
මෙරට දුම්රිය මාර්ග පද්ධතියේ කෙටි දුරක් තුළ ඉහළ උසකට ළඟා වන දුෂ්කර මාර්ග කොටසක් ලෙස රඹුක්කන - කඩුගන්නාව දුම්රිය මාර්ග කොටස හැඳින්විය හැකිය. ඒ ආශ්‍රිත සුවිශේෂී ස්ථාන සහ ඉංජිනේරුමය නිමැවුම් සොයා කඩුගන්නාවේ සිට පාගමනින් දුම්රිය මාර්ගය දිගේ යන සංචාරයක් ඇසුරෙන් සැකසෙන ලිපි පෙළක පෙර කොටස් පසුගිය සිළුමිණේ පළවිය. මේ සතියේ පළවෙන්නේ එහි පස්වැන්නයි.
බලන දෙසින් Sensation Rock මාර්ග කොටසට පිවිසෙන විටම ඇත්තේ ගල්පර්වතයේ සැකසූ කුහරයකි. කඳු මුදුනෙන් ගලා එන ජල පහරක් කළමනාකරණය පිණිස දුම්රිය මාර්ග ඉංජිනේරුවන් විසින් සකසා ඇති මෙම කුහරයට උඩින් රේල් පාර යන්නේ කුඩා පාලමකිනි. නමුත් ඒ පාලම ඉදිව ඇත්තේ දුම්රිය මාර්ගයට අඩි දෙකක් පමණ පහතිනි. බැලූ බල්මට එය සුද්දාට සිදුවූ වැරදීමක් ලෙස කිසිවෙකු අවබෝධ කරගන්නට ඉඩ තිබේ. එහෙත් දෙපස රේල්පීලි එළා දුම්රිය මාර්ගය සකසන්නටත් පෙර මාර්ගය සැලසුම් කරන අවස්ථාවේම මෙම පාලම රේල් පාරට අඩි දෙකක් පහතින් නිර්මණය කර ඇත්තේ අපූරු අවශ්‍යතාවක් වෙනුවෙනි.
ඒ පීලී එළිමට ශුද්ධ කර මට්ටම් කළ පාරදිගේ අශ්වයන් පිට පැමිණි ඉංජිනේරුවන්ට ඉදිරියට යෑම පහසු වනු පිණිසය. ඒ නිසා මේ පාලමට කියන්නේ කුදිර පාලම කියාය. බැලස්ට් ගල් අතුරා සිල්පර යෙදූ පසු කුදිර පාලම මාර්ගයෙන් අඩි දෙකක් පමණ පහළ ගිය අතර ඒ පරතරය පියවීමට අමතර සිල්පර යොදා සකසා ඇත. සමහර පැරැන්නන්ගේ මතය අනුව නම් පැවසෙන්නේ ඉංග්‍රීසි අසරුවෝ මෙම පාලමට ඉහළින් අසු පන්නා ගොස් ඇති බවයි. කුහරයේ දිග අඩි 28කට වැඩි නිසා එපමණ දුරක් අසු පන්නාගෙන යෑමට හැකි දැයි නොදන්නා මුත් එසේ අසු පන්නාගෙන යෑමට හැකි නම් පාලමක් අවශ්‍ය වූයේ ඇයිද යන්න විමසිය යුතුය. කුදිර පාලම අසල ගල් කුළේ පැහැදිලි ඉංග්‍රීසි අකුරෙන් JAH OBEYSEKERE යනුවෙන් නමක් කොටා ඇත. ඒ මෙම ස්ථානයේ උප කොන්ත්‍රාත් කළ පුද්ගලයෙකුගේ නමද, නැතහොත් මෙම ස්ථානයෙන් වැටී මියගිය අයෙකුගේ නමක්ද යන්න විමසා බැලිය යුතුය.
කඩුගන්නාව රඹුක්කන අතර කොටසේ කුදිර පාලම් ඇත්තේ මෙම ස්ථානයේ පමණක් නොවේ. මෙයට පෙර වෙරළුගොල්ලේදීද කුදිර පාලමක් හමුවූ අතර ඉහළකෝට්ටේ සිට කඩිගමුව දක්වා මාර්ග කොටසේද කුදිර පාලම් හමුවීමට නියමිතය.
![]() |
එච්. එම්. විජේසිරි |
කුදිර පාලමත් පැන Sensation Rock මාර්ග කොටසත් පසුකර පහළට එද්දී ඉදිරියෙන් කෙහෙල්වරාව කන්ද පෙනෙන්නට ගනී. නමුත් දුම්රිය මඟ කෙහෙල් වරාව කන්දට මාරුවන්නේ තවත් කිලෝමීටරයක පමණ දුරකින් පසුවය. එතෙක් මොටන කන්ද බැවුමේ හමුවන්නේ ගෙවතු වගාවන්ය. දුම්රිය මඟ ඉදි කරන ලද සමයේ මෙම බිම් වන වැදී තිබුණ ද මේ වන විට ඒවා කෙමෙන් කෙමෙන් ජනාවාස වෙමින් තිබේ. ඔවුන්ගේ ගෙවතු වගා අතර අලිගැටපේර, රඹුටන්, මැංගුස්, කොකෝවා සහ දූරියන් ආදී ප්‍රියමනාප පලතුරු වර්ගද, සාදික්කා, කරාබු, ගම්මිරිස් වැනි කුළුබඩු වර්ගද, හීන් කොච්චි මිරිස්ද බහුලව දැකිය හැකිය.
මීළගට හමුවන්නේ අංක හත දරන බිංගෙයයි. ඉතා කෙටි බිංගෙයක් වන මෙහි දිග අඩි 133කි. මෙම බිංගෙයින් ඉහළ කන්දේ වගාකර ඇත්තේ රබර්ය. එහි ඇති විශේෂත්වය වන්නේ බිංගෙයට ඉහළින් මාර්ගයක් විහිදී තිබිමයි. රඹුක්කන - මාවනැල්ල ප්‍රධාන මාර්ගයේ හතේ කණුවේ සිට මාලියැද්ද හරහා ඉහළගමට මාර්ගය වැටී ඇත්තේ අංක හත බිංගෙයට ඉහළ රබර් වත්ත මැදිනි. ඉතා තෙත බරිත බිංගෙයක් වන මෙහි දැකිය හැකි තවත් සුවිශේෂී ලක්ෂණයක් වන්නේ බිංගෙය හැඩ දෙකකින් යුක්ත වීමය. එනම් කඩුගන්නාව අන්තයෙන් බැලූ විට සිහින් උස් හැඩයකටත්, රඹුක්කන අන්තයෙන් බැලූ විට පළල් කෙටි හැඩයකටත් දක්නට ලැබීමයි. වෙනත් දුම්රිය බිංගෙය වල දැකිය නොහැකි, සාමාන්‍ය මහා මාර්ගවල දැකිය හැකි ආකාරයට මෙම බිංගෙයි ඇතුළු බිත්ති වල පෝස්ටර් අලවා තිබෙනු දක්නටද හැකියාව ලැබිණි. ඒ අනුව ප්‍රදේශයේ ජනතාවගේ පාගමන් බිමන් මෙම බිංගෙය තුළින් සිදුවීම සාමාන්‍ය දෙයක් බව වටහාගත හැකිය. එයට වැදගත් සාක්ෂියක් සපයන්නේ බිංගෙය දෙපසින්ම කන්ද දෙසට වැටි ඇති අඩි පාරයි.
අංක හත බිංගෙය පසු කළ සැණින් අංක හය බිංගෙයද හමුවේ. එයද කෙටි බිංගෙයකි. දිග අඩි 104කි. එම බිංගෙය අවසන් වූ සැණින් හමුවන්නේ දෙකිඳ බැම්මය. දෙකිඳ බැම්ම ඉදිකර ඇත්තේ මොටන කන්දත් කෙහෙල්වරාව කන්දත් අතරය. දෙකිඳ බැම්ම යටින් ගලන දෙකිඳ ඇළ ආරම්භ වන්නේ බලන කොටුවට ඔබ්බෙන් වූ වෙල් යායකිනි. දේවගල කන්දෙන් පහළට වැටී ගලන එය අවසානයේ එකතුවන්නේ මා ඔයටය. අතීතයේ හතර කෝරලයේ සිට කන්ද උඩරටට පාගමන් මාර්ගය වැටී තිබී ඇත්තේ දෙකිඳ ඇළ ඉවුර ඔස්සේය. වෙනත් නව මාර්ග ඉදිවීම නිසා දැනට භාවිතා නොවන ගම් සභා පාරක් මෙම ඇළේ ඉහත්තාවෙන් පොත්තාපිටිය දෙසට පවතින බව අපට කීවේ වළගොඩ හිටපු ග්‍රාම නිලධාරී ඩබ්.ජී.කරුණාරත්න මහතාය.
බලන දෙසින් සහ පොත්තාපිටිය දෙසින් කඳු හතරක් ඔස්සේ උපදින වතුරෙන් පෝෂණය වන දෙකිඳ ඇළේ බැම්ම සවිමත්ව තනන්නට දුම්රිය මාර්ග ඉංජිනේරුවන් තීරණය කළේ වැසි සමයට මෙම ඇළ ඔස්සේ ගලන ජලයේ සැඩ පහර නිසාය. අඩි දහ අටක් පළල, අඩි පන්සිය හතළිහක් දිග දෙකිඳ බැම්ම දෙපසින් ගලෙන් බැඳ මැදින් පස් පුරවා ශක්තිමත් කළ එකකි. මේ බැම්ම පිරවීම සඳහා කියුබික් අඩි දෙලක්ෂ විසිදහසක පස් ප්‍රමාණයක් භාවිතා කළ බව කඳුකර දුම්රිය මාර්ග ඉදිකිරීම් අධීක්ෂණය කළ ෆේවිල් නම් ඉංජිනේරුවාගේ වාර්තාවල සදහන්ය.
අපි දෙකිඳ ඇළ මායිමෙන් බැම්ම පාමුලට බැස්සේ දෙකිඳ බැම්මට යටින් ඇති දෙකිඳ බෝක්කුව බලන්නටය. ඒ සඳහා අපට මඟපෙන්වන්නට පැමිණියේ විශ්‍රාමික දුම්රිය ස්ථානාධිපති එච්.එම්. විජේසිරි මහතා සහ ඔහුගේ පුත් මාවනැල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවර්ධන නිලධාරී එච්. එම්. නිපුන ඉඳුනිල් මහතාය. අඩි පාරක් දිගේ කුඩා නිවාස කිහිපයක් පසු කරගෙන දැඩි බෑවුමක් බට අපි, දෙකිද ඇළට බැස්සෙමු. යළි ඇළ දිගේ ගලින් ගලට පනිමින් දුෂ්කර ගමනකින් පසු දෙකිඳ බැම්ම අසලට එන්නට හැකියාව ලැබිණි.
දෙකිඳ බැම්ම ට පහළින් පිහිටි බෝක්කුව පතුලේ පළල අඩි විස්සකි. උස අඩි දොළහකි. බෝක්කුවේ දිග අඩි හැටකට වැඩිය. අර්ධ කවාකාර හැඩයක් සහිත බෝක්කුව දෙපස ඉහළට සහ පහළට අඩි හතළිහක් පමණ දුරට ගල් වැටියක් බැඳ ශක්තිමත් කර ඇත. එපමණක් නොව බෝක්කුවෙන් පහළ අතට අඩි හතළිහක් පමණ දුරට පැතලි ගල් අල්ලා ජල පහර සුමටව ගලා යන ලෙස සකසා ඇත.
![]() |
දෙකිඳ බෝක්කුව |
“අන්තිමට වැස්සේ ඊයේ උදේ…. දැන් මේ තියෙන්නේ සාමාන්‍ය වතුර පාර. උඩහ කඳු වලට වැස්ස වැටණු ගමන් අඩි හය හතක ජල කඳක් මේ බෝක්කුව යටින් ගලනවා… මහ විශාල ගස් විතරක් නොවෙයි, ගල් පවා ගහගෙන එනවා…. මේ තරම් ලොකු බෝක්කුවක් හදපු නිසා තමයි මෙච්චර කල් ඉරිතැළීමක් වත් නැතිව බැම්ම පරෙස්සම් වෙලා තියෙන්නේ…” එසේ පැවසුවේ මාකෙහෙල්වල පදිංචි විශ්‍රාමික දුම්රිය ස්ථානාධිපති එච්.එම්. විජේසිරි මහතාය.
Sensation Rock මාර්ග කොටසින් පසු කෑගල්ල දිස්ත්‍රික්කයට ඇතුළු වුණු දුම්රිය මඟ දෙකිඳ බැම්මෙන් පසු යළිත් ඉහළකෝට්ටේ දුම්රිය නැවතුම පසු කරන තුරු ගමන් ගන්නේ කෑගල්ල- මහනුවර දිස්ත්‍රික් මායිමට සමාන්තරව කැගල්ල දිස්ත්‍රික්කයෙනි. දිස්ත්‍රික් මායිම දිගේ ඉදිරියට යන විට හමුවන්නේ මාකෙහෙල්වල දුම්රිය නැවැතුමයි. එයත් පෙර හමුවූ වෙරළුගොල්ල නැවැතුම සේම කාර්ය මණ්ඩලයක් නොමැති වේදිකාවක් පමණක් ඇති නැවැතුමකි.
“ඕක ඇත්තටම තියෙන්නේ බඹරගල කියන ගමේ. ඒත් ඔය නැවැතුමෙන් වැඩියම ප්‍රයෝජන ගන්නේ මාකෙහෙල්වල මිනිස්සු. ඒ නිසා මුලින් බඹරගල හෝල්ට් කියල කියපු ඔය නැවැතුම පස්සේ මාකෙහෙල්වල හෝල්ට් වුණා….” විජේසිරි මහතා එම නැවැතුම ගැන පෙර අපර සන්ධි ගැළපූයේ එලෙසය.
“මාකෙහෙල්වල කියන නම වැටුණු හැටිත් අපූරුයි…ඉස්සර රඹුක්කන කෙහෙල් වලට ප්‍රසිද්ධයි. ඉස්සර මේ පැත්තේ හැම බිම් අඟලක්ම වවල තිබුණේ කෙසෙල්. පොත්තපිටිය පැත්තෙන් අලගල්ලට, මොටනට ආවහම මේ පැත්ත පේන්නේ වළක්වගේ…. මහ විශාල යායක් විදිහට කෙහෙල් වවා තිබුණු වළ කියන අරුතෙන් මෙහෙට කිව්වේ “මහ කෙහෙල් වල” කියලා… ඒක තමා මාකෙහෙල්වල වුණේ.” තම ගමට නම ලැබුණු සැටි එච්.එම්. විජේසිරි මහතා පැහැදිලි කලේ එලෙසිනි.
මාකෙහෙල්වල පසු කරගෙන එන විට හමු වන්නේ දෙවසරකට පෙර මහ වැසි දිනයක නාය යෑමට හසුවූ ස්ථානයකි. එදා එම අවස්ථාවේදී කෙහෙල්වරාව කන්දේ සිට ගලන අභ්‍යන්තර දිය පහරක් පොළොව මතුපිටට මතුවී දුම්රිය මාර්ගය ගිලා බැසීමට ලක්විණි. පසුව සති කිහිපයක ඉංජිනේරුමය ක්‍රියාකරකම් වලින් පසු දුම්රිය මර්ගය යථා තත්වයට පත් කළත්, තවමත් දුම්රිය මාර්ග අංශය එම ස්ථානයේ වැඩබිමක් පවත්වාගෙන යන්නේ අවදානම තවදුරටත් පවතින නිසාය. පැමිණෙන සෑම දුම්රියකම වේගය සීමා කර, කොඩිකරුවෙකු ලවා සංඥා කරමින් ඉදිරියට ගැනීම එහිදී සෑම විටෙකම සිදුකෙරේ.
![]() |
ලංකාවේ විතරක් තියෙන රම්පාල සිග්නල් කණුව |
එම වැඩබිම අවසානයේ ඇත්තේ අපුරු සංඥාවකි. සමාන ප්‍රමාණයේ රේල් පීලි කැබැලි දෙකක් තිරස්ව, එකිනෙකට සමාන්තරව සවි කර, රතු පැහති තීන්ත ආලේප කර ඇති මෙම සංඥාව සුදු පැහති සිරස් පීල්ලක සවි කර ඇත. ලෝකයේ වෙනත් කිසිදු රටක දුම්රිය මාර්ගයක දක්නට නොමැති බව කියැවෙන මේ සංඥාවට දුම්රිය රියැදුරන් කියන්නේ “රම්පාල සිග්නල්”කියාය.
එම සංඥාව 1970 න් පසුව මෙරට දුම්රිය මාර්ග පද්ධතියට එක් වු බව පවසන දුම්රිය පිළිබඳ ගවේශකයෙකු වන නලින් අබේසිංහ මහතා එම සංඥාව මෙරට දුම්රි මාර්ග පද්ධතියට එක්වූ ආකාරය පැහැදිලි කළේ මෙලෙසනි.
“1968 අග හෝ 69 මුල් කාලයේ W1 එන්ජින් ලංකාවට ගෙනාව කාලේ ඒ දුම්රිය එන්ජින් අත්හදාබැලීම් සදහා රජරට රැජින දුම්රියට එක දවසක යොදවල තියනවා. එදා දුම්රිය පදවා ගෙන ගිහින් තියෙන්නේ එවකට දුම්රිය සාමාන්‍යාධිකාරි රම්පාල මහතායි. මම අහල තියන විදියට මේ කියන සංඥා පසු කර යෑම නැත්නම් signal overshoot වීම සිද්ධ වෙලා තියෙන්නේ තලාව දුම්රිය ස්ථානයේ දීයි. රැජිනට තලාවෙ outer home signal එක දීල තිබිල නෑ. ඒක දැකලා රම්පාල මහත්තය දුම්රියට බ්රේක් ඇප්ලයි කළත් සිග්නල් එක පහුවෙලා තමයි දුම්රිය නැවතිලා තියෙන්නේ. ඒ වෙලාවෙ එන්ජිම හැදුව කම්පැනියේ ජර්මන් සුද්දො දෙන්නෙකුයි D.I.M (දිස්ත්‍රික් යාන්ත්‍රික පරීක්ෂක ) ජයසිංහ කියල මහත්මයෙකුයි ප්‍රේමසිරි කියල දුම්රිය රියැදුරු මහත්මයෙකුයි කැබ් එකේ ඉදලා තියනවා. මේ සිද්ධියට තමයි ජයසිංහ මහත්මයා ලිඛිතව නිදහසට කරුණු දෙන ලෙස රැජින රියදුරු එහෙම නැත්නම් දුම්රිය සාමාන්‍යාධිකාරිට නියෝග කර සිටින්නඉතින් අනුරාධපුරය දුම්රිය ස්ථානයේ දි රම්පාල මහතා නිදහසට කරුණු දුන්නලු මෙහෙම..I put the break,but train overshoot the signal.”
![]() |
කුදිර පාලම |
“ඉතින් දුම්රිය සාමාන්‍යාධිකාරි ගෙන් නිදහසට කරුණු අහන්න දිස්ත්‍රික් යාන්ත්‍රික පරීක්ෂකට බලයක් තියෙනවද?”
“මේක අද කාලේ වෙච්ච එකක් නොවෙයි… සාමන්‍යාධිකාරි වුණත් ඒ මොහොතේ කරල තියෙන්නේ රියැදුරු රස්සාව. දුම්රියක් සිග්නල් එකක් දීලා නැති විට ඒක පසු කර යෑම තදබල වැරැද්දක්. ආයතන සංග්‍රහයෙ පළවෙනි උපලේඛනය යටතේ චෝදනා පත්‍රයක් නිකුත් කරන්න පුළුවන් වැරැද්දක්.”
මේ මාර්ග කොටස ගැන ඔබ දන්නා විස්තර වේ නම් [email protected] ඊ ලිපිනයට දන්වන්න.
ස්තූතිය - අවසර ගැනීම් සම්බන්ධීකරණය කළ ජ්‍යෙෂ්ඨ දුම්රිය රියදුරු සමන් ගුණවර්ධන මහතාට, දුම්රිය දෙපාර්තමේන්තුවේ පරිපාලන නිලධාරී (සම්බන්ධිකරණ ලේකම්) විරාජ් නානායක්කාර මහතාට, තොරතුරු තහවුරු කර ගැනිමට සහය වූ කොටුව දුම්රිය මාර්ග අධීක්ෂණ කළමනාකරු ඇන්ටන් වික්‍රමරත්න මහතාට, නාවලපිටිය ප්‍රවාහන අධිකාරී කාර්යාලයට සහ ගමන ගවේෂණ කණ්ඩායමට
ආරුක්කු පහක් හදා හතරක්ම වසා දැමු අලගල්ලේ බෝක්කුව ගැන ලබන ඉරිදා සිළුමිණේ….