ ගොවියන් සිය හේන් බිම්වල වගාඅරඹන්නේ අපේක්ෂා රැසක් පෙරදැරිවය. වල් කොටා පුලුස්සා ලහි ලහියේ සැකසු බිමෙහි වැපිරූ කුරහං සිටවූ ඉඩ ඉරිඟු පැසී, කිරිවැදී එත්ම ගොවි සිත අප්‍රමාණ සොම්නසින් පිනායන්නේ සිය ඕනෑ එපාකම් එකක් දෙකක් හෝ මල්ඵල ගැන්වෙන දිනය වැඩි ඈතක නොවන බව මොනවට සන් කරමිනි. සාර පැහැයෙන් දලුලන වට්ටක්කා කොළ මුළු හේන් බිම පුරා ඇදෙන විට සිය අතමිට සරුවෙන, කෑමෙහි බීමෙහි අඩුවක් නොවන සෞභාග්‍යමත් කාල පරිච්ඡේදයක උදාව බව ගොවියන් වටහා ගනුයේ උතුරා යන සතුටෙනි. හේන් ගොවිතැනෙන් සිය ජීවනෝපාය සරිකර ගැනීමට වෙහෙසෙන ගැමියන්ගේ දසුන අදද රජරට වන මායිම් ගම්මැදිවල දුලබ නොවේ. නිකිණි මහේ ගහකොළ වියළවා, ජල උල්පත් සිඳිමින් ඇතිවෙන ඉඩෝර සමය හේන සිය ඒකායන සවිය කොටගත් උදවියට තම වගා බිම් සකස් කරගන්නට ඉඩකඩ උදාවන සංක්‍රාන්ති කාල වකවානුවක් මෙනි.
අනුරාධපුරයේ නොච්චියාගම, කහටගස්දිගිලිය, කැකිරාව, තිරප්පනේ, හොරොච්පතාන, මහවිලච්චිය, තන්තිරිමලය, තලාව, තඹුත්තේගම, හා පලුගස්වැව ආදි ප්‍රදේශවල ගම් ගණනාවක ප්‍රජාව තවමත් දිවි සරි කරනුයේ හේන් වගාවෙනි. නිසි කලට වැසි නොවැටීම, ප්‍රමිතියෙන් යුතු බීජ සපයා ගැනීම, විවිධ පලිබෝධ හානි, වල් අලින්, ඌරන්, රිලවුන්, වඳුරන් හා හාවුන් ආදි වන සතුන්ගෙන් වගාවන් වෙත සිදුවන හානිය, ඉඩම් නිරවුල් නොවීම පිළිබඳ ගැටලු, හේන් ගොවීන් සඳහා ඇති රජයේ සහනදායි උපකාර ප්‍රමාණවත් නොවීම, භව බෝග සඳහා නිසි මිලක් නොලැබීම ආදි කම්කටොලු රැසකට වත්මන් හේන් ගොවියා මැදිව සිටී.
නොච්චියාගම ප්‍රදේශයේ ගලේ ඇළ, ඇත්පන්තිය, ඇහැටුවාගම, කුඩාවැව, අඹගහවැව, කුකුල්කටුව, රනෝවා, දුණුමඩලාව, කොකුන්නෑව, හැලඹවැව, ලිදවැව ආදි ගම්මාන හේන් ආශ්‍රිතව සිදුකෙරෙන මිරිස් වගාව සඳහා කලක සිට ප්රකටය. විශේෂයෙන්ම ගොවීහු වැඩි පිරිසක් අමු මිරිස් අස්වැන්න ඉලක්ක කොටගෙන වගාවේ යෙදී සිටිති. වාර්ෂිකව දේශීය වියළි මිරිස් අවශ්‍යතාවෙන් වැඩි කොටසක් ආනයනික මිරිස් මගින් සපුරා ගන්නට සිදුව ඇති පසුබිමක අමු මිරිස් අලෙවි කිරීම මේ ගොවීන්ගේ ඉලක්කය වී ඇත. නොච්චියාගම, ගලයාය ගමේ එල්.සී. ජයතිලක අමු මිරිස් වගාවෙන් හොඳ හැටි පදම් වී ඇති ගොවි මහතෙකි. මිරිස් වගාව ගැන කරුණු කාරණා හෙතෙම අප හා විස්තර කළේය.
“වේලපු මිරිස් කිලෝ එකක් හදන්න අමු මිරිස් කිලෝ හතරක් විතර ඕනැ. එහෙම බලන කොට අමුවෙන්ම මිරිස් විකුණන එක අපිට හැම අතින්ම ලාභයි. සමහර වෙළෙන්දෝ හේනටම ඇවිල්ලා අමු මිරිස් කිලෝ එක රුපියල් හාර පන්සීයට ගන්නවා. සමහර අය දඹුල්ලට නැත්නම් තඹුත්තේගම මාකට්වලට දෙනවා. පහුගිය කාලෙම පෑවිල්ල නිසා හරිහමන් විදිහට ගොවිතැනක් කරගන්න බැරිවුණා.
සමහරු වගා ළිං කපාගෙන දහදුක් විඳගෙන ගොවිතැන් කෙරුවා. මේ පාරනම් දෙයියනේ කියලා කරදරයක් වෙන එකක් නෑ.”
හේන් වගා සමයට රාත්‍රියේ වනන්තරේට ඉහළින් හද මෝදුවී එත්ම වන රොදක ඈත ඉස්මත්තක හිඳ හඬ නඟන රෑ කොවුලෙකුගේ හඬ ඇසෙන්නේ ශෝකාකූලව ය. දඬු වැට බැඳපු හේනේ ගහක අටවාගත් පැලේ සිටින ගොවි මුවගින් දිවා කල විඳි මහන්සිය සේම සිතුවිලි අතර තෙරපෙන හුදකලාව මඟහැරවීමට කවි කියැවෙන්නේද නිරායාසයෙන් මෙන්ය. ගතෙහි හිරිගඩු පිපෙනතරමට රැය පහන් වන තුරු දැනෙන සීතල තවමින් ගිනි මැලය අසලට වී හේනේ ඒ කොන මේ කොන බැලුම් පාන ගොවි සිතේ කකියන්නේ කිය නොහැකි සන්තාපයකි. ගොවිතැනට හිතබැඳි තඹුත්තේගම, තෙල්හිරියාව ගමේ ඩී. ජයන්ත මහතා දිගු කලක සිට හේන් වගාවේ යෙදෙන්නෙකි. එදා මෙදා හේන් කිරීමේ වෙනස පිළිබඳ ඔහු අප හා දොඩමලු වූයේ මෙසේය.
“අපි ඉස්සර හේන් කරනකොට තෙල්, පොහොර ජාති මොකුත්ම ඉස්සේ නෑ. අලුත් පොළොවේ හැමදේම සරුවට හැදුණා. අමු බඩඉරිඟු තමයි සරුවට තිබ්බේ. ඉස්සර ඉරිඟු ගස් හරි උසයි. කරලත් බොහෝම සරුවට හැදෙනවා. පොඩි ළමයෙකුට කඩන්න බැරි උසින් තමයි කරල හැදෙන්නේ. ඒ තරම් ගහ උසයි. තම්බලා නැත්නම් පුච්චලා ගත්තහම පුදුම රහයි. බඩඉරිඟු ඇට කරලත් සමහර වෙලාවට විකුණනවා. කරල් පිටින් ගෝනිවලට දාලා තලලා තමයි ඇට කරලා විකුණුවේ. ඔය එච් හතර කියන වී වර්ගෙත් හේන්වල වැපුරුවා. අලි රංචු පිටින් හිටියා. ඒත් ලොකු කරදරයක් තිබුණේ නෑ. එනවා දැක්කොත් ටෝච් අල්ලලා කෑගහපුවහම උන් මඟ ඇරලා යනවා. ඒත් දැන් ඔක්කොම වෙනස් වෙලා තියෙන්නේ. ”
බිම් කරුවල වැටී එත්ම රජයන පාළු මූසල නිහැඬියාව ද හේනේ රැය පහන් කරන ගැමියාගේ මනසේ ඇති කරන්නේ තිගැස්සීමකි. බව බෝග අසානාසි කරමින් වගා බිමට වදින සිවුපාවුනට වැට බඳිමින් නිදිවර්ජිතව රැය පහන් කරන ඔවුන් වරෙක හොල්මන්, අවතාර ආදි අමනුෂ්‍ය බලපෑම් කෙරෙහි තැති ගන්නේ සිය අත්දැකීම් අනුසාරයෙන් උකහාගත් විශ්වාසයන්ද පදනම් කොටගෙනය. බිම් කරුවල වැටීගෙන එන වෙලාව මෙන්ම මහ රෑ දොගොඩ හරි යාමය මේ ආකාරයෙන් හොල්මන් අවතාර සැරිසරන සමයං වෙලාවල් ලෙස සලකමින් එවැනි අවස්ථා මඟහැර යන්නට ගැමියෝ වගබලා ගත්හ.
ඈත ගම්මැදිවල දිවි ගෙවන ගැමි දිවිය සැබැවින්ම සුන්දරත්වය හා අපූර්වත්වය මුසුවූවකි. ඒ අපූරත්වය මඟහැර විටෙක ගලා ආ දුක්ඛ දෝමනස්ස සිතාමතා අකාමකා දමන්නට තරම් ගැමියන් සුබවාදි වූයේ සිය මනෝභාවයන් තුළම ගොඩනඟාගත් ලෝකයක හුදකලා වෙමිනි. ගැමි ජීවිතයේ සිතුම් පැතුම් හා චර්යා රටා, ඇවතුම් පැවතුම්
උද්දීපනය කරමින් අව්‍යජ සිතුවිලි තුළින් ජන සමාජය වෙත මතුව ආ ජනකවි වර්තමානයට ශේෂ වන්නට ඇත්තේ ද ඒ ඔස්සේය යන්න අනුමාන කළ හැකිය. එතරම් දැන උගත්කමක් නොවුවද එවන් අවස්ථාවක ගායනා කළ කාව්‍ය තුළින් ඔවුනගේ නිර්ව්‍යාජ දිවිපෙවෙත පිළිබඳ අපුර්ව තතු විත්ති හෙළිදරව් වී ඇති වග නොරහසකි.
පෙර කාලේ තැනු පැල දැන් දිරාලා
එම කාලේ බැදපු වැට ගොනු කඩාලා
පැළපතේ ගොයම් රෑ රැක බලාලා
නිදිමතේ කියමු පැල්කවි ගොතාලා
හේන් වගා කාලයට දරු දැරියන්ටද ඉස්පාසුවක් නැති තරම්ය. හේන් බිමෙහි පැළ ඉන්දවන්ට, බීජ සිටුවන්ට, දඬු යට කරන්ට මව්පියන්ට උපකාරි වෙන්ට මේ දරු දැරියන්ට සිදුවන්නේ ගැමි ජන ජීවිතයේ රස නීරස හා මනාව මුහු වෙමිනි. හේනෙහි වෙහෙස මහන්සි වෙන උදවියට තේ පැන්, ඔසු පැන්, කුරහං රොටී ආදි අඩුම කුඩුම ගෙනයන ළමා ළපටීන්ගේ මුවගේ මතුව ඇත්තේ අවිහිංසක සිනහවකි. අස්වනු නෙළන වකවානුව වන විට පවුලේ සියලු දෙනා හේනේ පැල් කොටේ දවස ගෙවන ආකාරය නොච්චියාගමදී දැකිය හැකි සුලභ දසුනකි. හේනේ නේක කාර්යන්ට දායක වෙමින් ඔවුහු ජීවිත සටනට උරදී සිටිති. නොච්චියාගම, ගලයාය හේන් යායේ දී හමුවු නිරෝෂණි බස්නායක මේ කර්කෂ පරිසරයට හොඳින් හුරුවී සිටින්නියකි.
“දැන් හේන් කරලා නඩත්තු කරන එක ලේසි වැඩක් නෙමෙයි. මිරිස්, එළවළුවලට එක එක රෝග එනවා. කාගෙන්වත් අපිට කියලා වචනේකින්වත් උදව්වක් නෑ. අස්වැන්න ගන්න කාලෙට අපි ගොඩක් වෙලාවට හේනේ පැලේ තමයි ඉන්නේ. හේනේ ඉන්න එකෙන් උදේම වැඩ පටන් ගන්නත් පුළුවන්. රෑ වෙනකන් වැඩ කරන්නත් පුළුවන්. සත්තුන්ගෙන්, හොර හතුරන්ගෙන් වෙන කරදරත් අඩුයි එතකොට.”
නවදැලි හේන, අත්දඬුවා හේන හා හේන් කනතු වශයෙන් හේනේ ස්වභාවය අනුව වර්ග කොට දක්වන්නට අපේ පැරැන්නන් පෙලැඹී ඇත්තේ පරිසරය හා ඔවුනගේ ඇති අවියෝජනීය සබැඳියාව කොතෙක්ද යන්නට දෙස් දෙමිනි. අලුතින්ම ගස් කපා පාදා භව බෝග වවන භුමිය නවදැලි හේන ලෙසත්, අත් දණ්ඩක් තරමට වැවුණු ගහකොළ පාදා ගිනි තබා වපුරන හේන අත්දඬුවා හේන ලෙසත් ගැමියන් හැඳින්වුයේ තෙරුමක් ඇතිව බව පැහැදිලිය.
වවා අතෑර දැමු හේන් බිමක කුඩා පඳුරු වර්ධනය වී ඇති විටක එම පඳුරු කපා ගිනි තබා වැවීම හේන් කනතු ක්‍රමය ලෙස ගැමියන් විසින් හඳුන්වනු ලැබුවේ පරිසරයෙන් උකහා ගත් අත්දැකීම් අනුවය. හේන් බිමේ කැලෑ කපා පාදා ගිනිලෑමට පෙරාතුව අවට ලැගුම්ගෙන සිටින සිවුපාවුන් පලවා හැරීම සඳහා හඬ නඟා සිදුකළ හේන් යාතිකාව මගින් ද ගහකොළ සේම සතා සීපාවා කෙරෙහිද ගැමියා තුළ වු නිර්ව්‍යාජ බැඳීම කොතෙක් ද යන්න සනාථ කරයි.
හේන් වගාව ගැන හොඳ අවබෝධයක් ඇති වයසින් ද මුහුකුරා ගොස් සිටින එස්. තිලකරත්න මහතා පැහැදිලි කළේ කාලානුරූපව සිදුව ඇති වෙනස පිළිබඳවය.
“අපිට තිබුණු දේශීය එළවළු බීජ ටික නැතිවුණු එක තමයි සිද්ධ වුණු ලොකුම හානිය. මේ අලුත් බීජවලින් ගස්, වැල්වලටත් ලෙඩ. ගෙඩි කරල්වලටත් ලෙඩ. මල් හැලෙනවා. ලෙඩ එකක් නෙමෙයි. ඇත්තටම අපි ළඟ තිබ්බ එළවළු බීජවලට මේ කිසි ලෙඩක් තිබුණේ නෑ. මිරිස් ඇට වුණත් එහෙමයි. ඵලදාවත් හොඳයි. ලෙඩත් අඩුයි. අනිත් එක ඉස්සර ගොවිතැනට කියලා දැන් තරම් නිලධාරි ගොඩක් හිටියේ නෑ. හැබැයි හිටපු කීපදෙනා මිනිස්සුන්ට උදවු කෙරුවා. දැන් ඉන්න අය දකින්න කාර්යාලවලට යන්න ඕනෑ. එහෙම ගියත් සමහර දවස් වලට නෑ. ”
මෙසමයෙහි ගැමි ළියට පැවරෙන වගකීම් සම්භාරය සුළුපටු නොවේ. හිමිදිරි උදෑසන අවදිව පිළියෙළ කළ කුරහං පිට්ටු, කුරහං රොටී ආදිය පන් මල්ලෙහි රුවා සිය දරු සිඟිත්තා උකුළෙහි හොවා, පන්මල්ල හිසෙහි තබා ඇය හේනට ගමන් කරන්නීය. හෙවණ සහිත ගසක සුදුසු අත්තක් බලා තොටිල්ල බැඳ දරුවා එහි රුවා හේනේ අතෝරක් නැති කාර්යන් සඳහා ඇය දායක වන්නේ ඉන් අනතුරුවය. හේන් ගොවියාගේ අමාරුම කර්තව්‍යය වන්නේ වන සතුන්ගෙන් සිදුවන ගැහැටින් දුක් මහන්සිවී හදා වඩා ගන්නා බව බෝග රැක ගැනීමය. උන්ගෙන් බවබෝගවලට සිදුවන අසානාසිය පිළිබඳ නොච්චියාගම, ළිඳවැව ගම්මායිමේ හේන් වගාවේ නියුතු එස්.එල්. සෝමපාල මහතා පැවසුවේ මෙබන්දකි.
“අද වෙනකොට හේන් ගොවියන්ට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි වල් අලි කරදරේ. යන්තන් හැදීගෙන එන හේනට අලි දෙතුන් දෙනෙක් පැන්නොත් කන්නයක් තිස්සේ වෙච්ච මහන්සිය ඔක්කොම වතුරේ. මේ කාලේ හේන් වගාවට කියලා කාගෙන්වත් ලොකු උදව්වක් හම්බවෙන්නේ නෑ. මිනිස්සු තමන්ගේ මහන්සියෙන් දහදුක් විඳගෙන ගොවිතැන් කරනවා. සමහර කන්නවල ගොවිතැන වැස්සට විනාශ වෙනවා. සමහර කන්නවල පෑවිල්ලට විනාශ වෙනවා. සමහර දවස්වලට අස්වැන්නට හරි මිලක් නෑ. එක එක ප්‍රශ්න. ඒත් මේ ගොවිතැන අතරඇරලා අපි වගේ මිනිස්සුන්ට ජීවත් වෙන්ඩ වෙන ක්‍රමයක් නෑ. ”
හේන් ගොවිතැනේ අස්වනු නෙළන සමය ගැමි ජනතාවට ප්‍රීතිය, සෞභාග්‍ය උදාකරවන කාලයකි. ගැමි දරු දැරියන් මේ කාලසමය ගතකරනුයේ අප්‍රමාණ ප්රීතියකිනි. පුලුස්සා හෝ තම්බා ගත් ඉරිඟු කරල් සපමින්, එහේ මෙහේ දුව පනින ළමා ළපැටීන්ගේ මුහුණුවල ඇඳුණු හසරැලි කියාපානුයේ ජීවිතය පිළිබඳ කදිම පාඩමකි. කිරිවැදී පැසී එන බඩ ඉරිඟු කරල් නොයෙක් මාදිලියේ සකුණයන්ගෙන් රැක බලා ගැනීම සඳහා කෑ කෝ ගසමින් දුව පනින දරු දැරියන්ගේ හඩ ඈතට ඇසෙනුයේ ගැමි පරිසරය හා බැඳි නිර්ව්‍යාජ ජීවන රටාව පිළිබඳ සංවේදනා රැසක් මනසේ සියුම් තැන්හි මෝදු කරවමින්ය. එහෙත් මේ ජීවිත වටකොට බැදි කදුළු කථාව තවමත් වගකිවයුතු කිසිවකුත් නිසි ලෙස නොකියවන ලද්දකි.
ඩබ්ලිව්. ප්‍රදීප්
ඡායාරූප - තඹුත්තේගම විශේෂ