
දශක අටක ඉතිහාසයක් ඉක්මවා යන ජාතික ඔලිම්පික් කමිටුව සිය මහැඟි ගමන් මඟෙහි තවත් සුවිශේෂ සංධිස්ථානයක් සලකුණු කරමින් සිය ප්‍රථම නිල ක්‍රීඩා සඟරාව Good Sport නමින් එළිදැක්විණි.
මේ ඓතිහාසික අවස්ථාවේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වූ අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට Good Sport සඟරාවේ ප්‍රථම පිටපත පිළිගන්වන ලද්දේ ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති සුරේෂ් සුබ්‍රමනියම් මහතායි.
මේ අවස්ථාවට හිටපු සභාපති හේමසිරි ප්‍රනාන්දු මහතා ඇතුළු ආරාධිතයෝ රැසක් එක් වූහ.
ලාංකේය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් ගත යුතු ගත හැකි සියලුම ක්‍රියා මාර්ග ගැනීමට තමන් ප්රමුඛ රජය සෑම පියවරක්ම ගන්නා බව අග්‍රාමාත්‍යවරයා මෙහිදි පැවසීය.
ලාංකේය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට යෝග්‍ය පරිසරයක් ගොඩනැඟීම, ක්‍රීඩාව සඳහා අත්‍යවශ්‍ය සාධකයක් වන සියලු ආයතනික අංශවල සහයෝගය සමඟින් ක්‍රීඩාවේ ප්‍රමිතිය උසස් කිරීමේ ජාතික ඔලිම්පික් කමිටුවේ අරමුණ බව පැවැසූ සභාපති සුරේෂ් සුබ්‍රමනියම් මහතා රුපියල් මිලියන 50කින් ආරම්භ කළ අගමැතිතුමාගේ ක්‍රීඩා අරමුදල ලාංකේය ක්‍රීඩාවේ ප්රගමනයට ගත් ප්‍රශංසනීය පියවරක් බවද ප්‍රකාශ කළේය.
ක්‍රීඩාවේ දියුණුව - අභිවෘද්ධිය වෙනුවෙන් ආරම්භ කළ මේ ගමන අති විශාල බව පැවැසූ ඔලිම්පික් පදක්කම් ලාභිනි සුසන්තිකා ජයසිංහ ක්‍රීඩාව රටක ප්‍රධාන අංගයක් බවත්, එය රටක සංවර්ධනයේ ප්‍රධාන නිර්ණායකයක් බව පැවැසුවාය.
එමෙන්ම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා 1984 අධ්‍යාපන අමාත්‍ය ධුරය දැරූ වකවානුවේ හඳුන්වා දුන් ජාතික පාසල් ක්‍රීඩා තරගාවලිය මඟින් තමාගේ දක්ෂතා ඔප් නංවා ගැනීමට හැකි වූ බව ද ඇය සිහිපත් කළාය.