චීන කොරටුවේ චීන්නු කෝ... | සිළුමිණ

චීන කොරටුවේ චීන්නු කෝ...

ගාල්ලට චීන ජාතිකයෝ පැමිණියේ එක්දහස් අටසිය ගණන්වල ය. ඒ කම්කරුවන් හා සරණාගතයන් ලෙසය. ගාල්ලේ චීන කොරටුව ඔවුන් පැමිණ එලෙස පදිංචි වූ පෙදෙසයි. මේ චීන කොරටුවේ වර්තමාන කතාවයි.

බලන්න දැන් ගාල්ලේ චීන්නු පැළපදියම් වෙලා. චීන්නු ගාල්ලට ඇවිල්ලා චීන කොරටුව කියලා ගමකුත් හැදිලා. මේ විදිහට චීන්නු එන්න ගියොත් මුළු ගාල්ලම චීන්නු අල්ලා ගන්නවා. මැතිනියටත් අවශ්‍ය ගාල්ල චීන්නුන්ට දෙන්න."

එක්දහස් නවසිය හැට ගණන් වල පැවැති මහ මැතිවරණයකදී එක්සත් ජාතික පක්ෂයෙන් ගාල්ල ආසනයට තරග කළ විජයානන්ද දහනායක මහතා ඡන්දය දින්නේ එසේ කීමෙනි. ඔහු එකල දැඩි චීන විරෝධියෙක් විය. දහනායක මහතා චීනුන්ට විරුද්ධව කළ වේගවත් කතාව ගාලු ජනතාව විශ්වාස කළහ. ඒනිසාම මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය පරාජයට පත්වෙද්දී ගාල්ල ආසනය බේරා ගැනීමට විජයානන්ද දහනායක මහතාට හැකි විය.

දහනායක මහතා පිළිබඳ කතා බොහෝය. නමුත් මේ කතා අතරින් මගේ සිත ගියේ චීන කොරටුව ගැනය.

"කොහෙද චීන කොරටුව තියෙන්නේ"

" ගාල්ලේ තමයි"

මේ මතකය සිතේ තබාගෙන පසු ගිය දිනෙක අප ගාල්ලට ගිය ගමනකදි "චීන කොරටුව" ගැන විපරම් කරන්නට විමූ.

චීන කොරටුවට යන්නට ප්‍රේමවර්ධන කවියා අපට එක්කර දුන්නේ තල්ගම්පල කවියාය.

තල්ගම්පල කවියා ගමනට අප උනන්දු කළේ එසේය.

ගමන ඇරැඹියේ ගාල්ල බස් නැවතුම්පොළ ඉදිරියෙනි. ඒ සේලක බිල්ඩිමෙනි.

අපි ඉහළ මාලයට ගොඩවීමු. ඒ ගාල්ලේ පදිංචි පැරණිම චීන ජාතිකයා දැක ගැනීමේ තොරතුරු කතා කිරීමේ අරමුණිනි.

"තාත්තා ඉන්නවා."

චීන සහ දේශීය පෙනුමක් ඇති ඒ තරුණ කාන්තාව සුහද ලෙස අප පිළිගනිමින් පැවැසුවාය.

ඔහු අප ඉදිරියට ආවේ ප්‍රසන්න සිනහවකින් මුව සරසාගෙන ය.

"මම වොංග් ධර්මසේන."

වොංග් ධර්මසේන, මට ඔහුගේ නමින්ම මේ කතාව පටන් ගන්නට සිතුණි.

"මෙහෙමයි, මගේ තාත්තා ඒකාලේ ඒ කියන්නේ 1939 දී තමයි ලංකාවට ඇවිල්ලා තියෙන්නේ. ඒ කාලේ චීනයේ අභ්‍යන්තර යුද්ධයක් තිබිලා තියෙනවා. බොහෝ අය සරණාගතයෝ විදිහට ආසන්න රටවලට ගිහිල්ලා තියෙනවා. මගේ තාත්තාත් එහෙම තමයි ලංකාවට ඇවිල්ලා තියෙන්නේ. ඒ කාලේ ඔහුට අවුරුදු දාසයක් දාහතක් විතර ඇතිලු. ඔවුන් ‍ලංකාවට ඇවිල්ලා කරලා තියෙන්නේ රෙදි විකුණන එක. මගෙ තාත්තා ත්‍රිකුණාමලය, නුවර, අනුරාධපුරය වගේ නගරවලට ගිහිල්ලා රෙදි විකුණලා තියෙනවා. ඔය අතරේ තමයි ඔහු නුවරින් සිංහල කාන්තාවක් සමඟ විවාහ වෙලා තියෙන්නේ. මම ඉපදුණේ කොළඹ රත්නම් රෝහලේ. මම කොළඹ පාසල්වල ඉගෙන ගත්තේ. 1964 දී මම ගාල්ලට ආවා. දත් බඳිනවා කියනවා කියන එක චීන ජාතිකයන්ගේ ඇඟේම තියෙන දෙයක්. කලක් ගත වෙන කොට මම කල්පනා කළා මගේ අම්මා ශ්‍රීලාංකික කාන්තාවක්. මම ඉපදුණේ ලංකාවේ ඒ නිසා මගේ නමට සිංහල නමක් එක්විය යුතුයි කියලා හිතුවා. මං චීන ජාතිකයෙක් වුණාට චීන භාෂාව කතා කරන්න දන්නේ නැහැ. දැන් මගේ පවුලේ අය ජීවතුන් අතර නැහැ. අයියා නංගි අම්මා තාත්තා මැරුණා. මම විවාහ වුණේ දකුණු පළාතේ තරුණියක් සමඟ. ඇය රම්‍යලතා ගමගේ. මට දියණියන් හතර දෙනෙක් ඉන්නවා. එක දියණියක් මා සමඟ මේ ආයතනය කරගෙන යනවා. ඒ කාලේ දහනායක මහත්තයා චීන්නුන්ට විරුද්ධව කතා කළාට ඔහුම තමයි මගේ පුරවැසිකම හදලා දුන්නෙත්."

"අපි කෑම ගැන බොහෝම සැලකිලිමත් වෙනවා. අද රෑට අපි කන්නේ මුං පැල."

මම මේ කියන්න හැදුවේ මේ පැත්තට චීන කොරටුව කියලා නම හැදුණ හැටි. මෙතැනින් පිටිපස්සේ තියෙන්නේ චීන කොරටුව. අද නම් ඒ පැත්තට වෙන වෙන නම් කියනවා. ඔය හරියේ එක පැත්තකට ඒ කාලේ කිව්වේ කැකිරි බොක්ක කියලා. කැකිරිබොක්ක කියන්නේ යහමින් කැකිරි වැවුණ හරියක් කියලත් කියනවා. ඒ වගේම කඹබාන වත්ත කියලත් කියනවා. ඒ නම හැදෙන්න හේතුව තමයි ගාලු වරායට ආව රුවල් නැව්වලට අවශ්‍ය කඹ අඹරලා තියෙන්නේ ඒ හරියේ. වරායේ වැඩ කරපු චීන්නු පදිංචි වෙලා ඉදලා තියෙන්නේ ඔය පිටි පස්සේ. අද නම් ඒ තැන්වල කිසිම සලකුණක් නැහැ. ඔවුන් වැඩිපුරම ආහාරයට ගත්තේ ලූනූ කොළ රාබු ලීක්ස් වගේ දේවල්. මේ හරියේ පදිංචි වෙලා හිටපු චීන්නු එළවුළු වර්ග වවලා තියෙනවා. නමුත් අහල පහල හරක්ගෙන් බල්ලන්ගෙන් වගාවට හානි වෙන නිසා මේ අය ඉඩම්ට සත්තුන්ට එන්න බැරිවෙන්න කොටුකර තිබෙනවා. එහෙම වටකරපු නිසා තමයි ඒ හරියට මිනිස්සු චීන කොරටුව කියලා හඳුන්වලා දීලා තියෙන්නේ. එක්දහස් අටසිය ගණන්වල මැද හරියෙදි විතර තමයි ලංකාවට චීන්නු ඇවිල්ලා තියෙන්නේ. මේ අයගෙන් කොටසක් ආයෙමත් චීනයට ගිල්ලා තියෙනවා. නමුත් සමහරු සිංහල කාන්තාවන් සමඟ විවාහ වෙලා මෙහිම පදිංචි වී ‍තිබෙනවා. අද වෙනකොට ඒ චීන අයගෙන් පැවැත එන කවුරුවත් මේ චීන කොරටුවේ නැහැ. වොංග් ධර්මසේන අතීත තොරතුරු පැවැසීය.

අදට ද චීන කොරටුවේ යම් යම් ස්ථාන එකල හැදින්වූ නමින්ම හැදින්වේ. ඒ කැකිරිබොක්ක වත්ත, කඹබාන වත්ත, චීන වෙල ආදිය වේ. නමුත් එකල චීන කොරටුවට වඩා දැන් චීන කොරටුව වෙනස්ය. චීන කොරටුව යන්න සඳහන් වී ඇත්තේ ඡන්ද ලේඛනයට පමණක් සීමා වී ඇත. හැව්ලොක් පෙදෙස, මැද පාර, ආදි නම්වලින් මේ ප්‍රදේශය හඳුන්වනු ලැබේ.

ගාමිණී පාර දිගේ ගොස් අපි අතුරු මඟකට හැරුණෙමු. ප්‍රේමවර්ධන අයියා පැරණියන් සොයමින් ගෙයින් ගෙට යයි. අඩියෙන් අඩිය බිත්තියෙන් බිත්තිය යා වන ලෙස ඇත්තේ නිවාසය. ඒ නිවෙස් හිමියෝ ඇතැමෙක් රැකියාවලට ගොස්ය. ඇතැම් වයෝවෘද්ධ අයට දැන් පැරණි තොරතුරු කීමට තරම් මතකයක් නැත. චීන කොරටුවේ ඉතිහාසය සෙවීම හිතු තරම් ලෙහෙසි නැත. අවසානයේ අප නතර වුයේ හැත්තෑ එක් හැවිරිදි කරුණාවතී අම්මාගේ නිවෙස ඉදිරිපිටය.

"ඉස්සර නම් මේකට පොල්වත්ත පරාක්‍රම පටුමඟ කියලා කියනවා. දැන් නම් හැව්ලොක් ප්ලේස් කියනවා. ඒ වුණාට අපේ ඡන්ද ලේඛනයේ එන්නෙ චීන කොරටුව කියලා. දැන් නම් මේකේ එක චීනෙක් වත් නැහැ. එත් අර වොංග් මහත්තයා නම් ඉන්නවා. එයා තමයි මෙහෙ ඉන්න පරණම චීනා. අපේ අම්මලා කියනවා මතකයි ඉස්සර චීන්නු රෙදි ගෙනල්ලා ගාල්ලේ කොටුවේ විකුණනවලු. ඒ රෙදි පොට්ටනි අපට උස්සන්න බැරිලු. අපි මේ ඉන්න ගෙවල් අයිති එක් අයෙක්ට. මම අවුරදු හතරේ ඉදලා මේ ගෙවල් වල ඉන්නේ. අපි තාමත් ගෙවල් කුලිය හැටියට මාසෙකට රුපියල් දහයයි ගෙවන්නේ. අපිට මේ ගෙවල්වලින් යන්න කියලා වත්තේ අයිතිකාරයා නඩු දැම්මා. මම උසාවියට ගෙනිහිල්ලා පෙන්නුවා අපි අවුරුදු ගානක් තිස්සේ ගෙවල් කුලිය ගෙවපු බිල්පත්. අන්තිමට මේ ගෙවල් වල ජීවත් වන අයට උසාවියෙන් තීන්දුවක් දුන්නා ජීවත් වනතුරු ඉන්න කියලා."

කරුණාවතී අම්මා අපට තොරතුරු පවසන්නීය. ඔවුන්ගේ නිවෙස් වෙන්ව ඇත්තේ එක බිත්තියෙනි. නිවාස හයටම ඇත්තේ එක වැසිකිළියකි. එක් දහස් අටසිය ගණන්වලදි ගාල්ලේ චීන කොරටුවට පැමිණි චීන්නුන් පිළිබඳ තොරතුරු සොයා ගිය අපට අසන්නට ලැබුණේ එවැනි කතාවන්ය.

" ඉස්සර මේකේ චීන අවන්හල් තිබුණා. ඒවාට යන්න පුළුවන් චීන අයට විතරයි. නමුත් දැන් ඒ අවන්හල් නැහැ. මේ පැත්තේ දෙමළ, මුස්ලිම්, කතෝලික, ජා ආදී විවිධ ජාතීන්වල අය ඉන්නවා"

අතීතය සොයා පටු මං මාවත් දිගේ යන අතරතුර ප්‍රේමවර්ධන අයියා අප හා පවසයි. මේ ගමනේදී පනංගල ලියනගේ දේශප්‍රිය මන්ත්‍රී හමු වූයේ අතරමඟකදීය.

ඔහු කී ‍තොරතුරුය මේ.

"බද්දේගම පැත්තේ කුරුඳු, තේ අස්වැන්න වරායට ගේන්න ගිංගඟ හරහා එන අතුගංගාවකට සම්බන්ධ වෙන්න ඇළක් කපලා තියෙනවා. ඒ ඇළ හඳුන්වන්නේ මොඩ් ඇළ කියලා. නමුත් දැන් නම් මේ පැත්තේ හැම තැනම ගෙවල් හැදිලා. කතෝලික පල්ලි, මුස්ලිම් පල්ලි , පන්සල් හැම එකම තියෙනවා. සංඝාරාම පන්සල ගැන නොකියාම බැහැ. සංඝාරාමයේ රෑ ඉස්කෝලයක් තිබුණා. මේ පැත්තේම අය ඉංග්‍රීසි ඉගෙන ගත්තේ එතැනින්. ඉස්සර මේ හරියට චීන කොරටුව කිව්වම ඕන කෙනෙක් දන්නවා. මුලින් එක පවුලක් තමයි ඉතාලියට ගියේ. ඉන් පස්සේ ඒ හරහා ඔවුන්ගේ පවුල්වල අය යුරෝපා රටවලට ගියා. අද මේ පැත්තේ බොහෝ අය ඉන්නේ යුරෝපා රටවල පදිංචි වෙලා. මේ ප්‍ර‍දේශයෙන් ලෝක ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩකයෝ පාපන්දු ක්‍රීඩකයෝ බිහි වී තිබෙනවා. එය අපට ආඩම්බරයක්.

දේශප්‍රිය පවසන්නේ තමන් දන්නා සහ වැඩිහිටියන්ගෙන් අසා දැනගත් තොරතුරුය. දේශප්‍රිය ද වටිනා කියන චරිතයකි. ඔහු රණවිරුවෙකි. ක්‍රියාන්විතයේදි බරපතළ තුවා ලැබූ ඔහු හමුදාසේවයෙන් ඉවත් වුයේ යුද ජයග්‍රහණය ලැබීමෙන් පසුවය.

අපි ගෙයින් ගෙය පසු කරමින් පටු මාවත් දිගේ එදා කොරටුව සොයමින් යන්නට විමු. පලක් නැත එක් තැනකදි අපට හමු වුයේ නිවාස පෙළකට මැදිව තිබූ සරුසාර කෙහෙල් කොටුවක් පමණි. අද චීන ෙකාරටුව අතීත නමකට පමණක් සීමා වී අැත.

Comments