මියගිය හැම දෙනාටම පින් ලබන්න බෑ | සිළුමිණ

මියගිය හැම දෙනාටම පින් ලබන්න බෑ

දොළොස්වල උදිතධීර හිමි

අද අපි කතා කරන්නේ තිලෝකුඩ්‍ඩ සූත්‍රය පිළිබදව යි. ලොව්තුරා බුදුරජාණන්වහන්සේ බුද්ධත්වයට පත් වෙලා මුලින්ම වැඩම කළේ රජගහනුවරට. උන්වහන්සේ රජගහනුවරට වැඩම කරලා එහි වූ වනාන්තරයකයි වැඩ වාසය කළේ. බිම්බිසාර මහ රජ තුමාට බුදුරජාණන්වහන්සේ වැඩම කළ පුවත අසන්නට ලැබීමෙන් සතුටට පත් වුණා. ආදරයෙන් ගෞරවයෙන් බුදුරජාණන්වහන්සේ ඇතුළු මහ සංඝරත්නයට දානයකට ආරාධනා කළා. බුදුන් ප්‍රමුඛ මහසංඝ රත්නයට රජවාසලේ දානය පුජා කළා. දානයෙන් පසු රජතුමා මියගිය ඥාතින්ට පින් අනුමොදන් කළේ නැහැ. ඊ‍ට පෙර මිය ගිය ඥාතින්ට පින් අනුමෝදන් කිරීමක් පිළිබදව ධර්මයේ සදහන් වෙලා තිබුණෙත් නැහැ. රජතුමා එදා රූ නින්දට ගිය ඉන් පසුව ඉතා භායානක ප්‍රේතයින් දකින්නට වුණා. සමහර ප්‍රේතයන් ඇටසැකිලි වගේ. සමහරුන් ගේ බඩ ඉදිමි‍ලා සිහින්වු කකුල් සිහින්වු අත් පා තිබෙනවා. සමහර ප්‍රේතයන් පිච්චුණ ගස් වගේ. ඔය වගේ විකෘතින් දකින්නට වුණා.

මෙයින් බියට පත් ව පසු දා ඒ පිළිබද බුදුරජාණන්වහන්සේගෙන් ඇහුවා. සර්වඥයන් වහන්සේ වදාළා “මහ රජතුමනි බියට පත්වෙන්න එපා. ඥාති පිරිසක් ඉන්නවා ප්‍රේත ආත්මවල. ඒ අයට පින් අනුමෝදන් වෙන්න ඕන වෙලා.

“ස්වාමීනී භාග්‍යවතුන්වහන්ස මා කුමක් කළ යුතුද

දානයක් දිලා ඒ ප්‍රේතයන්ට පින් අනුමෝදන් කරන්න කියලා දේශනා කළා. බිම්බිසාර මහ රජතුමා දානයක් පිළියෙල කළා. බුද්ධ ප්‍රමුඛ මහ සංඝ රත්නය වැඩම කරවා ආසන මත වඩා හිදුවා පැන් පුජා කරන්න වුණා. ඒ මොහො‍තේ ප්‍රාර්ථනා කළා මාගේ මිය ගිය ඥාතින්ට මේ පින් ලැබේවා කියලා ඒ මොහොතේදීම ඒ මොහොතේම ඒ ප්‍රේතයන් පැන් පොකුණු පහළ වුණා. ඒ ප්‍රේතයන් ඒ පොකුණු වලට බැහැ ස්නානය කරන්න පානය කරන්න පටන්ගත්තා. බුදුන් වහන්සේටත් මහ රහතන් වහන්සේටත් ඍද්ධි බලයෙන් එය දකින්නට ලැබුණා. තථාගතයන් වහන්සේ අධිෂ්ඨානයක් කළා. බිම්බිසාර මහ රජතුමාටත් මේවා දකින්න ලැබේවා කියලා. බිම්බිසාර රජතුමාටත් ප්‍රේතයන්ට පැන් පොකුණු පහළ වුණ ආකාරය ප්‍රේතයන් ජල ස්නානය කරන්නට වු ආකාරය ගත නිවා ගන්නා හැටි දකින්නට ලැබුණා.

ඉන් පසු රජතුමා ආහාර පාන පුජාකරමින් සිතුවා මේ ආහාර පාන පුජාකිරීමේ පින මාගේ ඥාතින්ට ලැබේවා කියලා ඒ මොහොතේදී ඥාතින්ට ආහාර පාන ලැබුණා. දිව්‍යමය ආහාර පාන පහළ වුණා ‍ඒ ප්‍රේතයන් දිව්‍යමය ආහාර පාන අනුභව කළා. එයත් බිම්බිසාර රජතුමාට එයත් දකින්නට ලැබුණා. ඒ ප්‍රේතයන්ගේ ශරිර පුෂ්ටිමත් වුණා. ලස්සන අලංකාර වුණා ඉන් පසු බුදුන් ප්‍රමුඛ මහ සංඝයාට තුන්සිවුරු පුජා කළා. සිවුරු පුජා කරලා පින් අනුමෝදන් කළාම එම ප්‍රේතයන්ට දිව්‍ය සළුපිළි ලැබුණා. එම ප්‍රේතයො දේවියන් වගේ බැබළෙන්න පටන් ගත්තා. රජතුමාටත් ඒබව දකින්නට ලැබුණා

ඉන් අනතුරුව බුදුන්වහන්සේ අවසානයේ තිරෝකුඩ්ඩ නම් වූ සුත්‍රදේශනාවක් කළා. එම සුත්‍රයේ ප්‍රේතයන් පිළිබද බොහෝ දේ දේශනා වෙලා තියනවා. මුලින්ම ඒ සුත්‍රයේ කියනවා ප්‍රේතයන්ට පින් අනුමෝදන් කරන්න දානයක් දෙන විට එම ස්ථානයට පැමිණෙනවා. පැමිණිලා ඔවුන් සිටින ආකාරය සඳහන් වනවා මුලින්ම සදහන් කරන්නේ ඒ ප්‍රේතයන් නිවැස්වල පිළිකන්නට වෙලා සිටිනවා. ඉන් පසුව ‍ගේ ළඟ හතරමං සංදි එසේ නොමැති නම් තුන් මංහන්දි ගෙදර තියන බිත්ති හන්දිවලට වෙලා ඒනම් බිත්ති මුළු වලට වෙලා ඉන්නවා. එසේ ම උළුවස්ස සහ ජනේල කණ්ඩිවලට වෙලා සිටිනවා. ගෙයි ආලෝක සන්දිවලට වෙලා සිටිනවා කියලා මුලින් එම සුත්‍රදේශනාවේදී දෙශනා කළා .

ඉන් අනතුරුව බුදුන් වහන්සේ පැහැදිලි කරන්නට යෙදුණා ඒ ප්‍රේතයන්ට සමහර අයට‍ ආහාර පාන තිබෙනවා නමුත් සාංඝික දානයක් දෙන්නට සිතක් පහළ වෙන්නේ නැහැ. එයට හේතුව මිය ගිය ඥාතින්ගේ අකුසල කර්මයයි. ඒ කියන්නේ මිය ගිය ඥාතින්ගේ අකුසල කර්ම බලය වැඩි නම් ජිවත් වෙන අයට මිල මුදල් තිබුණත් දන් දෙන්න ඕන කියලා අදහසක් ඇති වෙන්නේ නැහැ කියලා උන් වහන්සේ වදාළා. මිය ගිය ඥාතින්ට පින් දෙන අවස්ථාවේ දි පින්දීම සදහා දෙන දානය කෙබදු විය යුතුද යන කාරණයත් උන්වහසේ වදාරා. යම් කෙනෙක් මිය ගිය ඥතින් කෙරෙහි අනුකම්පාවෙන් යුතුව දානයක් පුජා කරනවා නම් ‍ඒ දානය මේ ලක්ෂණ වලින් යුතු විය යුතුයි. පළමු වන ලක්ෂණය සුචින් සුචින් කියන ලක්ෂණය.

ඉතාම පිරිසිදු විය යුතුයි. ‍නිවස පිරිසිදු විය යුතුයි. පිළයෙල කරන භාජන පිරිසිදු විය යුතුයි. දානය පිරිසිදුවට පිළියෙල කළ යුතුයි කියලා. දෙවැනි කාරණාව දෙන දානය ප්‍රණිත විය යුතුයි. ප්‍රණිතයි කියනනේ අනුභව කරන්නට හැකි ආකාරයට තිබිමයි. රජාභෝජන දිව්‍ය භෝජන දෙන්න කියලා කියන්නේ නැහැ. සාමාන්‍ය ආකරයට දුන්නත් එය වළදන්න පුළුවන් විදිහට දිය යුතුයි. සුදුසු කාලයේ දානය දිය යුතුයි කියා . බුදුන් ප්‍රමුඛ මහ සංඝ රත්නටය දානය දෙනවා නම් ඉර අවරට යන්න පෙර ඒ දානය පිළිගැන්විය යුතුයි. ඉර අවරට ගිය පසු බුදු පසේ බුදු මහ රහත් වහන්සේ දානය පිළිගෙන නැහැ.

ඒ වගේම සැම දාන වස්තුවක්ම කැප විය යුතුයි. ඒ කියන්නේ ඉතා අමාරුවෙන් උපයා සපයා ගත් දානමය වස්තුවෙන් පමණක් දන් දිය යුතුයි. වැරදි ලෙස උපයා සපයා ගත් පවු කර උපයා ගත් මුදලින් දානය දියයුතු නැහැ. ඒ විදිහටයි පි‍ළියෙ‍ල කරන්නේ. ඉන් අනතුරුව මේ ප්‍රේතයන් මහ සංඝ රත්නයට දෙන දානයෙන් පින් අනුමෝදන් වෙනවා. ඉන්අනතුරුව ජීවත් වෙලා සිටින අයට ආශිර්වාද කරනවා. ආශිර්වාද කරන හැටිත් එම සුත්‍ර දේශනාවේම දේශනා කර තිබෙනවා.

“චිරන් ජිවන්තු නෝ ඥාති යේ සංසේතු ලභාමතේ “ යනුවෙන් ප්‍රකාශ කරනවා. අපි පින් දුන්න ඥාතින් බොහෝ කාලයක් සුවසේ ජිවත් වෙත්වා. ඔවුන්ට බොහෝ සැප සම්පත් ලැබෙත්වා! අපිටත් මේ අය පින අනුමෝදන් කළා කියලා මේ ප්‍රේත ඥාති පිරිස මියගිය ඥාතින් ජිවත් වෙන අයට ආශිර්වාද කරන විදිහ සදහන් කරනවා. ඒ වගේම තමයි පින් දිය යුතු ආකරය තිරෝකුඩ්ඩ සුත්‍රයේ ම සදහන් වෙලා තියනවා‍. බුදුන්රජාණන් වහසේ මේ සුත්‍රයේ දේශනා ‍කළා පින් දීමේදි “ඉදවෝ ඥාති නංහෝතී සුඛිතා හොන්තු ඥාතයෝ“අදටත් අපි මේ ගාථාවෙන් තමයි මිය ගිය ඥාතින්ට පින් දෙන්නේ ඒ ගාථාවේ තේරුම වන්නේ මිය ගිය ඥාතින්ට මේ පින් අනුමෝදන් වෙත්වා! ‍ඒ ඥාතින් මේ පින් අනුමෝදන් වීමෙන් සැපවත් බවට පත් වෙත්වා කියන අදහසයි.

එවගේම බුදුන් වහන්සේ තිරෝ කුඩ්ඩ සුත්‍රයේදී දේශනා කළා යම් සේ පර්වතයක් උඩට වැස්සක් වසී නම් ඒ පර්වතය උඩට වහින වැස්ස පහළට ගලා ගෙන එනවා අන්න ඒවගේ උසස් යැයි සම්මත මිනිසුන් දෙන පින පහත් යැයි සම්මත ප්‍රේතන්ට අනුමෝදන් වෙනවා යැයි දේශනා කළා. ඒව‍‍ගේම ගංගා ඇළ ‍දොළවල ජලය මහ මුහුදට යන්නා සේ මිනිසුන් දෙන පින මිය පරලොව ගිය මිනිසුන්ගේ ජිවිත වලට ලැබෙනවා කියන දේ උන්වහන්සේ දේශනා කරන්නට යෙදුණා.

මිය පරලොව ගිය සැම කෙනෙකුටම පින් අනුමෝදන් වීමේ හැකියාවක් නැහැ. පින් අනුමෝදන් වීමේ හැකියාව තියෙන්නේ පරදත්ථූපක යන ප්‍රේතයන්ට පමණයි. ඒ ප්‍රේත කොටසට පින් දුන්නාම පින් ලැබෙනවා පින් දෙන මොහොතේම යමක් පුජා කරලා පින් දුන්නාම එ පුජා කළ දෙය දිව්‍යමය ලෙස ලැබීම ඒ ප්‍රේත ලෝකයේ ඇති සුවිශේෂත්වයක්.

ඒ වගේම ප්‍රේතයන්ට පින් දුන්නාට ඔවුන් ප්‍රේතතාත්මයෙන් නිදහස් නොවන බවත් බුද්ධ දේශනාවේ සඳහන් වනවා .ප්‍රේතයන් ප්‍රේතාත්මයෙන් නිදහස් වන්නේ ඔවුන්ගේ අකුසල කර්මය ගෙවුණ දවසක පමණයි. අපි පින්දුන්නාට ඔවුන්ගේ අකුසල කර්මය ගෙවීමක් එයින් සිදු නොවන බව විශේෂයෙන් සදහන් කරන්නට අවශ්‍යයි. මේ ප්‍රේතයන්ගේ ජිවිත ඉතාම අවාසනාවන්තයි‍. මේ අයගේ ජීවිත ගැන කතා කළොත් බුද්ධ දේශනාවේ සදහන් වන්නේ මේ ආකාරයට ඔවුන්ගේ මුඛයයි ගුදයයි පිහිටා ඇත්තේ හිස මුදුනේ මලමුත්‍ර පි‍ට වන විට ශරීරය පුරා තැවරෙනවා‍. ඇස් දෙක ඉදිරියට නේරී තිබීම දිගු දත් දිග ලොම් තිබෙනවා සෑම ලෝමකූපයක්ම කැපෙන ස්වාභාවෙන් යුතුයි‍.

ඒවගේම ප්‍රේතයන්ගේ ඇගේ හම් පටි එල්ලෙන ස්වභාවයක් තියනවා ඒවගේ ම මස් ගුළි එල්ලීලා තියනවා සමහර මස් ගුළි ඔවුන් ගමන් කරන විට බිම දිගේ ඇදීයන ස්වභාවයක් තිබෙනවා. ඒ වගේම ප්‍රේතයන් ගිනිගත් යකඩ උල් අතේ තබාගෙන සිටින අතර අනෙත් ප්‍රේතයන්ට ඒවා‍යින් අනිමින් නිතර හිංසා පීඩා කරගැනිම ඔවුන්ගේ ස්වභාවයයි.

ඉතා දුක්ඛිත ස්වභාවයක් ඒ අය ගත කරන්නේ. බිම්බිසාර මහ රජ තුමා පින්අනුමෝදන් කලෙත් බුදුවරුන් තුන් දෙනෙකුගේ කාලයේ ජීවත් වු ප්‍රේතයන් පිරිසකට වුවත් ඔවුන්ට එම පින් අනුමෝදන් කිරීමෙන් වුව එම ප්‍රේතතාත්මයෙන් නිදහස් වන්නට නොහැකි වුණා. එයින් පේනවා ප්‍රේතයන්ට කොතරම් ආයුෂ තිබේද කියලා ඔබ විශේෂයෙන් මතක තබා ගත යුතුයි.

ජීවිතයෙන් අකුසල් කරගෙන ප්‍රේත ලෝකයට ගියොත් ඔබේ ඥාතීන්ටවත් පින් අනුමෝදන් කිරීමකින් හෝ එම ආත්මයෙන් මිදීමට නොහැකියි. ඒ ප්‍රේත ආත්මයේ අවුරුදු සිය ගණන් ලක්ෂ ගණන් දහස් ගණන් දැඩිව දුක් විදන බව මතකයේ තබා ගත යුතුයි. එවැනි මිය ගිය අයට පින් දීම උසස් මනුෂ්‍ය ගුණයක්. ඔබ මිය ගිය පසු පින් ලබා ගන්නේ නැති හොඳ සුගතියක ඉපදීමට නම් මෙලොවදිම පින් රුස් කිරීමට අධිෂ්‍ඨාන කර ගත යුතුයි.‍

Comments