
ජපානයේ ෂිකොකු දූපතේ ඉයා නිම්නය ආශ්‍රිත පෙදෙස්වලට කිසිවකු යන්නේ නම් ඒ ඉඳහිටය. දුර්ග වූ මඟ පසුකර එහි ළඟාවීමට ප්‍රවාහන පහසුකම් මඳකම ඊට ප්‍රධානම හේතුවයි. මේ නිසාම ප්‍රදේශය පුරා කොයි මොහොතකත් පැතිර පවතින්නේ දැඩි නිසොල්මනකි. නගොරෝ ගම්මානය තිබෙන්නේ දුෂ්කර මංවලින් ගැවසී ගත් මේ නිස්කලංක පරිසරයෙහි එක් තැනෙක ය.
නගොරෝ ගම්ම්නයට ඇතුළුවන ඕනෑම කෙනෙකුගේ ඇස, තැනින් තැන සිටගෙන සිටින පඹයන් ළඟ නැවතීම අරුමයක් නොවේ. ඔව්, ... ඔවුන් මිනිසුන් තරමටම විශාල පඹයන් ය. වගා කරන්නට සකස් කළ බිමක සිටින්නේ විල්බැරෝවක් තල්ලුකරගෙන යන "කෙනෙකි". බූට් වර්ගයේ රබර් පාවන් යුගලයක් පැලඳ සිටින "ඔහුගේ" දෑත්, අත් ආවරණවලින් වැසී ඇත. හිස බේස් බෝල තොප්පියක් යට ගිලී ගොසිනි. ඒ මුහුණෙන් හැම මොහොතකම පළවන්නේ ඒකාකාරී හැඟීමකි. හිනාවකට ආසන්න ඒ හැඟීමට, නොනවත්වා වැඩ කිරීමෙන් ලත් වෙහෙසින් බිඳුවක්වත් එකතු වී නැති ගානය. හොඳින්ම ළං වී බැලුවහොත් මේ "පුද්ගලයා"අනෙකකු නොව පඹයෙකි. හිස, දෑත්, දෙපා සහ සෙසු ශරීර කොටස් පුළුන් පුරවා සාදන ලද පඹයෙකි. එය මත පියකරු පෙනුමක් ආරෝපණය කර තිබෙන්නේ බොත්තමින් කළ දෑස්, නූලෙන් කළ ඇහිබැම සහ කට පොඩිය නිසා මිස අනෙකකින් නොවේ. පුදුමයක මහත, මේ පඹ ගොවි මහතා ඈත සිට බලන කෙනෙකුට ඇත්තම ගොවි මහතකු මිස පඹයකු නොවීමය.
ගස් කපන, ඇවිදින, ගොවිපොළවල බීජ ඉසින, ගස් යට අල්ලාප සල්ලාපයේ යෙදෙන පඹ පිරිමි සහ ගැහැනු ඒ ගමෙහි ඕනෑ තරම් සිටිති. ඒ තබා දුවන පනින, දඟලන බයිසිකල් පදින පඹ පොඩිත්තන් ද එහි ගණන් නැත. පඹ ගැහැනු, පිරිමි සහ පොඩිත්තන් අතරින් සැබෑ මිනිස් ඡායාවක් ඇදෙතොත් ඒ ඉතාමත් කලාතුරකිනි. නගොරෝවෙහි ජනගහනය එපමණටම හීන ය. එහෙත් පඹගහනය ඉහළ ය. නගොරෝ ගම්මානය, පඹයන්ගේම ගම්මානයක් බවට පත් කළේ මිනිස් දුවෙකි. ඈ නමින් අයනෝ ත්සුකිමිය.
ගමේ පාළුව මකන්න
අයනෝ ත්සුකිමි ජීවත් වන්නේ ජපන් ආකාරයටම හැදු ඉතා සරල නිවහනකයි. ඇගේ ඒ නිවෙසේ තතමි පැදුර මත හරි බරි ගැරී ඉඳගත් විට පෙනෙන්නේ ගෙයි තැනින් තැන තබා ඇති පඹයන් පමණි. ඉස්තරම්ම කිමොමෝනාවකින් සැරසුණු පඹ ගැහැනියක, සාලයේ කෙළවරක සිටගෙන සිටී. පාසල් නිල ඇඳුමෙන් සැරසුණු බාලිකාවක, දරුවකු ඇකයේ හොවාගත් මවක, දුම්වැටියක් දල්වාගෙන ඇවිදින ව්‍යාපාරිකයකු වශයෙන් පඹයන් ගොඩක් එහි ඇත. ඒ පඹයන් ගොඩ දකින ඕනෑම කෙනෙකුගේ හිත පඹ ගාලක පටලැවෙන්නේ ඉබේටම වාගේය. අයනෝ මෙපමණ පඹයන් සකසන්නේ කුමන කාරියක් අරභයා ද? ඒ හැරත් ඒ පඹයන් ගමේ තැන් තැන්වල සිටුවා තැබීමෙන් ඈ බලාපොරොත්තු වන්නේ කවර අරමුණක්ද?
මේවාට උත්තර හොයන්නට පළමුව ඈ කියන ඇගේ ජීවිත කතාවට මඳක් සවන්දිය යුතුව ඇත.
"... මම මගේ දෙමව්පියන් සමඟ හැදුණේ වැඩුණේ මේ ගමේ. පස්සේ මේ ගම අතහැරලා ඔවුන් සමඟම ඕසකා නගරයට ගියා. ඒ යන විට මම අධ්‍යාපනය ලැබුවේ ද්විතීයක පාසලේ. මම මගේ අධ්‍යාපනය එහිදී අවසන් කළා. ඒ විතරක් නෙවෙයි; විවාහ වුණා; දරුවන් ලැබුවා. මේ විධියට කාලය ගත වනවිට මගේ දෙමව්පියන් පළමු ගමටම නැවතත් ආවා. ඔවුන් මෙහි පදිංචියට ඇවිත් ටික කලකින් මගේ අම්මා අන්ත්‍රා වුණා. තාත්තා තනි වුණා. තාත්තා ගැන බලා කියා ගන්න ඕනෑ හින්දා මම ආයෙත් ගමට ආවා. මම මෙහි ආවේ 2002 වසරේදී. ..." ඈ පවසන්නීය.
ගමට පැමිණි ඈ පළමු පඹයා හදන්නේ සිය නිවෙස ඉදිරිපිට ඇති වගාබිමට එන කුරුල්ලන් එළවීම සඳහායි. වගාවට එන කුරුල්ලන් ගොවීන්ට එවකට කරදරයක්ව පැවැති බව අයනෝ පවසන්නීය. වුවමනාවට වඩා පඹයන් සංඛ්‍යාවක් නිර්මාණය කරන්නට ඈ එදා පියවර ගෙන තිබේ.
"... මේ කාලයේදී අපේ අසල්වැසි කාන්තාවක් මිය ගියා. ඈ ජීවතුන් අතර සිටියදී මා හා නිතර කතා බහ කරනවා. ඇගේ රුවට සමාන පඹයකු හදලා මම තිබ්බා. අසල්වැසි කාන්තාව හිටිය අවධියේදී මම ඇයට ආචාර සමාචාර දැක් වූ විධියටම පඹ කාන්තාවටත් ආචාර සමාචාර දක්වනවා. ...."
ගමෙන් ගිය අය වෙනුවට
ඇය මෙලෙස පඹයන් තනන අතරේ ගමේ වැඩිහිටියෝ එකිනෙකා මියැදෙන්නට වූහ. නික්ම යන ගැමියන්ගේ හිස් තැන අයනෝ පිර වූයේ පඹයන් ඒ ගැමියන් ගැවසුණු තැන්වල සිටුවා තැබීමෙනි. අයනෝගේ ආලින්දයේ ඇගේ මව වෙනුවෙන් ඉදි කෙරුණු රූපයකුත් ඇත. ඒ රුව සමඟ ඈ සෑම දිනෙකම කතා බහෙහි ද යෙදෙන්නීය.
අයනෝගේ නිවසට ආසන්නයෙහි පාසලක් තිබේ. මේ පාසල දූලියෙන් පිරී ගිය පාළු තැනෙකි. අකුරු ඉගෙනීමට හෝ ඉගැන්වීමට හෝ යැයි කියා කිසිවකු අද එහි පැමිණෙන්නේ නැත. එහෙත් මෙයට වසර කිහිපයකට ඉහතදී එය සිසුන්ගෙන් පිරී ඉතිරී ගිය තැනක් විණ. කිසිවකු නැති මේ පාසලේ පාළුවට ගිය ගොඩනැගිලිවල අද ඉන්නේ පඹයන් ය. ගුරුතුමා සහ සෙසු ගුරුවරුද පඹයන්ය. එක පන්ති කාමරයක පඹ සිසුන් විසිදෙනෙකි. ඔවුන්ගෙන් ඇතැමෙක් ඉතා විනීතව පොතටම නෙත් යොමා ගෙනය. තවත් සමහරුන් ගුරුතුමා වෙතම අවධානය යොමු කරගෙන ය. මෙය කෙනෙකුට ඇදහිය නොහැකි තරමේ දර්ශනයකි.
ගමට අහිමි වන ගැමියන් පඹයගෙන් ප්‍රතිස්ථාපනය කිරීම පහසු වැඩක් නොවේ. අයනෝ පවසන අන්දමට එක පඹයකු තනා නිමකරන්නට දින තුනකට ආසන්න කාලයක් ගත වේ. පළමුව ඈ තනන්නේ පඹයාගේ හිස කොටසයි. නහය, කට, ඇස් මෙන්ම කන් ඒ අදාළ තැන්වල සූක්ෂමව පිහිටු විය යුතුය. බොහෝවිට ඒවා මසා නිම කරගන්නටත් සිදු වේ. පඹ ශරීරයේ ඉතිරි කොටස් තනා ගන්නේ පත්තරත් ආධාර කරගෙන ය. ඒ මේ අතට රෝල් කර ගත් පත්තර කොටස් පඹයාගේ දේහයේ ඒ ඒ තැන්වලට තබා බැඳගනු ලැබේ. පඹ ශරීර කූඩුව සකසා නිම කළ පසු අයනෝ එය ඇඳුම් අන්දවා හැඩ කරයි.
2002 වසරේ සිට මේ වන තුරු ඇය නිපදවා ඇති පඹයන් සංඛ්‍යාව 450කට අධිකය. ඇය විවිධ තැන්වල තබා ඇති පඹයන් වසර තුනකට වරක් මාරු කරයි. කොහොම වුණත් 2002දී ඈ නගොරෝහි පදිංචියට එනවිට එහි සිටි ගම්මුන් සංඛ්‍යාව අද 27 දක්වා අඩු වී ඇත. එදා මෙදා තුර ගමෙන් සදහටම නික්ම ගිය හෝ ගම අතැර නගරයට ගිය හෝ සංඛ්‍යාව 200කි. ඒ සෑම කෙනෙකු වෙනුවෙන්ම පඹයකු බැගින් පඹයන් 200ක් ඒ අය ආ ගිය සහ ගැවසුණු තැන්වල සිටුවන්නට අයනෝ අමතක කර නැත. එයින් පෙනෙන්නේ අයනෝගේ හදෙහි ඇති තෙතමන සහ ළෙන්ගතුකමයි. ගම අත්හැර නගරයේ පදිංචියට යන වත්මන් පරම්පරාවේ අය තුළ ඒ සංවේදීකම දැන් නැත. තමන් ඉපදුණු ගමෙන් නොලැබෙන බොහෝ දේ සොයාගෙන ඔවුහු නගරයට ඇදෙති.
ඒත් අයනෝ එහෙම නැත. පියා අහිමි වුණු දිනයෙක ඔබත් නගොරෝ අතහැර ඕසකා වෙත නැවත යන්නේදැයි කියා මාධ්‍යවේදියකු ඇගෙන් වරක් අසා තිබිණ. ඈ ඊට පිළිතුරු දී තිබුණේ "... මම එහෙම කරන්නේ නැහැ. ..." යනුවෙනි.
නගොරෝ ගම්මානයේ දර්ශන...