හිට්ලර්ද ධර්මා­ශෝ­කද ? | සිළුමිණ

හිට්ලර්ද ධර්මා­ශෝ­කද ?

“ඔක්කොම හාමු­දු­රු­වරු ලක අද­හන්නේ බුද්ධා­ග­මද හා! හරි පැන­යකි එන්නේ‘ඔව් - නෑ’ දෙකෙන් එක­කුයි කිව යුතු වන්නේමම ගල් වුණෙමි, කොහො­මද පිළි­තුරු දෙන්නේ”

ඹ­ර­කො­ටුවේ සුධර්ම (සෙනෙ­වි­රත්න) කවියා, කුඩා දරු­ව­කුගේ මුවට එව­දන් නඟා ලංකාවේ ඔක්කොම හාමු­දු­රු­ව­රුන් අද­හන්නේ බුද්ධා­ග­ම­දැයි ඇසුවේ මීට හැත්තෑ වස­කට පෙර, 1948 අවු­රු­ද්දේදී ය. කවියා ලියූ ‘ගැටලු තුනක්’ නමැති පැදි පෙළ අව­සන් කළේ ඉහත දැක්වුණු කවි­යෙනි. අපගේ ප්‍රස්තු­ත­යට පැමි­ණෙන්ට පෙර, මේ පද්‍ය රච­න­යත්, එය ලියූ කවි­යාත් පිළි­බඳ කෙටි­යෙන් නමුත් පරි­ක­තා­වක් ලියන්ට ඇත. ‘බඹ­ර­කො­ටුවේ සුධර්ම’ නමින් කවි ලියුවේ ‘බඹ­ර­කො­ටුවේ සුධ­ම්මා­ලං­කාර’ නමින් කලක් පැවි­දිව සිටි ‘සුධර්ම සෙනෙ­වි­රත්න’ කවි­යාය. මෙතැ­නට අදාළ වන වැද­ගත්ම කාර­ණය වන්නේ, මේ අපූරු කවි­පෙළ ලියන අව­ධිය වන විට, කවියා පැවිදි බිමේම සිටි වගයි; තවත් වච­න­ව­ලින් පැහැ­දිලි කොට කිව හොත්, සිරි­ලක සිටින ඔක්කොම හාමු­දු­රු­ව­රුන් අද­හන්නේ, බුද්ධා­ග­මද යන විම­තිය, මේ කවි­යාට ඇති වී තිබෙන්නේ ස්වකීය ප්‍රව්‍රජ්‍යා භූමි­යේදී හෙවත් පැවිද්ද තිබුණු කාලය තුළ­දීම බවයි. එසේ නම්, මීට අවු­රුදු හැත්තෑ­ව­කට පෙර, අපේ හාමු­දු­රු­ව­රුන් ගැන කළ ඒ බර­ප­තළ විවේ­ච­නය ගිහි­ය­කුගේ මුවින් නොව පැවි­ද්ද­කුගේ මුවින් ම පිට වූවකි.‍

අද අහන්ට සිදුව ඇත්තේත්, එදා බඹ­ර­කො­ටුවේ සුධ­ම්මා­ලං­කාර හිමි­යන් ඇසූ ප්‍රශ්න­යම නොවේද? ඉකුත් දිනෙක අස්ගිරි පාර්ශ්ව අනුනායක වේඬ­රුවේ උපාලි හිමි විසින් කරන ලද ප්‍රකා­ශය බර­ප­තළ ලෙස සැල­කිය යුතු වෙයි.

උන් වහන්සේ ප්‍රකාශ කර සිටියේ “ජර්ම­නියේ ඒකා­ධි­පති පාලක ඇඩොල්ෆ් හිට්ලර් මෙන් මිලි­ටරි පාල­න­යක් ආරම්භ කර, ශ්‍රී ලංකාව පුන­ර්ජී­ව­නය කිරී­මට හිටපු ආර­ක්ෂක ලේකම් ගෝඨා­භය රාජ­පක්ෂ මහතා පෙර­මුණ ගත යුතු” බවයි.

එකී ප්‍රකා­ශය කර ඇත්තේ ගෝඨා­භය රාජ­ප­ක්ෂගේ 69 වැනි උපන් දින­යේදී, ඔහු විසින් පිරි­න­මන ලද දාන­මය පුණ්‍ය කර්ම­යේදී කරන ලද අනු­ශා­ස­න­යක් හෙවත් ‘අනු­මෝ­දනා බණක්’ හැටි­ය­ටය.

වෛවා­රන්න දේශ­පා­ල­ක­යන් හමු­වේ­දීත්, අනා­ගත දේශ­පා­ලන හීන දකි­මින් සිටින බල­ලෝභි මිනි­සුන් ඉදි­රි­යේ­දීත් අනු­මෝ­දනා බණක් හැටි­යට තමන්ට රිසි රිසි දේ කියන්ට, අපේ හාමු­දු­රු­ව­රුන්ට තහ­න­මක් ඇත්තේ නැත. එහෙත් ඒ බණ කියන පුද්ග­ල­යාත්, එයට අර­මුණු වන පුද්ග­ල­යාත්, ඒ බණේ විෂ­යය කාර­ණාත් ගැන මෙනෙහි කරන විට වේඬ­රුවේ උපාලි හාමු­දු­රු­වන්ගේ ප්‍රකා­ශය හුදු ප්‍රලා­ප­යක් හැටි­යට ඉවත දමන්ට බැරිය.

ප්‍රකා­ශ­කයා අන් කවු­රු­වත් නොව, අස්ගිරි පාර්ශ්වයේ අනු­නා­යක හිමිය.

අස්ගි­රිය යනු, සියලු ජාතික ශාස­නික කාර්ය­ය­න්හිදී “ඒ වගත් මෙසේම” කියා අස්සන් කරන පාර්ශ්ව දෙකෙන් එකකි. දේශ­පා­ලන නාය­ක­කා­ර­කා­දීන් අට­පි­රි­ක­රද අර­ගෙන අව­වාද අනු­ශා­සනා උදෙසා යන තැන් දෙකෙන් එකකි, අස්ගි­රිය දැන් දැන් දේශ­පා­ලන පොඩි­ය­න්ලාත් මේ දෙපා­ර්ශ්වයේ මහා­නා­යක හිමි­ව­රුන් බැහැ දකින්ට යන දර්ශ­නද නිතර දැක­ගන්ට ලැබෙයි. ඔවුන් යන්නේත් ආණ්ඩුවේ ගිණු­මට වැටෙන කැම­රාද අට­වා­ගෙ­නය). එවන් පසු­බි­මක් යටතේ ඒ ප්‍රකා­ශය අස්ගිරි නාය­ක­ත්ව­යෙන් එන විට බර­ප­තළ කාර­ණ­යකි.

දෙවැනි කාර­ණය, එය අර­මුණු කර­ගත් පුද්ග­ල­යාය. හේතෙමේ හිටපු ආර­ක්ෂක ලේකම් ගෝඨා­භය රාජ­ප­ක්ෂය‍. ලසන්ත වික්‍ර­ම­තුංග ඝාත­නය, ප්‍රගීත් එක්නැ­ළි­ගොඩ අතු­රු­දන් කිරීම, වැලි­කඩ සිර­ගෙ­දර ඝාතන, කුප්‍ර­කට මිග් යානා ගනු­දෙ­නුව, ඇව­න්ගාඩ් අවි ගබඩා ජාවා­රම, සුදු­වෑ­න්ව­ලින් පැමිණ කප්පම් ගැනීම හා එම­ඟින් කෙරුණු මිනිස් ඝාතන, ජන­මා­ධ්‍ය­වේ­දීන් ඝාත­නය සහ අතු­රු­දන් කර­වීම ආදි කී-නොකී බොහෝ අප­රාධ ගැන ඇඟිල්ල දිගු වන චෝදනා බරපතළය. අපේ රටේ නීතිය, කරන කර­වන අය පම­ණක් දන්නා හේතු මත, නිරු­ප­ද්‍රැ­තව සිටින්නේ වී නමුත්, ගෝඨා­භය රාජ­පක්ෂ දෙසට ඇඟිල්ල දිගු වන්නේ බර­ප­තළ ගණයේ අප­රාධ සම්බ­න්ධ­යෙනි. විශේෂ බල­තල ඇති අමා­ත්‍යාංශ ලේක­ම්ව­ර­යකු හැටි­යට, ඔහු රාජ­පක්ෂ රෙජීම සමයේ කට­යුතු කළේ අත්ත­නෝ­ම­ති­කව, තම නිල ක්ෂේත්‍රය තුළ ඒකා­ධි­ප­ති­යකු හැටි­ය­ටය.

තුන් වැනි­යට, ඒ ‍අනුමෙ­වෙනි බණේ විෂය කාර­ණ­යට එමු. අනු­නා­යක හාමු­දු­රු­වන්ගේ ප්‍රකා­ශ­යෙන් ගම්‍ය­මාන වන මූලික කාරණ තුනක් ඇත්තේය.

පළ­මුව: ගෝඨා­භය රාජ­පක්ෂ රටේ රාජ්‍ය නාය­කයා විය යුතුය. ඉන් අද­හස් වන්නේ ඔහු ඊළඟ ජනා­ධි­පති විය යුතු බවයි.

ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට තව අවු­රුදු එක හමා­රක කාල­යක් ඉති­රිව ඇත්තේය. ඒ සඳහා ගෝඨා­භය රාජ­පක්ෂ මහතා, මේ වන විටත් ඇඳුම් සූදා­නම් කර­ගෙන ඇති බව නම්, ඔහු කරන ප්‍රකා­ශ­ව­ලි­නුත්, පව­ත්වන සාකච්ඡා සම්ම­න්ත්‍රණ ආදි­යෙ­නුත් හොඳ හැටි ප්‍රකාශ වෙයි. එය වෙනම කාර­ණ­යකි.

එහෙත් ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට තවත් දීර්ඝ කාල­යක් ඉති­රිව තිබි­ය­දීත්, රටේ ප්‍රධාන සංඝ පාර්ශ්ව­යක නායක තත්ත්වයේ සිටින හිමි­න­මක් එවන් ප්‍රකා­ශ­යක් කිරීම, කෙළින්ම දේශ­පා­ල­න­යට මැදි­හත් වීමකි. මේ නම් ජන­තාව විසින් 2015 ජන­වාරි 08 වැනිදා ප්‍රති­ක්ෂේප කළ රාජ­පක්ෂ රෙජී­ම­යට කඩේ යෑමක් නොවේද? අස්ගි­රිය සම්බ­න්ධ­යෙන් ඒ විවේ­ච­නය කරන්ට මේ රටේ මැද­හත් පොදු බෞද්ධ ජන­තා­වට අයි­ති­යක් නැද්ද?

අනු­නා­යක හාමු­දු­රු­වන් දෙව­නු­වට කියන කාර­ණය ඊටත් වඩා බර­ප­ත­ළය; අති­ශ­යින් භයා­න­කය. මේ රටේ දේශ­පා­ලන ඉදි­රි­ග­මන ගැන හිතන විට ඉතා අදූ­ර­ද­ර්ශීය. ඒ සිය­ල්ල­ටත් වඩා බුදු­ද­හ­මට - බුදු­ස­සු­නට - බුදු­ම­ඟට, මේ රටේ මෙතෙක් පැවති බුදු සංස්කෘ­ති­යට පට­හැනි ප්‍රකා­ශ­යකි; නායක හාමු­දු­රු­න­ම­ක­ගෙන් තබා සාම­ණේර හිමි­න­ම­ක­ගෙන් වත් බලා­පො­රොත්තු නොවිය යුතු ආකා­රයේ පසු­ගාමි, අග­ති­ගාමි, අබෞද්ධ ප්‍රකා­ශ­යකි; ලෝක ඉති­හා­සයේ ගම­න්මඟ ගැන මෙලෝ නිච්චි­යක් නින­ව්වක් නැතිව කරන ලද ප්‍රකා­ශ­යකි.

දැන් සෑහෙන කලක සිට, අස්ගිරි පාර්ශ්වය හැසි­රෙන්නේ සියම්  නිකා­යට
අයිති කොට­සක් හැටි­යට නොව, රාජ­පක්ෂ නිකා­යට අයිති පාර්ශ්ව­යක්
හැටි­ය­ටය.  තමන් වහන්සේ තව­දු­ර­ටත් සියම් නිකායේ නොව, රාජ­පක්ෂ
නිකායේ බැව් ඉතා ඕලා­රික  ආකා­ර­යෙන් රට­ටම ප්‍රකාශ කළ අව­ස්ථා­වක්
හැටි­ය­ටය, ඉකුත් දිනෙක එහි අනු­නා­යක  වේඬ­රුවේ උපාලි හිමි
විසින් කරන ලද බර­ප­තළ ප්‍රකා­ශය සැල­කිය යුතු වන්නේ.   උන් වහන්සේ
ප්‍රකාශ කර සිටියේ “ජර්ම­නියේ ඒකා­ධි­පති පාලක  ඇඩොල්‍ෆ් හිට්ලර් මෙන්
මිලි­ටරි පාල­න­යක් ආරම්භ කර, ශ්‍රී ලංකාව පුන­ර්ජී­ව­නය  කිරී­මට
හිටපු ආර­ක්ෂක ලේකම් ගෝඨා­භය රාජ­පක්ෂ මහතා පෙර­මුණ ගත යුතු” බවයි.  

 

උන් වහන්සේ කියා සිටින්නේ, ගෝඨා­භය රාජ­පක්ෂ ඊළඟ රාජ්‍ය නාය­කයා වී, ජර්ම­නියේ ඇඩොල්ෆ් හිට්ලර් මෙන් ඒකා­ධි­පති පාල­න­යක් ගෙන යා යුතු බවයි. ඒ කියන්නේ, කොත­රම් අඩු-පාඩු ඇතිව වුව, මේ රටේ පව­තින ප්‍රජා­ත­න්ත්‍ර­වාදි පාල­න­ක්‍ර­මය, ඊට හාත්ප­සින් විරුද්ධ ඒකා­ධි­පති පාලන ක්‍රම­ය­කට මාරු කළ යුතු බවයි.

ප්‍රජා­ත­න්ත්‍රය වෙනු­වට ඒකා­ධි­ප­ති­වා­ද­යක්. එද, ඇඩොල්ෆ් හිට්ලර් පන්නයේ ඒකා­ධි­ප­ති­වා­ද­යක්. මේ නම් මේ රටේ සියලු පුර­වැ­සි­යන්ගේ ඇඟ හිරි­ව­ට්ටන ප්‍රකා­ශ­යක් නොව­න්නේද? පසු­ගිය ආණ්ඩු කාලයේ අති­ශ­යින්ම අත්ත­නෝ­ම­තික ආකා­ර­යෙන් බිහි වුණු පාල­න­යක් ගෙන ගිය රාජ­ප­ක්ෂ­ලාට උඩ­ගෙ­ඩි­දී­මක් නොව­න්නේද?

ඉහළ පන්ති­වල ශිෂ්‍ය­යන් පවා හොඳා­කාර දන්නා අස්ගිරි පාර්ශ්ව­යට අයත් පිරි­වෙ­න්වල ඉගෙ­න­ගන්නා සාම­ණේර හාමු­දු­රු­වන් පවා කව­ර­කු­දැයි හඳු­නන ලෝක මට්ටමේ මිනී­මරු ‘හිට්ලර්’ ගැන උන් වහන්සේ බිඳක් වත් දැන සිටියේද? තමන් වහන්සේ කළ අදූ­ර­දර්ශි ප්‍රකා­ශ­යෙන් පසු වේඬ­රුවේ උපාලි අනු­නා­යක හිමි විසින්, තමන්ගේ ස්ථාව­රය තවත් පහ­ද­මින් තමන්ගේ නිද­හ­සට දැක්වූ කාරණා කිහි­ප­යක් ගිය සතියේ සති අන්ත පත්ත­ර­යක මුල් පිටුවේ පළ වී තිබිණි.

ඒ නම්, තමන් වහන්සේ වාරි­ය­පොළ සුමං­ගල පර­පු­රෙන් පැව­තෙන කෙනකු බවයි; එසේම ගෝඨා­භය රාජ­පක්ෂ යනු, ‘පපුවේ තුනු­රු­වන තියෙන මිනි­හකු’ බවයි.

ඒ තුනු­රු­වනේ හරි මැදට එන්නේ බුදුන් වදාළ ධර්ම­ය­යයි. ඒ දහ­මෙහි මුල්ම සික පදය වන්නේ ‘පානා­ති­පාතා වේර­මණී’ය. ඒ කියන්නේ, ප්‍රාණ­ඝා­ත­යෙන් වැළකී සිටී­මය. දේශ­පා­ලන මිනී­මැ­රුම් සම්බ­න්ධ­යෙන් ගෝඨා­භය රාජ­පක්ෂ මහතා වෙත ජන­තාව ඇඟිල්ල දිගු කරන කාර­ණය මොහො­ත­කට පසෙ­කින් තබමු. තුනු­රු­වන් පපුවේ තිබෙ­තැයි කියන අයට, අනා­ග­ත­යේදි රට පාල­නය කරන්ට කියන්නේ ලෝකයේ නොම්මර එකේම මිනී­ම­රුවා වන ඇඩොල්ෆ්ගේ හිට්ලර් කට­යුතු කළ ආකා­ර­ය­ටය. ඒ කියන්නේ, මිනී­ම­ර­මිනි. අර බඹ­ර­කො­ටුවේ සුධ­ම්මා­ලං­කාර හාමු­දු­රු­වන් පොඩි කොලු­වාගේ මුවින් ඇසූ ප්‍රශ්නය අදාළ වන්නේ මෙතැ­න­ටය.

“ඔක්කොම හාමු­දු­රුවො ලක අද­හන්නේ, බුද්ධා­ග­මද?”

මනුෂ්‍ය වර්ග­යාගේ ඉති­හා­සය විසින්, මේ ලෝක­යට බිහි කළ මහම ප්‍රජා­ත­න්ත්‍ර­වා­දියා, තම­න්ගේම ශාස්තෘ­ව­රයා වන බුදුන් වහන්සේ බැව් දැන­ගන්ට අවශ්‍ය නම්, කියවා උගත යුතු කුඩා ‍පොතක් ඇත. ඒ, වල්පොල රාහුල මහා­චාර්ය හාමු­දු­රු­වන් ලියූ ‘What the Buddha Taught’ යන ඉංගි­රිසි පොතේ පරි­ව­ර්ත­නය වන ‘බුදුන් වදාළ ධර්මය’ නමැති කුඩා පොතයි. බුදු­හි­මි­යන් අනු­දැන වදාළ දාන, සීල, පරි­ච්චාග, අජ්ජිබ, මජ්ජිව, තප, අක්කෝධ, අහිංසා, ඛන්ති, අවි­රෝ­ධන යන දස­රාජ ධර්ම­යෙහි ඒකා­ධි­ප­ති­වා­දය එන්නේ කොතැ­න­ක­දැයි උපාලි අනු­නා­යක හිමි රට­ටත්, ජන­තා­ව­ටත්, විශේ­ෂ­යෙන් ම මේ රටේ බෞද්ධ ජන­තා­ව­ටත් පහදා දිය යුතු නොවේද?

වල්පොල රාහුල හාමු­දු­රු­වන්ගේ රටක් වටින ඒ පොතේ 122 වැනි පිටුවෙ එන එක් ඡේද­යක් පම­ණක් උපුටා දක්වමි:

“බුද්ධ­ධ­ර්මය ලෝක­යට දෙන පණි­වි­ඩය නම් අහිං­සාව හා සාමය බවද, ජීවි­ත­ය­කට හිංසා කිරීම හෝ ඒ විනාශ කිරීම ධර්ම­යට පට­හැනි බවද කවු­රුත් දනිති. ‘ධාර්මික යුද්ධ­යකැ’යි කිව හැකි කිසි­වක් ඇතැයි බුද්ධ ධර්මය නොපි­ළි­ගනී.

ඒ වනාහි වෛර වධ හිංසා ඝාතන ආදිය වසා ලීම පිණිස පාවිච්චි කරන බොරු නමකි. ‘කව­රක් ධාර්මි­කද, කව­රක් අධා­ර්මි­කදැ?’ යි තීර­ණය කරන්නේ කව‍රෙක්ද? බල­වත්හු ජය­ග්‍රා­හ­කයෝ ‘ධාර්මි­ක­යහ’, දුර්ව­ල­යෝද පරා­ජි­ත­යෝද ‘අධා­ර්මි­ක­යහ.’ ‘අපේ යුද්ධය හැම විටම ධාර්මි­කයි’, ‘ඔබේ යුද්ධය හැම විටම අධා­ර්මි­කයි.’ මේ පිළි­වෙළ බුදු දහම විසින් නොපි­ළි­ගනු ලැබේ.”

අපේ හාමු­දු­රු­වන් බෝධි­පූජා පවත්වා පිරිත් නූල් බැඳ උත්ක­ර්ෂ­යට ගන්වන, අදත් වටාර පිටාරා හොඳ හැටි වල­ඳන, යුද්ධය ගැන, ලෝක පූජිත ශ්‍රී ලාංකික යති­ව­ර­යකු වන අපේ වල්පොල රාහුල හාමු­දු­රු­වන් කරන ඒ විව­ර­ණය හොඳ­ටම ඇතිය.

වේඬ­රුවේ උපාලි - අස්ගිරි පාර්ශ්වයේ අනු­නා­යක හාමු­දු­රු­වන් - ගෝඨා­භ­යට අනු­ශා­සනා කළ යුතුව තිබුණේ හිට්ලර් වන්නට නොව, ධර්මා­ශෝක කෙනකු වන්න­ටය. වල්පොල හාමු­දු­රු­වන් ස්වකීය උතුම් ගත අව­සන් කරන්නේ ධර්මා­ශෝක අධි­රා­ජ­යා­ණන් ගැන කරන සඳ­හ­න­කිනි. ඒ පොතේ 127-128 වැනි පිටු­වල ධර්මා­ශෝ­ක­යන් ගැන වල්පොල රාහුල හිමි­යන් තබන ඒ සට­හ­නින් බිඳක් මේ බැලුව මැනවි:

“එක්තරා ආඥා ලිපි­යක (xiii වැනි ගිරි ලිපිය) මේ දරුණු යුද්ධය ගැන සඳ­හන් කළ රජ­තුමා ඒ ගැන මතක් වන විට තමාගේ සිතට දුකක්, පසු­තැ­වි­ල්ලක් ඇති වන බව ප්‍රසි­ද්ධි­යේම ප්‍රකාශ කළේය. ඉන් පසු කිසි කලෙක රටක් ජය ගැනී­මට තමාගේ කඩුව නොඅ­දි­න්නට තීර­ණය කර­ගත් එතුම‍ා සියලු දෙනා­ටම මෛත්‍රිය, අහිං­සාව, ආත්ම­ද­ම­නය, ශාන්තිය ප්‍රාර්ථනා කරන බවත්, තමා පම­ණක් නොව තමාගේ දරු­මු­නු­පු­රන් වත් යුද්ධ නොක­රනු ඇතැයි තමා බලා­පො­රොත්තු වන බවත්, මෙලෝ පරලෝ දෙකේ ම වැඩ පිණිස වන සැබෑ ජය­ග්‍ර­හ­ණය නම් ධර්ම­යෙන් ජය ගැනීම (ධර්ම­වි­ජය) බවත් ප්‍රකාශ කළේය.”

අනු­නා­යක හාමු­දු­රු­වන් ස්වකීය ප්‍රකා­ශ­යෙන් කියා පාන තුන්වැනි කරු­ණද අති­ශ­යින් භයා­න­කය. උන් වහන්සේ ගෝඨා­භය රාජ­ප­ක්ෂට අනු­ශා­සනා කරන්නේ මිලි­ටරි පාල­න­යක් ගෙන-යන්න­ටය. මොකක්ද, මේ මිලි­ටරි පාල­නය?

ඉතා සැකැ­වින් කිව හොත්, මිලි­ටරි පාල­නය කියන්නේ රාජ්‍ය නිල­ධා­රින්ද නැති, රාජ්‍ය සේව­ක­යන්ද නැති හමුදා නිල­ධා­රීන්ගේ සහ හමුදා සොල්දා­දු­වන්ගේ පාල­න­යකි. එද හිට්ලර්ගේ පන්නයේ මිලි­ටර් පාල­න­යක්ම විය යුතු­යැ­යිද මේ අනු­නා­යක හිමි අව­ධා­ර­ණය කරයි.

සම්බු­ද්ධ­ශා­ස­නයේ, ඉහළ පන්තියේ බුදු­ස­ව්වකු අනා­ගත ශ්‍රී ලංකාවේ රාජ්‍ය නාය­ක­යකු හැටි­යට පුංචි හිට්ලර් කෙනෙක් බිහි විය යුතු­යැයි අනු­ශා­සනා කරන විට, එතැන ඇති බුද්ධා­ගම කුමක්දැ?’ යි මේ රටේ සිහි-කල්ප­නාව ඇති බෞද්ධ­යන් විමසා දැන­ගත යුතු කාර­ණ­යකි.

අලි මදි­වාට හරක් කීවාක් මෙන්, දැන් අපේ හාමු­දු­රු­වන් කතා කරන්නේ හිට්ලර්ලා ගැනය. අපේ රාජ්‍ය පාල­න­යට වැඩම කර­වන්ට තනන්නේ හිට්ල­ර්ලාය.

කවු­රුද, මේ හිට්ලර්?

පත්ත­ර­යක ලියන ලිපි­ය­කින් ඇඩොල්ෆ් හිට්ලර් ගැන ලියන්ට බැරිය. විවිධ භාෂා­ව­ලින් හිට්ලර් ගැන ලියන ලද එවැනි ග්‍රන්ථ මහ රාශි­යක් ඇත්තේය. හිට්ලර් ගැන ඉඟි බිඳක් පම­ණක් දෙන්ට උචිත ඉතා නිර­වද්‍ය සංඛ්‍යා ලේඛන කිහි­ප­යක් දක්වා මේ ලේඛ­න­යට කුණ්ඩ­ලිය තබන්ට අද­හස් කරමි. ජර්ම­නියේ ඇඩොල්ෆ් හිට්ලර් විසින් අවු­ළු­වන ලද දෙවැනි ලෝක මහා සංග්‍රා­ම­යෙ­හිදී මිය ගිය‍ ­කෝටි සංඛ්‍යාත මිලි­ටර් සහ සිවිල් වැසි­යන්ගේ සංඛ්‍යාව මෙප­රිදි දත යුතුය.

සෝවි­යට් රුසි­යානු සමූ­හා­ණ්ඩුවේ සෙබළු 13,000,000ක් හා සිවිල් වැසියෝ 7,000,000කි. චීනයේ සෙබළු 3,500,000ක් සහ සිවිල් වැසියෝ 3,800,000කි. පෝල­න්තයේ සෙබළු 120,000ක් සහ සිවිල් වැසියෝ 5,300,000කි. යුගෝ­ස්ලා­වි­යාවේ සෙබළු 300,000ක් සහ සිවිල් වැසි­යන් 1, 300,000 කි. රුමේ­නි­යාවේ සෙබළු 200,000ක් සහ සිවිල් වැසියෝ 465,000කි. ප්‍රංසයේ සෙබළු 250,000ක් සහ සිවිල් වැසියෝ 360,000කි.

බ්‍රිතාන්‍ය සහ පොදු රාජ්‍ය මණ්ඩ­ලයේ රට­වල සෙබළු 452,000ක් හා සිවිල් වැසියෝ 60,000කි. ඉතා­ලියේ සෙබළු 330,000ක් සහ සිවිල් වැසියෝ 80,000කි. හංගේ­රියේ සෙබළු 120,000ක් හා සිවිල් වැසියෝ 280,000කි.

චෙකෝ­ස්ලෝ­වැ­කි­යාවේ සෙබළු 10,000ක් සහ සිවිල් වැසියෝ 330,000කි. අමෙ­රි­කාවේ සිවිල් වැසි­යන් සැල­කිය යුතු සංඛ්‍යා­වක් මිය නොගි­යද, 292,131ක් වූ සෙබළ සංඛ්‍යා­වක් දෙවැනි ලෝක යුද්ධ­යට දිවි දුන්හ.

ඒ, යුද්ධ­යෙන් නැති වුණු මිනිස් ජීවි­තයි. ඒ ඒ රට­වල ආර්ථික විනා­ශය ගණන් බලා ඇත්තේ බිලි­ය­න­ව­ලින් දැක්වෙන ඩොලර් කෝටි-ප්‍රකෝටි ගණ­න­කිනි. මනුෂ්‍ය සංහ­ති­යට විරු­ද්ධව හිට්ලර් කළ අප­රාධ සංඛ්‍යාව, ගණ­නය කොට දක්වනු ඉතා අසී­රුය.

මනුෂ්‍ය වර්ග­යාට එරෙ­හිව හිට්ලර් විසින් කරන ලද අනෙක් බල­වත්ම අප­රා­ධය වූයේ මිලි­යන සංඛ්‍යාත යුදෙව් ජන­තාව ගෑස් කාම­ර­වල දමා මැර­වී­මය. මේ මිනි­සුන් කළ එකම වරද වූයේ යුදෙ­ව්ව­රුන් හැටි­යට මෙලොව උපත ලැබීම පම­ණකි.

බෞද්ධ ප්‍රති­පත්ති අනුව යනවා නම්, අපේ නායක හිමි­ව­රුන් රාජ්‍ය පාල­ක­යන්ට අනු­ශා­සනා කළ යුතුව ඇත්තේ හිට්ලර් කෙනකු වන්නට නොව, ධර්මා­ශෝක කෙනකු වන්න­ටය. එක­රුණු වට­හා­ගැ­නීමේ හොඳ සිහිය හෙවත් යෝනි­සෝ­ම­න­සි­කා­රය අපේ සඟ­රු­ව­නට ලැබෙන්නේ කෙදි­න­කද?

Comments