කුණු කන්දේ සංගීතය චිත්‍ර­ප­ට­යක් වුණු හැටි | සිළුමිණ

කුණු කන්දේ සංගීතය චිත්‍ර­ප­ට­යක් වුණු හැටි

අප වෙසෙන ආසියාවට, මහාද්වීප හා සාගර ගණනාවකින් එහා පිහිටි ලතින් ඇමෙරිකානු රටක්වන පැරගුවේ රාජ්‍යය ලාංකික අපට එතරම් හුරුපුරුදු රටක් නොවේ යැයි කීවොත් හරි ය. කොටින්ම පැරගුවේ යැයි රටක් ඇතැයි අසා නැති කෙනෙකු මෙරටින් හමුවුවද එහි පුදුම විය යුත්තක් නැති තරම් ය. එහෙත් දකුණු ඇමෙරිකානු මහාද්වීපයට අයත් පැරගුවේ රටත් අපේ රටත් අතර තියෙන අරුම පුදුම සම්බන්ධයක් ගැන ඉකුත් ඉරිදා දිනයේ කොළඹ විහාරමහාදේවි උද්‍යාන එළිමහන් රංග පීඨයේදී ඇසිණි. ඒ කුණු ගැන කතාවකි. එහෙත් කලාත්මක කතාවකි. ;

 

පැරගුවේ රටේ දැවැන්ත කුණු කන්ද හරහා ලෝකයට

පැරගුවේ අගනුවර වන අසුන්ෂියොන්හි පිහිටි දැවැන්ත කුණු කන්දක් හා බැඳුණු මේ කතාව දිගහැරුණේ වාර්තා චිත්‍රපටයක ස්වරූපයෙනි. මේ කුණු කන්ද ලාංකිකයන්ට සිහිකරවූයේ මීතොටමුල්ල කුණු කන්දේ ස්වභාවය බවට සැක නැත. එහෙත් මේ කුණු කන්ද ආශ්‍රිතව ජීවත් වෙන ජනතාව ලෝකයම කුණු කන්දක් ලෙස දුටු තැනක් තමන්ට ලෝකයට යන්නට අවස්ථාවක් බවට පෙරළා ගෙන තිබුණි.

දිනකට එකතුවන ටොන් ගණනක අපද්‍රව්‍ය අතරේ පරෙස්සමෙන් තෝරාගත් ද්‍රව්‍ය යොදාගනිමින් මේ කුණු කන්ද ආශ්‍රිතව ජීවත් වෙන තරුණ ළමයින් කිහිපදෙනෙක් එකතු වී සංගීත භාණ්ඩ නිර්මාණය කරගත්හ. ඒ භාණ්ඩ අතර වයලීන, ගිටාර, චෙලෝ, ඩ්‍රම්ස් පමණක් නොව සැක්සපෝන ද විය. ඔවුන්ට මේ අලුත් වැඩේට මඟ පෙන්වූයේ ෆැවියෝ චාවේච් නමැති රාජ්‍ය නොවන සංවිධානයක නිලධාරියෙකි. අසුන්ෂියොන් කුණු කන්දේ ඉපැදුණු හැදුණු වැඩුණු තරුණ දරුවෝ අවසානයේ ජාත්‍යන්තර මට්ටමේ සංගීත වාද්‍ය වෘන්දයක් නිර්මාණය කරගැනීමට සමත්වූහ. ඔවුන්ගේ කතාව අළලා බ්‍රැඩ් ඇල්ගුඩ් නම් සම්මානලාභී සිනමාවේදියා නිර්මාණය කළ LANDFILL HARMONIC වාර්තා චිත්‍රපටය පසුගියදා පැවැති යාපනය ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙලේදී මෙන්ම ඉකුත් ඉරිදා කොළඹ විහාරමහාදේවී එළිමහන් රංග පීඨයේදී ද ප්‍රදර්ශනය කෙරුණි. එහිදී බ්‍රැඩ් සමඟ කෙටි පිළිසඳරක යෙදෙන්නට සිළුමිණට අවස්ථාව උදාවිය.

බ්‍රැඩ් අමෙරිකානු ජාතික සිනමාකරුවෙකි. පැරගුවේ වැනි වෙනත් මහාද්වීපයක පිහිටි රටකට ගොස් මෙවැනි නිර්මාණයක් කිරීමට මුල් වූ හේතුවලින් අපි කතාබහ ඇරඹීමු.

“අලහන්ද්‍රා අමෙරියා කියන අපේ චිත්‍රපටියේ විධායක නිෂ්පාදකවරයා තමයි මේ ගැන යෝජනාව මට ගෙනාවෙ. එයා පැරගුවේ ජාතිකයෙක්. ඒ මැදිහත්වීමෙන් තමා මේ අපූරු සංගීත කණ්ඩායම මට මුණගැහුණෙ. අපිට මුලින්ම ඕන වුණේ මේ සංගීත කණ්ඩායම ලෝකයට හඳුන්වාදෙන්නයි. හැබැයි ඊට වඩා එහා ගිහින් හොඳ විශේෂාංග චිත්‍රපටයක් හදන්න පුළුවන් කියලා පස්සෙ අපිට තේරුණා”

බ්‍රැඩ් ඊට පෙර වසර කිහිපයක්ම තවත් ලතින් ඇමෙරිකානු රටක් වන නිකරගුවාවේ ස්වේච්ඡා සෞඛ්‍ය සේවකයෙකු ලෙස සේවය කර තිබුණි. එනිසාම ස්පාඤ්ඤ භාෂාව හැසිරීවීමේ තිබූ නිපුණතාව පැරගුවේදී ඔහුට මහත් සේ උපකාරී විය.

“මං හිතන විදිහට මට ජීවිතේදී මුණගැහුණු හොඳම මිනිසුන් හම්බවුණේ පැරගුවේවලදි. ඇත්ත, මම ලෝකෙ හැම රටකටම ගිහින් නෑ. හැබැයි මෙතෙක් මට මුණගැහුණු සුහදශීලීම මිනිස්සු ඉන්නෙ ඒ රටේ. විශේෂයෙන්ම මේ චිත්‍රපටියට දායක වුණු ඒ චරිත හරිම අපූරු පිරිසක්. හරි මිත්‍රශීලීයි වගේම කරුණාවන්තයි. ඒ අයගේ උදව්ව නිසා තමයි චිත්‍රපටිය සාර්ථක වුණේ”

LANDFILL HARMONIC නැරඹීමේදී පසක්වන එක් කරුණක් වන්නේ කුණු කන්දෙන් මතුකරගත් සංගීත භාණ්ඩවලින් ද යුරෝපයේ අති සුඛෝපභෝගී නෘත්‍ය ශාලාවක දී ඇසෙන පූර්ණ වාද්‍ය වෘන්දයක සංගීත රාවයට නොදෙවෙනි සංධ්වනියක් මතු කරගැනීමට මේ අපූරු සංගීත කණ්ඩායම සමත්ව තිබූ බවය.

“අපි චිත්‍රපටිය පුරාම පාවිච්චි කළේ එයාලගේ ඇත්ත සංගීත භාණ්ඩවලින් නික්මෙන හඬ පමණයි. එතැන හිටපු ‘කුලා’ කියන මනුස්සයා තමයි ඒ සේරම සංගීත භාණ්ඩ හදලා තිබුණෙ”

ඒ සංගීත භාණ්ඩ දුටු පමණින් කෙනෙකුට සිතෙන්නේ පාසලේ හය හත වසරේ උගන්නා සිසුවෙකුගේ අත්වැඩක් ලෙස ය. මන්ද මිලාධික චෙලෝ එකක් ‘කුලා’ නිර්මාණය කර තිබුණේ තෙල් ටින් එකකට ලී කඳක් සවි කරමිනි. වයලීනය ද එවැනිම තහඩු පෙට්ටියකින් සාදාගෙන තිබුණි. එහි තත් රඳවා තැබීමට යොදාගෙන තිබුණේ නවන ලද ගෑරුප්පුවකි. ඩ්‍රම් සාදාගෙන තිබුණේ ඉවතලන එක්රේ සටහන් කැබලිවලිනි.මේ විසුළු පෙනුමැති සංගීත භාණ්ඩවල සැබෑ විශිෂ්ටත්වය විඳින්නට නම් සංගීතයට සවන් දිය යුතුම ය.

 

අහක දමන කුණුවලින් සංගීත භාණ්ඩ

“කුලාට මේ සංගීත භාණ්ඩ හදන්න අවුරුදු ගාණක් ගිහින් තිබුණා. මං හිතන්නේ අවුරුදු පහක් විතර. උදාහරණයකට වයලීනයට යොදාගන්නේ මොනවද කියලා හොයාගන්න විවිධ දේවල් එකින් එක පරීක්ෂා කරලා බලන්න සිද්ධ වෙලා තිබුණා”

චිත්‍රපටයේ රූගත කිරීම් අවසාන වීමට ඔන්න මෙන්න තිබියදී නොසිතූ අකරතැබ්බයකට මුහුණ දෙන්නට ද බ්‍රැඩ් ඇතුළු පිරිසට සිදුවිය. එනම් වසර විස්සකට පසු පැරගුවේ රාජ්‍යයට බලපෑ දරුණුතම ගංවතුරට සියල්ල විනාශ වී යාමයි.

“ඒ ගංවතුර හරිම බිහිසුණු එකක්. කුණු කන්ද අවට ජනතාවගේ සියල්ල එක මොහොතකින් නැතිවුණා. මාස

 

තුනක් විතර එක දිගට මේ ගංවතුර පැවතුණා. අන්තිමේදී අපේ චිත්‍රපටයටත් නොසිතූ විදිහේ අවසානයක් ලබාදෙන්න අපිට පුළුවන් වුණා”

 

සංගීත භාණ්ඩ තනන්න වසර පහක්

බ්‍රැඩ් යනු ලොව පුරා සංචාරය කරන්නෙකි. උපතින් අමෙරිකානුවෙකු වූවාට ඔහුගේ නිවහන මුළු මහත් ලෝකයම බවට පත්ව තිබේ. එසේ ලොව පුරා සංචාරයේ යෙදෙමින්, අලුත් තැන් දකිමින්, අලුත් මිනිසුන් මුණගැසෙමින් ඔහු ලබාගන්නා අත්දැකීම් හා පරිචය ද සිනමාකරණයට විශාල සවියක් වී ඇති බවට සැකයක් නැත.

“අද ගොඩක් අය ඉන්නේ පුංචි හුදෙකලා ලෝකයකට කොටුවෙලා. නමුත් එතැනින් ඔබ්බට ගියොත් ලෝකයම එක විදිහට දකින්න පුළුවන්. සමහරවිට අපි හැමෝටම තියෙන්නේ එක හා සමාන ප්‍රශ්න. අපිව එකිනෙකාගෙන් වෙන් කරන හේතුවලට වඩා අපිව ළං කරන හේතු වැඩියි. අපේ හැඟීම් එක සමානයි. අපි කරන පුංචි දේක බලපෑම ලෝකෙ අනිත් කොණක ඉන්න කෙනෙක්ට බලපාන හැටි පවා අපිට ඉගෙන ගන්න පුළුවන් වෙන්නේ සංචාරය කිරීමෙනුයි. ඉතින් සංචාරය මගේ සිනමාකරණය පෝෂණය කරන්න ගොඩක් බලපාලා තියෙනවා කියලයි මට හිතෙන්නෙ.

“අපි හැමෝම සාමාන්‍ය මිනිස්සු. අපි කාටවත් සුපිරි හැකියාවන් නැහැ. හැබැයි අපි මහන්සි වෙලා අපි ගැන විශ්වාසයෙන් යුතුව කටයුතු කළොත් අපිට සිහින සැබෑ කරගන්න පුළුවන්. අන්න ඒ දේ තමයි මට චිත්‍රපටියෙන් මූලිකවම කියන්න ඕන වුණේ” සමුගන්නා මොහොතේදී ඔහු කීය.

 

Comments