“අනේ! හාමු මහ­ත්තයා ටෙලි­ගිරෑං එකක්” | සිළුමිණ

“අනේ! හාමු මහ­ත්තයා ටෙලි­ගිරෑං එකක්”

කවුරු මොනවා කීවත් දරු­වන් ගැන හැම­දාම දුක් විඳින දෙමවු­පිය සනු­හ­රය ගැන ඔහුට ඇති­වන්නේ මහා දුකකි. සුදු­මැ­ණිකෙ නැන්දා මොන­ත­රම් සැප සම්පත් මැද වුණත් ජීවත් වන්නේ සිතින් දැවී යමින්ය. ඒ සම­ඟම තමාගේ මෑණි­යන්, නිර්මලා මැණිකේ... ඇය ගැනත් ශ්‍රීමාල්ගේ හිත ඇතුළේ පැස­වන්නේ පුදු­මා­කාර වේද­නා­වකි. ‘අම්මා පව්... අප්පච්චි කොහොම වෙතත්’ ඔහුගේ යටි­හිත හැම­වෙ­ලේම මුරගා කීවේ එසේය.

රත්න­පුර වල­ව්වට උදේ පාන්ද­රම ආ විදුලි පණි­විඩය අතට ගත්තේ මැගීය. ඇගේ අත් ගැහෙ­න්නට ගත්තේ පෙරදා රාත්‍රි මලින්ද බේබි හාමු ගෙදර ආවේ නැති බව මතක් වෙලාය. ඇය විදුලි පණි­වි­ඩය රැගෙන සුදු මැණිකෙ හාමුගේ කාම­ර­යට දිව්වේ කෑග­ස­මිනි.

“කෝ... මොකෝ මේ... මැගී උඹ පණ­ක­ඩා­ගෙන දුවන්නේ. හරි­යට ලෝකෙ පෙර­ළෙ­නවා වගේ නේ... මහත දෙහෙත සිරුර හොල­ව­මින් දුවන මැගී ඇත්ත­ටම මැව්වේ හිනා­යන දසු­නකි.

“අනේ හාමු මහ­ත්තයා... ටෙලි­ගිරැං එකක්.. මේ...”

සාලියේ හාන්සි පුටුවේ දිගෑ­දුණු ගොඩ­ලි­යද්ද වහා විදු­ලි­පු­වත කිය­වයි. ඔහුගේ නළල රැලි­ගැ­න්වෙයි. ඉබේ­මට කෑගැ­සෙයි.

“නෙද්දකිං ඉත­රක් වල් පාහ­රයා... ඌ මගේ නම්බුව කෑවා කෑවා... එහෙම පිටින්ම කෑවා!”

දැන් ගොඩ­ලි­යද්ද හාමුට ඇස් පෙනෙ­න්නෙත් නැත. කන් ඇහෙ­න්නෙත් නැත.. ඔහු සෙල්පි­ළි­ම­යක් වෙලාය. ඇස් දෙක ඔර­වා­ග­ත්ව­න­මය.

“ඇයි අනේ අපේ මහ­ත්තයා මං ඔයැ­යිට කී සැර­යක් නම් කතා කළාද? ඇයි මේ..?”

ඊළ­ඟට හාමු ඇස් පියා­ග­නියි. හාන්සි­පු­ටුවේ වාඩිවී ඇස් පියා­ගෙන සිටින ගොඩ­ලි­යද්ද හාමු දැක සුදු මැණිකෙ බිය­පත් වෙයි. දැන් මැගී එතැ­නට දුව­ගෙන එන්නේ තම ස්වාමි­දුව වත්තම් කර­ග­න්න­ටය. නමුත් ඇය එතැ­නට එන්නට කලින් බිම වැටී තිබෙන විදුලි පණි­විඩ කොළ කැබැල්ල ඇය දකී. එය අහු­ලා­ගෙන කිය­ව­න්නට හද­ද්දීම ගොඩ­ලි­යද්ද මහා හඬින් කෑග­සා­ගෙන පුටු­වෙන් නැගී සිටියි.

******

නිවා­ඩුව සඳහා චන්ද්‍රානි ගෙදර එමින් සිටියේ හිතේ බොහොම සැහැ­ල්ලු­වෙන්ය. ජයේන්ද්‍ර අයි­යාගේ පුතාගේ හුර­තල් මත­ක්වෙලා ඇය බස­යට නගින්න කලින් සෙල්ල­ම්බඩු සාප්පු­ව­කට ගොස් සෙල්ලම් බඩු­වක් ගත්තේ හිතේ සැහැ­ල්ලු­වෙනි. දැන් ජයේන්ද්‍ර අයි­යාට ඉස්ස­ර­යට වඩා ආර්ථික පැත්තෙන් හොඳ තත්ත්ව­යක් ලැබී ඇති එක ගැනත් ඇයට සතු­ටුයි. නමුත් ගෙවල් ළඟ හන්දි­යේදී බස­යෙන් බැස්ස චන්ද්‍රා­නිට හිටි­ග­මන්ම ඇසුණේ අමුතු දෙබ­සකි.

“හ්ම්... ඔය එන්නෙ උඩ දම දම... කමලෝ. අපි අහලා තීන්නේ අප්ප කොළ දේ පුතා නොක­ළොත් ඌ නොට්ටිගෙ පුතා කිය­ලනෙ. එත­කොට කියපං බලන්න... අම්ම කළදේ දූ නොක­ළොත්... ඒකිට කියන නම මොකක්ද බං...”

ඊළ­ඟට අනෙක් ගැහැ­නිය පිළි­තු­රක් දෙනවා වෙනු­වට ඇය ඉහලා සිටි කුඩය චන්ද්‍රා­නිගෙ ඇ‍ඟේ වදින ලෙස ඇකි­ළුවේ මුහුණ රකුසු කර­ගෙ­නය.

මුන්ට තියෙන්නෙ පැහැ­දිලි ඉරි­සි­යාව.. අර අපේ අයියා කියන්නා වගේ. මුන්ගෙ දරු­වන්ට විශ්ව­වි­ද්‍යාලෙ යන්න බැරි වුණාට මම පළියැ.. චන්ද්‍රානි එහෙම හිතා පාර පැන ගෙද­රට යන ගුරු­පා­රට හැ‍රුනේ ටිකක් හිත දෙගි­ඩි­යා­වෙනි. පරි­ස­ර­යම හරිම අමු­තු­වට දැනෙයි. කඩුල්ල පැනලා ගෙද­රට එද්දිත් ගේ පැත්තේ හැල­හො­ල්ම­නක් නැත. කුස්සියේ බංකු­වක් උඩ වාඩි­ගත් අම්මා නික­ටට අත­ත­බා‍ ­ගෙන බර කල්ප­නා­ව­කට සිටියා, තමා එන බව­වත් දන්නේ නැත.

“අම්මේ... මොකෝ.. මේ...?”

චන්ද්‍රානි, දුවගේ හඬින් ඇය තිගැ­ස්සෙයි. වහා අත්දෙක ඇදි­වත දෙප­සින් පිස­දා­ගෙන ඇය නැගි­ටින්නේ අමුතු විදි­ය­ක­ටය.

“ආ.. දුවේ උඹ ආවද?”

“කෝ අම්මේ අප්පච්චි... දැන් සනීප වෙලා වැඩට යන්න ඇති නේද? කෝ අම්මේ වෙනදා මං එද්දි බූලාත් ඉස්ස­ර­හට එනවා. අද ඌටත් මාව අම­තක වෙලාද?”

‘පුතේ මං උඹට බොන්න එත් එකක් හද­න්නම්කො. ඇඳුම් මාරු­ක­ර­ගෙන වරෙං එහෙ­නම්... බූලා ඔහේ නිදි ඇති...”

“මොකක්ද අම්මේ වුණේ... අම්මා අද හරි අමු­තුයි. අපේ ජයේන්ද්‍ර අයි­යගෙ කත­න්දරේ දැන් ඉව­රනෙ අම්මේ.. ඕකට දැන් ආයෙ මූණ එල්ලන් ඉන්න ඕනැ නෑනේ...”

ඒ එක්කම එතැ­නට ආපු ජය­තිස්ස දඩාස් ගා

දර මිටි­යක් අත­හැ­රියේ සද්ද නග­මින්ය. එහෙම සද්ද­යක් දැම්මේ ටිකක් තර­හින් වගේ යැයි චන්ද්‍රා­නිට සිතුණේ ඉබේ­ට­මය. ඇයට අම්මා ගැනත් අප්පච්චි ගැනත් ඇති­වුණේ දුකකි. පව්... මේ කර්කශ පරි­ස­ර­යට වෙලා අනුන්ගෙ වතු­ව­ලට හිර­වෙලා මෙයාලා ගත කරන ජීවිතේ මොන­ත­රම් අතෘ­ප්ති­ක­රද? අප්ප­ච්චිගේ විඩා­පත් මුහු­ණත් ඇට පෑදී විශාල ගස් මුලක් සේ ඇති ගෙල පෙදෙ­සත් දෙස බැලූ ඇයට හිතුණා පමණි.

එවි­ටම එක­ව­ර­ටම ජයේන්ද්‍ර එතැ­නට ආවේ ශබ්ද­යක් නොන­ඟා­මය.

“ආරංචි වුණා නංගි ආව­ය­කි­යලා හන්දි­යෙදි. මම ජීප් එක එහෙ­මම හර­වා­ගත්තා.. ආවා...! ඉතිං නංගි..?”

දැන් චන්ද්‍ර­ලතා කුහුල් ඇස්ව­ලින් තම පුත්‍රයා දෙස බලා­ගෙ­නය. නංගි මේ ආරං­චිය දැන­ග­ත්තොත් මොකින් මොකක් වේවිද යන බය සහ කුකුස අම්මාගේ ඇස්වල තිබෙනු ඔහුට පෙනෙයි.

නමුත් ඊළඟ තත්ප­ර­යේදි සියල්ල වෙනස් වන්නට නිය­මි­තව තිබුණා වගේය. හදි­සියේ නාද වුණ තම ජංගම දුර­ක­ත­නය කණට තබා­ගත් ඔහු කෑගෑ­වේය.

“මොනවා...!”

ඊළ­ඟට ඔහු වහා දිව ගොස් ජීප් රියට නැග­ගෙන දුම්ව­ළලු පිට කර­මින් ඉගිළී ගියේ අම්මාත් දුවත් කට ඇර­ගෙන බලා සිටි­ද්දීය. චන්ද්‍ර­ලතා දිග සුසු­මක් ගත්තේ හිතේ සැහැ­ල්ලු­වෙන් නොව මහා බර­කිනි.

******

එදා ඇම­තු­මක් දී තරංගා බඳි­නවා කියා කීවාට මලින්ද අයියා මේ තරම් ඉක්ම­ණට එය ක්‍රියා­වට නංවා­වි­යැයි ශ්‍රීමාල් කොහෙත්ම සිතු‍ෙව් නැත.

“බලපං... අපේ මලින්ද අයියා... පුදු­මා­කාර හදිසි පිය­ව­රක්නෙ අර­ගෙන තියෙන්නෙ...”

“ඒක නම් ඇත්ත..බං.. කවුද හිතුවෙ මෙහෙම දෙයක්” ගොඩ­ලි­යද්ද මාමා තමා වැඩේ කාගත්තෙ.. අර තරං­ග­ලාගෙ ගෙවල් පැත්තට මොන එහෙ­කට චණ්ඩි රැළක් යැව්වද... නිකං තුට්ටු දෙකේ බාල වැඩක් නේ කරලා තියෙන්නේ...”

“ඒත්... මං හිතුවෙ නෑ උඹ­ලගෙ මලින්ද අයියා ඔය­ත­ර­මට පුරුෂ ධෛර්ය­යෙන් වැඩ කරන කෙනෙක් කියලා කීය­ට­වත්... බලපං... අද­හන්න වටිනා පුරුෂ පරා­ණ­යක්නෙ උඹ­ලගෙ ඔය මලින්ද අයියා.. උඹ­ලගෙ පර­ම්ප­රාවෙ ‘ලේත්’ නරක නෑ නේ බං...”

උදා­රත් පැත්ත­කින් ඉඳ­ගෙන ඒ වාක්‍යය දැම්මේ සිරි­නා­තට ඇහැක් ඉඟි­ක­ර­මින්ය. මේ බව ශ්‍රීමාල් දුටුවේ හොරැ­හිනි.

“මේ... උඹලා.. මට හින්ට් ගහ­නවා නේද? මට තේරෙ­නවා... ඒත් මේඛ­ලාගෙ පැත්තෙන් බලද්දි උඹ­ලට හිතෙන්න පුළු­වන් මම මේවා ගැන එච්චර බරට - දුරට හිතන්නෙ නෑ කියලා. එහෙම නෑ බං.. මට ඒවා තේරෙ­නවා.. අපේ මලින්ද අයි­යාට උණත් ඔය වගේ හදි­සි­සම ඇක්ෂන් එකක් ගන්න ‘ගට්ස්’ ඇවිත් තියෙන්නෙ... තරංගා එයාට ගමේදි වෙච්ච අප­හා­සෙන් කළ­කි­රිලා වහ බොන්න හදාවි කියන බයට...!”

“චෑ.. චෑ... චෑ... ඒක නම් බොහොම කැතයි. අන්න අන්න ඔතන තමා බං පහ­ත්ග­තිය තියෙන්නෙ... තමන් ලබාපු උතුම් මනු­ෂ්‍යාත්මෙ නහන්න කවුරු හරි හිත­නවා නම් ඒක මහාම මහා තිරි­සන් චණ්ඩාල වැඩක්.. එහෙම බලද්දි මට නම් තරංගා ගැන කිසිම පැහැ­දී­මක් ඇති­වෙන්නෙ නෑ...”

ඊළ­ඟට සංජය ය.

“එහෙම කියන්න එපා බං... ආදරේ ඉදි­රි­යේදි ඕවා සාපේ­ක්ෂයි. ඕවා දුරින් ඉඳන් කියලා හරි­යන්නෙ නෑ... තමු­න්ටම වෙන්න ඕනෑ ප්‍රශ්නෙ ඇතු­ළට බැස්සාම තමා තේරෙන්නෙ...”

“මට තව බයක් තියෙ­නවා බං... අපේ මලයා ඉන්නවා නේද එයා මේ ආරං­චිය මොන විදි­යට බාර­ග­නී­විද කියලා.. එයත් ඒක ෂුවර් එක­ටම ආද­ර්ශෙට ගනීවි.. එයා ඒ තර­මට ම කිපි­ලයි ඉන්නෙ වලව් මාන්නත් එක්ක.. ඒ කල්කි­රි­යා­වල් එක්ක..”

ශ්‍රීමාල් එසේ කතාව හමාර කළේ මලින්ද අයි­යාට නැවත කතා­කොට ටිකක් ඔහු හමුවී වර්ත­මාන තත්වය සම්බ­න්ධව උද­ව්වක් කළ හැකි­දැයි විම­සිය යුතු යැයි හි‍තේ ධාර­ණය කර­ගෙ­නය. කො‍හොම වුණත් කවුරු මොනවා කීවත් දරු­වන් ගැන හැම­දාම දුක් විඳින දෙමා­පිය සනු­හ­රය ගැන ඔහුට ඇති­වන්නේ මහා දුකකි. සුදු­මැ­ණිකෙ නැන්දා මොන­ත­රම් සැප සම්පත් මැද වුණත් ජීවත් වන්නේ සිතින් දැවී යමින්ය. ඒ සම­ඟම තමාගේ මෑණි­යන්, නිර්මලා මැණිකේ... ඇය ගැනත් ශ්‍රීමාල්ගේ හිත ඇතුලේ පැස­වන්නේ පුදු­මා­කාර වේද­නා­වකි. ‘අම්මා පව්... අප්පච්චි කොහොම වෙතත්’ ඔහුගේ යටි­හිත හැම­වෙ­ලේම මුරගා කීවේ එසේය.

*******

ගොඩ­ලි­යද්ද මස්සි­නා­ගෙන් ඇම­තුම ලත් තැන් පටන් විල්ප්‍රඩ් රත්න­සේ­කර ද හැසි‍රුණේ විය­රු­වෙන් වගේය.

“මොකක්ද අපේ මහ­ත්තයා මේ ඒ පාර ගෝර­ණා­ඩුව.. දෙයි­යනේ මේවයෙ කෙළ­ව­රක් නැති හැටි...?”

මිදුල උද­ලු­ගා­මින් සිටිය ජන්තුවා සියලු වැඩ නවත්වා ආලි­න්දය දිහා බැලුවේ මහ හාමු බස්තම උරු­ක්ක­ර­ගෙන අමු­තුම විදියේ නාට්‍ය ජව­නි­කා­වක් රඟ­පා­නවා දැක­ලාය.

“අම්මපා... වෙඩි­ති­යලා දාන්න ඕනැ ඕකුන්ට... වෙඩි තියලා.. හහ්...” ඔහු ආයෙ පපුව අල්ලා­ගෙන ඇඳි පුටුවේ දිගා­වෙයි. ඔහු තම බිරිය දිහා බල­න්නෙත් ඇස් ඔර­වා­ගෙ­නය. හරි­යට ඇය වර­දක් කළ ගාන­ටය.

“හහ්.. අන්න අරූ.. ඔක්කෝම මූණ­ව­ල්වල දැලි උලලා.. ඌ අර­කිව කසාද බැඳලා.. ඔව් මලි­න්දයා.. ඌ... ගම කෑවා.. මහා නොස­ණ්ඩා­ලයා.. පරයා...බල්ලා.. ඌරා...!”

“ඒයි කුමාර බලපං.. අර මහ හාමු, සත්තුන්ගෙ නම් කිය කියා බණින්නෙ කාටද කියලා...!”

සිරියා, තම පුතා කුමා­රව උසි­ග­න්වන්නේ ඒ අත­රේය. ජන්තු කුස්සි­යට එන්නේ ඇස් ලොකු කර­ගෙන නලළ රැලි කර­ගෙ­නය. ඒ එක්කම දකුණු අතේ ඇඟිලි දෙකක් තොල්මත තබා­ගෙ­නය.

“කෑග­හන්න එපා.. දැන් පුදුම ජංජා­ල­යක් වෙලා තියෙන්නෙ.. ආයෙ­මත් වලව් දෙක­ටම ගින්නක් ඇවි­ළිලා.. අර මලින්ද බේබි හාමු...! එයා.. අර අගෝ­රිස් කපුවා පාච්චල් කර කර හිටපු අර... පෙත්තරේ පැත්තෙ කෙල්ලව කසාද බැඳලා.. ඕං.. වහ කෑවා වගේ තමා... හත් දෙයි­යනේ...!”

සිරියා ඒ ආරං­චි­යෙන් මුව අයා­ගෙන සිටිද්දී කුමාර කොලුවා දත­කට පූට්ටු­වෙලා වගේ බලා සිටි­යේය.

ලබන සතියට‍...

Comments