
මී පොතුද හොඳ ඖෂධයකි. වැඩිපුරම යොදාගන්නේ කැඩුම්-බිඳුම් අවස්ථාවල ප්‍රතිකාර සඳහාය. සන්ධි වේදනා අමාරු නැති කිරීමට මී ගසේ පොතු කෂාය කොට පානය කිරීම ගුණදායකය. මී ගසේ පොතු වියළා කුඩු කරගෙන සෙම් සහිත අවස්ථාවල කෝපි මෙන් වත් කොට පානය කළ හැකිය; නැත හොත් කිරි සමඟ මිශ්‍ර කර පානය කළ හැකිය. නිවෙසට පැමිණෙන මීයන් වැනි සතුන් වළක්වාලීමට සත්ත්ව විකර්ෂකයක් ලෙස සුදුසු නැකතක් බලා මී පොතු නිවෙසේ තැන්-තැන්වල තැබීමට කටයුතු කරත.
මාලේවන දේශීය වෛද්‍ය විද්‍යායතනයේ කථිකාචාර්ය, දේශීය වෛද්‍ය පාලිත ශ්‍රී ගීගනාරච්චි සමග කළ සංවාදයක් ඇසුෙරන් සැකසිණි.
දේශීයව මී යනුවෙන් හඳුන්වනු ලබන, Madhuca උද්භිද ගණයට අයත් ශාක විශේෂ 7ක් පමණ මෙරටදී හමු වන අතර, එයින් විශේෂ 4ක් අප රටට ආවේණික වේ. ඒ අතුරින් ප්‍රධානම ශාකය වන්නේ වියළි කලාපයේ ජලාශ්‍රිත ප්‍රදේශවල බහුලව දක්නට ලැබෙන මී ගසයි. මිටර 20ක් පමණ උසට ඍජුව වැඩෙන මී ගස උද්භිද විද්‍යාත්මකව හඳුන්වන්නේ madhuca longifolia ලෙසිනි. දේශීය ආහාර රටාවත්, කාෂිකර්මාන්තයත් සමඟ අපූරු සබැඳියාවක් ඇති මී ගස දේශීය වෙදකමේදීද බෙහෙවින් වැදගත් වේ.
මෙරටදී හමු වන පරිසර හිතකාමි ශාක අතරද මුල් තැනක් ගන්නා මී ගසේ නොමේරූ කොළවල සහ ළපටි කොටස්වල සියුම් බූවක් දක්නට ලැබේ. මී මල් කහ සුදු පැහැති වන අතර ජූනි, ජූලි මාසවල හටගනී. කොළ සහ කහ පැහැති ඵලය තුළ දුඹුරු පැහැති දිලිසෙනසුලු බීජ ඇත. ඝන පොත්ත අළු පැහැතිය. මී ගස ගොවිතැනේදී බොහෝ සේ ප්රයෝජනවත්ය. මෙහි කොළ අගනා පොහොරකි. කුඹුරු අද්දර බහුලව හමුවන මී ගස්වල ගෙඩි කෑමට සහ මල් පැණි ඉරීමට එන වවුලන්ගේ වසුරුද කුඹුරට හෝ ගොවි බිමට පොහොර සපයයි. මී ශාකයට නෑකම් ඇති ශාකයන් ලෙස පලු සහ සැපදිල්ලා හඳුනාගෙන ඇත.
මී ගස සංස්කෘත භාෂාවෙන් හඳුන්වන්නේ මධූක කියාය. මී ගසේ හටගන්නා මල්වල පැණි අධික ස්වභාවය නිසා මේ නම යෙදී ඇති බව සිතිය හැකිය. දේශීය වෛද්‍ය ශාස්ත්‍රානුකූලව ලඝු සහ ස්නිග්ධ ගුණයක් පවතී. රසයෙන් මධුර සහ කෂායය. විපාකයෙන් මධුරය. ශීත වීර්යයෙන් යුතුය. මේ ගුණ නිසා මිනිස් ශරීරයේ වාතය සහ පිත කෝපයෙන් හට ගන්නා රෝගවලදී මීගසේ පංචාංගය භාවිත කර ප්‍රතිකාර කළ හැකිය. මී ගසේ සෙවණ පවා ශරීරයට සිසලසක් ගෙනදෙන අතර, අධික උෂ්ණත්වයක් ඇති උතුරු පළාතේ ගෙවතුවල සහ කෘෂි බිම්වල මීගස බහුලව වවා තිබේ.
අතීතයේදි මීගසේ ඇටවලින් හිඳගන්නා තෙල් ආහාර සඳහා භාවිත කොට තිබේ. දැනට අප පොල්තෙල් භාවිත කරන ආකාරයටම මී තෙල්ද ඍජුව සහ වක්‍රව ආහාර සංස්කරණයේදී යොදාගත හැකිය. මී තෙල්වල පවතින ස්නිග්ධ ගුණය නිසා අර්ශස් රෝගීන්ට මී තෙල්වලින් සැකසූ ආහාර ගුණදායකය. වර්තමානයේ සමහර බටර් සහ මාගරින් නිෂ්පාදන ආයතන තම නිෂ්පාදනවල තත්ත්වය හා ගුණය ඉහළ නැංවීම අරමුණු කොටගෙන මී තෙල් යොදාගනී. මී ඇටය මිරීකීමෙන් ලබාගන්නා මී තෙල්වල ඔලෙයික් අම්ලය 45%ක්ද, සිට්රියන් අම්ලය 18%ක් ද, ලිනෝලියන් 14%ක්ද ඇති බව පර්යේෂණවලින් සොයාගෙන ඇත.
දේශීයව ගෘහිණියන් වියළුණු මී ඇට කොටා, වණ්ඩුවේ තම්බාගෙන එම මිශ්‍රණය පැහැ කඳකට දමා තෙරපීමෙන් තෙල් සිඳගනී. ඖෂධීය අවශ්‍යතා සඳහා තරමක් විශාල වෙද පට්ටලය මී තෙල් සිඳීම සඳහා භාවිත කරයි. වාණිජ නිෂ්පාදනයන් නම් සිදු කරන්නේ යන්ත්රානුසාරයෙනි. මේ කුමන ආකාරයෙන් තෙල් සිඳගත්තද අතුරුපලයක් ලෙස ඉතිරි වන මීමුරු වණ්ඩුවේ තම්බා, වේදනා සහිත සන්ධිවල තලපයක් මෙන් බැඳීමෙන් ඉක්මන් සහනය ලබාගත හැකිය. අස්ථි බිඳුම්වලදීද අස්ථි පැහීම පිණිස මීමුරු තබා බැඳීම සිදු කරයි. එසේ නැත හොත් ගවාදි සතුන්ගේ ආහාරයක් ලෙසද යොදාගැනේ. මී තෙල්, පහන් දැල්වීම සඳහා ඉන්ධනයක් ලෙසද භාවිත කෙරේ.
මී ඇට විවිධ තැවිලි සහ පත්තු සකස් කිරීම සඳහා යොදාගැනේ. මී ඇට තම්බා බීමෙන් පුරුෂයන්ගේ ශුක්‍ර දෝෂ මඟහැරේ. කාන්තාවන්ගේ ප්‍රදර රෝගවලටද යෝග්‍යය. විවිධ පර්යේෂණවලට අනුව මී ගෙඩි හෘදයටත් ඉතා හිතකර බව අනාවරණය කොට තිබේ. හෘදයරෝග ඇති හෝ නැති ඕනෑම අයකුට මී ගෙඩි කෂායක් ලෙස තම්බා පානය කිරීම ගුණදායකයි.
අපගේ ශරීරයේ ස්නායු ශක්තිමත් කර, ප්‍රකෘතිමත් කිරීමේ හැකියාව මී තෙල් සතුය. බඩ වේළීම වැනි තත්ත්ව සඳහා මී තෙල් යෝග්‍ය ඔසුවකි. කැඩුම්-බිඳුම් ප්‍රතිකාරවලදී භාවිත කරන තෙල් වර්ග අතර ප්‍රධානව මී තෙල් යොදාගනී. ආයුර්වේදයේ පස් තෙලට අයත් තෙල් වර්ගයක් වන්නේ මී තෙල්ය. සමේ ඇති වන දද කුෂ්ඨ සඳහාද මී තෙල් ආලේප කිරීම යෝග්‍යය. මී තෙල් ආහාරයට ගැනීමෙන් කොලෙස්ටරෝල් තත්ත්ව ඇති වීමේ අවදානමක් මතු නොවේ.
මී පොතුද හොඳ ඖෂධයකි. වැඩිපුරම යොදාගන්නේ කැඩුම්-බිඳුම් අවස්ථාවල ප්‍රතිකාර සඳහාය. සන්ධි වේදනා අමාරු නැති කිරීමට මී ගසේ පොතු කෂාය කොට පානය කිරීම ගුණදායකය. මී ගසේ පොතු වියළා කුඩු කරගෙන සෙම් සහිත අවස්ථාවල කෝපි මෙන් වත් කොට පානය කළ හැකිය; නැත හොත් කිරි සමඟ මිශ්‍ර කර පානය කළ හැකිය. නිවෙසට පැමිණෙන මීයන් වැනි සතුන් වළක්වාලීමට සත්ත්ව විකර්ෂකයක් ලෙස සුදුසු නැකතක් බලා මී පොතු නිවෙසේ තැන්-තැන්වල තැබීමට කටයුතු කර ඇත. විදුරුමස් දිය වීම්, මුඛයෙන් ලේ ගැලීම්, මුඛ දුර්ගන්ධය, සෙම් ගෙඩි වැනි මුඛාශ්‍රිත රෝග අවස්ථාවල මී පොතු කෂාය ගුණදායකය. දිනපතා උදේ සවස දින කිහිපයක් මී පොතු කෂායෙන් කට සේදීමෙන් එම රෝග සඳහා සහනය සලසාගත හැකිය.
මී මල් පිපෙන්නේ වසරේ ජූනි සහ ජූලි මාසවලය. මී මල් පිපෙන කාලයට ඒ අවට පරිසරය තදින් සුවඳවත් වේ. මී මැස්සන් වැනි සත්තුද මී ගසට ආකර්ෂණය වෙති. මී මල්වල ඇති සුවිශේෂ රසය නිසා, ඒවා අමුවෙන් හෝ වියළා තබාගෙන ආහාර සැකසීම සිදු කරයි. මී මල් හැලප සහ රොටී ඒ අතුරින් ප්‍රධානය. ආයුර්වේද වෙදකමේදී ග්‍රහනි රෝගයෙන් පෙළෙන්නන්ට මී මල්වලින් සකසාගන්නා මධුකාසවය ප්‍රතිකාර ලෙස නිර්දේශ කෙරේ. මී මල් තම්බා හොඳින් මිරිකාගෙන, ඒ ඉස්ම හිඳගැනීමෙන් මීමල් පැණි සකසාගත හැකිය. ස්ත්රීන්ගේ ප්‍රජනන පද්ධතියේ රෝගවලට ප්‍රතිකාරයක් ලෙස මී මල් පැණි භාවිත කෙරේ. මී මල් තම්බා බීමට දීමෙන් ආමාශගත රෝගත්, ග්‍රහනි රෝගත් වළක්වාගත හැකිය.
මී මල් සම්බන්ධ ප්‍රසිද්ධම ජනකතාවක් ගොඩනැඟී ඇත්තේ අළුකොබෙයියා වෙනුවෙනි. “මී පුප් ලදින්, දරු නොලදින්, රන්කැටි පුතා කෝ... කෝ…” යනුවෙන් අළුකොබෙයියා තම පුතුට නිවැරැද්දේ කළ චෝදනාවක් ගැන සොවින් හඬ දෙන බව ඒ කතාවෙන් කියවේ.
අර්ශස්, නාසයෙන් ලේ ගැලීම, ස්ත්රීන්ගේ රෝග ආදි ශරීරයෙන් රුධිරය පිට වන අවස්ථාවල, මී මල් ඉස්මවලට මී පැණි ස්වල්පයක් මිශ්‍ර කර බොන්නට දෙන්නේ නම් සහනය ලබාගත හැකිය. එය රුධිරය පිට වීමෙන් නැති වී යන ශරීර ශක්තිය රැකගැනීමටද සුදුසුය. මී මල් භාවිතා කොට කිතුල් රා වැනි ස්වාභාවික මත්පැන් නිෂ්පාදනය කිරීමද සමහර ගැමියන් විසින් සිදු කොට ඇත. එය ශරීර ශක්තිය වැඩි කරන ශක්තිජනක පානයක් ලෙසද සැලකිය හැකිය.
ඔළුව කැක්කුම්, සෙම් රෝගවලදී භාවිත වන ඉතා ගුණදායක නස්න කර්මයක් සඳහා මී අරටුත්, මී ඇට මදත් යොදාගනී. සහිඳ ලුණු, වදකහ, ගම්මිරිස් සහ තිප්පිලි සමඟ මී අරටුත්, මී ඇට මදත් සමව ගෙන, සියුම් කුඩක් වන තුරු අඹරා එම චූර්ණයෙන් නස්න කිරීම පළපුරුදු වෛද්‍යවරුන් විසින් සිදු කෙරේ.
මී ගෙඩි මද වෑංජනයක් ලෙස සකසාගැනීමට ගැමි ගෘහිණියෝ දැනුවත්ව සිටිති. එහිදී මී ඇටය සහ පොත්ත ඉවත් කර මදය පමණක් ගත යුතුය. මී මද තම්බා, දිය පෙරා පිසගත හැකිය. මෙය ආහාරයට ගැනීම කිරිදෙන මවුවරුන්ගේ කිරී එරීමටද, පුරුෂයන්ගේ වාජීකරණ ශක්තිය වැඩි කිරීමටද හේතු වේ. රත්-පිත් දෝෂ සඳහාද යෝග්‍යය. මූත්‍ර පිට වීම වැඩි කරන ආහාරයක් නිසා ශරීරයේ විෂ කොටස් ඉවත් වීම වේගවත් කරයි; ශරිරය පුෂ්ටිමත් කරයි.
මී ගසේ පොතුවලින් සකසාගන්නා අළු, වරකට තේ හැඳි බාගයක් බැගින් දිනකට දෙවරක් මී මැසි පැණි සමඟ බීමට ගැනීම සෙමත් සමඟ නාසයෙන් ලේ පිට වන අවස්ථාවලටද, උගුර ආශ්රිත වේදනා, කැස්ස වැනි රෝග තත්ත්වයන්ටද ගුණදායකය. පෝෂණය අතින් ගත් කල මී තෙල්, මී ගෙඩි අනෙකුත් බොහෝ නිෂ්පාදනවලට වඩා ඉදිරියෙන් සිටී. ඒ නිසා දැනට භාවිත කරන පොල් තෙල් වෙනුවට මී තෙල් භාවිතයට හුරු වීමත්, මී ගෙඩි ආහාරයට එක් කරගැනීමටත් පුරුදු විය යුතුය.
ශරීරයේ හොරි, දද හට ගත් විටක මී කොළයක් ගෙන, එහි පිටි පැත්තේ තලතෙල් ස්වල්පයක් ආලේප කොට මඳක් රත් කර දද ප්‍රදේශයේ තබා බැඳීම පිළිගත් ප්‍රතිකාරයකි. ඉන් පසු පැය තුනකින් පමණ එය ගලවා පිරිසුදු උණුවතුරෙන් සෝදාහැරිය යුතුය. දිනකට වරක් බැගින් සති දෙකක් පමණ මේ ප්රතිකර්මය කරන්නේ නම් හොරි, දද ආදි සමේ රෝග සුව කොට කැළැල් මකාගත හැකිය. සමේ ඇති ආසත්මිකතා නිසා දද හටගෙන කැසීම් ඇති වන අවස්ථාවලදී මී පොතු තළා අඹරා ද්‍රාවණයක් ලෙස ආපසු ඒ දදවල ගෑම යෝග්‍යය. කැසීම්, වේදනා ඉක්මනින් සමනය වනු ඇත. මී ගසේ ඇති වේදනා නාශක ගුණයත්, ප්‍රදාහ නාශක ගුණයත්, විෂබීජ නාශක ගුණයත් නිසා මෙවැනි රෝග තත්ත්වයන්ට ප්‍රතිකාර ලෙස වැදගත් වේ.
ඒ අනුව බලන කල අපගේ රෝගාබාධ රැසකට මුල් වන වස-විස සහිත ආහාරවලින් මිදීමට ඇති එකම මඟ වන්නේ ‘ජාතියේ පොහොර ගස’ ලෙස සැලකෙන මී ගස වැඩි වැඩියෙන් සිටුවීමයි. එසේම පෝෂණයද රකිමින්, සුවසෙතද සදන මී ගසේ පඤ්චාංගයම ප්‍රයෝජනයට ගැනීමයි. එමඟින් නීරෝගි දිවි පෙවෙතක් හිමි කරගෙන දිගු කලක් ආයුෂ වින්දනය කිරීමේ අවස්ථාව අපට ලැබෙනු ඇත.
ඥානේන්ද්‍ර ප්‍රදීප් පතිරණ