
පේරාදෙණිය මාර්ගයෙන් හිඳගල පාරට හැරුණු අපි මඳ දුරක් ගිය පසු ඉදිරියට ගියෙමු. මැදිවියේ ගැහැනියක් කලබලයක් නැති ගමනක ය.
"මෙයාගෙන් අහලා බලමු" රියැදුරු මහතා කීවේ ය.
“හිඳගල රජමහ විහාරයට තව දුර ද?”
“තව කිලෝ මීටර දෙක දෙකහමාරක් විතර යන්න ඕනෑ”
"මහත්තයා පන්සලට ද යන්නේ"
"ඔව්"
කතා බහ එතනින් නොනැත්වූ ඈ දිගු විස්තරයක් එක්කරන්නට වූවා ය.
“මේ රජමහ විහාරය අපේ ගමට වටිනවා. නමුත් කාලයක් තිස්සේ මේක වැනසිලා යන්න පටන් අරගෙන. කවුරුවත් උනන්දුවක් නෑ.”
ගැමි ගැහැනිය එසේ කියමින් අප පසුකර ගියා ය. ඇය කියූ පරිදි අපි කිලෝමීටර තුනක් පමණ පසුකර විත් රජමහා විහාරය තිබෙන ඉසව්වට ළං වීමු.
ඒ හිමිදිරියේ ගැමි පරිසරය තුළ පිහිටා තිබූ විහාරය දුටු විට ගමනේ මහන්සිය ද නැතිව ගියසේ ය.
මෙතරම් දුරක් ගෙවා හිඳගල රජමහා විහාරයට පැමිණෙන්නට හේතු කවරේදැයි ඔබට සිතෙනු ඇත.
අපේ රටේ සෑම ගමකම නගරයක ම වෙහෙර විහාර ඉදිකර තිබේ. එමෙන් ම ඉදි වෙමින් ද තිබේ. මේ වෙහෙර විහාර පවසන්නේ රටක සංස්කෘතියයි. ඉතිහාසයයි. හිඳගල රජමහා විහාරය ද අපේ රටේ යම් කාල වකවානුවක් නියෝජනය කරයි. ඒ ක්‍රිස්තු වර්ෂ හය හෝ හත්වන සිය වසට අයත් විහාරයකි. ඒ බව සනාථ කළ හැකි සෙල් ලිපි තිබුණ ද අද වන විට ඒවා කාලයා විසින් මකාදමා තිබේ.
හිඳගල රජමහා විහාරය පිළිබඳ පුරාවෘත්ත බොහෝ ය. වළගම්බා රාජ සමයට අයත් යැයි සැලකෙන විහාර බිම, රජු සටන් පුහුණු වූ ස්ථානයක් ලෙස ද සැලකේ. එමෙන් ම වළගම්බා රජු යුද්ධය දිනීමෙන් පසුව මේ ස්ථානයෙහි වෙහෙරක් ඉදිකළ බව ද සැලකේ. පසු කලෙක එනම් ගම්පොළ යුගයේදී තුන්වැනි වික්‍රමබාහු රජු විසින් ප්‍රතිසංස්කරණය කරන ලද බව ද කියැවේ. එමෙන් ම අද වන විට විහාරස්ථානයේ දක්නට ලැබෙන විහාර ගෙය හෙණ කඳ බිසෝ බණ්ඩාර දේවිය විසින් කළ බව ඉතිහාසයෙන් පැවත එන කතාවයි.
විහාරස්ථානයෙන් දිස් වන්නේ ඉපැරණි බවකි. එහි ඇති ඇතැම් චිත්‍ර අද වන විට විනාශ මුඛයට යමින් පවතී. විශේෂයෙන් ම විහාර ගෙය ඇතුළත ඇත්තේ සැතපෙන පිළිම වහන්සේ ය. කීර්ති ශ්‍රී රාජසිංහ රජ සමයේදි හෝ රාජධිරාජසිංහ රජ සමයේදි ගෘහයේ ඇති චිත්‍ර නිම වන්නට ඇතැයි සැලකේ. මේ බිතු සිතුවම් අතර වෙස්සන්තර ජාතකය, මාර පරාජය, සත් සතිය, සුජාතාවගේ කිරිපිඬු දානය, සූවිසි විවරණය ආදි වූ අලංකාර චිත්‍ර රැසක් ම ඇත.
යුගයෙන් යුගය විවිධ හැලහැප්පීම් වලට ලක්වූ විහාරස්ථානය විටෙක සුරැකෙන්නේ රාජ්‍ය අනුග්‍රහය ලැබීමෙනි. ඒ සියලු අනුග්‍රහ ලැබ ගෙන විහාරස්ථානය ආරක්ෂා කර ගන්නේ එම යුගවල සිටි විහාරාධිපති ස්වාමින් වහන්සේ විසිනි.
මේ පිළිබඳ අදහස් දක්වන විහාරවාසී ඇඹිල්මීගම ධම්මකිත්ති ස්වාමින් වහන්සේ.
“අතීත පොත්පත්වල සඳහන් වන ආකාරයට මුළු හිඳගල ගම්මානය ම විහාර ගමක්. හෙන කඳ බිසෝ බණ්ඩාර දේවිය විසින් හැටපස් අමුණක ඉඩම් පූජාකර තිබෙනවා. මේ බිම දළදා පහස ලද බිමක්. කන්ද උඩරට ගිවිසුම් ප්‍රකාරව යටපත් කළ බ්‍රිතාන්‍ය ජාතිකයන්ට ඕන වෙලා තියෙනවා දළදා වහන්සේ මහනුවරට වඩම්මන්න. පුසුල්පිටියේ වැඩ හිඳුවා තිබූ දළදා වහන්සේ මහ පෙරහරින් 1815 අප්‍රේල් 22 දින මහනුවරට වඩම්මන්න පටන් ගෙන තිබෙනවා. මේ එන ගමනේදි එක් දිනක් දළදා වහන්සේ හිඳගල රජමහා විහාරය් වැඩ හිදුවා පුද පූජා කර තිබෙනවා. මේ විහාරස්ථානයේ යුග හතරකට අයත් සිතුවම් තිබෙනවා. නමුත් මම විශ්වාස කරන දෙයක් තමයි කිසිම කෙනෙකුගේ අවධානයට මෙම විහාරස්ථානය ලක් වී නැහැ” විහාරාධිපති ස්වාමීන් වහන්සේ එසේ පවසන්නේ විහාරස්ථානයේ සුරැකිය යුතු වටිනා කියන තැන් පෙන්වමිනි.
මේ විහාරස්ථානයේ ඇති බිතු සිතුවම් අධ්‍යයනය කරන කෙනෙකුට විහාරයෙන් ඉදිරියට නෙරා ගිය ගල් පියස්සේ සිතුවම් කර ඇති චිත්‍ර දුටු විට සීගිරි චිත්‍ර මතකයට නැගෙනු නොඅනුමාන ය.
එහෙත් චිත්‍ර දෙස විමසුම් සහගතව බලන්නකුට සීගිරි චිත්‍ර හා හිඳගල විහාරස්ථානයේ සිතුවම් වල පැහැදිලි වෙනසක් ඇතැයි පෙනෙනු ඇත. රන්වන් පාට, කහ වර්ණ, රතු සුදු හා සුළු වශයෙන් කොළ පාට ද භාවිත කරමින් ඇඳි චිත්‍ර සීගිරි සම්ප්රදාය වේ. මේ විහාර සිතුවම් පිළිබඳ ආනන්ද කුමාරස්වාමි මහතා පළකර ඇත්තේ මෙවැනි අදහසකි.
ගල් පියස්සේ බදාමයක් තවරා ඒ මත අඳින ලද සිතුවම බුදු රජාණන් වහන්සේ මාතෘ දිව්‍ය රාජයාට දහම් දෙසන ආකාරය නිරූපණය කරන්නේ යැයි ආනන්ද කුමාරස්වාමි මහතා ප්‍රකාශ කර තිබේ. තවත් මතයකට අනුව කියැවෙන්නේ ඉන්ද්‍රපාල ගුහාවේදි ශක්‍රයා හමුවීමද තපස්සු භල්ලුක වෙෙළඳ දෙබෑයන් දානය පූජා කිරීම ද එයින් නිරූපිත වන බව ය.
බුදුරූ දෙකක් පැවැති මේ සිතුවමේ එක් බුදුරුවක් දහම් දෙසමින් අතර අයෙක් පාත්රයකින් දන් පිළිගන්වයි. බුදුරුවට පිටුපසින් ස්ත්‍රී හා පුරුෂ රූ කිහිපයක් තිබේ. දෙවියෙක් බුදුන් ඉදිරිපස සිට දහම් අසන ආකාරය නිරූපිත සමස්ත සිතුවම අද පැහැදිලිවම දක්නට නොලැබේ.
කාලයාගේ ඇවෑමෙන් සිදී ගිය වර්ණ මතින් ගත් අනුකෘතියක් කොළඹ කෞතුකාගාරයේදී පමණක් දැක ගත හැකිය. අදට ඉතිරිව තිබෙන මුල් සිතුවමේ අල්පයක් වූ සිතුවම් ශේෂය ද නිරන්තරයෙන් තෙතමනයටත් සූර්ය රශ්මියටත් නිරාවරණය වෙමින් තිබේ.
10 ශ්‍රේණිය පාසල් බුද්ධාගම පෙළ පොතේ ද පුරාණ හිඳගල රජමහා විහාරය පිළිබඳ සඳහන් කර ඇත. නමුදු විහාරස්ථානය ආරක්ෂා කර ගැනීම සඳහා කිසිවෙක්ගෙන් අනුග්‍රහයක් නො ලැබීම ගැන විහාරවාසී ස්වාමීන් වහන්සේ කතා කරන්නේ කනස්සල්ලෙනි.
“මම පනස්වතාවකට වඩා මේ සම්බන්ධව වගකිව යුතු රාජ්‍ය ආයතනවලට කිව්වා. ලිපි මඟින් දැනුම් දුන්නා - මේ වටිනා ස්ථානය රැක දෙන්න කියලා. මේ ස්ථානයේ ඉදිකර තිබෙන පියැස්ස නිසා චිත්‍ර තෙමෙනවා. මේවා අපේ රටට ආඩම්බර වීමට පුළුවන් අතීතය ගැන කියන්න පුළුවන් සාක්ෂි. නමුත් කිසිම කෙනෙකුගේ අවධානය යොමුවී නැහැ. මම ඉතාම බැගෑපත්ව ඉල්ලන්නේ අපිට මෙම විහාරස්ථානයේ තිබෙන චිත්‍ර ආදිය රැක දෙන්න කියලා. මේක මේ මගේ පෞද්ගලික දෙයක් නොවෙයි. මේ රැක ගැනීම අපේ අනාගත පරපුර වෙනුවෙන් කරන දෙයක්.”
විහාරවාසී ස්වාමීන් වහන්සේ කරන්නේ ආයාචනයකි. බලධරයිනි සැබැවින් ම මේ ගැන ඔබේ අවධානය යොමුවිය කාලයයි මේ.
දමිත් වෙස්ටන්