
මගේ කාලය හොඳ විය.
මංගල යෝජනා ගලා එන්නට වූයේය.
හොඳ ගුරු මහත්මියක සොයා දෙන්නැයි මගේ මව කපු උන්නැහේට යෝජනා කළේ තමා ද ගුරුවරියක නිසා විය යුතුය.
කෙසේ වුව ද මේ කිසිදු යෝජනාවකට මගේ හිත ගියේ නැත. ඊට හේතුව මගේ සිහින කුමරිය ඒ යෝජනා අතර නොසිටීමය.
යෝජනා පැමිණීමේ නිමක් ද නොවීය. ඔය අතර පැමිණි යෝජනාවකට අදාළ රූමතිය පිළිබඳ සිතක් මා තුළ ඇති විය. එහෙත් කොස්සක් හිටියේ. ඇය මට වඩා වසර කිහිපයකින් වැඩි මහලු වූවාය. මේ හේතුවෙන් මම මදක් පසු බා සිටියෙමි.
‘සොයන්නාට සම්බවේ’ යන්න කුඩා කළ මා පල්ලියෙන් උගත් පාඩමකි. ඒ අනුව මගේ සිහින කුමරිය මගේ මිතුරකුගේ මාර්ගයෙන් මට හමු විය.
ඒ ‘කේතලේ මල්ලකි’ .
මා ජීවිතේ මුල් ම වතාවට මාතලේ ගියේ ඇය මුණ ගැහීමටය. උකුවෙල පැත්තේ ගමකදී ඇය මට හමු විය. එදින මා ඒ නිවෙසින් සමුගෙන ආවේ මගේ වචනය දී හදවත ඈ ළඟ රන්දාය.
ගෙදර ආ මා වටකොට ප්‍රශ්න කඳවුරු බැන්දේය. දෑවැදි, ආගම්, කුලමල ප්‍රශ්න ඒ අතර ප්රමුඛ විය. සියල්ලට නොබියව මුහුණ දීමට අදිටත් කරගත් මම එදින රැයේම මගේ සිහින කුමරියට මංගල පෙම්පත ලියා පසු දාම තැපැල් කළෙමි.
දෙදිනකට පසු ඇගෙන් පිළිතුරු ලැබිණ.
ඊට පසු දින ද මම ඇයට ලිපියක් ලියා යැවීමි. ඉන් පසු දින ද ලිවිමි. තුන් වැනි දවසේ ද ලිවිමි. ඒ හැම ලිපියටම දිගින් දිගටම පිළිතුරු දිනපතාම මට තැපෑලෙන් ලැබිණ.
මේ අයුරින් මසක් ගෙවී ගියේය. ඒ අනුව මගේ ලිපි තිහක් හෝ තිස් එකක් ඇයට යැවුණු අතර එබඳුම පිළිතුරු සංඛ්‍යාවක් මට ලැබිණ.
ඒ අනුව ඊළඟ මාස තුනේද දිනපතා ලියන ලද ලිපි අනූවක් ඇයට ලැබුණු අතර ඒවාට ඇගෙන් පිළිතුරු අනූවක් මට ලැබිණ.
සිව් වැනි මස ද පස් වැනි මස ද එලෙසින් ම ගෙවී ගියේ ය.
කලාතුරකින් දවසක මොකක්දෝ වැරදීමකින් අපට ලිපි ලැබුණේ නැත. එබඳු දවස්වල අපි බලවත් සන්තාපයෙන් පසු විමු. අප ඒ සන්තාපය දුරු කර ගත්තේ කවි කල්පනාවක් නිමවා එය ලියා තැපැල් කිරීමෙනි. මෙබඳු කල්පනා අතරට සොඳුරු සිතිවිලි, අසනීප ගති, කලා තොරතුරු, ජෝති, මිල්ටන්, වල්පොළ, බෙග්, මල්ලවාරච්චි බඳු ගායකයන්ගේ ගීතවල කොටස් ආදිය ද අන්තර්ගත විය. මේ හැම ලිපියක්ම අපේ අනාගත අපේක්ෂා මුසු වූ ශෘංගාරාත්මක ලේඛන බව කිව යුතුය.
මෙපරිද්දෙන් මාස හයක් ගෙවී ගියේය. දිනක් මගේ මාපියන් ඇතුළු වැඩිහිටි නෑ පිරිසක් ඇගේ නිවෙස බලා ගියහ. මම නිවෙසෙහි හුදෙකලා විමි. ඒ හුදෙකලාව පලවා හරිනු පිණිස අප ඥාතීන් පිටත්ව ගිය ඒ මහ පාන්දරම මම ඇයට ලිපියක් ලියන්නට පටන් ගතිමි.
ලිපිය ලියා ලිපි කවරයේ බහා අලවා පසෙක තැබූ මම ඇදෙහි ඇලවී ගීයක් මිමිණිමි. ඉක්බිති මට මහා තනිකමක් දැනිණ. මම නැගිට තවත් ලිපියක් ලියන්නට පටන් ගතිමි. ඉන් අනතුරුව දැනුණු හුදෙකලාව දුරු කර ගත්තේ ද තවත් ලිපියක් ලිවීමෙනි. දැන් ලිපි තුනකි. තුන හතර විය. හතර පහ විය. පහ හය විය. එදින රාත්‍රියේ නෑ පිරිස අපේ නිවෙසට එන විට මා දහ හතර වැනි ලිපිය ද ලියා අවසන්ව තිබිණ. පසු දින ම ඒ සියල්ල තැපැල් කළෙමි.
ඒ ලිපි 14 බෙදන්නට ඇගේ ගෙදරට ගිය තැපැල් පියුන් සම්බන්ධයෙන් පසුව අපූරු තොරතුරක් ලැබිණ.
ඔහු ඇගේ ගෙදර උදවිය දන්නා හඳුනන අයෙකි. ලිපියක් බෙදන්නට ගිය විට ඔහු තමාට පිරිනැමුණු තේ කෝප්පය බී විටක් හපන්නට ද පුරුදුව සිටියේය. එවර ඔහු එහි ගිය දිනයේ දුර බැහැර රැකියාවක නිරතව සිටි ඇගේ පියා ද නිවාඩුවට ගෙදර පැමිණ සිටියේය.
එදින ද ඔහු සප්පායම් විඳ පියා වෙත හැරී ‘මෙන්න වෙද මහත්තයෝ දුවගෙ නමට ලියුමක්’ යයි කියමින් පළමු ලිපිය බාර දුන්නේය. ඊළඟට ආ තව එකක් තියෙනවා කියමින් දෙවැන්න ද දුන්නේය. ‘මේං තව එකක්’ කියා තෙවැන්නද , ‘ආ තව තියනවනේ’ කියමින් සිවු වැන්න ද, පස් වැන්න ද, දෙමින් ඔය ආකාරයෙන් ලිපි දාහතරම බාර දුන්නේලු.
ලියුම්කරු ගිය පසු පියා මඳ සිනාවෙන් යුතුව දියණිය වෙත හැරී මෙසේ කීවේලු.
‘දුවේ, මේ වැඩේ නං හරියන්නේ නෑ. පුතාට කියන්න මේ කටයුත්ත ඉක්මන් කරන්ඩ කියලා’
ඒ එසේ වුව ද අපේ විවාහය දිනෙන් දිනම කල් ගියේය.
හත් වැනි මාසය වන විට මට ලැබිය යුතු ලිපි තිහ වෙනුවට ලැබෙන්නට පටන් ගත්තේ විසිපහක් පමණ වීම ගැටලුකාරී විය. සති අන්තයේ ලැබිය යුතු ලිපිය හෝ දෙක අතුරුදන්ව ගියේය.
ලිපි නැති වීම ගැන තැපැල්කරුගෙන් ඇසූ විට ඒ ගැන හාන්කාවිසියක්වත් නොදන්නා බවට ඔහු දිවුරුවේය. ඉන් පසු තැපැල් ස්ථානාධිපතිට කළ පැමිණිල්ලද පල රහිත විය.
ලිපි නැතිවීම නව වැනි මස දක්වා ඇදි ඇදී ගියේය. මින් බලවත් සේ හිත් වේදනාවට පත් මම දිනක් ඇයට විශේෂ ලිපියක් ලිවීමි
‘........අද මං ගියා අපේ සුදු මාමලගේ ගෙදර. එයා කොළඹ මහ තැපැල්හලේ ලොක්කා. තැපැල්පතිතුමා. අපේ ලිපි නැතිවීම ගැන මං එයාට පැමිණිලි කළා. එයා කිව්වා “තව දවස් කීපයක් ඉවසල බලන්ඩ. ඉදිරියටත් එහෙම වුණොත් මං ඔය හාදයාව අල්ලාගෙන යාපනේට දඬුවම් මාරුවක් කරන්නම්” කියල. දැන් ඉතින් බයවෙන්ඩ දෙයක් නෑ. පව් කියලත් හිතෙනව. ඒ වුණාට කරන්ඩ දෙයක් නෑ. මිනිහ වැරැද්දක්නෙ කරන්නෙ. මාමත් අනුකම්පා කරන ජාතියේ මිනිහෙක් නෙමේ. ලියුම් උස්සන කෙනා තමයි අපිට හොයා ගන්ඩ වෙන්නෙ...’
ඉන් පසු අපේ ලිපි නැති වුණේ නැත.
වැඩි කල් නොගොස් අපේ විවාහය ද සිදු විය.
අද මම වයස අවුරුදු හැත්තෑ තුනක වියපත් තැනැත්තෙක්මි. ඇයට අවුරුදු හැට නවයකි. අපි එදා මෙන්ම අද ද සුපුරුදු සෙනෙහසින් බැදී සිටිමු. පුදුමය වන්නේ අද පවා අපට සතියකට හෝ දෙකකට දුරස් වී විසිවීමට සිදුවුවහොත් පරණ පුරුද්දට ලිපියක් දෙකක් ලියැවීමය. ටෙලිෆෝන් කිරීම ලිපියක් ලිවීම මෙන් සුන්දර නැත.
මොරටුවේ, විල්ලෝරා වත්තේ සිරිමල් පීරිස් මහතා විසින් යොමු කරන ලද ලිපියක් ඇසුරිනි.
නෙළුම්විල
සිළුමිණ,
ලේක්හවුස්,
කොළඹ 10.