නෙඵම් විල | සිළුමිණ

නෙඵම් විල

දන්සල් දරුවෝ

ඒ පොසොන් පෝ දා විය.

සුපු­රුදු පරිදි උදෑ­සන ම හාන්සි පුටුවේ ඇල වී මොහො­තක් සිට එහි පතු දෙක මත ලෑල්ලක් තබා ගෙන ලිය­න්නට වීමි.

ඒ මා ලියන ආකා­රය යි.

ලියැ­විල්ල අතර මග නැව­තිණ. හිතට සිතු­වි­ල්ලක් ආයේ ය. ඒ පොසොන් ගැන ය. පොසොන් අසි­රිය විඳ ගැනී­මට නම් මිහි­න්තලේ යා යුතු ම බව මට සිතිණ. අනු­රා­ධ­පු­රයේ වැව­කින් නාගෙන මිහි­න්ත­ලය වැඳ ගෙන ආපසු රුව­න්වැ­ලි­යට විත් වැඳ පසෙක හිඳ සිත නිවා ගැනී­මට ඇත්නම් අපූරු ය. එහෙත් මේ වය­සක මට, ඒ තබා හරි­ය­කට ඇවිද ගැනී­මට බැරි ආබා­ධි­ත­ය­කුව සිටින මට එබඳු වන්දනා ගමන් යා නොහැකි ය.

‘සර් අද පොසොන් පෝය නේද?’ වසන්තා ඇසුවා ය. මට උවැ­ටන් කර­ගෙන මා බලා ගන්නේ ඇය ය.

‘ඔව්’ මම කීමි.

‘පන්සල් ගියෙත් නෑ. දන්සල් යන්නෙත් නෑ. එහෙනං ගෙද­රට වෙලාම ඉම්මු!’

‘හොඳයි එහෙනං අපි හවස් වෙලා දන්ස­ල­කට යං’

හැන්දෑවේ ගම­නට සූදා­නම් වූ මම අත්වා­රුව ගෙන ත්‍රි‍රෝද රිය කරා ගියෙමි. එය පද­වන්නේ මා ය. රියෙහි හිඳ ගත් විට එය පැද යෑම කෙරෙන්නේ පුරු­ද්දට මෙනි.

වසන්තා ද පැමිණ හිඳ ගත්තා ය.

අපි නග­ර­යට ගියෙමු.

නග­රයේ දන්සල් ළඟ දිගු පෝලිම් තිබිණ.

‘ඕවයෙ පෝලිං­වල මං කොහො­මද හිට­ගෙන ඉන්නෙ වසන්තො?’ මම ඇසීමි.

‘තව යංකො සර් ඉස්ස­ර­හට’ ඇය උනන්දු කළා ය.

අපි නග­රය පසු කොට ඉදි­රි­යට ගියෙමු.

අයි­ස්ක්‍රීම් දන්ස­ලක් හමු විය. මම ත්‍රිරෝද රිය පසෙ­කට කර නැවැ­ත්වීමි.

වසන්තා බැස ගියා ය. මොහො­ත­කින් ඇය ආපසු ආවේ සිනා මුහු­ණිනි. ඇගේ අත් දෙකේ අයිස් කෝන් දෙකක් විය.

මට සීනි ලෙඩේ තිබේ. එහෙත් අයිස් කෝන් දුටු හැටියේ ඇති වූයේ ලොකු පෙරේ­ත­ක­මකි.

‘ආ සර් ඔන්නොහෙ එකක් කාල දාමු’ ඇය මට එකක් පෑවා ය.

මම මහත් ආසා­වෙන් එය රස වින්දෙමි.

ඉන් පසු අපි සැහැ­ල්ලු­වෙන් තවත් ඉදි­රි­යට ගියෙමු.

තවත් දිගු පෝලි­මක් විය.

‘සර් බත් දන්ස­ලක්!’

මම පෝලිම පසු කර අහර පිළි­යෙල කරන තැන ළඟට ම ත්‍රිරෝද රිය ධාව­නය කර වූයෙමි. අන­තු­රුව එය නවත්වා අත්වා­රුව ද ගෙන ඉන් බිමට බැස ගතිමි.

අත්වා­රු­වට බර දී දන්සල දෙස බලා­ගෙන සිටින මා දෙස දරු­වෙක් බලා­ගෙන සිටියේ ය. මම ඔහුට ළඟට කතා කළෙමි. ඔහු ආවේ ය.

‘පුතා, මට පෝලිමේ ඉන්ඩ බෑ. බත් ටිකක් ගන්නෙ කොහො­මද?’

තවත් පුතෙක් එහි ආවේ ය. දෙදෙනා මගේ ප්‍රශ්නය තමන් ගේ ප්‍රශ්න­යක් බවට පත් කර ගත්හ.

‘සීය එන්ඩ එපා! ඔහොම ඉන්ඩ! මං පාර්ස­ල­යක් හදා­ගෙන එන්නං’ දරු­වෙක් කීවේ ය.

‘අනේ පුතේ, ඔයා­ලට බණීනේ’ මම බිය පළ කළෙමි.

‘නෑ. නෑ. දන්සැල අපේ!’ ඔවුහු ‘සීය ඔහොම ඉන්ඩ! අපි අරං එන්නං’ කියා පෝලිම ද පසු කර දන්සැල ඇතු­ළට ගිය හ.

මොහො­ත­කින් දෙදෙනා බත් පාර්ස­ල­යක් ද රැගෙන මා ළඟට ආවේ රටක් රාජ්‍ය­යක් ලබා ගත් සතු­ටිනි.

‘මේං සීයෙ’ ඔවුහු ඒ මට දුන්හ.

මම සතු­ටින් එය අතට ගතිමි. ඒත් පොඩි උන් ලවා වැඩ ගැනීමේ දුකින් හිත තැවුණේ ය. ලැබුණේ එක බත් පාර්ස­ල­යක්. එය අප දෙදෙ­නාට නොසෑහේ. එහෙ­යින් තවෙ­කක් ලබා ගත යුතු ය. ඒ ගැන මේ දරු­වන්ට ආයෙත් කර­දර නොකළ යුතු යැයි සිතූ මම තවත් පාර්ස­ල­යක් ඉල්ලා ගෙන එමියි ඉටා­ගෙන අත්වා­රු­වට බර දී දන්සල පැත්තට යන්නට හැරු­ණෙමි.

‘එපා සර්! අපි දෙන්නට ම මේ බත් පාර්සලේ ඇති’ වසන්තා කීවා ය.

පොඩ්ඩන්ගේ මොළේ ක්ෂණි­කව වැඩ කළේය. ඔවුහු අපේ තත්වය තේරුම් ගත් හ.

‘නෑ සීයෙ ඔයා ඉන්ඩ. අපි තව එකක් ගේන්නං!’ කියූ ඔවුහු යළිත් දන්සල පැත්තට දිවූ හ. ඒ ටික­කින් දෙවන පාර්ස­ලය ද අතැ­තිව ආහ.

‘ආ සීයෙ’ ඔවුහු සිනා­සී­ගෙන එය මට දුන් හ. මම ඔවුන් ගේ හිස පිරි­මැ­ද්දෙමි. ඔවුහු අහිං­සක ලෙස සිනා­සුණ හ. මම මොහො­තක් ඒ පින්බර මුහුණ දෙස බලා සිටි­යෙමි. දැන් මට දුක සතුට වැඩි වෙලා දරා ගත නොහැකි ය. එහෙ­යින් සට සට ගා කඳුළු වැටෙ­න්නට වූයේ ය.

‘අපි යන්නං පුතේ’ මම ඔවුන් ගෙන් සමු­ග­තිමි. ඒ වන විට ත්‍රිරෝද රිය ඉදි­රි­යේත් පසු­ප­සත් සෙනග සිටිය හ. රිය පණ ගන්වා ගත්ත ද යා නොහැකි බව තේරුම් ගත් ඒ පුංචි දරුවෝ සෙනඟ එහා මෙහා කර­මින් අපට යන්නට පාර හදා දුන් හ.

‘බොහොම ස්තුතියි. පිං සිද්ධ­වෙ­නව පුතේ’ මම ඔවු­න්ගෙන් සමු­ගෙන රිය මහ­පා­රට ගතිමි.

ගෙදර ගිය හැටියේ අපි බත් පාර්සල් ලිහා කෑමට සූදා­නම් වීමු.

බල මාළු, කොස් මැල්ලුම්, අල බැදුම්, පප­ඩම් සමඟ මුසු වූ ඒ බත අපේ රස නහර පිනවී ය.

වැලි­පැන්න ගහ­මුල දන්සලේ අප නම නොදන්නා ඒ පුංචි දරු දෙදෙනා සම­ර­මින් අපි එදා රෑ වේලේ සතුට බෙදා ගතිමු.

මාර­විල, වීර­හේනේ විශ්‍රාම ලත් විදු­හ­ල්පති ඩබ්ලිව්.එල්. බැසිල් ප්‍රනාන්දු මහතා විසින් යොමු කරන ලද ලිපි­යක් ඇසුරෙනි.

 


පිරිත් පොත

මගේ හිත­ව­තෙක් මට පිරිත් පොතක් තිළිණ කළේ ය. එය ඔහු ගේ මුද්‍ර­ණා­ලයේ ඔප කඩ­දා­සියේ මුද්‍රිත වටිනා එකකි. පිරිත් දේශ­නා­වන්හි අර්ථය සිංහ­ලෙන් පැහැ­දිලි කොට තිබීම ද විශේෂ ය.

ඒ වන විටත් එබඳු ම පිරිත් පොතක් මා සන්ත­කයේ ද විය. එහෙ­යින් අලුත් පිරිත් පොත සුදුසු කෙනෙ­කුට දිය යුතු යැයි මම සිතු­වෙමි.

සුදුස්සා එක්වර ම තෝරා ගැනීම ලෙහෙසි නොවී ය. එහෙ­යින් සුදුස්සා හමු­වන තුරු බලා සිටි­යෙමි.

හමු විය. ඒ මගේ සොහො­යු­රි­යකි. මම ඇයට පිරිත් පොත පරි­ත්‍යාග කළෙමි.

මේ සිද්ධිය කාල­යෙන් වැසී ගියේ ය. මට ද එය අම­තක විය.

දිනක් පින්කම් පොළක දී හදි­සියේ ඇය මට මුණ ගැසිණි. මා දුටු හැටියේ ම යමක් පැව­සී­මට ඇතැයි කී ඇය මා පසෙ­කට කැඳ­වා­ගෙන ගියා ය.

‘.... අර පිරිත් පොත තෑගි කරන්ඩ සුදුසු ම කෙනෙක් මට හම්බ වුණා. එයාට පිරිත් පොතක අව­ශ්‍ය­තාව තදින් දැනි­ලයි තිබුණෙ. ඉතින් ඒ පිරිත් පොත ලබන්ඩ නිය ම සුදුස්ස මම නෙමෙයි එයයි. ඒ හින්ද මං ඒක එයාට දුන්න. මං ඒක එයාට දුන්නෙ සතු­ටින්....’ ඇය කීවා ය.

‘අනේ හොඳයි’ මම කීමි.

අපි සමු­ග­තිමු.

පිරිත් පොත ඒ තැනැ­ත්තාට පිරි­නැ­මී­මෙන් ඇය සතු­ටක් විඳින බව මට පසක් විය. එය මට ද සතු­ටකි.

පසුව මේ කතාව මට ඒ පිරිත් පොත පරි­ත්‍යාග කළ හිත­ව­තාට ද කීමි. වඩාත් ම සුදුසු තැනැ­ත්තාට අදාළ පරි­ත්‍යා­ගය ලැබීම ගැන ඔහු ද සතු­ටට පත් වූ බ ව පෙනිණ.

බට­පොළ, උඩු­වෙල, පේදු­රු­හේවා අනුර හර්මන් මහතා විසින් යොමු කරන ලද ලිපි­යක් ඇසු­ෙරනි.

නෙළුම්විල
සිළුමිණ,
ලේක්හවුස්,
කොළඹ 10.

Comments