ලාංකික සමාජය 1978දී ආර්ථික වශයෙන් ව්‍යූහාත්මක වෙනසකට ලක් විය. එතෙක් ආර්ථිකයේ ආංශික වර්ගීකරණය තුළ කෘෂිකාර්මික හා කාර්මික අංශයන්ට තිබූ ප්‍රතිශතාත්මක පංගුව වෙනස් වෙමින් සේවා අංශයේ ප්‍රතිශතාත්මක පංගුව වැඩි විය. සේවා අංශය බොහෝ විට පවතින්නේ කොමිස් හා ලාභාංශ මතිනි. එය වංචා හා දූෂණයන්ට උල්පතකි. මේ වන විට ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රතිශතාත්මකව 60%ක තරම් මට්ටමකට කළු ආර්ථික ක්‍රියාකාරිත්වයකින් යුක්තය.
මහා පරිමාණයෙන් සිදු වන වංචා හා දූෂණ පවතින දේශපාලන හා ආර්ථික ක්රමයේම නෛසර්ගික ලක්ෂණයකි. මහා පරිමාණයෙන් සිදු වන වංචා හා දූෂණයන්ට හැම ආණ්ඩුවකම සම්බන්ධයක් පවතී. ආණ්ඩු බලයෙන් තොරව එවැනි මහා පරිමාණ වංචා හා දූෂණ සිදු විය නොහැකිය. වංචා හා දූෂණ මහජන ධනය විනාශ කිරීමක් මෙන්ම රටක සංවර්ධනයට බරපතළ ලෙස හානි කරන්නකි. එහෙත් එමගින් සිදු වන විශාලතම විනාශය වන්නේ වංචා හා දූෂණයට ලක් වන මුදල් වෙළෙදපළ තුළ ආයෝජනයට ලක් නොවීමයි. විශාල වංචා හා දූෂණයන් සිදු කරන මහා පරිමාණ හොරු එම මුදල් ආයෝජනය නොකර සමුච්ඡකරණයට (Capital Accumulation) ලක් කරයි. මූල්‍ය සමුච්ඡකරණය ධනේශ්වර ක්‍රමයේ විශාලම අගතියයි.
සමාජයක් වංචා හා දූෂණයට ලක් වූ පසු ඉහළ සිට පහළටත් පහළ සිට ඉහළටත් නීති විරෝධි මූල්‍ය ගනුදෙනුවලට ගොදුරු වේ. රාජ්‍යයේ ඉහළ කොටස වංචා හා දූෂණවලට ලක් වූ පසු පහළ කොටසද ඊට ගොදුරුවීම තාර්කික ය. ග්‍රාමීය සමාජයේද මේ අන්දමින්ම වංචා හා දූෂණ කිසිදු බාධාවකින් තොරව සිදු වේ. සමහර සමාජ කුලකයන්හි මූල්‍ය ස්ථායිතාව රදා පවතින්නේම නීත්‍යනුකූල මූල්‍ය ගලනය නිසාම ය.
එහෙත් ඉහළ සමාජ ස්තරයේ හා පහළ සමාජ ස්තරයේ සිදු වන වංචා හා දූෂණවල ස්වරූපය එකිනෙකට වෙනස් වේ. ඉහළ සමාජයේ මෙන් පහළ සමාජයේ සිදු වන වංචා හා දූෂණවල කළු සල්ලි මූල්‍ය සමුච්ඡකරණයට ලක් නොවේ. එනම් ඒ මුදල් වෙළෙඳපළ ක්‍රියාකාරිත්වයෙන් ඈත් කර නොතබයි. ඔවුහු එම මුදල් ආයෝජනයට ලක් කරන අතර, එනිසා වෙළෙඳපළ තුළ ක්‍රියාකාරිත්වය ඉහළ නගී. එය වෙළෙඳපළ ශක්තිමත් කිරීමටත් (stability of money market) මූල්යගලනය (Cash flow) පවත්වාගෙන යෑමටත් දායක වේ.
ධනපතියන්ගේත් සුළු ධනපතියන්ගේත් මූල්‍ය අක්‍රමිකතා හා හොරකම ගුණාත්මකව නොවෙනස් වුවද ඒවා වෙළෙඳපළට කරන බලපෑම එකිනෙකට වෙනස් වේ. මැද පාන්තිකයන්ගේ අක්‍රමිකතා හා හොරකම ග්‍රාමීය සමාජය ප්‍රාග්ධනීකරණයට හේතුවකි. ඒ අනුව ධනපතියන්ගේ හොරකම් තුළින් සමුච්ඡකරණයට ලක් කරන ප්රාග්ධනයට එරෙහි වන අන්දමින්ම, ගමේ සිදු වන හොරකම්වලටද එරෙහි වීමට තරම් විමුක්ති ව්‍යාපාරයක් ඉක්මන් විය යුතු නැත.
ජනතා විමුක්ති පෙරමුණ මැතිවරණයකදී දූෂණ හා වංචා විරෝධය කරපින්නා ගන්නේ අහඹු ලෙස නොවේ. ඊට මූලික හේතුව ඒ පක්ෂය අතරමැදි පන්තිය මත පදනම් වීමයි. මේ කාලයේ අතරමැදි පන්තියේ දේශපාලනය පදනම් වන්නේ දූෂණ හා වංචාවන්ට එරෙහිවීම මතය. ජනතා විමුක්ති පෙරමුණ වංචා හා දූෂණ විරෝධය හරහා උත්සාහ ගත්තේ අතරමැදි පන්තියේ ආකර්ෂණය දිනාගැනීමටයි. එහෙත් ඒ අතරමැදි පන්තියේ අවිඥානක ආශාව වූ මහින්ද රාජපක්ෂ පළාත් පාලන මැතිවරණයේ වීරයා බවට පත් වන විට ජනතා විමුක්ති පෙරමුණ අසරණ විය.
එක්සත් ජාතික පක්ෂයත්, ශ්‍රී ලංකා පොදුජන පක්ෂයත් තම ඡන්ද පදනම වර්ධනය කරගන්නේ අතරමැදි පන්තියෙනි. ඒ සමාජ තීරුව තුළ තවත් දේශපාලනයකට අවකාශයක් නැත. වරෙක රනිල් වික්‍රමසිංහගේ ග්‍රහණයටද තවත් වරෙක මහින්ද රාජපක්ෂගේ ග්‍රහණයටද ලක් වන අතරමැදි පන්තියට අවශ්‍ය වන්නේ ආකර්ෂණීය නායකයෙකි. අනුර කුමාර දිසානායකද ආකර්ෂණීය වුවත් ප්‍රභූ පන්තියේ නායකයකුගෙන් ගැලවී අනුර කුමාර දිසානායක කරා එන්නට තරම් අතරමැදි පන්තියේ ශක්තිය දුර්වලය. ඔවුන් උත්සාහ ගන්නේ ශාරීරික පීඩාවකින් තොරව විනෝදය ලබන්නටය. ඒ විනෝදය ලබා දෙන්නේ මහින්ද රාජපක්ෂ හෝ රනිල් වික්‍රමසිංහ හෝ පමණි.
ඒ නිසා ජනතා විමුක්ති පෙරමුණ අතරමැදි පන්තියේ දේශපාලනය අත්හළ යුතුය; එසේම තම පක්ෂය සටන් වදින්නේ හා අරගල කරන්නේ සමාජවාදය වෙනුවෙන්ද සමාජ ප්රජාතන්ත්රවාදය වෙනුවෙන්දැයි පැහැදිලි නිගමනයකට ආ යුතුය. පක්ෂ නායකයෝ සමාජ ප්රජාතන්ත්රවාදය මත පදනම්ව අරගල හා භාවිතය තීන්දු කරති. එහෙත් පක්ෂ සාමාජිකයෝ ඒවා අර්ථ දක්වා ගන්නේ සමාජවාදි විප්ලවය වෙනුවෙන් තම පක්ෂය පෙනී සිටින බවට අවබෝධ කරගනිමිනි. මේ පරස්පරවිරෝධය ජනතා විමුක්ති පෙරමුණේ ඉදිරි ගමනට යෝග්‍ය නොවේ.
වත්මන් දේශපාලන සන්දර්භය තුළ පන්ති දේශපාලනය අතාර්කිකය. නිර්පන්ති දේශපාලනයක යෙදෙමින් දේශපාලන ආධිපත්‍යයක් සමාජය තුළ නිර්මාණය කරගැනීම අවශ්‍යයෙන්ම කළ යුත්තකි. ඒ සඳහා අවශ්‍ය වන්නේ බරපතළ දැනුමකි; ඒ දැනුම තම පක්ෂ කාඩරය හා බෙදාහදාගන්නා සැලසුමකි. එසේ නොවන්නට ඉතිහාසය පුරා සිදු වූ දේ අනාගතයටත් සිදු වීම වළක්වන්නට කිසිවකුට නොහැකිය.
අබරන්