නෙඵම් විල | සිළුමිණ

නෙඵම් විල

සොෙහායුරු පෙම

සිය සැමි­යාට කවා - පොවා බෙහෙත් වේල පෙවූ ඇය ඔහු දෑස පියා ගන්නා තුරු ළඟට වී සිටියා ය. සැත්ක­ම­කට භාජ­නය කැරුණු ඔහුට දැන් හොඳට ම සනීප ය. හෙට අනි­ද්දට යළි රැකි­යා­වට යා හැකි වනු ඇත. ඇගේ හිතට මහා සැන­සි­ල්ලක් ආයේ ය.

පාර පැත්තේ වාහ­න­යක් හෝන් කරන හඬ ඇසිණ. ඇය ඉක්ම­නින් විත් ගේට්ටුව ඇරියා ය. නවීන පන්නයේ රියක් වත්තට ඇතුළු විය.

ලොකු අයි­යාත්, බිරි­යත්, දරු­වොත් හිනා­වී­ගෙන බැස්සහ.

ඔවුන් පිළි­ගෙන ගෙතු­ළට කැඳ­වා­ගෙන ගිය ඇයට තවත් එබඳු ම හෝන් හඬක් ඇසිණ.

විවර කර තිබූ ගේට්ටු­වෙන් ඇතුළු වූයේ වෑන් රියකි. මද්දු අයි­යාත් පවුලේ අයත් ඉන් බැස සිනා­සී­ගෙන ගෙට ගොඩ වූහ. ඇය ඔවුන් ද සෙනෙ­හ­සින් පිළි­ගත්තා ය.

සහෝ­ද­ර­ය­න්ගේත්, ඔවුන්ගේ බිරි­යන්ගේ හා දරු­ව­න්ගේත් හඬින් මුළු ගෙදර ම පිරී ගියාක් බඳු විය. ඔවුහු ඇගේ සැමියා වට කර­ගෙන කතා­බස් කළ හ. සැමියා ද සතු­ටින් ඔවුන් හා මුසු වූයේ ය. ඒ දසුන ඇයට මහත් සැන­සි­ල්ලක් ගෙන ආවේ ය.

ඇය යුහු­සුලු වූවා ය. හැකි උප­රිම ලෙස නෑයන්ට සංග්‍රහ කළා ය. දරු­වන් සිප වැලඳ ආදර බස් තෙප­ලුවා ය. බිරි­යන්ගේ ඇඳුම් වර්ණනා කළා ය.

යතුරු පැදි­යක් ගේට්ටු­වෙන් ඇතුළු වී වාහන දෙක මැද නතර වූයේ හොරකු සේ ය. ඇය වහා එහි දිව ගියා ය. බාල අයියා හෙල්ම­ටය ගලවා ‘නංගියෙ’ යි කීවේ ය.

‘බාල අයියෙ, අර දෙන්නයි ගෙදර අයයි සේරම ඇවිල්ල ලෙඩා බලන්ඩ. යං ඔයත් ගෙට!’

‘මං ආපු වෙලාව වැර­දියි. එක්කො මං පස්සෙ එන්නං නංගියෙ. මේක දෙන්ඩකො පුතාට’ ඔහු පුංචි බිස්කට් පැකට් එකක් ටී ෂර්ටය තුළින් එළි­යට ගෙන ඇයට දුන්නා ය.

‘ඔයා ආපහු යන එක හරි නෑනෙ බාල­යියෙ. ඒගොල්ලො දැක්කනෙ. අපි සහෝ­ද­ර­යොනෙ බාල­ය­යියෙ, යං ගෙට!’

‘සහෝ­ද­රකං තිබුණෙ පුංචි කාලෙනෙ නංගියෙ. දැන් තියෙන්නෙ ඇති නැති­කංනෙ’

‘පිස්සු කතා කිය­න්ඩෙපා!’ ඇය ඔහුත් ඇද­ගෙන ගෙට ගියා ය.

බාලයා දුටු මොහොතේ ම පිරිසේ සැහැ­ල්ලුව ලෙහී ගියාක් බඳු විය. ඔවුන් සාමාන්‍ය තත්ව­යට ගැනී­මට ඇය නොයෙක් විහිළු කතා කීවා ය.

‘දැන් තමුසෙ මොකද කරන්නෙ?’ ලොකු අයියා බාලයා දෙසට හැරුණේ ය.

‘ස්ථිර දෙයක් නෑ. අහු­වෙච්ච දෙයක් කර­නව.’

‘මොකක් හරි ස්ථිර දෙයක් කරන්ඩ බල­න­වකො. හැම­දාම සෙල්ලං කර කර ඉඳල හරි­යන්නෑ.’

‘‍මොනව හරි කරන්ඩ බලන්ඩ ඕනැ තමයි. දරු­වොත් ලොකු වෙන­වනෙ’

‘ඔයා තාමත් ඉස්සර වගේ සමාජ සේවෙ ම කර කර ඉන්ඩ එපා! හැම තිස්සෙ ම පරා­ර්ථ­කාමී වෙලා බෑ. ටිකක් ආත්මා­ර්ථ­කාමී වෙන්ඩත් බලන්ඩ!’ මද්දු අයියා උප­දෙස් දුන්නේ ය.

‘බොහොම ස්තුතියි උප­දේ­ශ­යට!’ බාලයා කී දෙයින් කාගේත් කට­වල් වැසිණ.

පරි­ස­රයේ පැවති සැහැ­ල්ලුව නැති වී ගියේ ය.

ටික­කින් වැඩි­මල් සහෝ­ද­රයෝ දෙදෙන සිය පිරි­වර සමඟ සමු­ගෙන පිට වී ගිය හ.

‘අප­රාදෙ නංගියෙ මං ඇවිත් ඔය ගොල්ලන්ගෙ සන්තෝසෙ නැති කෙරුව. මට මේ වෙලාවෙ නෑවිල්ල ඉන්ඩයි තිබුණෙ.’

‘ඇයි බාල­යියෙ අපි හැමෝට ම එකට පෑහිල ඉන්ඩ බැරි? ඇයි අපි හිත් රිදව ගන්නෙ? ඇයි අපිට පුංචි කාලෙ වාගෙ එක පොදියෙ ඉන්ඩ බැරි?’

‘ඉස්සර තිබිච්ච සහෝ­ද­රකං ඉව­රයි නංගියෙ. සල්ලි­කා­රකං, බොරු අහං­කා­රකං එකට පෑහෙන්නෙ නෑනෙ.’

ඇය කඳුළු පිසදා ගත්තා ය.

******

දින කිහි­ප­යක් ගෙවී ගියේ ය.

සැමි­යාට කවා පොවා බෙහෙත් වේල ද පෙවූ ඇය ටික­කින් ඔහු අත ගෙන මිදුලේ ඇවි­ද්දෙව්වා ය.

‘අම්මේ’ කියා­ගෙන පුතා මිදු­ලට ආවේ ය. මාපියෝ ඔහු දෙස හැරී බැලූ හ.

‘මත­ක­යිනේ, හෙට පාන්දර දෙකට තමයි මං ඉස්කෝලෙ ට්‍රිප් එක යන්නෙ. හරි­යට දෙක වෙන­කොට ට්‍රිප් එක පිටත් වෙනව කියල ප්‍රින්සි­පල් සර් කිව්ව. වෙලා­වට ආවෙ නැති ළම­යින්ව දාල යනව කිය­ලත් කිව්ව.’

‘මං ත්‍රීවී­ලර් එක­කට කතා කර­ගෙ­නයි තියෙන්නෙ. එයා පාන්දර එක හමාර වෙන­කොට අපේ ගේට්ටුව ළඟට එනව කියල පොරොන්දු වෙලයි තියෙන්නෙ. ඒක ෂුවර්’

‘අයියෝ ත්‍රීවි­ලර් එක­කද යන්ඩ තියෙන්නෙ? ඇයි ලොකු මාමට හරි, මද්දු මාමට හරි වාහනේ ගේන්ඩ කියල කිව්වෙ නැත්තෙ?’

‘ඔය පාන්දර ජාමෙ ඒගො­ල්ලන්ට එන්ඩ බෑ. ඒගොල්ලො නිදා ගන්නෙත් හොඳට ම රෑ වෙලා. ඉතින් කොහො­මද එක හමා­රට නැගි­ටින්නෙ? ඒ අයට කර­දර නොකර අපි අපේ ප්‍රශ්න විසඳ ගත්ත ම ඉව­රයි නේ. ඒ ගැන හිතල තමයි තාත්තයි මමයි ඔය තීර­ණේට ආවෙ.’

පුතා කිසිත් නොකියා ගෙට ගියේ ය.

*****

පාන්දර එක වන විට දරුවා චාරි­කාව යෑමට සූදා­නම් වී සිටියේ ය. ඇය ඔහු ගේ ගම­නට වුව­මනා සියලු දෑ සූදා­නම් කොට තබා උප­දෙස් මාලා­වක් ද දුන්නා ය.

පාන්දර එක­හ­මා­රට විනාඩි කිහි­ප­යක් තබා ගේට්ටුව ද විවර කැරිණ.

නිය­මිත වේලාව ඉකුත් වී විනාඩි පහක් ගත වුව ද ත්‍රීවී­ල­රය නාවේ ය.

‘අම්මෙ?’

‘පොඩ්ඩක් ඉව­ස­න්ඩකො’

ඇය ත්‍රිරෝද රිය­ක­රුට ඇම­තු­මක් ගත්තා ය. ඊට ප්‍රති­චාර නොලැ­බිණ. ඇය යළි යළිත් ඇම­තුම් ගත්තා ය. ඒවාට ද ප්‍රති­චාර නොවී ය.

දරුවා බිය විය. ඇය ඔහුගේ හිත හද­මින් දිගින් දිගට ම ඇම­තුම් ගත්තා ය. ප්‍රති­ඵ­ල­යක් නොවුණු තැන පර­ඬ­ලා­වක් සේ පුටු­වක ඇද වැටුණා ය.

එකත් එකට ම මිනි­හට නින්ද ගිහින් ඇති. වෙන ත්‍රීවීලර් එකක් ට්‍රයි කරමු ද?’ සැමියා යෝජනා කළේ ය.

‘මේ දෙගො­ඩ­හරි ජාමෙ උන් ෆෝන් උස්සන්නෙ නෑ අනේ’

‘එහෙනං ලොකුට හරි මද්දුට හරි කෝල් කර­න්ඩකො’

‘අනේ බෑ. මේ ජාමේ ඒගොල්ලො කොහො­ම­ට­වත් ඇහැ­රෙන්නෙ නෑ. ඒ තියා කලින් නොකීවෙ ඇයි කිය­ලත් අහයි’

‘කොහොම හරි දැන් අපි ළම­යව අරින්ඩ ඕනැ නේ. ඒ හින්ද බාල­යව ඇහැ­රෝල මොකක් හරි කරන්ඩ කියන්ඩ. එයා කරයි.’

ඇය විශ්වා­ස­යෙන් නැගිට ගොස් බාල­යි­යාට ඇම­තු­මක් ගත්තා. වහා ම ප්‍රති­චාර ලැබිණ.

‘අනේ බාල­යියෙ, ලොකු ම ලොකු හදි­ස්සි­යක්. අනේ ඉක්ම­නට වරෙංකො’ ඇයට හෝස් ගා ඇඬිණ.

ගත වූයේ මොහො­තකි. යතුරු පැදි­යක් ගේට්ටු­වෙන් ඇතුළු වී මිදු­ලට විත් නතර විය.

‘මොකද වුණේ? ආයෙත් අමාරු වුණා ද?’ කියා­ගෙන බාල­යියා ගෙට දුව ආවේ ය.

ඇය කඳුළු පෙර­මින් සිදු වූ ඇබැ­ද්දිය ගැන කියා හැකි ඉක්ම­නින් වාහ­න­යක් හොයා දෙන්නැයි කීවා ය.

‘මං මේ බ‍යවෙලා දුව­ගෙන ආවෙ මල්ලිට ආයෙත් ප්‍රශ­න්න­යක් වුණා ද කියල. කොහො­මත් නංගියෙ මං රෑට අව­ධා­න­යෙන් ඉන්නෙ. මේක එහෙම දෙයක් නෙමේනෙ. වාහන මොකට ද? මේ බයි­සි­කලේ තියෙන්නෙ. මං දැන් ම පුතාව ගිහින් බස්සන්නං වෙලා­වත් ඇතිනෙ.’

බාල­යියා යතුරු පැදි­යට නැග එය පණ ගැන්වී ය. වෙලා­වට යා ගැනී­මට නොහැකි වෙතියි බියට පත්ව සිටි දරුවා ද වහා එහි නැගී බෑගය සිය ඔඩො­ක්කුවේ තබා ගත්තේ ය. ඇය ගෙට දුව ගොස් තුවා­යක් රැගෙන විත් එය දරුවා ගේ හිස මතින් ද දෙපොට අල්ලා නික­ටට යටින් ගැට ගැසුවේ ය.

‘අපි යනව’ බාල­යියා යතුරු පැදිය පරි­ස්ස­මින් පාරට ගෙන, එතැන් සිට ගමන වේග­වත් කළේ ය. පාරට ගිය ඇය යතු­රු­පැ­දියේ පිටු­පස රතු එළිය නොපෙනී යන තුරු නොසැලී බලා සිටියා ය.

පැය කාල­කට පමණ පසු ඇයට ඇම­තු­මක් ආයේ ය.

‘නංගියෙ බය වෙන්ඩ එපා. මං පුතාව ඉස්කෝ­ලෙට බාර දුන්න. තාම බස් ටික පිටත් වුණේ නෑ. තව ටිකක් වෙලා යයි. පුතා කිව්ව මට යන්ඩ කියල. මං දැන් එනව’

ඒ වචන ටික ආවේ දෙව්ලො­වින් යැයි ඇයට සිතිණ.

‘හොඳයි බාල­යියේ, අනේ පරි­ස්සමිං’

වැඩි වේලා­වක් නොගියේ ය. බාල­යි­යාගේ යතුරු පැදිය නැවත ද ගේට්ටු­වෙන් ඇතුළු වී මිදුලේ නතර විය.

‘අනේ බාල­යියේ ඔයා අපේ හිතේ ගින්දර නිමුව බාල­යියේ!’ ඇය ඔහු බදා වැලඳ ගත්තා ය.

අන­න්‍ය­තාව සඟවා සිටී­මට කැමැති සිළු­මිණ පාඨ­ක­යකු විසින් යොමු කරන ලද සට­හ­නක් ඇසුරෙනි.

නෙළුම්විල
සිළුමිණ,
ලේක්හවුස්,
කොළඹ 10.

Comments