
- 2019 දී ගෙවිය යුතු විදේශ ණය ගෙවන්න සල්ලි තිබෙනවා
- රටවල් රැසක් අපට උදවු කරන්න සූදානම්
- මූඩීස් ආයතනයේ ශ්‍රේණිගත කිරීම පදනම් විරහිතයි
ශ්‍රී ලංකාව ලබාගත් දෙස් විදෙස් ණය හා පොලී නිසි පරිදි ගෙවන නොකැලැල් ඉතිහාසයක් හිමි රටක් බවත්, ඉදිරියටත් එම ක්‍රියාවලිය ඒ අයුරින්ම සිදු කිරීමට කිසිදු අපහසුතාවයක් මතුවී නැති බවත් මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා ප්‍රකාශ කෙළේ ය.
වසර 2019 ආණ්ඩුව විසින් ගෙවිය යුතු ණය හා පොලී වාරික කිසිදු අපහසුතාවකින් තොරව ගෙවීමට හැකියාව ඇතැයි පැහැදිලි කරමින් අධිපතිවරයා මේ බව කියා සිටියේ ය.
රටේ වර්තමානයේ මතුව ඇති දේශපාලන වාතාවරණය මත ශ්‍රී ලංකාව අන්තර්ජාතිකත්ව අපහසුතාවට පත්වන බවට ඇතැම් දෙනා කරන චෝදනා හා විවේචන බොහෝ ය. මේවාට පිළිතුරුදීම වෙනුවට රටේ දෙස් විදෙස් ණය සේවාකරණ හැකියාව පැහැදිලි කිරීම අරමුණු කොට අධිපතිවරයා මේ පැහැදිලි කිරීම සිදු කෙළේ ය.
2018 නොවැම්බර් මස 20 වැනි දින මූඩීස් ආයෝජන සේවා ආයතනය විසින් ශ්‍රී ලංකා රජයේ විදේශ විනිමය ණය නිකුත් කිරීම හා ජ්‍යෙෂ්ඨ සුරැකුම් රහිත ණය ශ්‍රේණිගත කිරීම B1 (ඍණ) සිට B2 (ස්ථාවර) මට්ටම දක්වා පහත හෙළීම රටෙහි සාර්ව ආර්ථික මූලධර්ම නිසි ලෙස පිළිබිඹු නොකරන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ මතය වන අතර, එබැවින් එම තීරණය සාධාරණ නොවේ.
මෙරට දේශපාලන ක්ෂේත්රයේ මෑතකාලීනව දක්නට ලැබුණු සිදුවීම් හමුවේ වුවද 2018 ජූලි මාසයේදී නිකුත් කළ අවසන් මූඩීස් ශ්‍රේණිගත කිරීමේ තීරණයේ සිට ශ්‍රී ලංකාවේ සාර්ව ආර්ථික තත්ත්වය පිරිහීමට ලක්වීමක් හෝ ප්රතිපත්තිවල කිසිදු පසුබෑමක් සිදුවී නොමැති බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නැවත අවධාරණය කිරීමට කැමැති ය. 2018 ඔක්තෝබර් මස 26 වැනි දින විස්තීර්ණ ණය පහසුකමෙහි පස්වන ආර්ථික කාර්යසාධන සමාලෝචන වැඩසටහනින් අනතුරුව සාර්ව ආර්ථික තත්ත්වයන්හි වැඩි දියුණුවීම් පදනම් කර ගනිමින්, ශ්‍රී ලංකාවේ බලධාරීන් සහ අන්තර්ජාතික මූල්‍ය අරමුදල විසින් නිලධාරී මට්ටමේ එකඟතාවක් ඇති කරගන්නා ලද අතර, එම එකඟතාව 2018 ඔක්තෝබර් මස 29 වැනි දින නිවේදනය කිරීමට නියමිතව තිබිණි. දේශපාලන තත්ත්වයෙහි වඩා පැහැදිලි බවක් ඇති වන තුරු වර්තමානය වනවිට වැඩසටහනේ සාකච්ඡා තාවකාලිකව අත්හිටුවා ඇත.
ශ්‍රී ලංකාවේ වර්තමාන දළ නිල සංචිත ප්‍රමාණය එ.ජ. ඩොලර් බිලියන 7.2 ක් වන අතර එය ඉදිරි කාලයේ රටේ විදේශීය ණය වගකීම පියවීමට ප්‍රමාණවත් වේ. ඊට අමතරව ආරක්ෂාකාරී පියවරක් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සැලකිය යුතු මට්ටමක විදේශ විනිමය හුවමාරු ගිවිසුම (SWAP) ලබා ගැනීම සඳහා මිත්‍ර රටවල මහ බැංකු සමඟ සාකච්ඡා ආරම්භ කර ඇත. මෙම ක්‍රියාමාර්ග තුළින් රටේ විදේශීය සංචිතවල ප්රමාණාත්මකභාවය තවදුරටත් ශක්තිමත් වන අතර, එමඟින් විදේශීය ණය සේවාකරණය නිසි කලට සිදු කිරීමට සහ විනිමය අනුපාතිකයේ අක්‍රමවත් විචලනයන් වැළැක්වීම සඳහා විදේශ විනිමය වෙළෙඳපොළ වෙත විචක්ෂණශීලීව මැදිහත් වීමට අවස්ථාව සැලසෙනු ඇත. මීට අමතරව, මේ වනවිටත් සිදු කර ඇති රාජ්‍ය මූල්‍ය සහ සාර්ව විචක්ෂණශීලී ක්‍රියාමාර්ග තුළින් වෙළෙඳ ගිණුමේ ශේෂය වැඩිදියුණු වීම සඳහා හේතු වනු ඇතැයි අපේක්ෂා කරන අතර, එමඟින් විදේශීය සංචිත සහ විනිමය අනුපාතිකය මත ඇති පීඩනය අඩු කරනු ඇත.
ශ්‍රී ලංකාවේ ණය වගකීම් නිසි පරිදි පියවීම පිළිබඳව පවතින වාර්තාව ඉදිරියටත් ස්ථාවරව පවත්වාගෙන යෑම සහතික කිරීම සඳහා දැනටමත් ක්‍රියාමාර්ග ගෙන ඇත. 2019 වසරේ ජනවාරි මාසයේදී එ.ජ. ඩොලර් බිලියන 1 ක සහ 2019 අප්‍රේල් මාසයේදී එ.ජ. ඩොලර් මිලියන 500 ක ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර කල්පිරීම් වෙනුවෙන් රජය පියවීමට ඇති ණය වගකීම සඳහා බලධාරීන් දැනටමත් හම්බන්තොට වරාය වෙත ලැබුණු ආයෝජන සහ චීන සංවර්ධන බැංකුවෙන් ලබාගත් ඒකාබද්ධ ණය පහසුකමෙන් වූ ලැබීම් තුළින් ස්වාරක්ෂක අරමුදලක් ගොඩනංවාගෙන ඇත. සක්‍රීය වගකීම් කළමනාකරණ ක්‍රියාමාර්ග යටතේ රුපියල් බිලියන 310 නොඉක්මවූ සීමාවක අරමුදල් සම්පාදනයට ඉඩ ප්‍රස්තා සැලසීම ද අනාගත ණය සේවාකරණ ගෙවීම් පියවීම සඳහා අවශ්‍ය ආරක්ෂණය සහ අවකාශය සපයනු ලබයි. මීට අමතරව, මෙම වසරේ ඉදිරි කාලපරිච්ඡේදයේදී සහ 2019 වසරේ මුල් කාලපරිච්ඡේදයේදී එ.ජ. ඩොලර් මිලියන 750 සිට එ.ජ. ඩොලර් බිලියන 1 ක් දක්වා පමණ වන ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර නිකුත් කිරීමේ කටයුතු අවසන් අදියරක පවතී. මැදපෙරදිග සහ නැගෙනහිර ආසියාතික කලාපයේ සම්බන්ධිත පාර්ශ්වවලින් ශ්‍රී ලංකාවේ රාජ්‍ය බැංකුවලට ණය පහසුකම් ලබගැනීමේ හැකියාව වැඩිදියුණුවීම සහ විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ සහ සංචාරක ඉපැයීම් ආශ්රිත ලැබීම් තුළින් මෙම ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කරවල ආයෝජන සඳහා අරමුදල් සම්පාදනය සිදුවනු ඇත. මීට අමතරව, චීන සංවර්ධන බැංකුවෙන් ලබාගත් ඒකාබද්ධ ණය පහසුකම 2019 වසරේ පෙබරවාරි මාසයේදී තවදුරටත් එ.ජ. ඩොලර් මිලියන 500 කින් ඉහළ නැංවීමට ද මේ වනවිටත් පියවරෙගන ඇත. ඒ අනුව 2019 පෙබරවාරි වනවිට එ.ජ.ඩොලර් බිලියන 2 ඉක්මවූ අරමුදල් ප්‍රමාණයක් සම්පාදනය වනු ඇත. එය 2019 වසරේ කල්පිරීමට නියමිත ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර සියල්ලම ආවරණය කිරීමට ප්‍රමාණවත් වනු ඇත. මීට අමතරව ඊළඟ වසරේදී ද්විපාර්ශ්වික හා බහුපාර්ශ්වික නියෝජිත ආයතන විසින් ප්රතිපාදනය කරනු ඇතැයි අපේක්ෂිත එ.ජ.ඩොලර් මිලියන 600 ක් තුළින් ද ස්වාරක්ෂක අරමුදල් මට්ටම තවදුරටත් වර්ධනය වනු ඇත.
මේ අතර, මෑතකදී හඳුන්වා දුන් ණය කළමනාකරණ උපායමාර්ග සහ දේශීය ණය වෙළෙඳපොළට ප්රවේශවීම සඳහා ප්‍රමාණවත් ඉඩකඩ නිර්මාණය වීම හරහා දේශීය මූල්‍ය තත්ත්වයන්ගේ සැලකිය යුතු වැඩිදියුණු වීමක් පෙන්නුම් කර ඇත. මෙමඟින් 2019, 2020 වර්ෂ තුළ සහ මධ්‍යකාලීනව භාණ්ඩාගාර බැඳුම්කර සහ ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර නැවත නිකුත් කිරීමේ අවශ්‍යතාව අවම කර ඇත. ඉහත දැක්වූ කරුණු අනුව, මූඩීස් ආයතනය විසින් මෑතකදී කරන ලද ශ්‍රේණිගත කිරීම සාධාරණ නොවන බව ශ්‍රී ලංකා මහ බැංකුවෙහි අදහස වේ. එවැනි ශ්‍රේණිගත කිරීමේ පහළ දැමීමක් සාර්ව ආර්ථික ප්රතිපත්තිවල දුර්වල වීමක් පිළිබඳව කිසිදු සාක්ෂියක් නොමැතිව ඉහළ දේශපාලන අස්ථාවරභාවය යන කරුණ මත පමණක් පදනම්ව සිදුවීම සාධාරණීකරණය කළ නොහැක.
මහ බැංකු පොලී අඩු කිරීමෙන් රාජ්‍ය බැංකුවලට රු. කෝටි 9000ක්
මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධ්පති පී. සමරසිරි
ගනුදෙනුකරුවන්ට අලුතින් ව්‍යාපාර ඇරඹීමට, නිවාස ඉදිකිරීමට අවශ්‍ය ණය මුදල් ලබාදීම සඳහා රුපියල් කෝටි නවදහසක (රු. බිලියන 90) මුදලක් බැංකු වෙතට ලැබී ඇත. ඒ බැංකු විසින් මහජනතාවගෙන් භාර ගන්නා තැන්පතු වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ තැන්පත් කළ යුතු සංචිත අනුපාතය පහත දැමීමට ඉකුත්දා මහ බැංකුවේ මුදල් මණ්ඩලය ගත් තීරණයත් සමඟය.
මුදල් මණ්ඩලය විසින් පසුගිය 13 වැනි දින ගනු ලැබූ මූල්‍ය ප්රතිපත්තියෙහි පියවරයන් දෙකකි. එනම්, ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 8% සිට 6.5 දක්වා අඩුකිරීමත් ප්‍රතිපත්ති පොලී අනුපාතයන් වන මහ බැංකු එක්දින තැන්පතු පොලී අනුපාතය 8% දක්වා 0.75% කින්ද මහ බැංකු එක්දින ණය අනුපාතය 9% දක්වා 0ග50% කින්ද ඉහළ දැමීමත්ය. මෙය නිෂ්ක්‍රීය මූල්‍ය ප්‍රතිපත්තියක් (neutral monetary policy) ලෙස මුදල් මණ්ඩලය විසින් දක්වා ඇත.
සංචිත අනුපාතය යනු බැංකු විසින් මහජනතාවගෙන් භාරගනු ලබන රුපියල් තැන්පතු වලින් මහ බැංකුවේ තැන්පත් කළ යුතු මුදල් ප්‍රමාණයයි. එහි අරමුණ බැංකුවල ණය මැවීමේ හැකියාව අඩු කිරීමයි. මෙය 6.5% සිට 8% දක්වා ඉහළ දමන ලද්දේ 2016 ජනවාරි මාසයේ ය. මෙය නැවත 6.5% දක්වා අඩු කිරීමෙන් රුපියල් බිලියන 90 ක් පමණ බැංකු වලට නිදහස් වී එම මුදල් නව ණය දීම සඳහා යොදා ගත හැකිය. සංචිත අනුපාතය බොහෝ මහබැංකු විසින් වර්තමානයේ නිතර යොදගන්නා මුල්‍ය පාලන උපකරණයක් නොවේ.
එක්දින තැන්පතු පොලී අනුපාතය යනු වාණිජ බැංකු විසින් මහබැංකුවේ තැන්පත් කරනු ලබන මුදල් සඳහා ගෙවන ෙපාලී අනුපාතයයි. මෙය සංචිත තැන්පතු සඳහා අදාළ නොවේ. එක්දින ණය අනුපාතය යනු වාණිජ බැංකු විසින් මහ බැංකුවෙන් එක් දිනක් සඳහා රාජ්‍ය සුරැකුම් ඇපය මත ලබා ගන්නා ණය සඳහා අය කරන පොලී අනුපාතයයි. මෙම පොලී අනුපාත දෙක මඟින් අන්තර් බැංකු ණය වෙළඳපොළෙහි පොලී අනුපාත උච්චාවචනය වීමේ පරාසයක් සැපයෙයි. අන්තර් බැංකු පොලී අනුපාතය එය ඉක්මවා ඉහළ යයි නම් මහ බැංකුව විසින් එක්දින ණය වලට අමතරව කාලීන ණයද බැංකුවලට වෙන්දේසි මඟින් සැපයෙයි. ප්‍රතිපත්ති පොලී අනුපාත 2016 පෙබරවාරි මස සිට (2015 අප්‍රේල් මස සිට පැවති තැන්පතු පොලී අනුපාතය 6.0% සහ ණය අනුපාතය 7.50% සිට) මේ දක්වා සිවු වරක් 1.50% - 2.00% කින් ඉහළ නංවා ඇත. එබැවින්, දැනට මෙරට පවතින්නේ දැඩි මුල්‍ය ප්රතිපත්තියකි.
මෙම මුල්‍ය ප්‍රතිපත්ති වෙනසට හේතුව පසුගිය කාලය පුරා විදේශ ප්රාග්ධනය ශ්‍රී ලංකාවෙන් ඉවත්වීම නිසා මුල්‍ය වෙළඳපොළෙහි ඇතිවූ රුපියල් අරමුදල් හිඟය සහ රුපියල දැඩි ලෙස අවප්‍රමාණය වීමයි. විදේශ ප්රාග්ධනය ඉවත්වීමට හේතුව ඇමෙරිකානු මහ බැංකුව විසින් 2016 දෙසැම්බර් මස සිට පොලී අනුපාත ශීඝ්‍රයෙන් ඉහළ දැමීම නිසා ආයෝජන අරමුදල් වඩාත් වාසි ඇමෙරිකාවට ඇදීයාමට පටන් ගැනීමයි. මෙය මුළු ලෝකයටම බලපා ඇති ප්රශ්නයකි.
විදේශ වත්කම්/සංචිත අඩු රටවලට මෙය දැඩි ලෙස බලපා ඇත. එබැවින්, සෑම රටකම මහ බැංකු පොලී අනුපාතයන් ඉහළ දැමීම සහ බැංකු වෙළඳපොළ වෙත නව අරමුදල් සැපයීම තුළින් දේශීය මුල්‍ය සහ ආර්ථික ස්ථායිතාවය ආරක්ෂා කර ගැනීමට උත්සාහ ගනිමින් පසුවෙති.
රජයේ සියලු වියදම්වලට කිසිම බාධාවක් නෑ
මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්. ආටිගල
රාජ්‍ය සේවකයින්ගේ පඩිනඩි ගෙවීම්, මහජන සුබසාධන, සංවර්ධන වැඩ කටයුතු සඳහා මුදල් ලබාදීම් ඇතුළු රජයේ වියදම්වලට කිසිඳු බාධාවක් හෝ ගැටලුවක් හෝ මතු වී නැතැයි මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්. ආටිගල මහතා අවධාරණය කෙළේය.
රජයේ වියදම් ඇස්තමේන්තු පාර්ලිමේන්තුවේ අනුමැතිය යටතේ සිදු කළ යුතු බව අනිවාර්ය යැයි ද ඒ අනුවම වත්මන් ආණ්ඩුව කටයුතු කරමින් සිටින්නේ යැයි ද ලේකම්වරයා කීය. වසර 2018 සඳහා වියදම් සියල්ලට ම පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබී ඇත. වසර 2019 ට අයවැය ලේඛනයක් ඉදිරිපත් කිරීම වෙනුවට 2019 මුල් මාස 04 සඳහා ආණ්ඩුව අතුරු සම්මත ගිණුමක් ගෙන එනු ලැබේ.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් 21 වැනිදා පැවැති ඇමැති මණ්ඩල රැස්වීමේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුදල් හා ආර්ථික කටයුතු ඇමැතිවරයා ලෙස ඉදිරිපත් කළ අතුරු සම්මත ගිණුමක් ගෙන ඒමේ යෝජනාවට අනුමැතිය ලැබී ඇත.
ලබන වසරේ රාජ්‍ය අංශයේ සේවා වියදම් අතුරෙන් පුනරාවර්තන වියදම් සහ ප්‍රාග්ධන වියදම් සියල්ලට ම අවශ්‍ය මුදල් මේ යටතේ වෙන් කොට ඇත. නිල ඇඳුම්, නොමිලේ බෙහෙත්, වැඩිහිටි දීමනා, සමෘද්ධි, පොහොර සහනාධාරය, වකුගඩු රෝගීන් සඳහා වන දීමනා, විශේෂ හැකියාවන් ඇති අය වෙනුවෙන් ගෙවන දීමනා ඇතුළු සුබසාධන වියදම් සඳහා ද මහජනාවට සමාජ ප්රතිලාභ අත්වන මාර්ග සංවර්ධන, නිවාස, වාරිමාර්ග, පානීය ජල යෝජනා ක්‍රම සඳහා ද මින් මුදල් වෙන් කොට තිබේ.
රටේ කෘෂිකර්මය, කර්මාන්ත සහ සේවා අංශ තුනේ වේගවත් වර්ධනයක් ඇති කොට ඒ ඔස්සේ රටේ ආර්ථිකය පුබුදුවාලීම සඳහා වූ යෝජනා වසර 2019 දී ක්‍රියාත්මක කරනු ලැබේ. කෘෂිකර්මය වැඩි ආකර්ෂණීය ක්‍රියාදාමයක් ඔස්සේ ජනතාව වෙත සමීප කරවීම ආණ්ඩුවේ අරමුණය.
බැංකුවලට අතිරේක අරමුදල් ලබාදීම ආයෝජන ප්‍රවර්ධනයට රුකුලක්
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ ආචාර්ය මාලක රණතිලක
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෑතකදී රටේ බැංකු පද්ධතියට අතිරේක අරමුදල් හිමි කරදෙන ආකාරයේ ප්‍රතිපත්තිමය තීන්දුවක් ගැනීම ආයෝජන ප්‍රවර්ධනයට රුකුලක්.
අපේ රටේ බැංකු පද්ධතියට රුපියල් බිලියන 90 ක මුදලක් ලැබෙනවා තම ගනුදෙනු කරුවන්ගේ මුල්‍ය අවශ්‍යතා ඉටු කර දීමට. මේ සා විශාල මුදලක් බැංකු පද්ධතියට හිමි වීම තුළින් වැඩි වැඩියෙන් නව ව්‍යවසාය දියුණු කරන්න අරමුදල් ලබා දෙන්න පුළුවන්කම ලැබෙනවා.
ගනුදෙනුකාර ව්‍යවසායක ප්‍රජාවට අඩු පිරිවැය යටතේ මුදල් ලබා ගැනීමට ඉඩක් ඇත් නම්, ඕනෑම රටක, සමාජයක වේගවත් දියුණුවක් ඇති කර ගන්නට පුළුවන්කම තිබෙනවා.
මේ ආකාරයට බැංකු පද්ධතියෙන් තමන්ට මුදල් ලබා ගන්න පුළුවන්කම තිබෙනවා නම් ක්ෂුද්‍ර මුල්‍ය අංශයේ පටන් කුඩා හා මැදි පරිමාණ පමණක් නොව මහා පරිමාණ ව්‍යාපාරික අංශවලට පවා ජීවයක් ලැබෙනවා.
කුඩා හා මැදිපරිමාණ අංශයේ ව්‍යාපාර, ස්වයං රැකියා, නිවාස ඉදිකිරීම්, කෘෂිකර්ම සේවා වැනි සෑම අංශයක ම නව ව්‍යාපෘති බිහි වෙන්න මේ ප්‍රතිපත්තිය හේතු වෙනවා. මේ මුදල් නිසි ලෙස ජනතාව වෙත ගලා යෑමට බැංකු පද්ධතිය වගබලා ගත යුතුයි.
මේ තීරණයත් සමඟ කෙටි කාලීනව රෙට් මුදල් සැපයුම පුළුල් වී නව ආයෝජන සිදු වෙනවා.
ඒවායේ ප්‍රතිඵල රටට, සමාජයට දැනෙන්නට මැදි කාලයක් ගත වෙනවා. දිගු කාලයක් ගත වෙන්නටත් පුළුවන්.
කෙසේ නමුත් අද අද ම නව ආයෝජන වැඩි වීම තුළ සිදුවන ආර්ථිකයේ පිබිදුම මැදි කාලීනව හා දිගු කාලීන ලෙස රැක ගැනීමට, ආරක්ෂා කර ගැනීමට හැකි නම් එය රටට වඩාත් ප්‍රතිඵලදායකයි.
විදේශ ණය ගෙවීමට සියලු මුදල් සූදානම්
ජාතික ආර්ථික සභාෙව් මහලේකම් මහාචාර්ය ලලිත් සමරකෝන්
ශ්‍රී ලංකා රජය ලබන වසරේ (2019) ගෙවීමට ඇති එක්සත් ජනපද ඩොලර් මිලියන 1500 (බිලියන 1.5) විදෙස් ණය හා වාරික මුදල කිසිදු අවහිරයකින් හෝ ප්‍රමාදයකින් තොරව හෝ ගෙවීමට හැකි බවත්, එය සිදුකරන්නේ කෙසේදැයි දැනටමත් සැලසුම් කොට ඇති බවත් ජාතික ආර්ථික සභාවේ මහලේකම් මහාචාර්ය ලලිත් සමරකෝන් මහතා ප්‍රකාශ කෙළේය.
මෙරටට ලබාගෙන ඇති ණය හා වාරික පොලී මුදල ලෙස ඩොලර් මිලියන 1000 ක් ලබන ජනවාරි මාසයේ දී ද, ඉතිරි ඩොලර් මිලියන 500 ක මුදල අප්‍රේල් මාසයේ දී ද ගෙවීමට සිදුවී තිබේ.
මේ මුදලින් ඩොලර් මිලියන 650 ක මුදලක් දැනටමත් හම්බන්තොට වරාය ගනුදෙනුවෙන් ලැබූ මුදලේ ඉතිරියක් ලෙස රජය සතුයි. ඇමෙරිකානු ඩොලර් මිලියන 1000 ක මුදලක් ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර ආයෝජනයකින් ලබා ගැනීමට නියමිතය. ඒ සඳහා මහජන බැංකුව, ලංකා බැංකුව සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුව පියවර ගනු ඇත.
මීට අමතරව චීන සංවර්ධන බැංකුව වෙතින් ෙඩාලර් මිලියන 500 ක මුදලක් ලබා ගැනීමට ද සැලසුම් කොට ඇත.
ස්වෛරීත්ව ණයකරවල අපේ වගකීම ඉටුකිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට තිබෙන හැකියාව පිළිබඳව කිසිදු චකිතයක් තබාගත යුතු නැති බවට අන්තර්ජාතික සහ දේශීය ආයෝජකයන්ට පවසන බව කී ඒ මහතා ශ්‍රී ලංකාව දැනටමත් එකඟ වී තිබෙන විවිධ ආර්ථික දර්ශක සපුරාලීම, ආර්ථික සංවර්ධනය, සංචිත, රාජ්‍ය මූල්‍ය, ගෙවුම් ශේෂය ආදි සාර්ව ආර්ථික දර්ශක ගණනාවක මූල්‍ය චීනය පවත්වා ගැනීම සඳහා එකඟව තිබෙන බවද ප්‍රකාශ කළේය.
2014 දී ශ්‍රී ලංකාවේ මුළු ණය ප්‍රමාණය රුපියල් බිලියන 7391 ක් වූ අතර අද වනවිට එය රුපියල් බිලියන 10991 ක්ව තිබෙන බව සිහිපත් කළ මහාචාර්යවරයා ඒ අනුව 2014 සිට මේ දක්වා මුළු ණය ප්‍රමාණය සියයට 49 කින් වැඩිවී තිබෙන බවද රාජ්‍ය මූල්‍ය අයවැය හිඟය ගැන කතා කරන විට 2014 දී සියයට 5.7 ක අයවැය හිඟයක් තිබුණ අතර ඒ අයවැය හිඟය විවිධ චලනයන් හේතුවෙන් 2015 දී එය සියයට 7.6 කින්, 2016 දී 5.4 කින් හා 2017 දී 5.5 කින් වැඩිවූ බවද පෙන්වා දුන්නේය. අයවැය හිඟය සම්බන්ධයෙන් කිසියම් තැනක සිටියා නම් ඒ වගේම මට්ටමකින් අදත් වැඩිවී තිබෙන බවද මධ්‍ය කාලීනව එය වෙනසක් නොමැති නමුත් 2014 දී ගෙවුම් ශේෂ හිඟය සියයට 2.8 ක් මේ වන විට 2.9 දක්වා වැඩි වී තිබෙන බවද පෙන්වා දුන්නේය.