
"අතීතයේ සිට රජවරුන් පර සතුරු ආක්‍රමණ මැඬ පවත්වා ගත්තේ රට ගැන පළමුව සිතීම නිසාය. එමෙන්ම පෘතුගීසින්ටත් ලන්දේසින්ටත් උඩරට අල්ලා ගැනීමට නොහැකි වූයේ අපේ එකමුතුකම සමගිය තිබූ නිසා වන අතරම ඉංග්‍රීසින් උඩරට අල්ලා ගත්තේ අපේ අසමගිය නිසා බව අප වටහාගත යුතුය. ඒ අසමගිය නිසා එදා වූ විනාශයන් දෙස අප ආපසු හැරී බැලිය යුතුවේ"
අතීතයේ සිට ශ්‍රී ලංකාව යන නාමය ලොව පුරා පතළව තිබුණේ සංග්‍රහශීලී ආගන්තුක සත්කාර හොඳින් දන්නා වැසියන් සිටින රටක් ලෙසිනි. එසේම එකමුතුකම සමගිය සශ්‍රීක බවද රටේ ඉහළින් ම තිබුණු සංකල්පයක් බවද පෙන්වා දිය යුතුය.
එසේ වුවත් මෑතකාලීන දේශපාලන ක්‍රියාදාමයන් හමුවේ රට විවිධාකාර අභියෝග හා අර්බුදවලට මුහුණ දීමට සිදු විය.
වර්තමානයේ මේ සිදුවීම් මාලාවේ උග්‍ර තත්ත්වයකට රට පැමිණ ඇති බවද කිව යුතුය.
මේ අවස්ථාවේදී අප කටයුතු කළ යුත්තේ කෙසේද?
අපේ රටේ අභිමානය රැක ගැනීම උදෙසා ලක්වාසී සියලු දෙනාම කටයුතු කිරීම අනිවාර්යෙන් ම සිදු විය යුත්තකි. රණ විරුවන් දහස් ගණනක් තම දිවි පුදා රට රැක ගෙන ඇත්තේ අනාගත පරපුරට නොබෙදුණු රටක් ඇති කරලීම පිණිසය.
එමනිසා දිනාගත් දේශයට කැළලක් ඇති නොවන සේ කටයුතු කළ යුතුය.
වර්තමානයේ අප රටේ මතුව ඇති දේශපාලන අර්බුදයේදී ජනතාව ක්‍රියා කළ යුත්තේ පක්ෂ පාට භේද සියල්ල අමතක කරමිනි. රටේ අභිමානය රැක ගැනීම උදෙසා ඉතාම ඉවසිලිමත්ව සමාදානව කටයුතු කළ යුතුවේ. එසේ නොමැතිව අඩ දබරවලට යාමෙන් හානිය සිදුවන්නේ තම තමන්ට බවද මෙහිලා අවබෝධ කර ගත යුතුවේ.
අප සියලු දෙනාටම පක්ෂ පාට භේද සියල්ලටම වඩා වටිනාකමක් ඇත්තේ රට රැක ගැනීමට බව අවබෝධ කර ගත යුතුවේ.
රටේ ගෞරවය ආරක්ෂා කර ගනමින් ජනතාව ආරක්ෂා කර ගනිමින් එකිනෙකාට විරුද්ධවාදීකම් නොපා සමාදානව සිටීම මේ අවස්ථාවේ කළ යුතු අත්‍යවශ්‍ය ක්‍රියාවලිය වේ.
මේ අවස්ථාවේ උපේක්ෂාවෙන් කටයුතු කිරීම විනා කිසිදු අයකු නීතිය අතට ගැනීමට කටයුතු නොකළ යුතු වේ. ඇතැම් පිරිස් නීතිය මෙහෙයවීමට නීතිය අතට ගැනීමට ගොස් සිදුවූ විනාශයන් ගැන අපි දැක ඇත්තෙමු.
රට අර්බුදයකට පත්ව ඇති මේ අවස්ථාවේ දේශපාලන නායකත්වයෙන් ඉල්ලා සිටීමට ඇත්තේ රට අර්බුදයක් කරා නොයවා රට අස්ථාවර නොකර නීත්‍යානුකූලව සියලු ගැටලු විසඳා ගන්නා ලෙසයි.
මෙබඳු යම් යම් අර්බුදකාරී අවස්ථාවන්ට රට මුහුණ පා තිබුණු නමුත් ඒ සෑම අවස්ථාවකදීම පාලකයින් පළමුව රට රැක ගැනීමට කටයුතු කළ බවද මෙහිදී පෙන්වා දිය යුතුවේ.
අතීතයේ සිට රජවරුන් පර සතුරු ආක්‍රමණ මැඬ පවත්වා ගත්තේ රට ගැන පළමුව සිතීම නිසාය. එමෙන්ම පෘතුගීසින්ටත් ලන්දේසින්ටත් උඩරට අල්ලා ගැනීමට නොහැකි වූයේ අපේ එකමුතුකම සමඟිය තිබූ නිසා වන අතරම ඉංග්‍රීසින් උඩරට අල්ලා ගත්තේ අපේ අසමඟිය මෙන්ම පාවාදීම් සිදුවූ නිසා බව අප වටහාගත යුතුය. ඒ අසමඟිය නිසා එදා වූ විනාශයන් දෙස අප ආපසු හැරී බැලිය යුතුවේ.
යළි එවැනි තත්ත්වයකට රට පත් නොකිරීමට ජනතාවද මෙහිදී වගබලා ගත යුතුය. පාලකයින් අතර බල අරගල තිබිය හැකිය. ඒවා පාලකයින්ට ව්‍යවස්ථානුකූලව නීත්‍යානුකූලව විසඳා ගැනීමට ජනතාව ඉඩ දිය යුතුය.
පාර්ලිමේන්තුවේ ගැටලු පාර්ලිමේන්තුවට බාර දිය යුතුය.
තමන් නොදන්නා ව්‍යවස්ථාවක් න්‍යායන්, අධිකරණ ක්‍රියාදාමයන් ගැන මත එළි දක්වමින් කළ එළි බැසීම නොව ඒවා පාලකයින්ට විසඳා ගන්නට ජනතාව ඉඩ දිය යුතුය. එසේ නොමැතිව ජනතාව එය මඟ තොටේදී කාර්යාලයේදී විසඳීමට යාමෙන් සිදුවන්නේ තමන්ට අගතියක් වනවා මිස ප්‍රශ්නයට විසඳුමක් ලැබීම නම් නොවේ.
පසුගිය දිනක ඛනිජ තෙල් අමාත්‍යාංශයේදී ආරක්ෂකයකුගේ වෙඩි ප්‍රහාරයෙන් සේවකයෙක් මිය ගියේය. දැන් එම සේවකයාගේ මවුපියන් එසේ නැත්නම් දරු පවුලට ගැන කලදසාව කුමක් ද? ආයතනයේ නිලධාරීන් ටික දිනක් ශෝකය බෙදා ගැනීමට පැමිණෙන නමුත් දීර්ඝ කාලීනව පැමිණෙන ගැටලුවලට මුහුණ දීමට සිදුවන්නේ පවුලේ උදවියටය. මේ අවබෝධය අප කා තුළත් තිබිය යුතුවේ.
දේශපාලකයින්ගේ අර්බුදවලට ජනතාව මැදිහත්වීම ඉතාම ප්‍රවේශමෙන් කළ යුතු වන්නේ එහෙයිනි. විශේෂයෙන්ම ප්‍රඥා ගෝචර වීම බුද්ධියට තැනක් දී කටයුතු කිරීම මෙහිලා ඉතාම වැදගත් වේ.
පවත්නා ව්‍යවස්ථා අර්බුද ගැන රටේ බොහෝ දෙනාට අවබෝධයක් නැත. ඇතැම් භික්ෂූන් වහන්සේට ද එසේමය. එමනිසා එම අර්බුද නීතිමය වශයෙන් විසඳා ගැන්මට ඉඩ දිය යුතුය.
එසේ නීති මඟට ද ඇතැම් කරුණු ගෙන ගොස් ඇති බව පෙනේ. එවන් වාතාවරණයක් යටතේ රටේ ජනතාව ඇණ කොටා ගැනීම් පාරට බැසීම් නිසා සිදුවන්නේ රට ආර්ථික වශයෙන් අගාධයට යාමක් මෙන්ම රටට බොහෝ අංශවලින් ගැටලු ඇතිවීම පමණි.
අන්තර්ජාතිකව ද අප රට දෙස බොහෝ ඇස් යොමුව ඇති බැවින් මේ අවස්ථාවේදී ජනතාවත් පාලකයාත් යන දෙදෙනාම බුද්ධිමත් විය යුතුය.
අර්බුදකාරී තත්ත්වයකට පත්ව ඇති මේ මොහොතේ එක් එක් පැති ගෙන තර්ක විතර්ක කිරීම නොව නීතියට ගරු කිරීමට පාලක පාලිත දෙපක්ෂය ම පියවර ගත යුතුවේ. දේශපාලනය කිරීමට හෝ තමන් කැමැති මතවාදයකට යෑමට හෝ පළමුව රටක් තිබිය යුතු බව තේරුම් නොගතහොත් රට අරාජික වී අන්තර්ජාතිකව පවා අපට විවිධාකාර බලපෑම්වලට ලක්වීමට ඉඩ තිබිය හැකිය.
අපට යම් යම් සංස්කෘතික ගැටලු තිබිය හැකිය. දේශීය අනන්‍යතාවයට හානි වූ අවස්ථා තිබිය හැකිය. එහෙත් මේ අවස්ථාවේදී ඒ සියල්ලටම වඩා අවධානය යොමු කළ යුත්තේ රට රැක ගැනීමටය.
අපේ සංස්කෘතිය, සාරධර්ම මේ සියල්ල රඳා පවතින්නේ රට රැකුණොත් පමණක් බව අවබෝධ කර නොගතහොත් අතීතයේ රටට සිදුවූ ව්‍යසනයන්ට වඩා බරපතළ තත්ත්වයක් අපට උදාවීමට ඉඩ තිබේ. සංස්කෘතිය, සාරධර්ම අප මේ අවස්ථාවෙදී භාවිත කළ යුත්තේ අපේ ප්‍රශ්න විසඳා ගැනීමටය.
එමනිසා අනාගතය ගැන සිතා නොබෙදුණු ස්වෛරී බවින් යුත් රටක් රැක ගැනීමට පළමුව පාලකයාත් සේම රට වැසියාත් කල්පනා කළ යුතුමය.
ජනතාව කාර්යාලයේදී හෝ මඟ තොටේදී මේ ප්‍රශ්න විසඳා ගැන්මට නොයා යුතුය.
පසුගියදා පාර්ලිමේන්තුවේ ලේ සෙලවීමක්ද සිදු විය. රටේ උත්තරීතර ආයතනය වන පාර්ලිමේන්තුවේ එවන් තත්ත්වයන් ඇති නොවිය යුතු බව අපි සියලු දෙනාම එක හෙළාම පිළි ගන්නෙමු. මේ නිසා ජනතාව රටේ උත්තරීතර පාර්ලිමේන්තුව වෙත යැවිය යුත්තේ බුද්ධිමත් ප්‍රඥාවන්ත ඉවසීමක් ඇති පුද්ගලයින්ය. එසේ නොවුවහොත් එහි ඵල විපාක විඳිය යුතු වන්නේ ජනතාවටමය.