
අද සමාජයේ අපට අසන්න ලැබෙන බොහෝ ඛේදවාචකවල පසුබිම සොයා බැලුවොත් පෙනී-යන කරුණක් තමයි මේවාට හේතුව ‘ඉවසීමක් නැතිකම’ බව. අධිකරණ කටයුතුවලදී ‘ඉක්මන් කෝපය’ යන නමින් හැඳින්වෙන්නේත් මෙයමයි. සමාජයේ තැනුම් ඒකකය වන පවුල් සංස්ථාව ගත්තත්, රටට නීති සම්පාදනය කරන පාර්ලිමේන්තුව ගත්තත් මේ ඉවසීමක් නැතිකම කරණ කොටගෙන විවිධ අර්බුද හටගන්නා අන්දම අපට නිරීක්ෂණය කරන්න පුළුවන්. මේ ගැටුම් ඇතැම් අවස්ථාවල කෙළවර වන්නේ ජීවිත හානි පවා සිදු කරමින්.
බුදු දහමේ ‘ඛන්තී පරමං තපෝ තිථික්ඛා’ ‘ඉවසීම උතුම් සීලයයි’ යනුවෙන් ඉවසීම හඳුන්වා දෙන්නේ මේ නිසයි. එතරම් ශ්‍රේෂ්ඨයි මේ ඉවසීමේ ගුණය.
දැන් අපි මේ ඉවසීම පුරුදු-පුහුණු කළ යුත්තේ කෙසේද කියා විමසා බලමු. ඉවසීම ප්‍රගුණ කිරීමට පළමුව ප්‍රගුණ කළ යුතු කාරණා කිහිපයක් තිබෙනවා. මොනවාද මේ කාරණා කිහිපය?
බුදුදහමේ උගන්නනවා මේන්න මේ විදිහට: ‘සීතස්ස වමෝ හෝති.’ සීතල ඉවසිය යුතුයි. දැන් සීතලයි කියා ප්‍රමාද වී අවදි විය යුතු නැහැ. එදිනට කළ යුතු වගකීම් යුතුකම් පැහැර-හැරිය යුතු නැහැ. සීතල කියන හතුරාගේ ග්‍රහණයට හසු වන නිවටයකු නොවිය යුතුයි. උෂ්ණත්වය ඉවසිය යුතුයි. අද රස්නෙයි කියා කළ යුතු වැඩ, වගකීම් පැහැර-නොහැරිය යුතුයි. කුසගිනි ඉවසා ගත යුතුයි. ආහාර ප්‍රමාද වුව හොත් හෝ නොලැබුණ හොත් කුසගිනි ඉවසා සිටිය යුතුයි ආහාර ලැබෙන තුරු. කුසගිනි නිසා අධික කෝපය ඇති වනවා ඇතැමකුට. එසේ නොකළ යුතුයි. පිපාසය ඉවසිය යුතුයි. යම් පිපාසාවක් දැනුණු මොහොතේම අැතැම් විට දිය නොලැබෙන්න පුළුවන්. එහෙත් අප ඒ පිපාසාව ඉවසිය යුතුයි. අවස්ථාව ලැබෙන තුරු ඉවසිමෙන් කල් ගත කළ යුතුයි.
ඉන් අනතුරුව බුදු දහමේ ඉගැන්වෙනවා මැසි-මදුරු උවදුරු ඉවසිය යුතුයි. අද වන විටත් මේ මැසි-මදුරුවන්ගේ පීඩා බොහෝ උග්‍ර ආකාරයට ඇති වී තිබෙනවා. මදුරුවන්ගේ පීඩා ඉවසිය යුතුයි. සතකු මරන විට ඒ සතාගේ ලේ අපේ අතේ ගෑවෙනවා, අපේ සිත දුෂණය වනවා. මගේ අතේ මේ ලේ තැවරුණේ ජීවිතයක් ජීවිතයක් නැති කරලා කියා සිතුවොත් එය වඩාත් වැටහෙනවා. අප මිය යන විට ජීවිතේ පිටිපස්සට හැරිලා ‘මම කවදාවත් ප්‍රාණඝාතයක් සිදු කර නැහැ’ කියා තුටු විය හැකි නම් එය ලොකු කුසලකර්මයක්. මදුරුවකු ඇඟට වහන හැම වෙලාවෙම මම ප්‍රාණඝාතය නොකරමි කියලා සිතන්න. මැසි-මදුරුවන් ඉවත් කරන්න ඕනෑ තරම් දේවල් තිබෙනවා, මරන්නම අවශ්‍ය නැහැ.
ඒ වගේම නපුරු කොට කියන ලද වචන ඉවසිය යුතුයි. නොසිතූ මොහොතක අැසෙන වචන ඉවසිය යුතුයි. තරහා උපදවාගත යුතු නැහැ. හිත අපිරිසුදු වෙච්ච වෙනත් කෙනක කියන දේට අප අපේ හිත අපිරිසුදු කරගත යුතු නැහැ. කනට ශබ්දය ඇසෙන විටම ‘කනට අමිහිරි ශබ්දයක් ඇසුණා, මේ තරහා අනිත්‍යයයි’ කියා මෙනෙහි කළ යුතුයි. ඒ ලෙස සිතා සිතට දැනෙන කේන්තිය දුරු කරගත යුතුයි.
ඊළඟට දේශනා කරනවා: කායිකව හට ගන්නා කටුක වේදනා තරහා උපදවාගන්නේ නැතුව ඉවසිය යුතුයි. ඒ වේදනාව දෙසට සිත යොමු කර ‘වේදනාවක්, වේදනාවක්, අනිත්‍යයයි’ කියා මෙනෙහි කළ යුතුයි. ලොකු වේදනාවක් එකපාරට ඉවසන්න අපහසුයි. මුලින්ම පුංචි වේදනාවක් ඉවසිය යුතුයි. ඉන් පසු ටිකෙන් ටික එහි අනිත්‍ය බව මෙනෙහි කරමින් ඉවසීම ප්‍රගුණ කළ යුතුයි. එවැනි වේදනා මෙන්ම මානසික වෙදනාද ඉවසිමට අප හුරු විය යුතුයි.
මෙහිදී මා ජාතක කතා අටුවාවේ එන එක්තරා ධර්මකථාවක් මතක් කරන්න කැමැතියි.
බුද්ධ කාලයේ ආරණ්‍ය සේනාසනයක හිටියා භික්ෂුවන් වහන්සේ නමක්. උන් වහන්සේ අනෙක් ස්වාමීන් වහන්සේට කිව්වා මගේ බඩේ අධික වේදනාවක් තිබෙනවා කියා. ඒ වෙලාවේ එම ස්වාමීන් වහන්සේ මුන් වහන්සේට ‘ඇවැත්නි, හොඳින් ඉවසන්න, අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් නුවණින් මෙනෙහි කරන්න,’ කියා පැහැදිලි කළා. උන් වහන්සේ මේ ආකාරයට දැඩි වේදනාව ඉවසාගෙන සිටින අවස්ථාවේ අවසානයේදී උන් වහන්සේගේ බඩ පැළිලා බඩවැල් ටික එළියට ආවා. අමාරුවෙන් එ බඩවැල් ටික යළිත් බඩ තුළට දාගෙන ගිහින් ඇහුවා ‘මම ඉවසුවා ඇතිද?’ කියා. තවත් ඉවසන ලෙස අවවාද ලැබුණා. අවසානයේ ඉවසීම ප්‍රගුණ කරමින් සිටි ඒ ස්වාමීන් වහන්සේ රහත් භාවයට පත් වුණා.
ඉවසීමේ ගුණය මේ තරම් ප්‍රබලයි. ඇත්තටම, වේදනාවකදී කෑගැහුවාට වේදනාව නැති වන්නේ නැහැ. ඒ නිසා වේදනාව ඉවසිය යුතුයි. නපුරු වචන ඉවසීමත් ඉතා වැදගත්. අප අහන්න කැමැති ප්‍රිය වචනම අපට හැම වෙලාවෙම අහන්න ලැබෙන්නේ නැහැ. අපට හිතෛෂීන් වුණත් කේන්තියෙන් ඉන්න වෙලාවක, වෙනත් කාර්යයක නියැළී ඉන්න වෙලාවක, අධික ලෙස කාර්යබහුල වේලාවක අපට හුරු-පුරුදු සෙනෙහෙබර ආදරබර වචනම අහන්න ලැබෙන්නේ නැහැ. අප ඒ වෙලාවට හිතන්න ඕනෑ ‘සියල්ල වගේ මේ දේවලුත් අනිත්‍යයි’ කියා. සෙනෙහස ලැබෙන කොට එය විඳගන්න, ආදර වචන විඳගන්න. ඒත් සිතන්න අවශ්‍යයි ‘නිරන්තරයෙන්ම ඒ සෙනෙහස වෙනස් වනසුලුයි’ කියා. ‘මේ සංඥාව වෙනස් වනවා, මේ වචන මේ හැසිරීම් වෙනස් වනවා’ කියා අප නුවණින් මෙනෙහි කළ යුතුයි.
අප එදිනෙදා ජීවිතේ මොනවාද ඉවසන්න අවශ්‍ය කියා අප මෙහිදී සිතිය යුතුයි. අපට ඉවසන්න වනවා නිවෙසේ ඇති යම් යම් අඩුපාඩු. ඒ සියලු දේලට කාටවත් චෝදනා කරන්න එපා. නිවෙසේ සියලු දෙනාගේම රාජකාරිය කියා සිතා නිවෙසේ සියල්ල ඉවසිය යුතුයි. සේවකයන්ට සුහදව ඒ පිළිබඳ ඉවසිය යුතුයි.
ආහාරයේ ඇති රසය අඩු වීම තුළ අමනාපකම් ඇති කරගත යුතු නැහැ. අප මේ ආහාර ගන්නේ අපේ කුසගිනි අඩු කරගන්න. අපේ කුසගිනි කියන්නේ තුවාලයක් නම් මේ තුවාලයට දාන බෙහෙත තමයි මේ ආහාරපාන. අපට අවශ්‍ය වන්නේ ආහාර නමැති බෙහෙතෙන් මේ තුවාලය හොඳ වනවාද කියන දේ විතරයි.
තමන් අකැමැති දෙයක් කවරකු හෝ කරනවා නම් එයත් ඉවසිය යුතුයි. අමිහිරි ශබ්දයක් ඇසුණත් එය ඉවසිය යුතුයි. මේ වගේ අප එදිනෙදා ජීවිතේ සිදුවීම් ඉවසිය යුතුයි. ඉන්ද්‍රිය සංවරය කියන්නේ මෙන්න මේ දෙට ඇස, කන, නාසය, දිව, ශරීරයට දැනෙන මේ වගේ දැනීම් ඉවසීමයි.
ඉන්ද්‍රිය සංවරයෙන් ලෙඩ රෝග පාවා පාලනය කරගත හැකියි. අපේ ජීවිතයට මේවා වඩා වැදගත් වෙනවා. ‘ඕපක්ඛ මිඛා ආබාධා’ - උපක්‍රම නිස හටගන්නා ලෙඩ රෝග, තමාගේ ක්‍රියාවන් නිසා හට ගන්නා ලෙඩ රෝග. ‘විෂම පරිහාරඛා ආබාධා’ - කය වැරදි ලෙස පරිහරණය කිරීම නිසා හටගන්නා ලෙඩරෝග. රෝගි අවස්ථාවලදීත් අප ඉවසිය යුතුයි. මෙයයි ඉන්ද්‍රිය සංවරය කියන්නේ.
දවසට වරක් බුදු ගුණ සිහි කරන්න ඕනෑ. මෛත්‍රී භාවනාව වඩනවා නම්, බුදුගුණ භාවනාව වඩනවා නම්, මහා මංගල සූත්‍රය දෙවරක් පමණ සිහි කරනවා නම් කායික මානසික ලෙස රෝග නිවාරණය වනවා. ශරීරයට වේදනාවක් දැනෙන විට බුද්ධානුස්සතිය මෙනෙහි කළ යුතුයි.
ඉවසීම ප්‍රගුණ කිරීමට මම භාවනා ක්‍රමයක් කියා දෙන්නම්. ඔබට පහසු වේලාවක පහසු තැනක ශරීරය සැහැල්ලුවෙන් තබාගෙන: ‘අනන්ත ගුණ ඇති ලොවුතුරා සම්මා සම්බුදු රජාණන් වහන්සේට නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා! මාගේ ජීවිතය පූජා කරමි. පූජා වේවා! අනන්ත ගුණ ඇති ශ්‍රී සද්ධර්මයට නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා! මාගේ ජීවිතය පුජා කරමි. පූජා වේවා! අනන්ත ගුණ ඇති ආර්ය මහා සංඝරත්නයට නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා! මාගේ ජීවිතය පූජා කරමි. පූජා වේවා! අනන්ත ගුණ ඇති මවුපියන්ට, ගුරු උතුමන්‍ට නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා! මාගේ ජීවිතය පුජා කරමි. පූජා වේවා! කියා සිතමින්... ඉන් අනතුරුව ඒ භාග්‍යවතුන් වහන්සේ සියලු කෙලෙස් සතුරන් නැසූ සේක, ආමිස පූජාවට ප්‍රතිපත්ති පුජාවට සුදුසු වන සේක, රහසින් වත් පව් නොකළ සේක, භාග්‍යවතුන් වහන්සේ අරහං වන සේක... යනාදි වාක්‍ය නැවත නැවත සිතන්න.
එකම ඉරියවුවෙන් සිටිමින්, ඉවසීමෙන් මේ භාවනාව කළ යුතුයි. මෙය ඔබට නිසැකවම ඉවසීම ප්‍රගුණ කළ හැකි ක්‍රමවේදයක්. භාවනාවෙන් ඔබේ ප්‍රඥාව දියුණූවද සැලසේ.