විල්ගමුව හත්තොටඅමුණ විදුහලට කොළඹින් තෑගි | සිළුමිණ

විල්ගමුව හත්තොටඅමුණ විදුහලට කොළඹින් තෑගි

කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ගුරු සංගමය වාර්ෂිකව සිදු කරනු ලබන සමාජ සත්කාරය මෙවර සිදු කරනු ලැබුවේ මාතලේ දිස්ත්‍රික්කයේ විල්ගමුව කලාප අධ්‍යාපන කාර්යාලයට අයත් ලග්ගල කොට්ඨාස අධ්‍යාපන කාර්යාල බල ප්‍රදේශයේ හත්තොටඅමුණ මහා විද්‍යාලයට ය.

වකුගඩු රෝගය බහුල ප්‍රදේශයක් වන එම ප්‍රදේශයේ පාසල් දරු දැරියන්ට බීමට පිරිසුදු ජලය ලබා ගැනීම ගැටලුවකි. මෙයට විසඳුමක් ලෙස ජලය පිරිසුදු කිරීමේ නවීන යන්ත්‍රයක් රුපියල් ලක්ෂ ගණනක වියදමින් රාජකීය ආදි ගුරු සංගමය ලබාදුණි.

මෙයට අමතරව විදුලිය නොමැති නිවෙස්වලින් පාසලට පැමිණෙන ශිෂ්‍ය ශිෂ්‍යාවන් පහළොස් දෙනකු තෝරා ඒ අයගේ නිවෙස්වල සවි කර ගැනීමට සෝලා විදුලි ජනක යන්ත්‍ර පහළොවක් හා පාසලේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් 420 ටත් විදුහල්පතිතුමා ඇතුළු මුළු ගුරු මණ්ඩලයට ත්‍යාග පිරිනැමීම ද සිදු විය.

විල්ගමුව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ පී.වී.එස්.එස්. පණන්වල මහතා මෙහිදී සභාව ඇමතීය. මේ දුෂ්කර පළාත්වල පාසල්වල අඩුපාඩු එමටයි. රජයෙන් ම මේවා සම්පූර්ණ කර ගැනීම අපහසුයි. කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ගුරු සංගමය ලබාදී ඇති සහාය ඉතා අගය කරනවා. නිවෙස්වලට විදුලිය නැතිව ඉගෙනීම් කටයුතු කුප්පිලාම්පුවෙන් කරගෙන යන දරුවන්ට සෝලා විදුලි ජනක කට්ටල ලබාදීම විශාල පුණ්‍ය කර්මයක්.

විල්ගමු කලාපයේ පාසල්වල ඇති ප්‍රධාන අඩුපාඩුව තමයි ගුරු හිඟය. මේක නොකියාම බැරි ප්‍රශ්නයක් වෙලා. අපේ කලාපයට ගුරුවරුන් වැඩිපුර එන්නේ මාතලේ සහ මහනුවර ප්‍රදේශවලින්. මාරුව ලබාගෙන ඇවිත් මොන ක්‍රමවලින් හරි පැදුරටත් නොකියා පැනලා යනවා. ගුරුවරියන් පැමිණි විට ප්‍රසූත නිවාඩු වැටුප් රහිත නිවාඩු ඉවරයක් නැහැ. ළමයින්ගේ උපන් දක්ෂතා තිබුණාට, ගොඩනැගිලි පහසුකම් තිබුණට ගුරුවරුන් නැතිනම් කොහොමද අධ්‍යාපනය හරි හැටි ලබා දෙන්නේ. ගුරුවරුන් අපේ කලාපයට එවනවා වගේ ම වසර කිහිපයක්වත් සේවය නොකර ආපසු මාරුවීම් ලබා නොදෙන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා. නිසි ලෙස අපේ කලාපයට අවශ්‍ය ගුරුවරුන් ලබාදුනහොත් අධ්‍යාපනය අතින් ඉහළම තැනකට විල්ගමුව කලාපය ගෙන ඒමේ අභියෝගය භාර ගන්නවා යැයි පැවසීය.

කොළඹ රාජකීය විදුහලේ හිටපු විදුහල්පති බී. සූරියආරච්චි, ‍ලග්ගල කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ එල්.ආර්.කේ. ජයසිංහ, හත්තොටඅමුණ මහා විද්‍යාලයේ විදුහල්පති ආර්.එම්.කේ. පාලිත රාජසිංහ, කොළඹ රාජකීය ආදි ගුරු සංගමයේ සභාපති කැප්ටන් එම්.එන්. ධර්මරත්න, ව්‍යාපෘති සහකාර රංජිත් සේනානායක, පාසල් සංවර්ධන සමිතියේ හිටපු ලේකම් පී.වී. සෙනෙවිරත්න යන මහත්වරු හා ව්‍යාපෘති භාර ආචාරිනී පැට්‍රිෂියා පරණමාන මහත්මිය ද කතා කළහ.

 

හේරස් ප්‍රනාන්දු

Comments