ගම්මාන තුනක් හදන්න ඉඩම් දන්දුන් මල්ශාලා හිමිකරුවා | සිළුමිණ

ගම්මාන තුනක් හදන්න ඉඩම් දන්දුන් මල්ශාලා හිමිකරුවා

* 71 කැරැ­ල්ලෙදි වල­පනේ ඒ.එස්.පී මගෙන් වෙඩි නොකා බේරුණේ අනූ නව­යෙන්
* වතු­වල මිනිස්සු මිනී කල් තියා­ගත්තෙ මිනි­යට පෙට්‍රල් පොවලා
* අපි කට්ටියක් පොලිසිය රකින්නත් ගියා

ජයන්ති මාමාට දැන් වයස අවු­රුදු අනූ හත­රකි. ජයන්ති මාමාගේ නම රණ­සිංහ ආර­ච්චි­ලාගේ පොඩි­ම­හ­ත්තයා ය. එහෙත් රාගල පැත්තේ ඇත්තන් උන්දෑව දන්නේ ජයන්ති මුද­ලාලි ලෙසය. නැති නම් ජයන්ති මාමා ලෙසය. ගම් නැති කරන මිනිස්සු සිටිති. ගම් හදන මිනි­ස්සුත් සිටිති. ජයන්ති මාමා ගම් හදන පන්නයේ දුර්ලභ මිනි­සෙකි. මේ ප්‍රසන්න මිනි­සාගේ අතීත මතක බෙහෙ­මින්ම රස­වත්ය.

රාගල මුල්ම මල්ශා­ලාව ඔහු­ගේය. ලී බඩු සාප්පු­වත් ඔහු­ගේය. නුව­ර­එ­ළි­යේත් ආරම්භ වන ලී බඩු සාප්පුවේ සහ මල්ශා­ලාවේ නම ජය­න්තිය. ජයන්ති ලී බඩු කඩේ ප්‍රසිද්ධ වන විට ඒ කඩේ මුද­ලාලි ජයන්ති මුද­ලාලි වූයේය. ජයන්ති මාමාගේ කතාව උන්දෑ­ගේම වච­න­යෙන් අහ­ග­න්නට වටී. ඒ පසු­ගිය දශක පහක හෝ හයක කාලය තුළ මේ පළා­ත්වල ජීවත් වූ මිනි­සුන්ගේ සමාජ ජීවි­තයේ පැති­ක­ඩක් ඒ කතාව තුළ ගැබ්වී ඇති නිසාය.

පුංචි කොච්චියේ අව­සන් නැව­තු­ම්පළ බවට එකල පත්ව තිබුණේ රාගල දුම්රිය ස්ථානය ය. අද නට­ඹුන් බවට පත්ව ඇති පුංචි කොච්චියේ මත­ක­යන් ජයන්ති මාමා සතුය.

ඔහු සිය කතාව ආරම්භ කළේය.

“මම ඒ දව­ස්වල හිටියේ නුවර. අපේ සීයා කොර­නල් කෙනෙක්. ඒ දව­ස්වල සීයා උසාවි යන්න නුව­ර­එ­ළි­යට එනවා. ඒ ආපු සම­හර දව­ස්වල මාවත් එක් කර­ගෙන එනවා. සම­හර දව­ස්වල අපි නුව­ර­එ­ළියේ ඉඳලා රාග­ලට පුංචි කොච්චියේ එනවා. මට මතක විදි­හට ටිකට් එක සත දහ­යයි. පෙටිටි දෙකයි තියෙන්න මිනි­ස්සුන්ට යන්න. මිනි­සුස් ගොඩාක් ඉන්නවා යන්න. දැන් අපේ කඩේ තියෙන තැනට එහා­යින් තමයි කොච්චිය හැරෙව්වේ.

මං රාගල එන්නෙ අහ­ම්බෙන්. ඒ 1952 දී. මගෙ තාත්තා එක්ක. මගේ තාත්තා තමයි රාගල සිංහල ස්කොලේ බිල්ඩිම හැදුවේ. තාත්තා කළේ කොන්ත්‍රාත් වැඩ. මමත් තාත්තාත් එක්ක රාග­ලට ඇවිත් රාගල ලී බඩු සාප්පු­ව­කුත් එක්ක මල් ශාලා­වක් දැම්මා. ඒ දවස් වල මේ පැත්ත පළ­තක මල් ශලා­වක් තිබුණේ නැහැ. මම ඒ එක්කම නුව­ර­එ­ළි­යෙත් මල් ශලා­වක් දැම්මා. කසාද බඳින කොට මට අවු­රුදු 53 යි. මට හොඳම අත්දැ­කීම ලැබුණෙ මල්ශා­ලාව දැම්මට පස්සෙ.

මල් ශාලාව

ඒ දවස් වල අද වගේ මිනි පෙට්ටි ගණන් නැහැ. පෙට්ටි­යක් රුපි­යල් පන­හයි. ගොඩාක් වේලා­වට කවුරු හරි ආවාම පෙටි­ටි­යක් හදලා තමයි දෙන්නේ. පස්සේ රුපි­යල් පනස් පහ­ටත් පෙටිටි දුන්නා මත­කයි. ඒ දවස් වල අද වගේ මිනිය මල් ශාලා­වට ගේන්නේ නැහැ. මම මල්ශා­ලා­වක් කළාට කව­දා­වත් මිනි­යක් දැකලා නැහැ. මැරුණු ගමන්ම ඒ අය ඇවිත් පෙට්ටි අරන් යනවා. හැත්තෑ ගණන් වල දිය­නිල්ලේ නාය ගිහින් දහ­තුන් දෙනෙක් විතර මැරුණා. ඒ අයට පෙට්ටි දුන්නෙත් රුපි­යල් පන­හට. පෙට්ටි දහ­තු­නක් එක දව­සෙන් හැදුවා.

පෙට්‍රල් මී පැණි එම්බාම්

රාගල වතු කම්කරු ජන­තා­ව­ගෙන් පිරුණු ප්‍රදේ­ශ­යක්. ඉස්සර මේ පළාතෙ මිනී මල් ශලා­වල එම්බාම් කරන්නේ නැහැ. වතු වල තිබුණෙ වෙනස් සංස්කෘ­ති­යක්. මේ දෙමළ අය කරන්නේ මැරුණ ගමන් මිනිය ටිකක් ඉන්ද­වලා තිය­නවා. ඊට පස්සෙ පෙට්ට්‍රල් කාලක් විතර මිනි­යට පොව­නවා. තව සම­හර ගම්වල අය කෙනෙක් මැරුණ ගමන් මිනිය කෙළින් කරලා මී පැණි කාලක් විතර පොව­නවා. මේ වැඩේට පළ­පු­රුදු කට්ටිය ගම්වල හිටියා. දැන් තමයි මල් ශාලා­වට ගෙනත් මිනී එම්බාම් කරන්නේ. ඇත්ත­ටම මට මල් ශාලා දෙකක් තියෙ­නවා තමයි. මේ වෙන­කම් මමත් මිනි­යක් එම්බාම් කර­නවා දැකලා නෑ.

ශ්‍රී කොලො­ප්පම

මගෙ මත­කය හැටි­යට ඒ 1958 අවු­රුද්ද. ඒ කාලෙ ශ්‍රී කොලො­ප්පම කියලා උද්ඝෝ­ෂ­ණ­යක් ආවා. මෙහෙ­යෙව්වෙ රාජ­ර­ත්නම් මහ­ත්ත­යලා. ඒ කියන්නේ ශ්‍රී අකු­රට විරු­ද්ධව දෙමළ මිනිස්‌සු වැඩ කරන්න පටන් ගත්තා. මේ අවුල ආවේ යාපනේ අය­ගෙන්. ඒ උද්ඝෝ­ෂ­ණය වතු­ව­ලට ඉන්න අය­ටත් පැති­රුණා.

වැඩේ කොච්චර ලොකු­වට ඇවි­ළුණා ද කිය­නවා නම් ඇඳි­රි­නී­තිය දැම්මා. කාට­වත් ගෙව­ල්ව­ලින් එළි­යට එන්න එපා කිව්වා. අවොත් වෙඩි තිය­නවා කිව්වා. ඒ දවස් වල මම රාගල උඩ­ට­වුමේ කඩේ තමයි කරන්නේ. මම හිතුවා කවුද වෙඩි තියන්නේ කියලා බලන්න. මම රෑත් කඩේ ඇර­ගෙන ගෝලයො දාලා වැඩ කළා. රෑ දොළ­හට විතර නුව­ර­එ­ළිය පොලි­සි­යෙන් මහ­ත්වරු කට්ටි­යක් ආවා. ඇවිත් කිව්වා අපි හින්දා හොඳයි. වෙන කවුරු හරි ආවොත් වෙඩි තියයි. එක නිසා කඩේ වහන්න කියලා. පස්සේ මම කඩේ වැහැව්වා

පොලිස් රාජ­කාරි

ඊට පස්සෙ රටේ මිනි­සුන්ට දැනුණ අම­තක නොවන සිද්ධි­යක් තමයි 1971 කැරැල්ල. ඒ කාලෙ මං හොඳට හයිය හත්තිය තියන මිනිහා. කැර­ලි­කා­රයෝ පොලි­සි­ව­ලට ගහලා අල්ලන්න එනවා කියන ආරං­චිය අපිට ආවා. එත­කොට පොලි­සි­වල අද වගේ ගොඩාක් කට්ටිය හිටියේ නැහැ. පොලි­සියෙ මහ­ත්තුරු අපිට ඇවිත් කිව්වා මේ අව­ස්ථා­වට එකතු වෙන්න කියලා. ඊට පස්සෙ ඒ අය අපි­වත් ගත්තා රෑට පොලි­සිය ආරක්ෂා කරන්න. අපි රාග­ලින් තිස් දෙනෙක් හැම­දාම ගියා පොලි­සිය රකින්න. මම තමයි ඒ කණ්ඩා­යම භාරව හිටියේ. අපිට තුව­ක්කුත් දුන්නා. මට කොහො­මත් වෙඩි තියන්න පුළු­වන්. ගෙදර ලයි­සන් තුවක්කු දෙකක් තිබුණා මට. අපි හවස හයේ ඉඳලා උදේ හය වෙන­කම් පොලි­සිය ආරක්ෂා කර­නවා. පොලි­සිය එක්කෙ­නෙ­කුට බිත්තර රොටී දෙක ගානෙ දුන්නා.

අනූ නව­යෙන් බේරුණු ඒ. එස්. පී.

ඒ දව­ස්වල අපිට උප­දෙස් ලැබිලා තිබුණේ රෑට කවුරු ආවත් වෙඩි තියන්න. එක දව­සක් රෑ අපි පොලි­සිය වට කර­ගෙන ඉන්නවා. ලයිට් නෑ. ඔය අතරෙ අපිට පේනවා කෙනෙක් හොරෙන් හොරෙන් පොලි­සි­යට ඇතුළු වෙනවා. දැන් මං ඉලක්කෙ අර­ගෙන. අනෙක් කට්ටි­යත් තුවක්කු මාන­ගෙන. එක්කෙ­නෙක් මහ හයි­යෙන් කෑ ගැහුවා එක අඩි­යක් තව තිබ්බොත් වෙඩි තිය­නවා කියලා. ඒ එක්කම උත්තර ලැබුණා කල­බල වෙන්න එපා. මම ඩිවි­ෂන් ඒ.එස්.පී. කියලා. බලන කොට වල­පනේ ඒ. එස්. පි මහ­ත්තයා හොරෙන් ඇවිත් පොලි­සිය බලන්න. එදා එයා අනු­න­ව­යෙන් බෙරුණේ. පස්සේ පොලි­සියේ ඕ. අයි. සි මහ­ත්තයා ඇවිත් බැන්නා ඒ එස් පි මහ­ත්ත­යාට. සර් මෙහෙම මෝඩ වැඩ කරන්න එපා. මේ අය ට්‍රෙනින් කර­ලාත් නැහැ. වෙඩි තිබ්බා නම් මොකද කරන්නේ කියලා.

ගම්මාන ඇති කිරිම

මම ගම්මාන තුනක් ඇති කරපු මනු­ස්ස­යෙක් පුතේ. ඒ දවස් වල ටී.බී.එම්. හෙරත් මහ­ත්ත­යාත් එක්ක එකතු වෙලා මං ගොඩාක් වැඩ කළා. එතුමා ඒ දව­ස්වල නියෝජ්‍ය ප්‍රවා­හන ඇමති. මමත් එතුමා හදපු ජනතා කමි­ටුවේ සමා­ජි­ක­යෙක්. ඒ වගේම මම ගොවි කාරක සභාවේ සභා­පති. දව­සක් මට හේරත් මහ­ත්තයා කිව්වා දැන් රාගල පටන් ගන්න තැන පල්ලිය ළඟින් ඉඩම් තේ ඉඩම් අක්කර දහ­යක්, මැද­ව­ත්තෙන් අක්කර දහ­යක්, රත්නා­යක පත­නෙන් ඉඩම් අක්කර විස්සක් ඉල්ලන්න කියලා. පස්සෙ මම ලියුම් දාලා එවා ගත්තා. ඊට පස්සේ හේරත් ඇම­ති­තුමා මාත් එක්ක එකතු වෙලා ඒ ඉඩම් ටික බෙදලා දීලා ගම්මාන ඇති කළා. ඒ කාලේ දේශ­පා­ල­කයො කියන්නෙ එහෙම පිරුණු මිනිස්සු. දැන් ඒ ගම්මාන හරි දියු­ණුයි. මට පුදුම සතු­ටක් තියෙන්නේ ඒ ගැන හිතෙන කොට.

ටී.බී.එම් හේරත් මහ­ත්තයා තමයි මේ වල­පනේ ගොඩ­නැ­ඟුවේ. එක දව­සක් එතුමා මට කිව්වා “ ජයන්ති මට මහ­තු­ඩු­ගල ගෙදර හදලා ඕනේ” කියලා. පස්සේ මාව කාර් එකේ දාගෙන ගිහිල්ලා තැනත් පෙන්නුවා. ඉතින් මම ඒ ගේ හදා දුන්නා. වැද­ගත්ම දේ ඔහු මට ඒ සඳහා ගිය හැම සත­යක්ම ඔහුගේ මුද­ල්ව­ලින් බේරුවා. කිසිම වෙලා­වක මිනි­ස්සුන්ව අයථා වැඩ­ව­ලට පෙල­ඹෙව්වෙ නෑ. කන්න බොන්න දිලා පෙට්ටි දුන්නා

89 කාලේ කියන්නෙ මර­ණය හැමෝ­ගෙම ගෙව­ල්ව­ලට තට්ටු කර­ගෙන ගිය කාල­යක්. රටේ හැම තැනම වගේ භිෂ­ණය තිබුණා. සම­හර අයට මිනී පෙට්ටි ගෙනි­යන්න දුන්නේ නැහැ. ගොඩාක් වේලා­වට තුණ්ඩු කෑල්ලෙන් ඇඳිරි නිතිය දානවා. කාට­වත් ඇවි­දින්න බැහැ. ඒ දවස් වල මිනිස්සු මිනී පෙට්ටි ගන්න ආපු­වාම ගෙදර ඇතුළේ කාමරේ ඒ අය හංග­ගෙන පෙට්ටි­යත් ගෙද­ර­දීම හද­නවා. ඒ අයට කන්න බොන්න දිලා කළු­වර වැටෙන තුරු ගේ ඇතුළේ තියා­ගෙන ඉන්නවා. මට තවම මත­කයි පුතේ. ඒ අය පෙටි­ටිය කරේ තියා­ගෙන තේ වතු මැදින් දුව­ගෙන තමයි යන්නෙ.

අභි­මා­නය

මං මේ කියන වක­වා­නුව පුරාම අද වගේ මේ නගර දියුණු නැහැ. මම හේරත් මහ­ත්ත­යාත් එක්ක මේ ගොඩාක් ගම්මාන ඇති කරන්න වැඩ කළා. මිනි­ස්සුන් පදිංචි කළා. ඒ අතරෙ මං මගේ උත්සා­හ­යෙන්ම ව්‍යාපා­රත් දියුණු කර­ගත්තා. මට ඇත්ත­ටම දැන් සතු­ටුයි. ”

ජයන්ති මාමා සිනා­සෙයි. ඔහු සතු­ටිනි. ජීවි­තයේ සැඳෑ කාලය මේ තරම් සැහැ­ල්ලු­වෙන් සතු­ටින් ගත කරන වැඩි­හි­ටි­යන් අපේ රටේ හිඟය. මොන තරම් ප්‍රසා­ද­ජ­නක පරි­ස­ර­යක වුවත් ඔවුන්ට කුමක් හෝ තැවු­ලක් තිබේ. ජයන්ති මාමා වෙනස් වන්නේ ඒ නිසාය. අද රාගල නග­රය තරම්ම ජයන්ති මාමා ඇති කළ රත්නා­යක පතන ගම්මා­න­යත්, මැද­වත්ත ගම්මා­න­යත් දියු­ණුය. ජයන්ති මාමා මෙම ගම්මාන ඇති කළ බව නම් දන්නේ අත­ළො­ස්සකි. අද ඔහු දරු­වන් නව දෙනෙ­කුගේ පියෙකි. දරු මුනු­පු­රන් විශාල පිරි­ස­කගේ ආද­රය ලබ­න්නෙකි. ජීවි­තය තෘප්ති­මත් ලෙස ගත කර­න්නෙකි.

චන්දන තිලක් ද සිල්වා

Comments