කිරිකෝඩු හම්බු තමන්ගේ යහළු යෙහෙළියන් සමඟ වැව් පිටියේ දුව පැන ඇවිද ගියේ නිදහස් සිතකින්. අම්මා නම් ලොකු අම්මලා, පුංචි අම්මලා, නැන්දලා එක්ක එකතු වෙලා තණ පත් බුදින්නේ පුංචි කට්ටියට ඕනෑ තරම් දුව පැන නටන්නට ඉඩ ලබා දෙන්න වාගෙයි. ඒත් වැඩිහිටි අයගෙන් එක්කෙනෙක් දෙන්නෙක් මේ පුංචි උන් දිහා ඇහැ ගහගෙන බලා ඉන්නේ පොඩ්ඩන්ටත් නොදැනෙන්නයි. දාන්ගලේට මොකක් හරි නොහොබිනා දෙයක් කරලා අනතුරක් එහෙම කරගත්තොත්?
හවස් කරේ ලැග ඉන්න කැලෑ රොදෙන් එළියට පිටමංවෙලා දිය තියෙන තැනකට රොක් වෙලා බඩ පිරෙන්න වතුර එහෙම බීලා, නාලා, පොඩි එවුන් ටිකත් නාවගෙන මැසි මදුරු පීඩාවෙන් ඒ සිඟිත්තන් ආරක්ෂා කර ගන්න දූවිලි එහෙම ඇඟේ තවරලා මේ විදිහට වැව් පිටියේ විසිරුණු ළා තණ පත් බුදින්නේ රාත්‍රී සංචාරයට පෙර ලොකු බඩවල් ටික පුරව ගන්නයි. මේ සා විසල් බඩ ගෙඩියක් පුරෝගන්න කැලේ පුරා කිලෝමීටර් 30 –40ක්වත් ඇවිදින්න ඕනෑ. හම්බුගේ රැළත් සූදානම් වුණේ ඒකටයි.
පුරුදු විදිහටම සවස් කරේ නිදහසේ සෙල්ලම් කරපු පුංචි අලි සිඟිත්තොත් කැටුව රාත්‍රිය උදා වෙද්දීම කැලේට වැදුණු මේ අලි රංචුව තමන්ගේ ගොදුරු බිම් සොයා ඇදී ගියේ අතර මගදී හමු වෙන දේවලුත් ආහාරයට ගනිමිනුයි. අතීතයේදි නම් හිතේ හැටියට මහා වන්නි වනපෙතේ හක්කලං කරමින් මිනිස් පුළුටක්වත් ඇහැනොගැටෙමින් ගෙවපු ජීවිතය දැන් මතකයක් විතරයි.
රාත්‍රිය ගෙවී යනවා. ඒත් බඩගින්නට හරියන දෙයක් නම් තවමත් ලැබුණේ නෑ. කැලේ මායිමට වෙන්න තියෙන අලුතින් වගා කරපු හේනට හොරෙන්ම ඇතුළු වෙන්නයි දැන් කීපදෙනෙකුගේ කල්පනාව. මේ අලි රංචුව කෑම හොයා ගෙන යනවා නම් දැන් රැඳිලා ඉන්න කැලෑ රොදෙන් අනෙක් කැලෑ රොදට මාරු වෙන්න ඕනෑ. ඒත් කැලෑ රොද දෙබෑ කරගෙන ඉදි වෙන පාරක් හින්දා පුංචි එවුන්වත් අරගෙන පාර පනිනවා නම් පරෙස්සම් වෙන්න ඕනෑ. වනඅලි රංචුවක් යනු එකමුතුකමේ සංකේතයක්.
කට්ටියම බඩගින්නේ ඉන්න පුංචිවුන් ටිකත් කැටුව ළගම තියෙන හේනට හොර රහසේම පනින්න තිරණය කළේ අන්න ඒ හින්දයි. නමුත් සිදු වුණේ හැමෝම නොසිතූ දෙයක්. එක වරම මහ හඬින් යමක් පුපරා ගියේ අලි රැළ සී සී කඩ දුවන්නට සලස්සවමින්.
හිතේ බයට ඇති තරම් ඈතට දුවලා හැරී බලද්දි පුංචි හම්බු මග හැරිලා. තැන තැන විසිරුණු අනෙක් සාමාජිකයොත් එක තැනකට එකතු වෙන කොට එළිවෙන්නත් ළගයි. ඒත් හම්බු ආගිය අතක් නෑ. ඒත් සිදුවීම වුණු මිනිස් වාසයට ආයේමත් යන්න මේ ඇත්තන්ට හිත දෙන්නේම නෑ.
ඩෝං ගානා හඬත් සමඟින් පුංචි හම්බුට දැනුණේ දරුණු වේදනාවක්. දෑස් හැර බලද්දි එයා විතරක් තැනක තනිවෙලා. රැලේ අනිත් අය පළාතකවත් නෑ. කට හරියෙන් ඇති වෙන දරුණු වේදනාව මැද්දේ හම්බු පුංචි හොඬයෙන් කට ඇල්ලුවා. හපොයි එකම ලේ විලක්. දත්වත් දිවවත් නෙමේ අහුවෙන්නේ එල්ලා වැටෙන තොලක්. වේදනාව දරා ගන්න බෑ. ඒත් එහෙමයි කියලා මෙතන ඉන්න බෑ. වැනි වැනි නැගිට්ට හම්බු වැනි වැනිම ආයේමත් කැලේට වැදුණා. ඒත් හරියට පාරවත් හොයා ගන්න බෑ. වැනි වැනීම ඉබා ගතේ ඇවිද්දා. හරිම තිබහයි. ඔය විදිහට දවස දෙක සතිය හමාර ඇවිද්දා. හරිම අමාරුයි. බඩගිනියි. තිබහයි. වේදනාවයි. වතුර කඩිත්තක් හම්බ වුණාම තිබහ නිවෙන්න හිතාගෙන හොඩේට ගත්තු වතුර පොද කටට ළං කළත් වතුර පෙවෙන්නේ නෑ. දිය පොදක්වත් නැතිව හම්බු තවත් දුර්වල වුණා. ඇදගෙන වැටුණා. අම්මාගේ සුවඳ හීනෙන් වගේ දැනී ඒ සුවඳට ඉවඅල්ලමින් හඬ නැඟුවත් අම්මා ළඟපාතක නෑ. ඉතින් හම්බු සදහටම තනිවුණා. හම්බන්තොට මහගල ප්‍රදේශයේ වගා ඉඩමක තුවාල ලබා වැටී සිටී වයස අවුරුදු හයක පමණ වූ පිරිමි අලි පැටවකු හම්බන්තොට වනජිවී සංරක්ෂණ නිලධාරීන්ට හමු වුණේ පසුගිය සඳුදායි. මුඛයේ දරුණු තුවාල සහිත අලි පැටවාට වනජීවී පශු වෛද්‍ය නිලධාරීන් කැඳවා ප්‍රතිකාර කිරීම ආරම්භ කළත් තුවාලවල බරපතළකම සහ සතියක් හමාරක් නිරාහාරව සිටීම නිසා අලි පැටවා එදිනම මිය ගියේය.
හක්කපටස් යනු මෑත කාලීනව වනඅලි - මිනිස් ගැටුම උග්‍රව පවතින ප්‍රදේශවල මිනිසුන් වනඅලි ජීවිත බිලි ගැනීම සදහා බහුලව යොදා ගන්නා උපක්රමයකි. 2018 වසරේ ජනවාරී සිට මේ දක්වා හක්කපටස් ආහාරයට ගැනීම හේතුවෙන් වනඅලි ජීවිත 28 ක් පමණ අකාලයේ විනාශ වී ඇත. පසුගිය වසරේ වාර්තා වූ වනඅලි මරණ 256 න් 54 ක්ම හක්කපටස් ආහාරයට ගැනීම හේතුවෙන් සිදු වූ මරණය.
ආසන්නතම සිදුවීම් වන්නේ හම්බු සහ ඊට පසුදා එනම් 14වැනිදා ත්‍රීකුණාමල වනජීවී කලාපයට අයත් ගෝමරන්කඩවල, ගල්කඩවල කුඹුක්වැව ආසන්නයේ කුඹුරු යායකදී තුවාල ලැබ මිය ගිය වයස අවුරුදු 35 ක් පමණ වන ඇතින්නයි. හක්කපටස් පිපිරීමෙන් වැඩි වශයෙන් මරණයට ගොදුරු වන්නේ කිරි උරා බොන වයසේ පසු වන වනඅලි පැටවුන්ය. මේ වයසේ පසු වන පැටවුන් සොඬයට හසුවන ආගන්තුක ඕනෑම දෙයක් අල්ලා මුඛය තුළ දමා ගනිමින් හැපීම සාමාන්‍ය දෙයකි. ඒ උන් ආගන්තුක දෙය හඳුනා ගන්නා එක් ක්රමයකි. මුලදී වගා හානි කරන වල් ඌරන් ඉලක්ක කරමින් නිපදවූ හක්කපටස් දැන් වනඅලි ඉලක්ක කරමින් නිපදවීම සිදුකෙරේ. අමුද්‍රව්‍යය ප්‍රමාණයෙන් වැඩි කරමින් වනඅලින් සදහා භාවිතයට ගනියි. වනසතුන් ආකර්ශනය කර ගැනීමට නොයෙකුත් රසකාරක මෙයට මුසු කරන බවද වාර්තා වේ. එවැනි හක්කපටස් මුඛයේ දමා සපන වනසත්තු විශේෂයෙන්ම වනඅලි එකවර මිය නොයති. උන් මිය යන්නේ දත් සහ දිවට බරපතළ ලෙස තුවාල සිදු වී ආහාර පමණක් නොව වතුර පවා පානය කළ නොහැකිව සති ගණන් දුක් පිඩා විඳිමිනි. හක්කපටස්වලට අමතරව මිනිස්සු විසින් වනඅලි ඝාතනය සඳහා ගිනි අවි, වස සහ විදුලිය සැර ද යොදා ගනිති.
සේයාරූ - රෝහිත ගුණවර්ධන
වනජීවී පශු වෛද්‍ය මාලක කසුන් අබේවර්ධන