
මුලින්ම ලැබුණු ආරංචිය සමන්තිගේ මලණුවන් වන මලින්දගේ හිතුවක්කාර විවාහය ගැනය. එහෙත් ඊළඟට අහන්න ලැබුණු දේ ඇස් කන් අදහාගත නොහැකි දෙයක් විය. මෙලොව වසන කිසිම දරුවෙකුට මෙවැනි කම්පනයක් ඇති නොවේවායි ඇය අන්තිමට සිතුවේ නිවිහැනහිල්ලේ පන්සලට ගොස් මල් පූජා කර මොහොතක් එහි රැඳී සිටිද්දීය.
තුෂ්ණීම්භූතව බලා සිටි නිර්මලා මැණිකේට තම සැමියා කී ආරංචිය විශ්වාස කරන්නට බැරිවාක් සේය. වෙඩි පිට වෙඩි පිට කරන්නාක් සේ පරුෂ වචනයෙන් බැණ වදින තම සැමියා දිහා මොහොතක් බලා සිටි ඇයට වචනයක්වත් පිට කරන්නට තම මුව විවර කරන්නට අමාරු විය. සිරියා වටපිට බලා තම ස්වාමි දුව ළඟට ආවේ මොකක්දෝ බියකින් වෙළෙමින් ය.
“මට වතුර එකක්... සිරියා!”
ඇය කියද්දී සිරියා වතුර වීදුරුවක් ගෙනල්ලාත් ඉවරය.
“අපට ගෙනෙල්ලා වහ ටිකක්...!”
විල්ප්‍රඩ් රත්නසේකර ගුගුරයි.
“අනේ අපේ මහත්තයා...! සන්සුන් වෙන්ට කෝ.... කලබලවෙලා අසනීප වෙන්න ඕන නෑනේ...”
නිර්මලා මැණිකේ වතුර වීදුරුව ඔහු වෙත සමීප කළේ කරුණාවෙනි. ගොබලු සේ මතුවුණු තම දෑස ප්‍රකෘතියට හරවාගෙන විල්ප්‍රඩ් හාමු හාන්සිපුටුව මත කඩා වැටුණේ බිරිය දිහා ඇස් පුරා බලමින් ය.
ඒ ක්ෂණයෙන් වලව් මිදුලට සම්ප්‍රාප්ත වුණු ජීප් රියෙන් බැස ආ ජයේන්ද්‍ර දැක නිර්මලා මැණිකේ කට අරින්ට හැදුවා පමණි.
විල්ප්‍රඩ් හාමු අතක් ඔසවා ජයේන්ද්රට කීවේ කිසිවක් කතා නොකරන ලෙසය.
“අපට ආරංචියි... වෙච්ච විලම්බෑසිය කෝ සුදු මැණිකෙ හාමු... එයාට මොකද ජයේන්ද්‍ර...”
නිර්මලා මැණිකේ ඇසුවේ හති දමමින්ය.
“මං දන්නෙ නෑ හාමු... ආරංචිය ආපුගමන් මම මෙහෙට දුවලා ආවේ... මට හිතාගන්න බැරිවුණු හින්දා...!”
“අයියෝ මට බයයි සුදු මැණිකෙ අක්කට ආයෙ අසනීප වෙයි කියලා... අපේ මහත්තයා... අපි යමු රත්නපුරේ වලව්වට...!”
ඊළඟට විනාඩි පහළව ඇතුළත හාමු ජෝඩුව වාහනයට ගොඩ වෙනවාත්... වාහනය පණ ගන්වනවාත් ජයේන්ද්‍ර බලා සිටියේ විමතියෙන්. හාමුලා තමාව තඹ සතේකට මායිම් කළේ නැති බවට සියුම් ඉඟියක් හදවත පුරා ඔඩු දුවද්දී ඔහු මේ ලෝකෙට ආවේ ජන්තුගේ කටහඬින්ය.
“පුදුම වැඩක්නේ වුණේ... සුදු මැණිකෙ හාමුගෙ සිහිකල්පනාව නම් මේ සැරේ ඉවරෙටම ඉවරයි...! හහ්...”
“ඒක නම් ඇත්ත... ජන්තු... මටත් ඒ ආරංචිය ඇසුවාම කර කියාගන්න දෙයක් නැතිවුණා... මම දන්නෙම නැතිව මෙහේට ඇවිල්ලයි නතර වුණේ...”
ජයේන්ද්‍ර කියද්දි ජන්තුගේ මුහුණේ මතුවුණේ සමච්චල් සිනාවක උපහාසයක්.
“හහ්... පව් සුදු මැණිකෙ හාමු... එකක්ද දෙකක්ද? සමන්ති බේබිහාමුගෙ හුටපටේ අහපු වෙලාවෙ ඇතිවෙච්ච කම්පනේට... වෙච්ච දේ අපට මතක නැතිවයැ...!” ජයේන්ද්‍රගේ මූණ ඇඹුල්වෙද්දි සිරියා තම සැමියා දිහා රැවිල්ලකින් බැලුවේ ඕක නවත්තාගන්න යැයි කියන්නට වගේ ය.
“මං යනවා සිරියා...!”
“අනේ ඉන්න ළමයො තේ ඩිංගක් බීලා යන්න...”
සිරියාගේ මවුවත් ගුණයට පිං සිද්ධ වෙන්න ජයේන්ද්‍ර තම කෝපයත් කලකිරීමත් යටපත් කරගත්තේ ය. ඒ සමඟම ඔහු තුළ ගර්වයක්ද නැග ආවේ ය. මමත් හාමුලාගේ පරපුරේ එකෙක්... මම හාමුවුණේ හාමු පවුලට සම්බන්ධ වෙච්ච හින්දා නෙමේ.
ආත්මානුකම්පාව ඔහු ගර්වයට අමතරව ඔහු තුළ කළකිරීමක් ඇතිවෙන්න ගත්තේ වලව්වට කඹුරන එවුන්ගෙන් පවා තමුන්ට මදිපුංචිකම් ලැබෙනවා වේදැයි සිතමින් ය.
* * * * * *
විශ්වවිද්‍යාලය අසබඩ සුපුරුදු අවන්හලේ දී ජයමාල් තම සොයුරා සමඟ කතා කරමින් සිටියේ ආවේගශීලීවය.
“මම නම් හිතන්නේ අයියේ... කිව්වට තරහ වෙන්න එපා අපේ ගොඩලියද්ද මාමා කරපු තුට්ටුදෙකේ වැඩේට මලින්ද අයියා ගන්න ඕනෑ නියම ඇක්ෂන් එක තමා ගත්තේ... හහ්...”
ශ්‍රීමාල් තම මල්ලි දිහා බලා සිටියේ බර කල්පනාවකිනි.
“මම කියන්නෙ නෑ මල්ලි මාමා කළ දේ හරි කියලා. ඒත්... මලින්ද අයියා... මට පුදුමයි එයාගෙ අම්මා ගැන ටිකක්වත් හිතපු නැති එක... එයාට වටින්නෙ නෑ... එහෙම වැඩක්... හිතුවක්කාර තීරණයක් ගන්න...!”
ජයමාල් ඊට පෑවේ සද්ද හිනාවකි. ඒ එක්කම ඔහු තම සිසිල් බීම වීදුරුව ශබ්ද නගමින් හිස් කළේ අන්තිමේ බටය ද කඩා දමමින්ය.
තම මලයාගේ මුහුණේ ඇති වූ සාවද්‍ය හිනාවට ජයමාල් කැමැති වූයේ නැත. ඒ සමච්චල් හිනාව තුළ තම දෙමාපියන්ටද අනාගතයේ අත්වන ඉරණමක් සම්බන්ධව බැරෑරුම් කල්පනාවක් සනිටුහන් විය.
“අයියා දන්නවද... අයියගෙ කෙල්ලට විරුද්ධව අප්පච්චි ඔය වගේ පල් වැඩක් කළොත් අයියා කරන්නෙත් ඔය ටිකම තමා...!”
ජයමාල් එසේ කීවේ අයියාගේ ඇස දිහා කෙලින් ම බලමින්. ඔහුගේ ඇස්වල නළියන පිරිමිකමේ එඩිතර බවට තමා, පවා මෙල්ල වී ඇත.
“සුදු මැණිකෙ නැන්දට මෙලහකටත් මොනවා වෙලාද දන්නෑ...”
එය යටපත් කරගෙන ශ්‍රීමාල් කියද්දී... ජයමාල් පෑවේ සමච්චල් හිනාවකි.
* * * * * *
චන්ද්‍රානි ඉස්තෝප්පුවට වී කල්පනා කරමින් සිටියේ වහාම මේ පරිසරයෙන් මිදිලා කොයි වෙලේක හරි නවාතැනට යන එක ගැනය.
මුලින් ම ලැබුණු ආරංචිය සමන්තිගේ මලනුවන් වන මලින්දගේ හිතුවක්කාර විවාහය ගැනය. නමුත් ඊළඟට අහන්න ලැබුණු දේ ඇසකන් අදහාගත නොහැකි දෙයක් විය... මෙලොව වසන කිසිම දරුවෙකුට මෙවැනි කම්පනයක් ඇති නොවේවා යි ඇය අන්තිමට සිතුවේ නිවිහැනහිල්ලේ පන්සලට ගොස් මල් පූජා කර මොහොතක් එහි රැඳී සිටිද්දීය.
ජයේන්ද්‍ර අයියාගේ පියා තම පියාවන ජයතිස්සගේ පුතෙකු නොව, ශ්‍රී ජය වලව්වේ විල්ප්‍රඩ් රත්නසේකර හාමුගේ පුතෙක් බව දැනගන්නා තමා කෙතරම් කැලඹුණා දැයි ඇයට මතකය...
නමුත් දැන් ඒ කැලඹිල්ල භූම රංගයක් සේ කැරකිලා ඇවිත් තමන්ටම වැදිලාය. තමාගේ පියාත් ජයතිස්ස නොව රත්නපුර වලව්වේ ඩග්ලස් ගොඩලියද්ද බවට කියැවෙන මේ කතාව... අදහාගත නොහැකිව තමා විසඥ වුණේ නැතිව පුදුමය. කෙසේ වුවත් තමුන්ගේ හිත හැදුවේ ජයේන්ද්‍ර අයියාමය.
“මොනවා කරන්නද නංගී... අපි දෙන්නාටම එකම වේදනාවක් තමා අත්වුණේ. අපි දෙන්නා තාත්තලා දෙන්නෙක්ගෙ ළමයි... අපිට පොදු අම්මා විතරයි...!”
ජයේන්ද්‍ර එසේ කීවේ හඬමින්ය.
ඒ සියල්ල සිහිපත් කරමින් චන්ද්‍රාස නැවත මානසික දෝලාවක එහාට මෙහාට පැද්දෙයි.
මේ ආරංචිය දැනගත් හැටියේම තමා තම මව වෙත කඩාපැන්න හැටි සැර වැඩියැයි තේරෙන්නේ දැන්ය. එවෙලේ අම්මා කෑ ගසා හැඬූ හැටි මතකය. ඇය තමාව අස්වැසීම සඳහා තමාට නොවැන්දා විතරය. තමා වැලඳගන්නට එද්දී තම අම්මාව පිළිකුලෙන් තල්ලු කර දැමූ සැටිත්... ඉදිරියට පැන්න අයියා නිසා අම්මා බිම නොවැටී බේරුණු සැටිත් ඇයට මතකය.
කෙසේ වුවත් සමන්ති අක්කා තමාගේ හිත හදපු සැටි ඇයට අමතක වන්නේ නැත. සමන්ති අක්කා වලව්වක ඉපැදුණත් මොන තරම් සාධාරණ මානුෂීය හැඟීමවලින් පිරුණු කෙනෙක් ද යන්නත් ඇය කෘතවේදීව සිහිපත් කළත් හිතේ වේදනාව හරියට ඔඩු දුවන තුවාලයක් වගේ ය.
* * * * * *
රත්නපුර වලව්වේ විශාලම කලබැගෑනිය වුණේ තම පුත්‍රයා කෙල්ලක සමඟ පලාගිය පුවත ඇසූ මොහොතේ සුදු මැණිකේ හාමු කාමරයට වැදී දොරගුළු ලාගත් නිසා ය. දොර වගේ ම කාමරයේ ජනේලයත් ඇය අගුළු දමා ගෙන තිබුණි.
දොරකඩ පොදිකන අය සමූහයකි.
විල්ප්‍රඩ් ගොඩලියද්ද, සේම රත්නසේකර හාමු ජෝඩුව, ජයේන්ද්‍ර, ජයතිස්ස, මැසී... හැම දෙනාම දොරට තට්ටු කරමින් තම තමන්ගේ ප්‍රකාශ නිකුත් කරමින් දොර අරින ලෙස කැරෙන ආයාචනාය. ඒ එක්කම සමන්තිත් කුඩා දරුවා ලවා ආච්චි අම්මාට ආමන්ත්‍රණය කෙරෙව්වේ ඒ නිසාවත් ඇය දොර අරීවිද කියා සිතාගෙනය.
“අයියෝ මට බයයි අම්මා බෙල්ල වැල දා ගනීවිද කියලා. සමන්තිගේ ඒ වචන මුදා හැරීමත් එක්කම ඉතාමත් ම කලබල තත්ත්වයකට පත් වුණේ විල්ප්‍රඩ් ගොඩලියද්ද ය!
“මැගී ඔය පොරව ගෙනෙන්.. මේ දොර කඩමු!”
ඔහු බිහිසුණු ලෙස මොර තිබ්බේය.
එක පොරෝ පහරික් ගසද්දීම කාමරයේ දොර විවර වුණි. එය ඇරුණේ කෙසේ දැයි කාටවත් හිතාගන්නවත් බැරි විය...!
ලබන සතියට...