
අප්‍රිකාවේ රාජ්‍යයක් වන සැම්බියාව චීනයෙන් ලබාගෙන ඇති අධික ණය ගෙවාගැනීමට නොහැකි ව එරට වැදගත් සමාගම් චීනයට පවරා දීමට යොමුවන බවට පසුගියදා පළ වූ වාර්තා සැම්බියානු රජය තරයේ ප්‍රතික්ෂේප කළේ ය.
මේ වාර්තා අතර සැම්බියාවේ ZNBC රාජ්‍ය මාධ්‍ය ආයතනය චීනය විසින් අත්පත් කරගෙන ඇති බවට පළ වූ පුවත් වාර්තාවක් මෙන්ම එරට ජාත්‍යන්තර ගුවන් තොටුපල චීනය විසින් පවරා ගන්නා බවට වූ වාර්තාවක් ද වූයේ ය.
වොෂිංටන් ඩී.සී. හි "වොයිස් ඔෆ් ඇමරිකා” පුවත් සේවය සමඟ සම්බන්ධ වෙමින් ජනාධිපති එඩ්ගාර් ලුන්ගුගේ ප්‍රකාශකයකු වන අමෝස් චණ්ඩා අවධාරණය කළේ සැම්බියාවට ආර්ථික අපහසුතා තිබෙන නමුදු එරට ණය ගෙවාගත නොහැකි තත්ත්වයකට වැටී නොමැති බව ය.
කිසිදු සැම්බියානු සමාගමක් චීනයට පවරා දීමේ සූදානමක් ද නොමැති බව සැම්බියාව ප්‍රකාශ කරයි.
මේ අතර පසුගිය දා පවත්වන ලද චීන - අප්‍රිකා රාජ්‍ය නායක සමුළුවේදී සැම්බියාවට ඩොලර් මිලියන 30 ක පොළී රහිත ණයක් සහ තවත් ඩොලර් මිලියන 30 ක ණයක් ලබාදීමට චීනය ප්‍රතිඥා දුන්නේ ය.
එක් අතකින්, ණය බරෙහි මිරිකී සිටින රටක් නම් සැම්බියාවට තවත් ණය ලබා දීමට චීනය එකවර පෙලඹේ යයි සිතීම අසීරු ය. අනෙක් අතින්, විශාල ලෙස ණය ලබාගෙන ඇති රටක් තවදුරටත් ණය ලබා ගන්නේ කුමකට ද යන ගැටලුව ද මතු වේ.
ප්‍රධානම වෙළෙඳ සගයා සහ ණයකරු
චීනය, සැම්බියාවෙහි ප්‍රධානම වෙළෙඳ ගනුදෙනුකරු වේ. 2016 දී දෙරට අතර ද්වී පාර්ශවික වෙළෙඳාමෙහි වටිනාකම ඩොලර් බිලියන 4 ක් වූයේ ය. මේ අතර දකුණු අප්‍රිකාවේ සැම්බියානු තානාපතිවරයා දකුණු අප්‍රිකානු SABC රූපවාහිනිය සමග සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කළේ මේ වනවිට සැම්බියාවේ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 15 ක් බව ය. එයින් තුනෙන් එකක් පමණ දේශීය ණයකරුවන්ගෙන් ලබාගත් ණය වන අතර සියයට තිහක් පමණක් චීනයට ඇති ණය බව තානාපතිවරයා සඳහන් කළේ ය.
චීනය සැම්බියාවේ ආර්ථිකයට කෙලින් ම සම්බන්ධ වී කටයුතු කරන්නේ වසර ගණනක සිට ය. මෙය 2006 වසරේ පටන් සැම්බියානු මැතිවරණවලදී ප්‍රධාන විවාදාත්මක කරුණුවලින් එකක් වූයේ ය. චීනය සැම්බියාවේ තඹ පතල් සඳහා කරන ලද ආයෝජනයත්, එ් පතල්වල සේවකයන්ගේ ආරක්ෂාව පිළිබඳ වූ බරපතල ගැටලුත් හේතුවෙන් එවකට ප්‍රධාන විපක්ෂය වූ දේශප්‍රේමී පෙරමුණ චීන ක්‍රියාකාරීත්වය විවේචනය කළේ ය. එය කෙතෙක්දැයි කිවහොත් 2006 ජනාධිපතිවරණයේදී දේශප්‍රේමී පෙරමුණේ අපේක්ෂක මයිකල් සාටා, තමුන් ජනාධිපති බවට පත් වුවහොත් මහජන චීනය වෙනුවට තායිවානය හෙවත් චීන ජනරජය පිළිගන්නා බවට ද තර්ජනය කළේ ය.
එවර මැතිවරණය සාටා පරාජය වූ අතර 2008 දී පවත්වන ලද විශේෂ ජනාධිපතිවරණයේදී සහ 2011 ජනාධිපතිවරණයේදී ද නැවත මේ චීන ප්‍රශ්නය ඔහු විසින් මතු කරන ලදී. 2011 දී සාටා ජනාධිපති ලෙස පත් වූයේ ය.
සටන් පාඨ කෙසේ වුවත්, සැම් බියානු ආර්ථිකය තුළ පැළපදියම් වී සිටි චීනුන් ඉවත් කිරීම පහසු නොවූයේ ය. බලයට පත් වූ පසු සාටා ද සිය පැරණි සටන් පාඨ පසෙක ලා චීනය සමග වැඩ කළේ ය. ඔහුගේ මරණින් පසු ජනාධිපති පදවියට තේරී පත් වූ ඔහුගේ ම පක්ෂයේ ලුන්ගු අද වනවිට ඒ චීනයෙන් ම ණය ලබාගනිමින් සිටියි.
මෙය චීනයේ ආයෝජනය කිරීමේ මූලික ලක්ෂණයකි. එක් අතකින් බටහිර රටවල් මෙන් ඔවුන් ඒ ඒ රටවල මානව හිමිකම් ආදිය පිළිබඳ සලකමින් ණය කොන්දේසි නොපනවයි. චීනයට ඒ රටවල දේශපාලනය පලක් නොවේ. මේ හේතුවෙන් ම ඇතැම් රටවල් බටහිර රටවලින් චීනය වෙත නැඹුරු වී ඇත. මේ අතර තමන්ට විරුද්ධ ස්ථාවරයක සිටින නායකයන් සමඟ පවා කටයුතු කිරීමට චීනය සූදානම් ය.
අප්‍රිකානු රටවල්වල චීන ආයෝජන ව්‍යාප්ත වීම කෙරේ මේ කරුණ පැහැදිලි බලපෑමක් කළේ ය. 1990 දශකයේදී බටහිර රටවල් අප්‍රිකාව පිළිබඳ අවධානය අඩු කරද්දී චීනය එ් හිඩැස පිරවීමට පැමිණියේ ය. ඇන්ගෝලාව, ඉතියෝපියාව ආදී රටවල් මුල් කාලීනව මෙහි ප්‍රතිලාභ ලැබූ අතර අද වනවිට අප්‍රිකාවේ ස්වාසිලන්තය හැර සියලු රටවල් චීනය සමඟ කිට්ටු සබඳතා පවත්වයි.
විනිවිදභාවය
අප්‍රිකාව තුල චීනයේ කටයුතු පිළිබඳ ගැටලු ඇති වීමට එක් ප්‍රධාන හේතුවක් වන්නේ චීන ගනුදෙනුවල විනිවිදභාවය පිළිබඳ ප්‍රශ්න ඇති වීම ය. චීනය මෙන්ම අප්‍රිකානු නායකයෝ ද මේ තොරතුරු හෙළි කරන්නට මැළි වෙති. මේ හේතුවෙන් විවිධ කට කතා ද නිර්මාණය වීම ස්වාභාවික ව සිදු වේ. සැම්බියාවේ ආයතනය පිළිබඳ වූ කට කතාවලට ද හේතු වූයේ එ් සංවෘතභාවය ය.
ඇතැම් අප්‍රිකානු නායකයන් චීන මුදල් භාවිතා කරනු දිස් වන්නේ තම පෞද්ගලික ප්‍රචාරණ අවශ්‍යතා සඳහා කෙරෙන ව්‍යාපෘතීන්ට ය. එවැනි අවස්ථාවල එ් නායකයන් අදාළ කරුණු සැඟවීම ස්වාභාවික ය.
නමුත් චීන අරමුදල් යටිතල පහසුකම් දියුණු කිරීමට සාර්ථකව භාවිත වන අවස්ථා ද එමට ය. මං මාවත්, දුම්රිය මාර්ග, වරාය සහ ගුවන් තොටුපල ආදිය ඉදි වීම මේ අතර ප්‍රධාන ය. එමෙන්ම චීන ආයෝජකයන් ඇතැම් රටවල කර්මාන්ත ආදිය ඇරඹීමට ද යොමු වෙති. ඇන්ගෝලාව වැනි ඇතැම් රටවලට තෙල් ආදී සම්පත් ඇති හෙයින් කිසියම් ක්‍රමයකින් ණය ආපසු ගෙවීමේ හැකියාව ඇතැයි සිතිය හැකිය. නමුත් නැගෙනහිර අප්‍රිකානු රටවල් ආදී ඇතැම් රටවල් යටිතල පහසුකම් දියුණු කිරීමට හෝ වෙනත් කරුණක් සඳහා ලබා ගන්නා විශාල ණය යළි ගෙවනු ලබන්නේ කෙසේද යන්න ප්‍රශ්නකාරී ය.
නව යටත්විජිතවාදය
ඇතැම් විචාරකයන්ට අනුව චීනය අප්‍රිකාවේ සහ වෙනත් ප්‍රදේශයන් හි කරනු ලබන ආයෝජනයන් පැරණි යටත්විජිතවාදයෙන් වැඩි වෙනසක් නොදක්වයි. ඉංග්‍රීසින් දුම්රිය මාර්ග ඉදි කළ පරිද්දෙන් ම, චීනය මේ රටවල යටිතල පහසුකම් දියුණු කරයි. චීනය මේ රටවල අමුද්‍රව්‍ය මිලට ගෙන නිමි භාණ්ඩ විකුණයි. එහෙයින් මතුපිටින් පෙනන අයුරින් චීනය සහ පැරණි බ්‍රිතාන්‍ය යටත්විජිතවාදය අතර විශාල සමානකම් ඇත. නමුත් අප්‍රිකානු නායකයෝ මේ චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරති. මෑතකදී පවත්වන ලද චීන - අප්‍රිකා සමුළුවේදී ද මේ අදහස තරයේ විවේචනයට ලක් වූයේ ය.
පැහැදිලිවම පැරණි යටත්විජිතවාදය සහ චීන ක්‍රියාකාරකම්වල එක් පැහැදිලි වෙනසක් වන්නේ ඒ ඒ රටවල දේශපාලනයට චීනය අත නොගැසීම යි. සත්‍ය වශයෙන්ම මානව හිමිකම් ආදී නිර්ණායක ඔස්සේ බටහිරින් එල්ල වන පීඩනයන්ට මුහුණ දීමට ඇතැම් නායකයන්ට චීන මුදල් මහෝපකාරී වී ඇත.
එහෙයින්, ලබාගත් ණය යළි ගෙවීම පටන් නොගන්නා තෙක් චීනය විසින් යටත්විජිතවාදයක් ක්‍රියාත්මක නොකරන්නේය යැයි එ් නායකයන් නොබිය ව පවසනු ඇත.