ඉංග්‍රීසි පිටපත සිංහ­ලයට හරවාගෙන ප්‍රවෘත්ති කිව්වා | සිළුමිණ

ඉංග්‍රීසි පිටපත සිංහ­ලයට හරවාගෙන ප්‍රවෘත්ති කිව්වා

• ඔබේ ළමාවිය මතක කෙබඳුද?

මම ඉපදුණේ දකුණු පළාතේ බලපිටිය, හීනටියන. හැබැයි මම එහෙ ඉපදුණා විතරයි, ජීවත් වුණේ නෑ‍. තාත්තා හිටියෙ රාගල නිසා මං පුංචි කාලෙම අපි රාගලට ආවා. මුලින් ම මම පාසල් ගියේ රාගල සිංහල මිශ්‍ර පාසලට. එකේ දෙකේ වගේ පන්තිවල යනකම් මං ඉගෙන ගත්තෙ මේ පාසලේ. ඊට පස්සෙ මම නුවරඑළිය කන්‍යාරාමයට ගියා. නුවරඑළිය කන්‍යාරාමයට සැතපුම් 13 ක් යන්න එන්න තිබුණා. මේ ගමන දුෂ්කර නිසා තාත්තා මාව මහනුවර බෙරවඩ්ස් විද්‍යාලයට ඇතුළත් කළා. ෆාදර් බෙරවඩ්ස් මාව 4 පන්තියට ඇතුළත් කරලා පසුව 5 පන්තියට දැම්මා. ඊට පසු නැවතත් 7 පන්තියට ඩබල් ප්‍රමෝෂන් එකක් ලැබුණා. මේ විද්‍යාලයේ අධ්‍යාපනය විනය හොඳ මට්ටමක තිබුණත් යන්න පුළුවන් වුණේ 8 පන්තියට විතරයි. එස්.එස්.සී. විභාගය කරන්න වෙනත් පාසලකට යා යුතු වුණා.

ඒ වෙනකොට අපි පදිංචි වෙලා හිටියෙ මහනුවර අම්පිටියෙ. මාව මහනුවර කන්‍යාරාමයට ඇතුළත් කළා.

• පාසල් අධ්‍යාපනය අවසන් කළ පසු ඔබ මොකද කළේ?

මම කොළඹ විශ්වවිද්‍යාලයේ ඩිප්ලෝමා පාඨමාලාවක් කළා. මේ පාඨමාලාව සවස් කාලයේ පැවැත්වුණේ. ආර්ථික වශයෙන් අග හිඟකම් තිබුණා. ඒ නිසා මම ‍උදේ වරුව ඉස්කෝලෙක ඉගැන්නුවා. ඒකෙන් වියදමට අවශ්‍ය මුදල් සොයාගත්තා. අවුරුදු 3ක පාඨමාලාවක් කළා.

• ඔබ ලංකා ගුවන් විදුලියට සම්බන්ධ වුණේ කොයි කාලෙද?

මේ පාඨමාලාව අවසන් වනවාත් සමඟම වගේ. මට රැකියාවක් නැතිව වැඩි කලක් ඉන්න වුණේ නෑ. ගුවන්විදුලියට නිවේදක/ නිවේදිකාවන් බඳවා ගැනීමට පුවත්පත් දැන්වීමක් පළ වෙලා තිබුණා. මමත් අයදුම්පත්‍රයක් දැම්මා. හැබැයි, මේ රාජකාරිය මොකක්ද කියල මම දැනගෙන හිටියෙ නෑ.

කටහඬ පරීක්ෂණයෙන් මාවත් තෝරාගත්තා. මට පත්වීම් ලැබුණා. මම යන කොටත් කරුණාරත්න අබේසේකර සහ එච්.එම්. ගුණසේකර හිටියා. ඊළඟට වර්නන් පෙරේරා, මම. මට පසුව සයිරස් සුරේන්ද්‍ර. ඒ මුල් කණ්ඩායම අපි පස්දෙනයි. අපට වැඩිය වැඩසටහන් කරන්න තිබුණෙ නෑ. නිවේදක තනතුරේ රාජකාරි කරන්න තිබුණා. දැන් වගේම උදේ, දවල්, රාත්‍රී ප්‍රවෘත්ති තිබුණා. බුලටින් එක ඉංගිරිසියෙන් තිබුණා. අපි ඒක සිංහලට පරිවර්තනය කරලා ඉදිරිපත් කරන්න ඕන. ඉංගිරිසි පිටපතේම සිංහලෙන් ලියාගෙන අපි ප්‍රවෘත්ති ඉදිරිපත් කළා. ඒක තමයි අපේ ප්‍රමුඛ රාජකාරිය වුණේ.

• වැඩසටහන් ඉදිරිපත් කිරීමේදී විශේෂයෙන් උපදෙස් ලැබුණාද?

වැඩසටහන් හුඟක් කරන්න තිබුණෙ නෑ. එහෙම කරන්න තරම් පිරිසක් හිටියෙත් නෑ. රජයේ වැඩපිළිවෙළ, ප්‍රතිපත්තිවලට අනුව මහජනයා දැනුවත් කිරීම අපට කරන්න තිබුණා. ඉහළින් එන නියෝග අනුව අපි වැඩ කළා.

ජාතික මට්ටමේ වැඩපිළිවෙළට ගැළපෙන විදිහට මිනිසුන්ගේ මනස - ආකල්ප ගොඩනැඟීමට හේතු වන වැඩසටහන් අපි කළ යුතු වුණා. උදාහරණයක් දුන්නොත්, මට මතක හැටියට කා හාල් සේරු 2 ක සහනාධාරයක් ජනතාවට ලැබුණා. ලෝක බැංකුව උපදෙස් දීල තිබුණා එහෙම නිකම් දෙන්න බෑ, දෙන්න බැරි ඇයි කියල මහජනයාට තේරුම් කරන්න කියලා. දැන් මේ උපදෙස අපට ලැබුණාම මහජනයාට එය තේරුම් යන අන්දමින් වැඩසටහන් කිරීම අපේ කාර්යය වුණා.

• මේ කොයි කාලෙද?

මට මතක හැටියට 50’ දශකය මුල් භාගය. අර උපදෙස අනුව එක හාල් සේරුවක් දීලා අනෙක කැපුවා. කැපුවෙ ඇයි කියන එක මිනිසුන්ට අව‍බෝධ කර දීමට අපි වැඩසටහන් කළා. ඒ වගේ ම අනෙක් හාල් සේරුව සොයාගැනීමට විකල්ප අනුගමනය කිරීම ගැන යම් මඟ පෙන්වීමකුත් කළා. වගාවට දිරිගැන්වීමකුත් වුණා කියල මම සිතනවා. මොකද, මින් ඉදිරියට සහල් නිකම් ලැබෙන්නේ නැති බව මිනිස්සු අවබෝධ කරගත්තා.

අපට ඕනෑ දේවල් ප්‍රචාරය කරන්න අපට අයිතියක් හෝ අවසරයක් තිබුණේ නෑ. ජාතික ප්‍රතිපත්ති වලට ගැළපෙන වැඩසටහන්ම කිරීමට අපට උපදෙස් ලැබුණා. ඇත්තටම අපි වෙහෙස මහන්සි වී වැඩ කළා. මට මතකයි අපි ‘ගොවිරජා’ කියල ලංකාවම ආවරණය වන වැඩසටහනකුත් කළා. ගොවීන් දිරිමත් කිරීම මේවායින් සිදු වුණා. ඒකෙ ප්‍රතිඵලය වුණේ ආහාර නිෂ්පාදනය වැඩි වීම.

• නිවේදන කටයුතු සඳහා ඔබ පුහුණුව ලැබූ අයුරු ගැන යමක් කිව හැකිද?

විශේෂයෙන් පුහුණුවක් ලැබුවේ නෑ. මට මතක හැටියට මගේ මුල්ම දවසෙම, 1951 අප්‍රේල් 11 වැනිදා නිවේදන කටයුතු කරන්න වුණා. වැඩකරමින් ම තමයි පුහුණුව ලැබුවේ. ලොකු වගකීමක් තිබුණා. විශේෂ පුහුණුවක් නැතත් කරුණාරත්න අබේසේකර මහත්මයා මම ‘දිවා ගී’ වැඩසටහන වගේ ඒ මුල් වැඩසටහන් ඉදිරිපත් කරන විට මැදිරියේ මා අසල සිටගෙන සිටිමින් අවශ්‍ය උපදෙස් දුන්නා. මගේ මුල් ගුරුවරයා ලෙස මම ඔහුව සලකනවා. මාස්ටර් ෆේඩරය ගැන, ගීත තැටි විකාශය වන ෆේඩර ගැන එහෙම මාව දැනුවත් කළා අදටත් මතකයි.

• ඒ වකවානුවේ වැඩසටහන් ඉදිරිපත් කරන විට මොන වගේ සූදානමක් ද තිබුණේ?

ගීතයක් ප්‍රචාරය කරන විට වුණත් නිවේදකයා හෝ නිවේදිකාවට ඒකෙ පද රචකයා සංගීතඥයා ගැන ඒ ගීතයේ පසුබිම ගැන යම් අවබෝධයක් තිබීම අවශ්‍යයි. නිකම්ම මේ ගීතය ගයන්නේ අසවලා, කියනවාට වඩා ශ්‍රාවකයාට යමක් දෙන්න පුළුවන් වෙන්නේ එවිටයි. ඒ නිසා අපි මේවා ගැන දැනගැනීමට උනන්දු වුණා. නිවේදන කටයුතුවලට පමණක් සීමා නොවී අනෙක් නිෂ්පාදන ආදී කටයුතුත් කළා. පිටපත් රචනා කළා. ඒ ලබපු ප්‍රායෝගික පුහුණුව හා අත්දැකීම් පසුකාලීනව ඉතාමත් වැදගත් වුණා.

ගුවන්විදුලි මාධ්‍යය තුළ කටයුතු කිරීමේදී ශ්‍රාවකයාට අපි කියන දේ මනසේ රූප රාමු මවා ගැනීමට හැකිවන පරිදි ප්‍රබලව හා නිර්මාණාත්මකව ඉදිරිපත් කිරීමයි වැදගත්. ඔවුන් රූපය මවා ගන්නේ අප කරන විස්තරය අනුවයි. මිනිසුන්ගේ පරිකල්පන ශක්තිය දියුණු කිරීමටත් ගුවන්විදුලි නිවේදකයා හෝ නිවේදිකාවට වැදගත් කාර්යභාරයක් ඉටු කළ හැකියි.

• ගුවන්විදුලි ජීවිතයේ විශේෂ මතක සටහන් ලෙස සඳහන් කළ හැකි අවස්ථා තියෙනවාද?

අද නම් බොහෝ විට නිවේදකයා කරන්නේ නිවේදක කාර්යභාරය පමණයි. ඒත් අපේ කාලයේ එසේ නොවෙයි. මං නිවේදිකාවක් හැටියට කටයුතු කරන අතරම නිබන්ධ සම්පාදක හැටියටත් කටයුතු කරන්න ලැබුණා. ඒ කියන්නෙ මම මාසයකට වරක් පැයක වැඩසටහනකට පිටපතක් ලිවිය යුතුයි. බොහෝ විට මාතෘකාව දුන්නා. වැදගත් අවස්ථා, ජාතික උත්සව වගේ ඒවා තමයි බොහෝ විට කරන්න ලැබුණෙ. මේක පහසු කාර්යයක් වුණේ නැතත් මම කැමැත්තෙන් කළා. මේ වගේ වැඩසටහනක් ඉදිරිපත් කිරීමේදී පිටපත ලිවීම වගේ ම අවශ්‍ය හඬවල්, ගීත ආදියත් සපයාගත යුතුයි. අද නම් දඹදිව ගැන රූපවාහිනියෙන් හරි දැකලා මිනිසුන්ට අවබෝධයක් තිබෙනවා. එදා එහෙම නෑ‍. වචනවලින් ඉදිරිපත් කරන විස්තරය අනුව රූපය මවා ගත්තා. ඒක හුඟක් වගකීමෙන් කළ යුතු දෙයක්.

• ඔබ ගුවන්විදුලියේ නිත්‍ය සේවයට සමුදෙන්නෙ කොයි කාලෙද?

මම අභ්‍යාස ආයතනයේ අධ්‍යක්ෂ වශයෙන් කටයුතු කරද්දී තමයි ස්ථිර සේවයට සමුදුන්නෙ. ඉන් පසුව 1984 දී, ස්වාධීන රූපවාහිනිය ආරම්භ කළ වකවානුවේම ඊට එක්වුණා. වසර ගණනාවක් ඒ ආයතනයේ සේවය කළා. අපි වැඩ කළ වකවානුවේ පහසුකම් තිබුණේ සීමිතවයි. අද වගේ විශාල පරිශ්‍රයක් තිබුණෙත් නෑ. ගුවන්විදුලි අභ්‍යාස ආයතනයේ ප්‍රවෘත්ති/ වැඩසටහන් පටිගත කරලා පටිය පන්නිපිටිය විකාශනාගාරයට වාහනයකින් ගෙන ගොස් එහි සිට විකාශනය කිරීම සිදුවුණා. පසුකාලීනව ස්වාධීන රූපවාහිනී සේවය වික්‍රමසිංහපුර ස්ථානගත කළාට පසුව පහසුකම් ද දියුණු වුණා. අපි වැඩ කළ මුල් කාලයේ තිබුණේ කාමර 3ක් විතර. නිෂ්පාදනය, ප්‍රචාරය ආදී සියල්ල කළේ ඒ පරිශ්‍රයේ. අද තත්ත්වය ඉතා දියුණුයි.

• මාධ්‍ය ජීවිතයේ අභියෝගාත්මක වූ අවස්ථා ගැන සිහිපත් කළ හැකිද?

අපි ළාබාල වයසින් මේ ක්ෂේත්‍රයට එක්වුණ නිසාත් තේවිස් ගුරුගේ වගේ ප්‍රවීණයන්ගේ මඟ පෙන්වීම ලබා තිබූ නිසාත් ගුවන්විදුලියේ තොම්ප්ටන් වගේ ප්‍රධානීන් යටතේ කටයුතු කිරීමෙනුත් අපි විශාල පන්නරයක් ලැබුවා. ඒ කාලෙ සිංහල, ඉංගිරිසි ආදී අංශ වශයෙන් භේදයක් තිබ‍ුණෙත් නෑ. විනයත් ඉහළ මට්ටමක තිබුණා. සමාජයෙන් විනය හොඳ තත්ත්වයක තිබුණේ.

අද තරම් තරගකාරී නොවුණත් තරගකාරී බවකුත් තිබුණා. විශේෂයෙන් කාන්තාවන් ඉදිරියට එනවට පිරිමි පාර්ශ්වය ඒ කාලයෙත් අකැමැතියි. ඒත් හරියට වැඩ කළා නම් කැපිලි කෙටිලි ආවේ නෑ‍. මං ගුවන්විදුලියට ගිය මුල් ම දවසෙත් කරුණාරත්න අබේසේකර මහත්තයාට තමයි මට තැටි ගබඩාව හා ඒ ඒ මැදිරි, අංශ පෙන්වන්ට පැවරුණේ. එතුමා ඉතා හොඳින් එය කළා‍. අපේ කාලයේම කටයුතු කළ එස්. පියසේන, සයිරස් සුරේන්ද්‍ර වගේ මහත්වරුන් ගුවන් විදුලි මාධ්‍යයේ දක්ෂයන් ලෙස මතුවුණා.

• ඔබ රූපවාහිනියටත් සම්බන්ධ වුණා?

ඔව්, රූපවාහිනි වැඩසටහන්වලට පිටපත් රචනයේදී සහාය වීම වගේ දේ කළා. රාජ්‍ය නායකයා ජාතිය අමතන අවස්ථාවක එය සිංහල පිටපතක් නම් ඉංගිරිසියට පෙරළීම, ඉංගිරිසි පිටපතක් නම් සිංහලට පෙරළීම බොහෝ විට සිදුවුණේ මා අතින්.

• මුවන්පැලැස්ස ගැනත් කතා කරමු....

මෑතක් වන තුරුම මුවන්පැලැස්ස නිෂ්පාදනය කළා. ගුවන් විදුලියේ නිත්‍ය සේවයට සමුදුන්නත් මේ වගේ කාර්යයන් නිසා දිගටම ගුවන් විදුලියත් සමඟ සිටියා.

• ඔබේ විවාහය සිදුවුණේ?

ප්‍රේම සම්බන්ධයකින්. විශ්වවිද්‍යාල අවදියේ තමයි ‍ ඔහු, ඩී.ඒ.එච්. ජයමාන්න මට හමුවුණේ. මං නුගේගොඩ සිට විශ්වවිද්‍යාලය එද්දි ඔහු හඳුනාගත්තා. අපි අතර ගොඩනැඟුණු ඒ සම්බන්ධය විවාහය දක්වාම ගියා.

• පවුලේ තොරතුරු කොහොමද?

අපට පුතාලා, දෙන්නෙක් ඉන්නවා. ලොකු පුතා පණ්ඩුක, පොඩි පුතා ප්‍රියන්ත. ලොකු පුතා බැංකු ක්ෂේත්‍රයේ. පොඩි පුතා ඉංජිනේරු ක්ෂේත්‍රයේ. ඔවුන් දෙදෙනාම විවාහ වෙලා දරුවන් සිටිනවා.

• දැන් ඔබ කරමින් සිටින්නේ?

දැන් මට අවුරුදු 87ක්. විවේකීව සිටිනවා. ඒත් මගේ බලාපොරොත්තුවක් තියෙනවා මට තවත් කල් තිබුණොත් හොඳ සිංහල පොතක් ඉංගිරිසියට පරිවර්තනය කරන්න. ගැඹුරු කෘතියක් නොවේ. අපේ දේවල්, සංස්කෘතිය ගැන විදේශිකයන්ට කියවා දැන ගත හැකි සරල හොඳ පොතක්.

• ඔබට එය කළ හැකියි. අපි සුබ පතනවා!

බොහොම ස්තුතියි! 

 

Comments