
කබරගොයි මාලය
මා මේ ලියන්නේ අද කටුබැද්දේ ඇවිදින මං තීරුවේ ව්‍යායාම පිණිස ඇවිද යන අය නොදන්නා කතාවකි.
කටුබැද්දේ පන්සලට යාබද පෙදෙස, මැද බෝක්කුව අසල පෙදෙස හා අප විසූ පන්සල පිටුපස කුඩුවම්මුල්ල පෙදෙස කලකට පෙර වනයක අසිරිය ගත්තකි. තැනින් තැන වන වදුලින් යුතු වූ මේ පෙදෙස්හි ගෙවල් දොරවල්වලට වඩා වූයේ හිස් ඉඩම් ය.
අද ඇවිදින මං තීරුව ඇත්තේ මේ පෙදෙසෙහි ය.
එය මායිම් වූයේ ලොකු දිය අගලකිනි. වෙල් යායට දිය සැපයුණේ එමඟිනි. අද ඇවිදින මංතීරුව පසෙක ඇත්තේ එය යි.
එකල මම හොඳ කාය ශක්තියෙන් යුත් තරුණයෙක් වීමි. ගෙදරට වුවමනා පොල් ගස් නැග කඩා ගත්තේ මා ය. එකපිට ගස් දෙකකට නැග පොල් ගෙඩි රැසක් බිම දමා කුරුම්බා ගෙඩි දෙකක් බීමට මම පුරුදුව සිටියෙමි.
දිනක් මම පොල් කැඩීමට රෙදි වළල්ලත් රැගෙන වත්තේ කෙළවරට ගියෙමි. එහි පොල් ගස පලබරව තිබිණ. මගේ තනියට මද්දු අක්කා මා පසුපසින් ආවා ය.
ගසට නැග ගත් මම ගෙඩියක් කඩා බිම දමා මද්දු අක්කා දෙස බැලීමි. ඇය ගෙඩිය ඇහිඳ හඬවා තෘප්තිමත් මුහුණ මවෙත පෑවා ය.
‘හොඳයි මල්ලියෙ, කඩන්ඩ!’
මා පොල්වල්ලේ ගෙඩි කිහිපයක් බිම දැමුවා පමණි.
‘දබ දබ’ හඬක් කානුව ඇති පැත්තෙන් ඇසිණ. මම පොල් කැඩිල්ල නවතා එදෙස විපරම් කළෙමි.
කබරගොයි දෙන්නෙක් පොරකමින් තරගයකට මෙන් පොල් ගස ඇති පැත්තට දිව ආහ. එකෙක් කානුව පැත්තට දිවූ අතර අනෙකා මා නැග සිටි පොල් ගසට නැග ගත්තේ ය.
බියට පත් මද්දු අක්කා ඌ පලවා හැරීමට කෑ කෝ ගැසුවා ය. ඇගේ කෑගෑමෙන් අතපය විසි කිරීමෙන් කලබලයට පත් කබර ගොයා තව තවත් උඩට නැග්ගේ ය.
කලබලය ඇසී ගෙදර සිටි අම්මාත් නංගීත් ගස ළඟට ආහ.
‘අනේ පුතේ ඔහොම හිටපං! බහින්ඩ නං එපා!’ අම්මා කෑ ගසා කීවා ය.
මම ගසේ මුදුනට නැග ගතිමි. අමාරුවෙන් එහි අතු අතර රැඳුන මම කබරයා තවත් උඩට ඒ දැයි බැලීමි. ඌ පොල් කඳ තරයේ බදා ගෙන උඩ බලා ගෙන සිටියේ ය. මම බිම බැලීමි. ඥාතීහු තුෂ්නිම්භූත වී ගස දෙස බලා සිටියහ.
ගමේ එක්කෙනා දෙන්නා ද ගස ළඟට එමින් සිටියහ. ඔවුන් අතරින් නැඟුණු ගල් ද පොලු ද අහසට විසි විය. කබරගොයා තවත් අඩි කිහිපයක් උඩට නැග්ගේ ය. ඒ මදිවාට සිරුර පුම්බා කළු දිව දෙක එළියට දම දමා බාව දඟ දමා පසුපසට පහර එල්ල කළේ ය.
ඉන් පසු බිම සිටියෝ විමසිලිමත් වූහ. කබරගොයා ද කරබා ගෙන සිටියේ ය.
මට බයක් නොදැනිණ. මම කරටියෙහි හිඳ බලාගෙන සිටියෙමි. අම්මාගේත්, සහෝදරියන්ගේත් උඩට හැරවුණු දෑස්වල කඳුළු මට පෙනිණ. ටිකකින් සෑහෙන පිරිසකගෙන් එතැන පිරී ගියේ ය.
ප්‍රැන්සිස් අයියාත්, මාෂල් අයියාත් කබරගොයි මෙහෙයුම බාර ගෙන ඇති බව පෙනිණ. ඔවුන් ගේ උපදෙස් පරිදි පිරිස ගසෙන් සෑහෙන පරිදි ඈතට ගියහ.
මට අමුතු කල්පනාවක් ආවේ ය. පොල් ගසේ තිබූ වියළි අතු දෙකක් අමාරුවෙන් ගලවා ගත් මම ඒවා අගිසිවලින් ගැට ගසා ගැටය උඩටත් පිති දෙක දෙපසටත් සිටින පරිදි පරිස්සමින් අල්ලා ගෙන එය කඳ දිගේ පහතට රූටවා එවීමි. මගේ අදහස හරි ගියේ ය. පොල් අතු දෙකේ ගැටය හරියට ම කබරගොයා ගේ ගෙල ළඟ හිර වී නතර විය. දැන් එය පෙනුණේ කබරගොයා පැලඳූ මාලයක් මෙනි. දැන් ඌට එහි බරද දරාගෙන ගසෙහි එල්ලී සිටීමට සිදුව තිබේ. සිදු වූයේ නොසිතූ දෙයකි. ඌ පොල් අතු මාලය ද දරාගෙන තවත් අඩි කිහිපයක් උඩට නැග්ගේ ය.
මට කේන්ති ගියේ ය. කුරුම්බයක් කඩා ගත් මම එය උගේ හිසට එල්ල කර පහළට දමා ගැසීමි. එය අහක ගියේ ය. එහෙත් දෙවැනි කුරුම්බා ප්‍රහාරය සාර්ථක විය.
ඌ ‘ඩොග්’ ගා ගස මුල පත බෑ වුණේ ය. සිහි සුන් වූ අයුරින් මොහොතක් වැටුණු තැන ම සිටි ඌ හදිසියේ ම අවදිව වේගයෙන් ඉවත දිව ගියේ ය.
කබරයා පිල්ලෑව පෙදෙසින් වන වැදුණු පසු අම්මා මට ආයාචනා කළා ය.
‘දැන් ඉතිං පරිස්සමට බැහැපං පුතේ!’
මම බැස්සෙමි. මද්දු අක්කා මා අල්ලා ගත්තේ ගෙට කැඳවාගෙන යන අටියෙනි.
රැස්ව සිටි සියල්ලෝ ම සමුගෙන යන්නට ගියහ.
කබරගොයි මාලය අතීතයට එක් විය.
මෑතක කටුබැද්දේ ඇවිදින මං තීරුව ඉදි කෙරෙද්දී වෙලට යාබද කැලෑ එළිපෙහෙළි කිරීමත් පස් පිරවීමත් සිදු විය. එවිට වන පෙත වාස භූමිය කරගෙන සිටි කොකුන්, කොරවක්කන්, පිළිහුඩුවන් වැනි පක්ෂීහු ඉගිළ ගියහ. කබරගොයින්, ගැරඬින්, නයින්, පොළගුන් වැනි උරගයෝ අවට නිවෙස්වලට රිංගා ගත් හ.
කබරගොයි මාලය මට සිහිපත් වූයේ කබරගොයකු අපේ ගෙදරට ආ කල ය.
මොරටුවේ, කටුබැද්දේ, ඩඩ්ලි ගෝමස් මහතා විසින් යොමු කරන ලද ලිපියක් ඇසුරෙනි.
යහළු මිණි මුතු
බාලිකා පාසලක හත් වැනි පන්තියකි.
එක ළඟ අසුන් ගෙන සිටින මිතුරියෝ දෙදෙනෙකි.
පළමු වැන්නිය සිළුනිය. දෙවැන්නිය නවෝදිය.
ඉංගිරිසි ගුරුතුමිය, පන්තියට ආවාය.
‘හැමෝම අච්චුපොත් ගෙනැල්ලද?’ ඇය පන්තියෙන් ඇසුවා ය.
සමහරු ‘ඔව්’ කියමින් ෙපාත් පෙන්වූහ.
ඇතැමුන් පොත් ගෙනත් නැති බව ඇයට පෙනිණ. ඔවුනට මතක හිටින්නට සුළු දඩුවමක් දිය යුතුය. විනාඩි පහක් පන්තියෙන් පිට කළ යුතුය. එවිට හැමදාම අච්චු පොත ගෙන ඒමට ඔවුන් පෙලඹෙනු ඇත. ගුරුතුමිය එසේ සිතුවාය.
‘අච්චු පොත නොගෙනා ළමයි නැගිටින්න!’ ඇය නියෝග කළාය.
බියමුසු සිනාවක් දෙතොලෙහි රඳවා ගත් සිළුනි සිය දෙනෙත ගුරුතුමිය වෙතම එල්ල කර ගනිමින් නැගී සිටියා ය. එකෙණෙහිම නවෝදිත් නැගිට්ටාය.
ගුරුතුමියගේ නළල රැලි ගැසී ගියේය. සිළුනි යනු පන්තියේ සිටින ගුණගරුකම දැරිය ය. ඇය වගකීම් පැහැර හරින දැරියක නොවේ. ඉංගිරිසි විෂයයට හැම වාරයකදීම උපරිමව ලකුණු ලබා ගන්නා එකම ශිෂ්‍යාව ය. පහළ පන්තිවල සිට මේ දක්වා ඉහළ නැගී ආ හැම පන්තියකදීම පළමු තැන ලබා ගත්තේ ඇයය. විදුහල්පතිනි කන්‍යා සොහොයුරියගේත් ඇයට උගන්වන නුගන්වන ගුරුතුමියන් හැම ගේත් ආදරය දිනා ගත් ශිශ්‍යාව ඇය ය. පාසලේ කලා ප්රසංගයේදී ඕගනය වාදනය කරන්නීය. භාෂා, කථික, සිංහල ඉංගිරිසි රචනා ආදි තරගවලදී පාසල නියෝජනය කරමින් තරග වැද පාසලට ජයග්‍රහණ හිමිකර දුන් තැනැත්තියකි. ඇතැම් වසරවලදී ඉංගිරිසි දින උළෙල මෙහෙය වන්නේ ඇය ය.
ඒසා සුවිශේෂ දැරියකට දඬුවම් කිරීම නොකළ යුත්තකැයි ගුරුතුමියට සිතිණි.
‘හා දැන් වාඩි වෙන්න! පාඩම පටන් ගම්මු’ ගුරුතුමිය අසුන් ගත්තාය.
දැරියෝ දෙදෙනා ද හිඳ ගත්හ.
පාඩම අවසන් කළ ගුරුතුමිය පන්තියෙන් පිටව ගිය හැටියේ සිළුනි නවෝදි ඇමතුවාය.
‘නවෝදි, ඔයා ඉංග්‍රීසි අච්චු පොත ගෙනැල්ල තිබුණා නේද?’
‘ඔව් සිළුනි’
‘ඉතිං ඔයා නැගිට්ටේ ඇයි?’
‘ඔයා නැඟිටින කොට මට දුක හිතුණා. ඒකයි!’
සිළුනි අද සාමාන්‍ය පෙළින් ඒ නවයක් ලබා ඉංගිරිසි මාධ්‍ය විද්‍යා අංශයෙන් උසස් පෙළ හදාරමින් සිටියි. නවෝදි සිංහල මාධ්‍ය විද්‍යා අංශයෙන් උසස් පෙළ හදාරයි.
ආදණීය දියණිවරුනි, හෙට දිනයේ මේ මරු කතර දයා දියෙන් සිසිල්කර ලනු මැනවි.
බළන්ගොඩ, අමුපිටියේ චන්ද්‍රපාල ලේකම්ගේ මහතා විසින් යොමු කරන ලද ලිපියක් ඇසුරෙනි.
නෙළුම්විල
සිළුමිණ,
ලේක්හවුස්,
කොළඹ 10.