
වැලිකඩ හිරගෙදර ගැහැනු වහලෙට නැගීම දැන් සාමාන්‍ය දෙයක් බවට පත් වෙමින් තිබේ. ගස් අතු දිගේ බඩ ගා තාප්ප උඩ නගිමින් වහලෙට නැගි කාන්තාවෝ යළිත් බිමට බැස කළ වැරැද්ද ගැන සමාවද ගත්හ; යළිත් එවැනි වැඩ නොකිරීමට පොරොන්දුද වූහ. කවුරුත් සිතුවේ දැන් වැලිකඩ සන්සුන් කියාය. මාධ්‍ය මඟින් දිගින් දිගට ඒ ගැන කතා කිරීමද ක්‍රමයෙන් අඩු විය.
‘අන්න වැලිකඩ ගෑනු ආයෙමත් වහලෙට නැගලා. ජේලර්ලට මුත්‍රාවලින්, මිරිස් කුඩු වතුරෙන් හෙමත් ගහලලු!’
යළිත් ගැහැනුන් හිරගෙදර වහලයට නැඟ හර්තාල් කිරීම එක්තරා අන්දමින් විහිළුවකි.
‘වහලේ උඩ නොවේ, කොහේ නැග්ගත් බන්ධනාගාරවල හොරවැඩ නවත්වනවා.’
බන්ධනාගාර භාර ඇමතිනියගේ ප්‍රකාශය ඇගයිය යුත්තකි. ඇය ඒ වෙනුවෙන් පසුගිය දිනවල යම් යම් ක්‍රියාමාර්ගද ගත්තාය.
කෙසේ වුවත් දරුවනුත් කරපින්නාගෙන වැලිකඩ ගැහැනුන් මෙහෙම වහලෙ නඟින්නේ ඇයි? ඔවුන්ගේ ඉල්ලීම් මොනවාද? ඒ ඉල්ලන ඉල්ලීම් සාධාරණද? වහලෙට නගින කාන්තාවන්ගේ ගැටලුවලට විසඳුම් සොයන්නේ නම් සෙවිය යුත්තේ මේ ප්‍රශ්න අවබෝධ කරගත් පසුය.
වහලෙට නඟින අක්කලා නංගිලා ඉල්ලන ඉල්ලීම්වලට යටින් ඇත්තේ වෙනම කතාවකි. එසේම හිරගෙදර යනු මහා සමාජයෙන් වෙන් වූ වෙනම සමාජයකි. මේ සමාජයේ ඇත්තේ වෙනම සංස්කෘතියකි. හිරකාරයන්ට ඇත්තේ නොම්මරයකි. හිර ගෙදර නිතර නිතර ඇහෙන වචනය පෝලිමයි. වැඩපාටිවලට යෑමටත්, කෑමට ගියත්, බෙහෙත් ගැනීමට ගියත්, නෑමට ගියත්, වැසිකිළියට ගියත් ඇත්තේ පෝලිමකි. පෝලිම කඩා-බිඳගෙන යන්නේ එහෙමත් කෙනෙකි. හිරගෙදර විවිධ අයියලා අක්කලා සිටිති. මේ අයියලා අක්කලා අතර අයිආර්සීකාරයෝ මෙන්ම මෝරුද, තෝරුද හිඟන්නෝද සිටිති.
මෝරු තෝරු යනු යමක්-කමක් ඇති අයය. ඒ එළියේදී මෙන්ම ඇතුළේදීද තම හයිකාරකම් පෙන්වන්නට හැකි, වියදම් කරන්නට හැකි අයය. තමන්ගේ පාඩුවේ සිටින හිරකාරයන් මෙන්ම මෝරුන්ට තෝරුන්ට කඩේයන්නෝද මේ අතර සිටිති.
වැලිකඩ හිරගෙදර ගැහැනුන් වහලය නැගීමේ ආරම්භය වන්නේ මෝරුන් හා පාලනාධිකාරිය අතර වූ සීතල යුද්ධයයි. පාලනාධිකාරිය ගන්නා ලද ක්‍රියාමාර්ග ගනු ලැබුවේ හිර ගෙදර සිදු වන වංචා දුෂණ නැවැත්වීමේ අරමුණ මුල් කරගෙනය. ඒත් මෝරුන් ඒ සියලු නිතී-රීති තමන්ට සිදු වූ ප්‍රබල ප්‍රහාරයක් ලෙස භාර ගත්තෝය. හිර ගෙදර මෝර ගැහැනුන් වහලයට නැඟ හර්තාල් කරන්නට පටන් ගන්නේ මේ සීතල යුද්ධයේ ප්‍රතිඵලයක් ලෙසය.
විශේෂයෙන්ම වැලිකඩ හිරගෙදර කාන්තා අංශයේ ගැටුමට මුල් වූයේ රිමාන්ඩ්බාරයේ සිටින කාන්තාවන්ය. මේ කාන්තාවන් අතර මෝරු විස්සක් පමණ සිටිති. ගෑනු වාට්ටුවේ මෝරුන් අතර සිටින සියල්ලෝම මත්ද්‍රව්‍ය චෝදනා ලැබ නීතියේ රැහැනට හසු වූවෝය. මේ මෝරුන්ට අතට-පයට සේවකයෝය. නිදාගැනීමට ඇති පුංචි ඉඩේදී රිදෙන තැන්, අත්පා මසාජ් කරගැනීමට වෙනනම කෙනෙකි. වැසිකිළියට වතුර පනිට්ටුව ගෙන යෑමට වෙනනම කෙනෙකි. හොර රහසේ ගෙන්නාගන්නා කුඩු ටික විකුණාගැනීමට වෙනම කෙනෙකි. මේ සියලු ආවතේවකම් කර දෙන ගැහැනුන්ට මෝරු හොඳින් සලකති.
රක්ෂිත බන්ධනාගාරයේ සිටින රැඳවියන් බැලීමට ඔවුන්ගේ පවුලේ අයට දිනපතා ‘විසිට්’ පැමිණිය හැකිය. ඒ එන විට කෑම වර්ග, බත්, ඇඳුම්, සනීපාරක්ෂක ද්‍රව්‍ය ආදිය ගෙන ආ හැකිය. මෙතෙක් කල් ඒ ගෙන එන දේවලට ප්‍රමාණයක් නොතිබිණි. සාමාන්‍ය නීතිය නම් කෑම ආදි දේ ගෙන ආ හැක්කේ එක් අයකුට පමණක් සෑහෙන ලෙස වුවත් මෝරු තමන්ට ලැබෙන විසිට්-එකේදී සියල්ල පස්-හය දෙනකුට සෑහෙන ලෙස ගෙන්වාගනිති. ඔවුහු ඒ ගෙන්වා ගන්නා දේ තමන්ගේ ඕනෑ-එපාකම් ඉටු කරන ගැහැනුන්ට බෙදා දෙති. කන්නට බොන්නට දෙනවා නම්, ‘සික්’ නැතිව ඉන්නට කුඩු ටිකක් ලැබෙනවා නම් හිරේ ඉන්න කාන්තාවන්ට ඊට වඩා දෙයක් නැත. කාලයක් තිස්සේ මේ සෙල්ලම මෙලෙසින් පැවැතිණි. කිසිවෙකුත් ඊට බාධාකරන්නට ද නොආහ. එහෙත් මේ සියල්ලට මුවා වී වැලිකඩ හිරගෙදර කුඩු බිස්නස් ජයට කෙරෙන විට ඇතැම් නිලධාරීන්ගේ සහයෝගයද ඊට ලැබෙන විට, ඇතැමුන් කිසිත් නොදන්නවා සේ සිටින විට සියල්ල කණපිට ගැසුණේය. ගෙවී ගිය කාලය තුළදී විටින් විට කාන්තා බන්ධනාගාරය සෝදිසි කරන විට ජංගම දුරකතන, මත්ද්‍රව්‍ය, සිම් කාඩ් පත් රැසක් විටින් විට අත්අඩංගුවට ගනු ලැබිණි. නීතිය ක්‍රියාත්මක වූවද මෙය පසුගිය කාලය තුළ බන්ධනාගාරය දූෂිත තැනක්යැයි ඒත්තු ගන්වන්නට තවත් සාධකයක් විය.
එනමුදු බන්ධනාගාරයේ දූෂිත බව තුරන් කිරීම සඳහා අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය බන්ධනාගාර පාලනය සියතට ගැනීමත් සමඟ සියල්ල උඩු-යටිකුරු වූයේ බලා සිටියදීමය. දූෂිතයැයි කියන නිලධාරීන්ට ස්ථාන මාරුද, බන්ධනාගාර පොලීසිය විසුරුවා හැරීමද, තවත් නිලධාරීන්ට මාරුවීම්ද සිදු කරන ලද්දේ මේ අතරය. කාලයක් තිස්සේ බන්ධනාගාරය වවාගෙන කෑ අය දේශපාලනඥයන් පස්සේ යමින් තම මාරු වීම් වළක්වාගන්නට උත්සාහ ගත්තේද මේ අතරේය. කෙසේ වුවත් බන්ධනාගාර අධිකාරීවරුන් මාරු කර හරිමින් ඒ ඒ ආයතන යහපත් ස්ථාන කිරීමට පියවර ගැනිණි. බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ දැඩි නීති ක්‍රියාත්මක කරන්නකු ලෙස නමක් දිනා සිටින මහර බන්ධනාගාර අධිකාරිවරයා වැලිකඩ බන්ධනාගාරයට මාරු කර එවන්නේද එහි ප්‍රතිඵලයක් ලෙසය. ඔහු මහර බන්ධනාගාරයේ මත්ද්‍රව්‍ය නැති කළ බවට හොඳ නම දිනා සිටින්නෙකි.
යම් ආයතනයක් පාලනය කිරීමට හොරකමින් දූෂණයෙන් තොර කිරීමට නම් එහි නිසි පාලනයක් තිබිය යුතුය. වැලිකඩට නව අධිකාරිවරයා පත් වී එන්නට මසකට පමණ පෙර කාන්තා බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර්වරිය බදුල්ල බන්ධනාගාරයට මාරු කර හරිනු ලැබිණි. නව අධිකාරිවරයාගේ පැමිණීමත් සමඟ හිරකරුවෝ යම් තරමකට ගැස්සී ගියෝය. වැලිකඩ තත්ත්වය සන්සුන් වුවද ගැහැනු අංශයේ ‘කචල්’ ඇති වන්නට වූයේ කිසිවකුත් නොසිතු අයුරිනි. මේ සියලු කතා පරණ කතාය. මසකට පෙර මාරුකර හැරිය (සිරකාරියන් අම්මා ලෙසින් හදුන්වන) ජේලර්වරිය නැවත ඕනෑ යයි කියමින් සිරකාරියන් වහලයට නැගීම විහිළුවකි.
‘අම්මා ඕනෑ කියලා කවුරුවත් කෑගහනවා අපිට නම් ඇහුණේ නැහැ! ඕක මාධ්‍යයේ අතේරෝලක්. ඔය කාන්තාවො කෑගහන්නේ වෙන දෙයකට. තමන්ට ලැබෙන දේවල් අඩු වුණ නිසා...’
බන්ධනාගාර ආරංචි මාර්ග පවසන්නේ එසේය. කෙසේ වුවත් නව අධිකාරිවරයා කාන්තා බන්ධනාගාරයේ ‘විසිට්’ බලන්නට එන විට ගෙනෙන ආහාර සීමා කළේය. ඒ එක් අයකුට පමණක් සෑහෙන ලෙස ආහාර ගෙන ඒමේ අවසරය එලෙසින්ම ක්‍රියාත්මක විය. සනීපාරක්ෂක ද්‍රව්‍ය වුවත් එක් අයකුට සෑහෙන ප්‍රමාණය පමණි. මෙය කාන්තාවන් කුපිත කරවන්නක් විය. විශේෂයෙන් මෝරුන්ට මෙය තදබල පහරකි. තම අතට ලැබෙන ප්‍රමාණය අවම වූ විට කිසිවකුට සලකන්නට ඔවුන් හැකියාවක් නැත. ගැහැනුන් කුපිත වී වහලයට නඟින්නට ලොකුම හේතුව වූයේ එයයි. එහෙත් ඔවුන් කෑගසන්නට වූයේ තම නඩු ප්‍රමාදවීම් ගැනය; වාර්තා ප්‍රමාද වීම් ගැනය.
රිමාන්ඩ් බාරයේ සිටින කාන්තාවන් දවස් දාහතරෙන් දාහතරට උසාවි ගෙන යා යුතුය. මත්ද්‍රව්‍ය වෝදනාවලට රක්ෂිත බන්ධනාගාරයේ සිටින කාන්තාවන් දුරබැහැර බන්ධනාගාරවලට යැවීම වෙනම පිරිවැයකි. එක්තරා මවක් සහ දුවක් හිරගෙදර මේ උද්ඝෝෂණය ‘ලීඩ්’ කළහ. පසුව අම්මා ඇප ලබා ගියාය. දැන් දියණිය එය මෙහෙයවන්නීය. එනමුදු දෙවන වරට කාන්තාවන් වහලට නැගීමත් සමඟ මේ සිරකාරියෝ වෙනත් බන්ධනාගාරවලට මාරු කර හරිනු ලැබූහ. එමෙන්ම සිරගෙදර තදබදය අවම කිරීමේ අරමුණින් අගුණකොළපැලැස්ස බන්ධනාගාරයට කාන්තාවෝ පිරිසක් මාරු කරහැරුණහ.
මෙය ලියන මොහොතවන විට වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින්නේ කාන්තාවන් තුන්සියයක් වැනි පිරිසකි.
‘හිරගෙදර කුඩු ඉවර කරන්න බැරිද?’
මේ කාලයක් තිස්සේ කවුරුත් අසන ප්රශ්නයකි. මේ ප්‍රශ්නයට සැබැවින්ම විසඳුමක් දිය නොහැක්කේද?
වැලිකඩ කාන්තා බන්ධනාගාරයේ එක් තාප්පයක් අවසාන වන්නේ වනාතමුල්ල ප්‍රදේශයටය. මේ ප්‍රදේශයේ සාදා ඇති නිවෙස්වල එක් බිත්තියක් ලෙස ඇත්තේ කාන්තා බන්ධනාගාරයේ තාප්පයයි. නිවෙස් සාදා ඇත්තේ කුණු කානුව උඩය. හිරගෙදරත් වනාතත් වෙන් වන තාප්පයෙන් අනාදිමත් කලක සිට හිරගෙදරට කුඩු පාර්සල්, දුරකතන සිම්පත් උඩින් වැටෙන්නේය. වනාතේ කුඩු බිස්නස්කාරයන්ගේ එක් ආදායම් මාර්ගයක් වී ඇත්තේ කාන්තා පැත්තට කුඩු විකිණීමය. කලක සිට මේ තාප්පය උස වැඩි කිරීමේ අවශ්‍යතාව බන්ධනාගාරයට තිබුණේය. එනමුදු එක්දහස් අටසිය ගණන්වල සුද්දාගේ කාලයේ කබොක් ගලින් බැඳි බිත්තිය උඩින් තවත් බිත්තියක් බැඳීමට හෝ වෙනත් ඉදිකිරීමක් කිරීමට ඉංජිනේරුවන් අදි-මදි කරන බව බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි.
අද වන විට වැලිකඩ බන්ධනාගාරයේ ඇත්තේ තදබදයකි. ‘හිර කරුවෝද මනුස්සයෝය’. ඔවුන්ට මනුස්සයන් ලෙස සැලකීමට නම් මොවුන්ගේ මූලික අයිතිවාසිකම් සැපිරිය යුතුය. කාන්තා අංශයේ ඇත්තේ වැසිකිළි පෝලිමකි. ඒ ප්‍රමාණවත් තරම් වැසිකිළි නැතිකම හේතුවෙනි. කුස්සියේ කටට රසට කෑම සෑදෙන්නේ නම් හිරකාරයන්ගේ ආහාර ප්‍රශ්නයටද විසඳුමක් ලැබේ. මේ තදබදයට විසඳුම් ලැබේ නම් බොහෝ ප්‍රශ්නවලට විසඳුම්ද ලැබෙනු ඇත. නමුදු පසුගිය දිනවල වැලිකඩ ගෑනු වහලෙට නැග කෑගැසුවේ වෙනත් යටි අරමුණු සඳහාය. ඒ තමන්ගේ කුඩු බිස්නස්වලට තද පහරක් වැදුණු බැවිනි. බන්ධනාගාගර ඉතිහාස කතන්දර සොයා ගිය ගමනකදී අපට හමු වූ හිටපු බන්ධනාගාර කොමසාරිස්වරයකු වූ සේනක ස්ටෙම්බු මහතා පවසන්නේ මෙවැනි කතාවකි.
‘අපේ තාමත් තියෙන්නේ සුද්දා හදපු බන්දනාගාර. මේ බන්ධනාගාර හදලා තියෙන්නේ සීමිත සිරකරුවන් පිරිසක් රඳවන්න. ඒත් අද මේවාට ඔරොත්තු නොදෙන තරම් සිරකරුවෝ ඉන්නවා. ඒ කාලේ හිටපු ඒ පිරිසට මේ තිබුණ වැසිකිළි පද්ධතිය ප්‍රමාණවත් වුණත් දැන් මදි. රෑට වාටටු වැහුවාම හදිසි වැසිකිළි එකයි තියෙන්නේ. කෙනෙක් හිරේ ආවාම එයාට මෙට්ටයක්, රෙද්දක්, තැටියක්, කෝප්පයක්, සබන්, පොල්තෙල්, නාගන්න භාජනයක් දෙන්න ඕනෑ. අද හිරගෙදර පංගුවක් අයට උඩුකය ඇඳුම නැහැ. මට මතකයි මම හිරගෙදර සේවයට බැඳුණ කාලේ වැලිකඩ හිරගෙදර ඇතුළේ කැන්ටිමක් තිබුණා. ඒ කැන්ටිමේ බුලත්විට, බීඩි, සබන් ආදිය විකුණන්න තිබුණා. ගමෙන් ආව මිනිහට ඇතුළෙදි බුලත් විටක් කන්න ඉඩ තිබුණා. හිරකරුවෝ වැඩ පාටිවල වැඩ කරලා ලැබුණ සල්ලිවලින් තමයි ඒවා ගත්තේ. ඒ කාලේ හොර දෙයක් අහු වුණා නම් අහු වුණේ ගංජා සුරුට්ටුවක්-දෙකක් තමයි. ඒ වගේම තමයි හිරකාරයන්ගේ පාලනයක්, සංයමයක් තිබුණා. බොහෝම අවංක නිලධාරීන් හිටියා. ආවාට-ගියාට නිලධාරීන් දෙපාර්තමේන්තුවට බඳවාගත්තේ නැහැ. පොලීසියෙන් ඇවිල්ලා බඳවාගන්න නිලධාරීන් ගැන හොයලා බැලුවා. මේ ආයතනවල නිලධාරීන් බොහෝම ගම්භීර චරිතයක් තිබුණ අය. ඔය කෑම හොඳ නැහැ කයන කතාව හැමදාම තිබුණ දෙයක්. ඒ කාලෙත් හිරගේ අවට ගංජා තිබුණා; හැළි-අරක්කු තිබුණා. කාන්තා හිරගෙදර තාප්පේ හිලක් විද්දොත් වනාතමුල්ලෙන් ඕන දෙයක් හිරගේ ඇතුළට එවන්න පුළුවන්. එකම බිත්තිය තියෙන්නේ. බන්ධනාගාරයට ලොකු නිලධාරි හිඟයක් තිබෙනවා. මේ නිලධාරි හිඟයට විසඳුමක් දිය යුතුයි. නැත්නම් මේ කාරිය කරන්න බන්ධනාගාර දෙපාර්තමේන්තුවට අමාරුයි.’
සේනක ස්ටෙම්බු මහතා පවසන්නේ තමාගේ දිගුකාලීන රාජකාරියෙන් ලැබූ අත්දැකීම් මඟිනි.
වහලයට නැගි ගැහැනුන් අතරේ තම දියණිය රැගෙන උඩට නැග්ග ගැහැනියක් වූවාය. ඇයට තම සිඟිති දියණියගේ ජීවිතය ගැනද වටිනාකමක් නොතිබුණු තරම්ය. වරදකට හසු වී හිරේ එන විට වයස අවුරුදු පහ දක්වා දරුවන් තම භාරයේ තබාගැනීමට මවට අවසර ලැබේ. ඛේදවාචකය නම් අම්මලා කරන වැරදිවලට මේ නොදරුවන්ටද හිරගෙයි ලගින්ට සිද්ධ වීමය.
දැන් අමාත්‍යාංශය නඩු ඉක්මන් කරවීම සඳහා කුමක් කළ හැක්කේද යන්න පිළිබඳ පොලිස් දෙපාර්තමේන්තුව, රස පරීක්ෂක දෙපාර්තමේන්තුව හා නීතිපති දෙපාර්තමේන්තුව සමඟ සාකච්ඡා කරමින් සිටී. දැන් බලධාරීන් කාගේ කාගේත් වුවමනාව බන්ධනාගාරය දූෂණ වංචාවලින් තොර යහපත් ආයතනයක් කිරීමය. සිරකරුවන්ද මනුෂයන්ය යැයි සලකමින්, ඔවුන්ගේ අයිතිවාසිකම් සම්පූර්ණ කර දී ඔවුන්ට හොඳින් සැලකීමය. මේවා කිරීමට නම් කකුලෙන් අදින්නන් පන්නා දමා වැඩ කරන්නන්ට වැඩ කිරීමට අවස්ථාව සලසා දිය යුතුව ඇත.