
කොටින් සිවිල් ජනයාට එල්ල කළ පළමු බෝම්බයෙන් දෙපා අහිමි වුණු ගුරුතුමිය
වේදනා දෙන දෙපාවල බර යකඩ බටයකට හිරකර කාගේ හෝ වාරුවෙන් ඉදිරියට ඇදෙද්දී වුව ඇය අවුරුදු තිස් දෙකක් තිස්සේ දූ දරුවන්ට දැනුම දෙන්නීය. දරුවන් වෙනුවෙන් ඇය දක්වන කරුණාව දිනයක් දෙකක් හෝ නිවාඩුවක් හෝ විවේකයක් හෝ නොගැනීමට තරම් බලවත්ය. බදුල්ලේ නාරංගල කන්ද පාමුල ඇති සිසිලස අපගේ විඩා බර ගත සිත සනසාලුවද ඇගේ ගත සිත තවමත් වේදනාවෙනි.
ඇය නමින් කේ. ඩී. සෝමාවතී ය. බදුල්ලේ සිට මහියංගණය පාරේ කිලෝමීටර් 4 ක් පමණ ගෙවා පැමිණ මහකැළේ හන්දියෙන් වමට ඇති දුෂ්කර මාර්ගයේ කිලෝමීටර් 9 ක් පමණ ගෙවා යද්දී පුස්සැල්ලාකන්ද පාසල හමුවේ. ඉතා දුෂ්කර ගම්මානයක් වන පුස්සැල්ලාකන්ද ගමට ඇත්තේ එකම පාසලකි. සෝමාවතී ගුරුතුමිය වසර තිහකට අධික කාලයක් තිස්සේ එම පාසලේ දූ දරුවන්ට සිප් සත බෙදා දෙන්නීය.
අන් අයගේ වාරුවෙන් ඉදිරියට ඇදෙද්දී
අනෙක් ගුරුවරියන්ට වඩා ඇයගේ දැනුම වැඩි බොහෝ අවස්ථා ඇත. එයට හේතුව ඇය 1982 වසරේ සිට මේ දක්වා වසර 36කට අධික කාලයක් පුරා ගුරුවරියක වශයෙන් ලද අත්දැකීම්ය. ගුරුදිවියේ කෙතරම් අත්දැකීම් බහුල වුව ඇගේ ජීවිතයේ කිසිදා පිරවිය නොහැකි හිඩැසක් ඇත. ඒ ඇයගේ දෙපා නොමැතිවීමයි. ඇය වසර 36 ක් තිස්සේම දෙපා නොමැතිව ගෙවන මේ දිවියේ අත්දැකීම් බොහෝය.
ඇය ගුරුවරියක වන්නට යොමු වූයේ දහම් පාසල් අධ්‍යාපනයෙන් ලද ආභාසය නිසාය. සිය මවුපියන් ගේ මෙන්ම සහෝදර සහෝදරියන්ගේ පැතුම් ඉටු කරමින් ඇය ගුරු පත්වීම් ලැබුවේ 1982 වසරේදීය. දහම් පාසලේදී මෙන්ම පාසලේදීද කුඩා දරු පැටවු ඇය වට කර ගත්හ. ඇගේ සාරි පොටේ එල්ලී සෙල්ලම් කළහ. කෙතරම් හොඳින් දූ දරුවන්ගේ නැණස පෑදුවද ඇතැම් දේශපාලකයන්ගේ ගැටීම් නිසා ඇයට පාසල් කිහිපයකට මාරු වන්නට සිදු විය. එහෙත් ඒ කිසිදු මාරු කිරීමකින් ඇය නොසැලුණාය. කොතැනක වුවද දරු දැරියන් ඇයට ඇගේම දරුවන් මෙන් විය. අවසානයේ සෝමාවතී ගුරු මාතාවගේ මාරු කිරීම නතර වූයේ බදුල්ල දිස්ත්‍රික්කයේ දුෂ්කර ප්‍රදේශයක දුෂ්කරම පාසලක් වන හුබස්මඩ පාසලෙනි. ගම දුෂ්කර වුවත් ඇගේ තුරුණු සිත ශක්තිමත් විය. වයස 26ක රූමත් තරුණියක වූ ඇය දරුවන්ට අධ්‍යාපනය ලබා දී ඉදිරි විභාග පරීක්ෂණවලට මුහුණ දීමට අවශ්‍ය පසුබිම සකස් කර දුන්නාය. කුඩා පුංචි පැටවුන්ට කවි කියා දුන්නේ ඉතා මිහිරි හඬිනි. එසේම තමන්ගේද අධ්‍යාපනික කටයුතුද ඉදිරියට කර ගෙන ගියාය.
නිවෙසට ගියද ඇය යෙදුණේ පාසල් වැඩ කටයුතුවලය. නිවෙසේදී පවා ඇය දරුවන්ට ඉගැන්වූවාය. දරුවන්ගේ සිනාසෙන මුහුණු අතරේ ය. නාවර පෙරාගෙන දඟ කරන කොලු පැටවුන් අතරේය. සිය දරුවන් එන තුරු වැටේ එල්ලී මව්වරුන් බලා සිටින්නේ තම පැටවුන්ගේ ඉගෙනීමට අතදෙන ගුරුතුමියට පින් දෙමිනි. පළාතේ ජනතාවගේ දිළිඳුකම මෙන්ම එකම කමිසය හා එකම ගවුම් පොඩිය ඇඳගෙන එන කුඩා දරුවන්ට ඇය තමන්ට හැකි අයුරින් පිහිට වූවාය. පැන්සල් කොටය පෑන් විල්ලේ ගසා ගෙන රචනා ලියූ දැරියන් ඇයට සිහි විය. එසේත් නැත්නම් පාට කරන්නට යමක් නොමැතිව පැන්සල් ඉරි චිත්‍රය සඟවාගෙන පාට ඇති සිසුන් දෙස බලමින් හීල්ලූ, පියසේන ද මතක් විය. මේ දෙදෙනාටම පසුව තම ළඟ වැටුපෙන් හැකි අයුරින් උපකාර කරන්නට ඇය කල්පනා කළාය.
මාසික වැටුපෙන් දුප්පත් දරුවන්ට උපකාර
මාසිකව ලබන වැටුප ඇය සිය මවුපියන්ට හැර වැඩියෙන් වැය කෙළේ පාසල් දරුවන්ගේ යහපත උදෙසාය. ඇය පාසලට දරුවන්ට දැක්වූයේ එතරම්ම ලැදිකමකි.
උඩරට තාලයට ලස්සන ඔසරියකින් හැඩ වී පාන්දරින්ම පාසල් යන්නට සැරසෙන සිය බාල දියණියගේ පියකරු රුව ගැන වඩාත් ආඩම්බර වූයේ ඇගේ අම්මාය.
1982 වසරේ ගුරු පත්වීම් ලැබූ සෝමාවතී වසර දෙක තුනක් ගතවීමට මත්තෙන් දරු දැරියන් අතර මෙන්ම මවුපියන් අතරද ජනප්‍රිය වූවාය. ‘සෝමා ටීචර්’ යන නම බදුල්ලේ බොහෝ පාසල් දරු දැරියන් හා මවුපියන් අතර සුපුරුදු නමක් විය. වසර ආරම්භ වෙද්දී විදුහල්පතිවරුන්ට මවුපියන්ගෙන් ඉල්ලීම් ගලා ආවේ තම දූ දරුවන් සෝමාවතී ගුරු තුමියගේ පංතියට ඇතුළු කරන ලෙස ඉල්ලමිනි.
“මම සෝමා ටීචර්ල ෆොටෝ කොපි ගහන්නද?” ඇතැම් අවස්ථාවල විදුහල්පතිවරුන් දෙමාපියන්ගෙන් විමසීමට තරම් ඒ ඉල්ලීම් බලවත් විය.
“මම ඒ ටීචර්ට වෙන ඉස්කෝලෙකට යන්න කියනව. එතකොට මට ඔය කරදර නැහැ”
“අනේ එපා සර් ටීචර් වෙන පන්තියක හරි හිටපුවාවෙ අපිට ටීච ඉස්කෝලෙ හිටියත් ඇති”
නිවෙසේ බුදු පහන ගිනි ගෙන
දරුවන් උගන්වන අතර බාහිර උපාධිය සඳහා ඇය බදුල්ල නගරයේ පන්තියකට සහභාගි වූවාය. ගමනාගමන දුෂ්කරතා නිසා ඇය පන්ති ගියේ හුබහමඩ පාසල හා බදුල්ල අතර නිවෙසක නවාතැන් ගනිමනි. එවිට ඇගේ වයස අවුරුදු 24කි.
1987 වසර වෙද්දී සෝමාවතී ගුරුතුමිය පත්වීම් ලබා වසර 5කි. නව වසර උදා වී ගත වූයේ සති දෙකක පමණ කාලයකි. සෝමාවතී ගුරුතුමිය උදෑසන අමතර පන්තියට යෑමට නිවෙසින් පිටත් වීමට පෙර සුපුරුදු පරිදි බුදු පහන තැබූවාය. එහෙත් එදා නිවෙසේ බුදු පහන ගිනි ගත්තේය.
“බෝඩිමේ නැන්ද ඒක දැකල මට කිව්ව. අනේ දුවේ අද ඔය පන්ති යන එක නවත්වන්න ලොකු බාධාවක් වුණේ කියල, ඒත් මම හිනාවෙලා නැන්දට කිව්වෙ ‘නැන්දේ, මම පවු කරලත් නැහැ, නරක වැඩ කරන්නෙත් නැහැ ’කියලයි. එහෙම කියල මම හිනාවෙලා නැන්දට වැඳල පන්ති ගියා.
පන්ති ඉවරවුණු ගමන් මට මතක් වුණේ මගේ පන්තියේ හිටපු උදාරි දුවව. එයා චිත්‍ර ඇඳල පාට කරන්නෙ නැතිව අනෙක් අයගේ චිත්‍ර දිහා බලාගෙන ඉන්නව පාට පැන්සල් නැති නිසා. මම පොත් සාප්පුවකට ගිහින් පාට පැන්සල් පෙට්ටියක් අරගත්තා. මාත් එක්ක යාළුවො කීප දෙනකුත් හිටියා. එයාල මට කිව්ව මුතියංගණේ පන්සලටත් ගිහින් යන්න ඉන්න කියල. ‘අනේ ඔයාල අදට යන්න මට මේ පාට පැන්සල් පෙට්ටිය උදාරි දුවට දෙන්න ඕනෑ. එයා මම එනකල් බලන් ඇති’.
යාළුවො මට හිනා වෙලා යන්න ගියා. මාත් ආපහු එන්න බස් ස්ටෑන්ඩ් එකට ගියා. ඒ දවස්වල බස් ස්ටෑන්ඩ් එක තිබුණෙ බදුලු ඔය ළඟ , දුම්රිය ස්ථානය කිට්ටුවමයි. බස් ස්ටෑන්ඩ් එකට ගිහින් කලන්වත්තට යන බස් එකට නැග්ගා. සීට් එකක් හම්බවුණත් බොහොම අමාරුවෙන් හිටගෙන හිටපු මාම කෙනෙකුට සීට් එක දුන්නා.
‘බස් එක පිටත් වුණේ පහමාරට විතර. බස් එක කිලෝමීටර් 4 ක් විතර ආවා. එතැනින් තමයි කලන්වත්තට යන්නෙ. කලන්වත්තට යන හන්දියෙ බස් එක නවත්වද්දිම විශාල සද්දයක් ආවා. මාව උඩ ගියා වගේ දැනුණා. ඇස් නොපෙනී ගියා. මට මතක එච්චරයි.
සිහිය එද්දි මං හිටියෙ පාර අයිනෙ තණකොළ ගොඩක. මා ළග සෙනඟ වට වෙලා මට වතුර ඉහිනව. පැත්තකින් ගිනි ජාලාවක්. ආයිත් ඇස් නිලංකාර වෙලා නොපෙනී ගියා. මට සිහිය ආවේ බදුල්ල ඉස්පිරිතාලෙදි. ඒ දවස් දෙකකට පස්සේ. මා දිහා බලාගෙන ඉස්පිරිතාලෙ දොස්තර මහත්වරුයි නර්ස්ල කීප දෙනෙකුයි හිටියා. මම නැගිටින්න උත්සාහ කළත් මට මොකක්ද ලොකු වෙනසක් දැනුණා. ලොකු අඩුවක් තේරුණා.
දෙයියනේ……! දණහිසට පහළින් මගේ කකුල් දෙකම කපලා අයින් කරලා. මං පාට පැන්සල් පෙට්ටිය දෙන්න ගත්ත උදාරිත් ඇවිත් හිටියා.
‘මට පාට පැන්සල් එපා ටීච, ටීච ඉක්මනට ගෙදර එන්න’
එතැනට ආපු අම්ම මාව බදාගෙන පැය ගාණක් ඇඬුවා. මම ආපු බස් එක ඇතුළෙ බෝම්බයක් පුපුරල ගොඩක් අය මැරුණු බව මම දැනගත්තෙ එතකොටයි. මම මාස 4ක් බදුල්ල ඉස්පිරිතාලෙ හිටියා. කකුල් දෙකෙන් ඇවිදගෙන බදුල්ලට ආපු මට ආපහු යන්න වුණේ අනෙක් අයගේ උදවුවෙන්.
මා බලන්න ආපු එකල අධ්‍යාපන නියෝජ්‍ය ඇමැතිතුමා පෞද්ගලිකවම මා ගැන හොයලා බැලුවා. මට කෘත්‍රීම පාද දෙකක් එතුමා හදවලා දුන්නා. මේ සිද්ධියෙන් පස්සෙ මට ගමේ ඉස්කෝලෙට මාරුවකුත් එතුමා මැදිහත් වෙලා හදල දුන්නා. අම්මටයි තාත්තටයි මම පුළුවන් තරම් උදවු උපකාර කරගෙන ජීවත් වෙන්නයි හිතාගෙන හිටියෙ. ඒත් අන්තිමට වුණේ තරුණ වයසෙදි මා ඒ අයට බරක් වුණු එකයි. මට වෙච්ච දේ ගැන අම්ම පුදුම විදිහෙ මානසික පීඩනයකින් හිටියේ. අම්ම සමහර දවස්වල කෑම පිඟානෙ කටවල් දෙකයි කෑම කෑවෙ. කඳුළු වැක්කෙරෙනවා කම්මුල් දිගේ. නිදාගෙන ඉන්න මට අම්ම ඉකිබිඳිනව ඇහෙනවා. තාත්ත කිසි දෙයක් කතා නොකර බලා ගත් අත බලාගෙන ඉන්නව. ඉඳල හිටල ඇවිත් මගේ ඔළුව අත ගාල මා දිහා බලාගෙන ඉඳල යනවා. ඒ වෙලාවෙ මට දැනුණු වේදනාව වචනවලින් විස්තර කරන්න බැහැ.
විඳින්න පුළුවන් උපරිම දුක් විඳල මට වෙච්ච විපත ගැනම හිතල අම්ම මේ ලෝකෙ දාල යන්න ගියා. තාත්තත් ඊට අවුරුදු කීපයකට පස්සේ ඒ විදිහටම නැතිවුණා.
කලාපේ ගුරුවරුන්ගේ මුදල් එකතුවෙන් නිවෙසක්
ඊට පස්සෙ බණ්ඩාරවෙල කලාපයේ සේරම ගුරුවරුන් එකතු වෙලා මට නිවෙසක් හදලා දුන්නා. පුස්සැල්ලාකන්ද පාසල අසලින්. පරිත්‍යාගශීලී ගොඩක් අයත් ඒකට උදවු කළා. එදා ඉඳල මම මේ ගුරු නිවාසයේ ඉන්නවා.
මගේ පවුලේ සහෝදර සහෝදරියො ඔක්කොම 8 දෙනෙක් ඉන්නවා. අනිත් 7 දෙනාම විවාහ වෙලා. සමහර අයගෙ දරුවොත් විවාහ වෙලා. එක අක්ක කෙනෙකුගෙ පුතෙක් තමයි මගේ තනියට ගුරු නිවාසයේ ඉන්නෙ. එයා මේ ඉස්කෝලෙම 10 වසරේ ඉගෙන ගන්නවා. අවුරුදු කීපයකට කලින් පොඩි අක්කගෙ දුවෙක් මා ළඟ නැවතිලා හිටියා ඒ දුවට පළාත් සභාවෙ රස්සාව ලැබුණා. ඒ දරුවා විවාහ වුණේ මා බලාගෙන ඉඳල සෑහෙන කාලයක් ගිහින්. මා නිසා ඒ දුව පුදුම දුකක් වින්දේ. දැන් මගේ රෙදි පවා මම හෝද ගන්නවා. කකුල් දෙක නැති වුණත් මම ඒ කිසි දේකින් සැලුණේ නැහැ. මට නම් දැන් අමුතුවෙන් නැති වෙන්න දෙයක් නැහැ.
මගේ එකම සතුට දරුවන්ට උගන්වන එක විතරයි. මම නිවාඩුවක්වත් ගන්නේ බැරිම වුණොත් විතරයි. ඒත් මේ කකුලක මොකක් හරි ප්‍රශ්නෙකට තමයි. 1987 හදල දාපු එක ඇලුමිනියම්වලින් හදල දාපු කකුල් දෙක දාගෙන මම අවුරුදු 25ක් විතර ඇවිද්ද. කකුල කැපෙන තැනට ආවත් කකුල් දෙකක් හදා ගන්න උපකාරයක් ගන්න විදිහක් නැති වුණා. ඒ වුණත් ඒ දවස්වල සිළුමිණ පත්තරෙන් මගේ අසරණ කම ගැන හෙළිකළාම මට අලුත් කකුල් දෙක්ක ලැබුණා. අද මම දාගෙන ඉන්නෙ ඒ කකුල් දෙක තමයි.
කොහොමත් මට තනියම ඇවිදින්න බැහැ. ගුරු නිවාසයේ ඉඳල ඉස්කෝලෙට එන්නෙත් ගුරුවරියකගේ පිහිටෙන් නැත්නම් දරුවාගේ උදවුවෙන්. පහුගිය දවස්වල ඉස්කෝලෙට යන පාර හෝදගෙන යන නිසා පඩි පේළි සකස් කළා. දැන් මට නඟින්න හරිම අමාරුයි. කකුල් කැපෙනවා. පැත්තකින් යන්න පුළුවන් වෙන්න තීරුවක් හදලා දෙනවා කිව්වා. ඒත් තවම හදල නැහැ. ලබන මාසේ සාමාන්‍ය පෙළ විභාගෙ තියෙනවා. අපොස සාපෙළ පන්තියේ දරුවො ගොඩක් ඉන්න නිසා මට හරිම අවිවේකයි.
මම මට අදාළ ශ්‍රේණියේ ඉහළම වැටුප් තලයට ඇවිත් ඉන්නේ. එතැනින් එහාට යන්න නම් උපාධියක් නැත්නම් දුරස්ථ අධ්‍යාපන සේවාවක් ලබා තියෙන්න ඕන. මට ඒ කිසි දේකට යන්න හැකියාවක් නැහැ. මම මේ ගැන කියන්න තියෙන හැම තැනකටම කිව්වා. දැන් නම් ඒකට අනුමැතිය ලැබුණා කියලා ආරංචියි.
කුරිරු යුද්ධයේ තවත් ප්‍රතිඵලයක්
මම කාටවත් වරදක් කරපු කෙනෙක් නෙමෙයි. ඒත් මේ සියල්ල යුද්ධයේ ප්‍රතිඵල හැටියට වුණු දේ හැටියට තමයි දකින්නෙ.
මට දැන් තියෙන ලොකුම ප්‍රශ්නෙ ගුරු නිවාසෙ ප්රශ්නයයි. මට කියල තියෙනව මට මෙහි ඉන්න ලැබෙන්නෙ විශ්‍රාම යනකල් විතරයි කියලා. ඊට පස්සෙ යන්න එන්න තැනක් නැහැ. ලොකුම අසරණ තත්ත්වයකට මං එදාට පත් වෙනවා. බදු ඔප්පුවක් දීල තියෙන්නෙ විශ්‍රාම දක්වා විතරයි කියල. මේ ගුරු නිවාසයේ ලයිට් බිල් වතුර බිල් සේරම මම ගෙවන්නෙ. තව අවුරුදු 4කින් මගේ සේවය අවසන් වෙනවා. මට ඉන්න තියෙන මේ ගේ මං ජීවත් වෙලා ඉන්නකල්වත් මට ලබා ගැනීමට හැකියාවක් තියෙනවනම් ඒකත් ලොකු පිනක්. බලධාරීන්ට ඒ ගැනත් පුළුවන් තරම් ලියුම් ලිව්වා.
මට අහිමි වෙච්ච කිසිම දෙයක් ගැන දුක් වෙන්නේ නැහැ. මම එදා ඉඳල මවපු සේරම සිහින කඩා වැටුණා. මට තනියම යන්න එන්න බැරි තත්ත්වයට පත් වුණා. උසස් අධ්‍යාපන කටයුතු සේරම කඩාගෙන වැටුණා.
පහුගිය කාලෙ ගුරු පුහුණු වැඩවලට සහභාගි වුණේ දරුවන්ට අලුතෙන් යමක් ලබා දෙන්න ඕන නිසයි.
සාමාන්‍ය ලෝකෙදි මම හුඟක් අසරණ වෙලා තියෙනවා. එක දවසක් සමාජයේ ලොකු තැනක් තියෙන මා ගැන හොඳින් දන්නා අයෙක් මම වාඩිවෙලා ඉන්න තැනින් අයින් වෙලා එයාට ඒ පුටුව දෙන්න කියා ඉල්ලුවා. බස්වල යනකොට වුණත් ඉස්සරහට යන්න කියල මාව තල්ලු කරපු අවස්ථා තියෙනවා. මගේ උපකාරෙට යන කෙනෙක් නොකිව්වොත් මට සහනයක් ලැබෙන්නෙ නෑ. බැණුම් අහන්නත් වෙලා තියෙනවා. මම පොදු වාහනයක ගියත් කවදාවත් කාටවත් කරදරයක් කරන්නේ නෑ සීට් එකක් ඉල්ලලා.
මම ඉල්ලා හිටින්නේ මට ජීවිතේ අවසන් කාලයත් දරුවොත් එක්ක ගෙවන්න දැන් නැවතිලා ඉන්න පාසල් ගේට්ටුවෙන් එහා තියෙන මේ ගුරු නිවාසය ජීවිතේ අවසානය දක්වා ලබා දෙන්න කියලයි. අනිත් මොන බලාපොරොත්තු නැති වුණත් මට ඒ බලාපොරොත්තුවවත් ඉටු වුණොත් ඇති. ඒකත් දරුවන් වෙනුවෙන් සේවය කරන්නයි. ”
පුස්සැල්ලාකන්ද විදුහලේ විදුහල්පති ආර්. එම්. රත්නපාල මහතා පවසන්නේද පාසලේ නිවාඩු අඩුවෙන්ම ලබා ගන්නා ගුරුතුමිය සෝමාවතී මහත්මිය බවයි.
“සෝමා ටීචර් හවසටත් නොමිලේ පන්ති තියලා අපේ දරුවන් විභාගයට සූදානම් කරනවා. අපි පුළුවන් විදිහට මේ ගුරුතුමිය ගැන සොයා බලනවා. ඒත් අපට පුළුවන් සීමාවන් තියෙනවා. 6-7 පන්තිවල සිංහල විෂය උගන්වන මේ ගුරුතුමිය සාමාන්‍ය පෙළ පන්තිවලට කෘෂි විද්‍යාවත් උගන්වනවා. කියන්න සතුටුයි. කෘෂි විද්‍යාව ප්‍රතිඵල හැමදාම සියයයට සීයක්ම තියෙනවා. පුදුම ආත්ම ශක්තියක් තියෙන ගුරුතුමියක් අපේ සමාජයට විතරක් නෙමෙයි ලෝකෙටම ආදර්ශයට ගන්න පුළුවන්. මේ ගුරුතුමියට ගුරු නිවාසය ලබා දෙන්න පුළුවන්නම් ඒක ලොකු පිනක් කියලයි මම හිතන්නේ”
සෝමාවතී ගුරුතුමියගේ දෑසින් කදුළු නොවැටුණත් ඇගේ මුහුණ ඇය පත්ව ඇති දුක්ඛදායක තත්ත්වය කියා පෑමේ කැඩපතක් වැනිය. ජීවිතයේ සියලුම බලාපොරොත්තු සුණුවිසුණු ව ගියද ආත්ම ශක්තිය උපදවා ගෙන ඇය දරුවන් වෙනුවෙන් අකුරු කරන්නීය. රෝද පුටුවක් හෝ අත්වාරු කිසිවක් නොමැතිව බිත්ති අල්ලමින් පන්ති ගානේ යන ගමන හද කකියවන සුලුය.
සෝමාවතී ගුරුතුමිය පන්තියේ සෑම සිසුවකු වෙතම ගොස් පාඩම් කියා දෙයි. පොත් පත් බලයි. ඇගේ මිහිරි කවි අසා සිටින්නට වටින්නේය. දරුවන් වෙනුවෙන්ම පමණක් බලාපොරොත්තු රඳවා ගෙන සිටින සෝමාවතී ගුරුතුමිය වෙනුවෙන් අපට කළ හැකි බොහෝ දේ ඇත.
බදුල්ලේ බස් බෝම්බය ලොකු පොඩිකම් ගණන් ගත්තේ නැත. ලොකු පොඩි කම් චක්‍රලේඛ සියල්ල හරස්ව ඇත්තේ ජීවත්ව ඉන්නා අපටය. ඒ චක්‍රලේඛ නීති පොත් පොඩ්ඩක් එහාට මෙහාට කර මෙවන් ගුරුවරුන්ට සහනයක් සැලසීමට හැකිනම් එය සමස්ත ගුරු පරපුරටපමණක් නොව සමස්ත දරු පරපුරටම කරන මහඟු සේවයකි.
සේයාරූ විමල් කරුණාතිලක