
ත්‍රාසජනක චිත්‍රපටයක මවනා දසුන් පෙළක් හැබෑ ලෙසට විදහා පෑ මාතර නිලේකා ස්වර්ණාභරණ අලෙවිසලේ මංකොල්ලය මේ වන විට මුළු රටම දුටු දර්ශනයකි. ඒ අතරේ කොල්ලකරුවන්ට එරෙහිව අභීත සටනක නිරත වූ මාතර පොලීසියේ සාජන් සුගතදාස සහ සුරංග ප්‍රදීප් හා වසන්ත කුමාර බරපතළ තුවාල ලදහ. සුරංග මියගිය අතර සෙසු දෙදෙනා තවම ප්‍රතිකාර ලබමින් සිටිති.
කොල්ලකරුවන් නවීන ගිනිඅවි අතැතිව සතර දෙසට වෙඩි තබමින් පලා යන ආකාරය අසල සීසීටීවී කැමරා කාචයේ මනාව සටහන් වී තිබිණි.
රටම බලා සිටි මේ සිද්ධියෙන් පසු කාගේත් අවධානය යොමු වූයේ කොල්ල කල්ලියේ වෙඩි ප්‍රහාරය අතරතුරේ වෙඩි වැදුණු පොලිස් නිලධාරීන් රෝහල්ගත කිරීමට උත්සුක වූ තරුණයන් කීප දෙනා වෙතය. එලෙස පොලිස් නිලධාරීන් රෝහල්ගත කිරීමට ඉදිරිපත් වන තරුණයකුගේ දසුනක්ද ඒ අසල වූ සීසීටීවී කැමරාවක සටහන් වෙද්දී කවුරුත් ඒ තරුණයා පිළිබඳ විපරම් කරන්නට විය.
කොල්ලකරුවන් වෙඩි ප්‍රහාර එල්ල කරමින් පලා යද්දී එම තරුණයා ත්‍රීරෝද රියක් පිටුපස වෙඩි වැදී වැටී සිටි පොලිස් නිලධාරියකු සිය දෑතින් ඔසවා ගෙන ගොස් තනිවම වෑන් රියක දොර හැර ගනිමින් පොලිස් නිලධාරියා එහි පටවාගෙන රැගෙන යන අන්දම සීසීටිවී කැමරාවේ හොඳින් දර්ශනය විය.
එම තරුණයා ඒ මොහොතේ නිර්භයව ඉදිරිපත් වී කළ ක්‍රියාව පසුගිය දිනවල සමාජ මාධ්‍ය ජාලා ඇතුළු සියලු මාධ්‍යවල ප්‍රධාන මාතෘකාවක් බවට පත්විණි. පසුව පොලීසිය ද එම තරුණයා ගැන අවධානය යොමු කරමින් ඔහු ගැන සොයන්නට විය. එහෙත් ඔහු ගැන හෝඩුවාවක්වත් දන්නා කෙනෙක් නොවීය. පසුව සමාජ මාධ්‍ය ජාලයන්හි දර්ශනය වූ පුද්ගලයා තමා යැයි හඟවමින් ඉදිරිපත් වූ වෙනත් පුද්ගලයකුට පුළුල් ප්‍රචාරයක් ලැබුණේ සැබැවින්ම ඒ සද්ක්‍රියාවට මුල් වූ තරුණයා පසෙක සිටියදීය. එහෙත් ඒ වෙද්දීත් මේ කිසිවක් ගැන නොදත් සැබැවින්ම ඊට මුල් වූ තරුණයා පසුගිය 25 වැනිදා මාතර පොලිසියට පැමිණියේ එදා තුවාල ලැබ රෝහල්ගත කළ පොලිස් නිලධාරියාගේ හිස්වැස්ම හා සපත්තු කුට්ටම බාර දීමටය. ඉහත සිද්ධියට මුල් වූ සැබෑ තරුණයා මේ යැයි පොලිස් නිලධාරීන්ට පසක් වූයේ 25 වැනිදා මේ තරුණයා සැබැවින්ම දුටු අවස්ථාවේය. සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රචාරය වූ සීසීටීවී දසුන්වල දුටු නියම ‘වීරයා’නමින් ගයාන් ජානකය. වයස අවුරුදු 35කි. ඔහු ඉතාලියේ සහ එංගලන්තයේ ජීවත් වන්නේය. ගයාන් එදා තමා මුහුණ දුන් අත්දැකීම අප හා හෙළි කිරීමට මුලින් අදිමදි කළේය. එහෙත් අපගේ බලවත් පෙරැත්තය නිසා ඔහු එදා සිදුවීම අප හා මෙසේ විස්තර කළේය.
“මගේ අම්මාගේ ගම අහංගම. ඒත් මං පොඩි කාලේ ඉඳන්ම හැදුණේ අයිඩීඑච්වල. මේ දිනවල මං එංගලන්තයේ ඉඳලා නිවාඩුවකට ඇවිල්ලා ඉන්නෙ. එදා මං මාතර රෝහලේ හිටපු මගේ යාළුවෙක් බලන්න ගියේ. රෝගීන් බලන වෙලාව එනකල් මං වෑන් එක නිලේකා එක ළඟ නතර කරගෙන ෂීට් එක පාත්කරගෙන නිදාගෙනයි හිටියේ. එක්වරම වෙඩි සද්දයක් ඇහුණා. මං වෑන් එකෙන් බැහැලා බැලුවා. එතකොටම පොලිස් නිලධාරියෙක් කිව්වා, ‘පාත්වෙන්න පාත්වෙන්න වෙඩි තියනවා’ කියලා. මම වෑන් එක ළඟම පාත් වුණා. පොලිස් නිලධාරියා වෑන් එක ඉස්සරහ පැත්තෙන් නිලේකා එක පැත්තට ගියා. ඔහු ඉදිරියට යනවාත් සමඟම වෙඩි වැදුණා. පස්සෙ ඔහු වෙඩි කාගෙනම අසල තිබුණ ත්රිවිලරයක් පිටුපසට ඇවිල්ලා වැටුණා. මං ඔහුට වෙඩි වදිනවා දුටුවා.”
ඒ වෙද්දී කොල්ලකරුවෝ දිගට හරහට වෙඩි තියමින් පලා යමින් සිටියහ. කිසිදු පුද්ගලයකු හෝ වෙඩි වැදුණු පුද්ගලයන් අසලට තියා ඒ ඉසව්වට හෝ ළං නොවෙද්දී ගයාන්ට සිහිපත් වූයේ තම දෙනෙත් අබියසම වෙඩි වැදී ඇද වැටුණු පොලිස් නිලධාරියාය. ගයාන්ට එම නිලධාරියා ගැන සොයා බලනතුරු ඉස්පාසුවක් නොවීය.
“මං ඕන දෙයක් කියලා වෑන් එක ළඟින් දුවගෙන ආවා... එතකොටත් වෙඩි තියනවා... පොලිස් නිලධාරියා වැටි සිටි ත්‍රිවිලරය ළඟට ගිහින් ඔහු උස්සාගෙන වෑන් එක ළඟට ගෙනාවා. මං කෑගැහැව්වා කවුරුහරි උදව්වට එන්න කියලා... මිනිස්සු කිසි කෙනෙක් ඒ මොහොතේ දොර ඇරලා දෙන්නවත් ආවේ නැහැ. මම නිලධාරියා බිමින් තියා දොර ඇර ඔහුගේ ගිනිඅවිය ඇතුළු සියලු දේ වෑන් එකට දැම්මා. එතකොටම මනුස්සයෙක් ආවා... ඔහුත් දාගෙන පොලිස් නිලධාරියා රෝහලට රැගෙන ගියා.”
එලෙස ගයාන් විසින් රෝහලට රැගෙන යනු ලැබුවේ මේ වන විට කොළඹ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන සාජන් සුගතපාලය. අනතුරුව ඔහු රෝහල් පොලීසියට ගිනිඅවියද බාර දී රෝගියාගේ සුවදුක්ද විමසා අහංගම නිවෙසට ගියේය. ගයාන්ගෙ පැත්තෙන් ඔහු කළ සද්ක්‍රියාව නිමාව දුටුවේය. එහෙත් ඒ අතරේ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ඔහු කළ සද්ක්‍රියාව පුළුල්ව ප්‍රචාරය වූයෙන් සැවොම ඔහු කවුදැයි සොය බැලූහ. මාතර පොලිස් අධිකාරි කාර්යාලයද ඔහු සොයන්නට වූයේය.
“මං ගෙදර ගිහින් මේ ගැන කාටවත් කිව්වෙ නැහැ. මට ඒක ඒ හැටි දෙයක් වුණෙත් නැහැ. මොකද අවුරුදු ගානක් මං යුරෝපේ ජීවත්වෙන්නෙ. ඒ රටවල බල්ලෙක් පූසෙක් පාරක වැටිලා හිටියත් මිනිස්සු ක්ෂණිකව ක්‍රියාත්මක වී අවශ්‍ය කටයුතු කරනවා.”
තොරතුරු පවසන අතරේ එක්වරම ගයාන් හැඟුම්බර විය. ඒ මීට වසර දෙකකට පමණ පෙර තම මෑණියන්ට සිදුවූ අවාසනාවන්ත ඉරණම සිහිපත් වීමෙනි.
“මගේ අම්මා දසසිල් මෑණි කෙනෙක්. නෙඛ්ඛම්මා දසසිල් මෑණියෝ කියන්නෙ මගේ අම්මා. අහංගමදී බසයකට නඟින්න ගිහින් මැරුණේ. ඒ බස් එක තවත් බසයක් සමඟ තරගෙට යන්න ගිහින් අම්මා නඟින්න පෙර බස් එක ඇදලා. අන්තිමට බස් එක අම්මා ඉස්සරහ රෝදෙට හසුකරගෙන මීටර් සියයක් විතර ඈතට අරන් ගිහින්. රියැදුරා දන්නෙත් නැහැලු. අම්මා පැය බාගයක් විතර එතැනම තියාගෙන ඉඳලා. කවුරුහරි ඉදිරිපත් වෙලා එවෙලේම රෝහලට ගෙනිච්චනම් සමහර විට අම්මා ජීවත් කරගන්න තිබුණා කියලා තමයි වෛද්‍යවරුන් එදා කිව්වේ.”
එසේ තම මෑණියන්ට වූ අවාසනාවන්ත ඉරණම ගැන අතීත මතකය සිහිපත් කළ ගයාන්ට පොලිස් නිලධාරින්ට වෙඩි වැදුණු අවස්ථාවේද තම මෑණියන්ගේ අකල් මරණය සිහිපත් විය.
පොලිස් නිලධාරින්ගේ දැඩි ඉල්ලිම මත පොලිස් දෙපාර්තමේන්තුවෙන් ලබාදුන් ප්රශංසාත්මක ත්‍යාගය ලබාගැනීමට ගයාන් පසුගිය 26 වැනිදා මාතර පොලිස් අධිකාරි කාර්යාලයට පැමිණියේය. එදින ගයාන් සමඟ ප්‍රභාත් ගාමිණි, මහේෂ් සුරංග, දසුන් රංගන සහ සුනන්ද යන අයටද පොලිස් නිලධාරින් රෝහල්ගත කිරීමට ඉදිරිපත් වූ හෙයින් පොලිස්පති සුරතින් ත්‍යාග මුදල් පිරිනැමිණි.
“මං මේ මුදල් ප්‍රමාණයට මගේ අතිනුත් තවත් මුදල් ප්‍රමාණයක් යොදලා ජනතාවටම සේවයක් කරනවා.”
ඒ අනුව ගයාන් එම මුදල් ප්‍රමාණය නුදුරු දිනෙකදී මාතර රෝහලට හෝ පොලිස් නිලධාරින්ගේ සුබසාධන කටයුත්තකට හෝ යොදන බව කීවේය. මාතර මංකොල්ලයේදී නිහඬ සේවයක් කරමින් වීරයකු වූ ගයාන් වැනි පුද්ගලයන් තවත් වේනම් අප රටට කෙතරම් අගනේ ද?
ඡායාරූප දෙවුන්දර සමූහ - චමින්ද වන්නිආරච්චි