කැලේ කපා කෝටි ගණන් හෙව්වත් කිසිම වග­තු­වක් නෑ | සිළුමිණ

කැලේ කපා කෝටි ගණන් හෙව්වත් කිසිම වග­තු­වක් නෑ

* බුරුතයි තේක්කයි පටවනවා 
* ඉස්සරහට අලියෙක් පැන්නා
* සල්ලි නැතත් හිත සතුටින්

මහ වනයේ ඔද තෙද අණ­සක පතුරා සිටි ගස් බිම වැටී වේද­නා­වෙන් මොර­දෙනු මට සිහිවේ. වසර සිය ගණ­නක් පුරා වනයේ යුව රජුන් විල­සින් අභි­මා­න­යෙන් සිටි ගස්වැල් අත­රින් බුරුත සහ තේක්ක වෘක්ෂන්ගේ මුල් කොටස් මම දුටුවේ අත්පා ගෙල සිඳී ගිය කව­න්ධ­ය­න්සේය. දිනෙන් දින අම්පාර වන පෙත් පුරා මේ ආකා­ර­යෙන් හොර රහසේ කැපී යන දැවැන්ත වෘක්ෂ­යන් මෙන්ම දැව ජාවා­රම පිළි­බඳ මම වසර ගණ­නා­වක සිට ඉව ඇල්ලූ­වෙමි. නමුත් බොහෝ විට ආර­ක්ෂක අංශ­වල ඇස්ව­ලට වැලි ගසා කිසිම අව­හි­ර­යක් නොමැ­තිව එම දැව කඳන් ලංකාවේ සෑම තැන­ක­ටම ප්‍රවා­හ­නය කිරීම අපූ­රු­වට සිදුවේ. ආර­ක්ෂක අංශ මේ ජාවා­ර­ම්ක­රු­වන් ගැන විම­සි­ල්ලෙන් සිටිය ද සිය­ල්ල­න්ගේම දෑස්ව­ලට නොපෙනී දැව ප්‍රවා­හ­නය කිරීම ඔවුන්ට කජු කන්නාක් වැනි වැඩකි.

අපි ඔහු සුනිල් යැයි හඳු­න්වමු. ඒ ඔහුගේ නියම නම නොවේය. ඔහු සෙමෙන් හඬ අවදි කර­න්නට විය.

‘‘මහ­ත්තයෝ ඒ දව­ස්වල පොලි­සියේ, වන සංර­ක්ෂණේ, වන ජිවි­යත් එක්ක නිත­රම ගැටුණා. මම 2005 වෙන­කම් කැලේ හොරෙන් කපලා විකු­ණුවා. අන්ති­මට මට ඒ ජීවිතේ එපා වුණා. වැඩක් නැහැ මහ­ත්තයෝ. දැන් මම හොරෙන් ගස් කපලා විකු­ණන්නේ නැහැ. මම දැන් වෙන රැකි­යා­වක් කර­නවා. හිතේ බයක් සැකක් නැතිව ගෙවන මේ ජීවිතේ පුදුම සැන­සි­ල්ලක් දැනෙ­නවා. පොලි­සිය වන සංර­ක්ෂණේ වන­ජිවි ආය­ත­න­වල ඇත්තෝ දැන් මා එක්ක හිත­වත්. ඒ හිත­ව­ත්කම වෙනදා විදි­හට නොවෙයි. ඒ කාලේ ලංකාව පුරාම බුරුත තේක්ක පට­ව­නවා සම­හර මාස­යට එක ලොර්ඩ් එකයි. සම­හර මාස­ව­ලට ලොර්ඩ් පහ පට­වන අව­ස්ථාත් තියෙ­නවා. කලින් ගිහින් වාහ­න­යක් ගන්න පුඵ­වන් තැනක තියෙන බුරුත ගස් බල­නවා. ඊට පස්සේ කට්ටි­යත් එක්ක යනවා ගස් ඉරන්න. ගොඩක් වේලා­වට දව­සක් හරි දෙකක් කැලේ ඉන්න වෙනවා. අපි හාල් තුන­පහ මිරිස් හේම අරන් ගිහින් උයන් කන්නේ. සම­හර වෙලා­වට එක ලොර්ඩ් එකක් කපලා පට­ව­නවා. සාමාන්‍ය ටැංකි ලොර්ඩ් එක­කට අපි කියු­බික් අඩි 300ක් විතර පට­ව­නවා. ඒ එක ලොර්ඩ් එක­කට අපිට රුපි­යල් ලක්ෂ තුන­හා­ම­රක් විතර ලැබෙ­නවා. ගෝල­යන්ට පඩි බේර­පු­වාම මට හත­ළිස් දාහක් පනස් දාහක් විතර ඉතිරි තියෙ­නවා.මොනවා වුණත් අපි ලී ඉරන්න නිකන් යන්න­ම්වාලේ යන්නේ නැහැ. අපි කැලේට යද්දි විශාල ගස්වල අතු එල්ලලා භාර­යක් වෙලා යන්නේ. සම­හර වෙලා­වට දාන­යක් දෙන්නම් කියලා භාර වෙනවා. තවත් දව­ස්ව­ලට පොල් ගහ­නවා කියලා භාර වෙනවා. ගස් කපලා උප­ද්‍ර­ව­යක් නැතිව ලොරි­යට පටව ගෙන ගියාට පස්සේ අපි වෙච්ච බාර ඔප්පු කර­නවා. ඒ බාර­වල ඇද­හි­ලි­වල අපට පිහි­ටක් තියෙ­නවා. මේ වන­තු­රුම කැලේ ලී ඉරද්දි වන සතුන් කොච්චර හිටි­යත් අපට කිසි කර­ද­ර­යක් වුණේ නැහැ.”

වීර­ක­මක් කළාක් මෙන් සුනිල් කැලේ ගස් කැපූ අයුරු පව­සන්නේ උද්යෝ­ග­යෙනි.

කොහො­මද කට්ටි­යගේ ඇස්ව­හලා ලී ලොරි වලට පට­වලා ගෙනි­යන්නේ? මම ඔහු විම­සු­වෙමි.

“මහ­ත්තයෝ අපි මේ කඳන් පට­වන්නේ සම්පු­ර්ණ­යෙන් බොඩි ගහපු ලොරි­වල.

ඒවා කැල­යට ගෙනි­යන්න පුඵ­වන් වෙන විදි­හට පාර­වල් සකස් කර­නවා. එහෙම නැති­නම් අපි කරන්නේ ට්‍රැක්ට­ර්ව­ලින් කැලේ ඇතුළේ තියන ලී කොටන් ලොරිය ගන්න පුඵ­වන් තැනට එකතු කරන එක. කඵ­වර වැටෙද්දි අපි කාටත් හොරෙන් කොහොම හරි ලොරිය කැලේ ඇතු­ළට ගන්නවා. ඊට පස්සේ අපි එක­තු­වෙලා කඳන් ටික පට­ව­නවා. එක කඳක් අඩි 07ක් දිගට තමයි අපි කපන්නේ. ලොරි­යට කඳන් පැටෙ­ව්වට පස්සේ ඒ කඳන් පේන්නැති වෙන්න වී ගෝනි හාල් ගෝනි අට්ටි දෙකක් ගහ­නවා. කවුරු හරි මඟදි පරික්ෂා කරලා බැලූ­වාම තියෙන්නේ හාල් හරි වී හරි. එක අට්ටි­යක් අයින් කරත් අට්ටි දෙකක් ගහලා තියෙන නිසා කඳන් පේන්නේ නැහැ. මේ නිසා ලොරිය පාරට ගත්තාම කිසි කර­ද­ර­යක් නැතිව ලංකවේ ඕන තැන­කට ගෙනි­යන්න පුඵ­වන්. අපි ගොඩක් ලී පැටෙව්වේ කල්මු­නේට. කොළ­ඹ­ටත් පැටෙව්වා. පාරට ලොර්ඞ් එක ගත්තාම අපට අන­තු­රක් තියෙ­නවා අද ගෙනි­යන්න බැරි­වෙයි කියලා හිතු­ණොත් කරන්නේ කෙළින්ම ලොරිය අම්පාර ටවුන් එකට අරන් යනවා. ඊට පස්සේ ලොරිය ගැරෙජ් එක­කට දානව. එහෙම නැති­නම් කොහේ හරි ගෙස්ට් එක­කට දාලා ඉන්නවා. ඊට පස්සේ අපි ටවුන් එකේ ඉඳලා අපට යන්න හිතෙන වෙලා­වට කඳන් ටිකත් අරන් යනවා. ඒහෙම යද්දි කාට­වත් හොයන්න බැහැ. අපට හිතෙන වෙලා­වට කැමති තැන­ක­ටම යන්න පුඵ­වන්.”

ලී පට­වද්දි අහු­වෙලා නැද්ද? මම නැව­තත් ඇසු­වෙමි.

‘‘මොකෝ නැත්තේ අහු­වෙලා වෙලා තියෙ­නවා. ලී කපපු කාලේට පොලි­සි­ය­ටයි වන සංර­ක්ෂ­ණයේ අය­ටයි පහ­ළොස් වතා­වක් විතර හසු වුණා. ඒ හැම විටම අපි ඔවුන්ට සල්ලි දීලා බේරුණා .”

ගොඩක් සල්ලි දෙන්න වුණාද? ඔවුන් සල්ලි ගොඩක් ඉල්ල­න­වද? මම සුනිල්ට බාධා කළෙමි.

‘‘සම­හර වෙලා­වට රුපි­යල් පනස් දාහේ ඉඳන් රුපි­යල් ලක්ෂ­යක් වගේ ගාණක් දෙන්න වෙනවා. එක පාරක් පොලි­සියේ නිල­ධා­රින් පස් දෙනෙ­කුට රුපි­යල් ලක්ෂ­යක් දුන්නා. වන ජිවි නිල­ධා­රි­න්ටත් රුපි­යල් හත­ළි­ස්දාහ පන­ස්දාහ වගේ ගණන් දීලා තියෙ­නවා. කොහොම වුණත් ඒ වෙලේ කථා කරලා එක­ඟ­තා­ව­කට එන ගාණන දෙනවා. ඒ වෙලේ දෙන්න නැති­නම් අපි ඊට පහු­වදා ගිහින් දෙනවා. අහු­වුණු වෙලා­වට සල්ලි දීලා හරි බේරෙන්න තමයි බලන්නේ. සම­හර වෙලා­වට එහෙම බේරෙන්න බැරි­වෙන තැන් තියෙ­නවා.”

කැලේදී භයා­නක අත්දැ­කි­ම්ව­ලට මුහුණ දීලා තියෙ­නව ද?

‘‘මගෙ අම්මෝ... එක­පා­රක් වෙච්ච දෙයක් මතක් වෙද්දි තාමත් හීගඩු පිපෙ­නවා. මම කිලෝ මීටර් හත අටක් මහ කැලේ ඇතු­ළට ගියා. ඒ ගියේ බුරුත ගස් තියෙන තැන් හොයන්න මම ගියේ වන අලින් ගිය අඩි­පා­රක් දිගේ. මම ඉස්ස­ර­හාට එක­පා­ර­ටම යද්දි කැලේ මැදින් එක­පා­ර­ටම මහා ස්දදන්ත අලි­යෙක් ආවා. හිතපු නැති වෙලා­වට ආවාම අලි­යත් කල­බල වෙලා නැව­තුණා. මට මහා හයි­යෙන් කෑ ගැසුණා. අලි­යත් එහෙ­මම ගල් ගැහිලා වගේ බය­වෙලා හිටියා. ටික වේලා­වක් එහෙ­මම හිටියා. අලියා හිමි­හිට ආප­ස්සට හැරුණා. මමත් එහෙම ආයේ පස්සට ආවා. එදා­නම් මම හිතුවේ ඉව­රයි කියලා. අලියා ගැහුව නම් මගේ මිනි­ය­වත් කාට­වත් හොයා­ගන්න ලැබෙන්නේ නැහැ. මොකද මිනි­සුන් යන්නේ නැති මහා කැලෙයි මම හිටියේ.

තව දව­සක් (ඔහු මට ඉතා සුන්දර වැවක නමක් කිවේය) හරි වැඩක් වුණා. අපි වැව ඉස්මත්තේ බුරුත ගස් වග­යක් කැපුවා. ලොරි ලෝර්ඞ් එක­කට අපිට කඳන් 30ක් විතර කප­නවා. වැවේ සැහෙන දුරක් ගේන්නත්. තියෙ­නවා. ඔරු­වෙන් තමයි අපි ගේන්නේ ඔරු­වෙන් දැව කඳන් ගෙනෙද්දි ඔරුව දෙපත්තේ කඳන් දෙක තියලා ඉස්ස­ර­හින් කඳ පොඞ්ඩක් ඉස්සෙන විදි­හට ගැට ගහ­නවා. එත­කොට කඳ ඉස්සිලා තියෙන නිසා වතුර වැඩිය බදන්නේ නැහැ. එහෙම තමයි කඳන් ගොඩට ගේන්නේ. එදාට පට­වන්න බැරි­නම් අපි කරන්නේ අඩි කිහි­ප­යක් ගැඹුරේ වතුර යට කඳන් හංග­නවා. ඊළග දවසෙ ඇදලා ඒවා ලොරි­යට පට­ව­නවා. මේ විදි­හට අපි වැවෙන් මෙගො­ඩට ගෙනල්ලා පට­වද්දි වන­ජිවි එකෙන් ආවනේ. අපේ දෙන්නෙක් අහු­වුණා. ඉතිරි කට්ටිය දුවලා එක එක පැති­ව­ලට පැන ගත්තා. යන්න තැනක් නොති­බුණු මම වැවට පැන්නා. මම වෙන වික­ල්ප­යක් තිබුණේ නැහැ. මම වැවේ එගො­ඩට විශාල දුරක් පිහි­නුවා. ඒ වැවේ කිඹු­ල්ලූත් ඉන්නවා. කොහොම හරි එගො­ඩට පීනලා ගල් තලා­ව­කට වෙලා ඉඳලා පසු­වදා වැවේ මාළු අල්ලන අයත් එක්ක මෙගො­ඩට ආවා. එදා නම් මට ජිවි­තේට අම­තක වෙන්නේ නැහැ. වන­ජිවි එකෙ­නුයි කිඹු­ල­න්ගෙ­නුයි බේරුණු එක මටත් පුදු­මයි. හොරෙන් ගස් කපලා කොච්චර සල්ලි හෙව්වත් කිසි වග­තු­වක් නැහැ. කිසි ඉති­රි­යක් නැහැ. ඒ දව­ස්වල මම රුපි­යල් ලක්ෂ පහක් එකතු කරන් හිටියා ට්‍රැක්ට­ර­යක් ගන්න කියලා. ඒ දව­ස්වල ට්‍රැක්ට­ර­යක් ලක්ෂ පහ­කට හය­කට ගන්න තිබ්බා. ඒත් කොට ලොරි­යක් අහු­වෙලා එක­තු­ක­ර­ගෙන හිටිය මුදල උසා­වි­යට විය­දම් කරන්න වුණා. එකතු කරපු මුදල වාෂ්ප වුණා වගේ විය­දම් වුණා. කැලේ විනාශ කරලා ගන්න සල්ලි කිසිම වග­තු­වක් නැහැ. මේ සත්තයි ඒවා යා දෙන්නේ නැහැ. අපි සම­හර වෙලා­වට ගෙව­ල්ව­ලට ලෑලි පරාල ඉර­නවා. ඒ දව­ස්ව­ලට නම් සතිය දෙක කැලේ ඉන්නවා. ගොඩක් වෙලා­වට ගෙයක් හදා­ගන්න මිනි­හෙ­කුට දැව සංස්ථා­වෙන් හරි කොහෙන් හරි වැඩි මිලට ලෑලි, පරාල ගන්න බැරි නිසා අපි ලී ඉරලා දෙනවා. ඒවා අයි­ති­කා­රයෝ ඇද­ග­න්නවා. එහෙම නැති­නම් අපි ගෙනැත් දෙනවා. ඒවා කළේ උද­ව්වක් විදි­හට.”

ඔහු කිය­වා­ගෙන යයි.

දැන් ඔහු කරන්නේ වෙනත් රැකි­යා­වකි. ඒ වසර කිහි­ප­යක සිටය. දැන් කොහො­මද ජිවිතේ ඉස්සර වගේ ගොඩක් සල්ලි හොය­න­වාද? මගෙන් නැව­තත් පැන­යකි.

‘‘අනේ නැහැ මහ­ත්තයෝ ලී ඉරන කාලේ මාසෙට ලක්ෂ දෙක තුන හම්බ කරන අව­ස්ථාත් තිබ්බා. ඒත් කිසිම වැඩක් කර­ගන්න බැරි වුණා. නමුත් දැන් මේ ජොබ් එකෙන් ලැබෙන්නේ අඩු පඩි­යක් වුණත් හිතේ පුදුම සතු­ටක් තියෙන්නේ. එදාට වඩා අපි යමක් කර­ගෙන තියෙන්නේ මේ රැකි­යාව නිසා. ඒ දව­ස්වල අපි කොච්චර බයෙන්ද සැකෙන්ද ජිවත් වුණේ. අමු­තුම බයක් හිතේ තිබුණේ. කොහේ ගියත් කවුරු හරි අපි දිහා බලන් ඉන්න­වාද කියලා, ඔත්තු බල­න­වාද කියලා සැකෙන් ජීවත් වුණේ.

තවත් දෙයක් කියන්න බැරි වුණා. ඒ දව­ස්වල දැන් වගේ ජංගම දුර­ක­ථන නැහැනේ. ඒ නිසා අපි මඟ දිගට ඔත්තු­කා­රයෝ දානවා. පොලි­සි­යෙන් වන­ජී­වි­යෙන් අප අල්ලන්න එනව නම් ඔත්තු­කා­රයෝ රතිඤ්ඤා පත්තු කරලා සංඥා­වක් දෙනවා. නැති­නම් එන කොහෙන් හරි ළඟ පාර­කින් ඇවිල්ලා කිය­නවා. අපි එත­කොට පැනලා යනවා. එහෙම මර බය­කින් තමයි ලී ඉරන රස්සාව කළේ. දැන් තේරෙ­නවා මම කළේ කොයි­ත­රම් පාප කර්ම­යක් ද කියලා.” සුනිල් පැවැ­සුවේ දිගු සුසු­මක් හෙළ­මිනි.

එලෙස පෙළ ගැසුණේ වසර ගාණක් තිස්සේ ලී ජාවා­රමේ යෙදුණු මිනි­සෙ­කුගේ හද­වතේ ඇතිවූ සන්තා­පයේ හඬයි.

සුසන්ත අමර බන්දු

Comments