
‘බස් වර්ජනය අකුරටම ක්‍රියාත්මක වෙනවා නම් අද ප්‍රයිවෙට් බස් නැතැව ඇති...’ යන දෙගිඩියාවෙන් මා ගෙදරින් පිටත් වූයේ කවදත් ලංගමයේ යන-එන මා හට ගමනාගමන අවදානමක් නොතිබුණද වෙනදා පෞද්ගලික බස් රථවල යන උදවියද අද සීටීබියට ගොඩ වීමට ඉඩ ඇති බැවින් ඉහින්-කනින් දාඩිය නාගෙන තද-බදයෙන් හෙම්බත්ව කාර්යාලයට යන්නට සිදු වන වග සිහිපත් කරමිනි.
එහෙත්, කිරිබත්ගොඩ සිට ධාවනය වන මාර්ග අංක 154 ‘කිරිබත්ගොඩ - අඟුලාන’ බස් රථයේ ඒ උදෑසන එතරම්ම සෙනඟක් නොවීය. මට ඉදිරියෙන් වූ අසුනේ සිටියේ මැදිවියේ දෙදෙනෙකි. බස් රථයේ ගමන් ගන්නා කිසිවකු ගැන විශේෂ අවධානයක් නොතිබූ මා කවුළුවෙන් පිටත බලමින් එන්නට විය. වෙනදා තරම් පෞද්ගලික බස් රථ ධාවනයක් නැති බැවින් අතරමඟ බස් නැවතුම්වල ළතැවෙන ජනතාව ගැන සිතෙහි උපන්නේ දුකකි.
මගේ අවධානය එක් වනම බිඳී ගියේ මට ඉදිරිපස අසුනේ වාඩි වී සිටි දෙදෙනාගේ සංවාදය අහම්බෙන් මෙන් සවන් වැකීමෙනි. ඔවුන්ගේ කතා-බහ බස් වර්ජනය ගැනය. එකෙක් මැදිවියේය. අනෙකා මැදිවියට ළං වෙමින් හිඳින්නෙකි. දෙදෙනාගේ මුහුණු පෙනෙන්නේ නැති නමුදු, බස් රියේ සහ ඊට පසු වන - හමු වන වාහනවල හඬ අතරේ වුව, කතාව පැහැදිලිව ඇසේ.
දෙදෙනා කතා කරන අතර මැදිවියේ තැනැත්තාට දුරකතන ඇමතුමක් ආවේය...
‘ඔව් ඔව්! සියයට අසූවක් සාර්ථකයි. දවල් වෙන කොට ඉතරි ටිකත් හරි. ආ ගැමුණුද? ගැමුණුගෙ එක බස්-එකයි. ඒකත් නැවතිලා තියෙන්නේ... මම දැන් සාකච්ඡාවක ඉන්නේ. පස්සෙ ගන්නම්.’
ඇමතුමට ඔහු උත්තර දුන්නේය.
යළිත් දෙදෙනා කතාවේය.
ටිකකින් ඔහු ඇමතුමක් ගන්නට විය...
‘කොහොමද අලුත්ගම තත්ත්වේ? බෙන්තර ගඟෙන් එගොඩ-මෙගොඩ කොහොමද?’
ඔහුගේ ප්‍රශ්නයට ලැබුණු පිළිතුර මට නෑසිණි.
එහෙත් ඔහු ඊට කියූ දෑ ඇසිණි.
‘දවල් වෙනකොට හරි-යයි... ඉතිරි ටිකත් නවතියි... අපිටත් දරු-පවුල් ඉන්නවා තමයි. ඔවුන් පත්තරයක් පොතක් බලන එකක්යෑ! නැත් නම් පහුගිය ටිකේම පත්තරවල ගියානේ... දවල් වෙනකොට ඔක්කෝම හරියයි.’
ඔහු දුරකතනයෙන් බස් වර්ජනය මෙහෙයවන්නේය... රට වටා තොරතුරු සොයා බලන්නේය. තමන් සමඟ සිටින අනෙකා සමඟ බස් වර්ජනය ගැන සාකච්ඡා කරන්නේය. අනුන්ගේ කතාවලට සවන් දීම හොඳ පුරුද්දක් නුවූවද, ‘ලංගමයේ’ නැඟී ‘පෞද්ගලික බස් වර්ජනය’ මෙහෙයවන දෙදෙනාගේ කතාව මට වැදගත්ය. ඊළඟට සිත උපන් ආශාව වූයේ මොවුන් දෙදෙනාගේ මුහුණු බලාගැනීමය. බසය වේගයෙන් ඉදිරියට ඇදෙයි. මා බැසීමට අවැසි තැනද ළං වේ. දුම්රියේ නැඟෙන්නට පට්ටිය හන්දියෙන් බසින විට මම අසුනින් නැඟිට විත් ඉදිරි අසුනේ සිටි දෙදෙනාගේ මුහුණු හොඳින් බැලීමි. ඒ හුරු-පුරුදු මුහුණු දෙකකි; සෑම බස් වර්ජනයකදීම වර්ජනය මෙහෙයවන සුපුරුදු මුහුණු දෙකකි! (අවාසනාව නම් ඒ මොහොතේ මා අත ඡායාරූප ගැනීමට තරම් නව පන්නයේ දුරකතනයක් නොවීමය).
පොදු මහජනතාවට අපහසුතාවට පත් කරන්නට දිගින් දිගටම බස් වර්ජන දියත් කරන මොවුහු කොතරම් නම් කෙප්ප ඇද-බාන්නෝද? හැමදාමත් මඟී ජනතාව අපහසුතාවට පත් කරන මොවුන්ට පාඩමක් ඉගැන්වීමට මහජනතාවට පෙළ ගැසිය නොහැකිද? දවස් දෙකක් එහෙමත් නැත් නම් එක දවසක් මහජනතාව මේ බස් වර්ජනය කළොත් මොවුන්ට මොනවා වනු ඇද්ද? තවමත් අපේ රටේ ජනතාව ඒ තරම් සවිමත් නොවීම, එකමුතු නොවීම ගැන සිතින් තැවෙමින් කාර්යාලයේ දවස ගෙවා දැමීමි.
සුපුරුදු මඟින්ම විත් හවස නිවෙසට ගොඩ වන විට ගෙදර ඇත්තෝ රූපවාහිනී නාළිකාවක රාත්‍රී ප්‍රවෘත්ති බලමින් සිටියහ.
ඒ වන විට බස් වර්ජනය ගැන බස් රථ හිමියන්, මඟීන්, මැති-ඇමැතිවරුන් පළ කළ අදහස් විකාශය වෙමින් තිබිණි. ගමන් මහන්සිය නොතකා රූපපෙට්ටියට ළං වූ මට, හුරු-පුරුදු කටහඬකින් ‘බස් වර්ජනය සියයට අසූවක් සාර්ථකයැ!’ යි පවසනු ඇසුණේය.
මට අන්දරේ සිහි විය. ගෙයි වහල උඩ යන තරමේ සිනාවක් මුවින් පිට වූයේ මටත් නොදැනීමය.
රූපවාහිනී තිරයේ දිස් වූයේ උදෑසන ලංගම බස් රියේ නැඟී යමින් පෞද්ගලික බස් වර්ජනය මෙහෙයවූ අමනයන් දෙදෙනාය!
අහෝ! මෙහෙමත් වෘත්තීය සමිතිකාරයෝ!
(‘සිළුමිණ’ කර්තෘ මාණ්ඩලිකයකු ‘බස් වර්ජනය’ දා ඇසූ-දුටු සත්‍ය සිදුවීමකි)
- ඉසවි