සඳ ජය ගත් ඉන්දියාව හිරු ගැන හොයන්නත් යානයක් යවයි | සිළුමිණ

සඳ ජය ගත් ඉන්දියාව හිරු ගැන හොයන්නත් යානයක් යවයි

න්දියාව අභ්‍යවකාශ ගවේෂණ ක්‍ෂේත්‍රය තුළ පිට පිටම වාගේ ජයග්‍රහණ ලබමින් සිටින ආකාරයක් මේ දිනවල දැකිය හැකි වේ. ඔවුන් සඳෙහි දක්‍ෂිණ ධ්‍රැව කලාපයට යානයක් ගොඩ බස්සවා ඉතිහාසයට එක් වී තවමත් ගත ව ඇත්තේ දින කිහිපයක් පමණි. දැන් ඉන්දියානු අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය තවත් සුවිශේෂී ජයග්‍රහණයක් වාර්තා කර තිබේ. ඒ සූර්යයා ඉලක්ක කර තවත් යානයක් සාර්ථක ලෙස අභ්‍යවකාශගත කරමිනි. සූර්යයා පිළිබඳ අධ්‍යයනය කිරීම සඳහා ඉන්දියාව යැවූ පළමු යානය මෙය යි.

ආදිත්‍ය- එල් 1 (Aditya-L 1) යන නමින් හැඳින්වෙන මෙම යානය ඔවුන් අභ්‍යවකාශගත කළේ පසුගිය 2 වැනි දින පෙරවරු 11.50 ටය. ඒ අන්ද්‍රා ප්‍රදේශ් හි පිහිටි ශ්‍රීහරිකොතා අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙනි. එම අවස්ථාව දැකබලා ගැනීම සඳහා දහස් ගණනක් දෙනා එහි පැමිණ සිටි බව මාධ්‍ය වාර්තා කර තිබිණි. ආදිත්‍ය යනු හින්දු සංස්කෘතිය තුළ හිරු දෙවියන්ට කියන තවත් නමකි.

ආදිත්‍ය-එල් 1 යානය සූර්යයා පිළිබඳ තොරතුරු රැස් කරන්නේ ඈත අභ්‍යවකාශයේ ලැග්රේන්ජ්-1 (Lagrange 1) නැමැති තැනක (ලක්‍ෂ්‍යයක) රැඳී සිටිමිනි. එය පෘථිවියේ සිට කි.මී. මිලියන 1.5ක් පමණ දුරින් පිහිටා ඇති ස්ථානයකි. ආදිත්‍ය-එල් 1 යන නමෙහි එල්-1 (L 1) යන්නෙන් හැඟවෙන්නේ Lagrange 1 යන්න ය. 

ලැග්රේන්ජ් ලක්‍ෂ්‍යයක් යනු සූර්යයාගේ ගුරුත්වාකර්ෂණ බලය සහ පෘථිවියේ ගුරුත්වාකර්ශන බලය එකිනෙකින් අහෝසි වන ලක්‍ෂ්‍යයකි. මේ නිසා මෙම ස්ථානවල දී අභ්‍යවකාශ යානාවලට ගුරුත්වාකර්ෂණයේ බලපෑමකින් තොරව නිශ්චිතව ස්ථානයක රැඳී සිටින්නට හැකියාව ලැබේ. ලැග්රේන්ජ් -1 නැමැති ලක්‍ෂ්‍යය සැලකෙන්නේ ලැග්රේන්ජ් ලක්‍ෂ්‍ය අතුරෙන් සූර්යයා පිළිබඳ නිරීක්‍ෂණය සඳහා වඩාත්ම සුදුසු ස්ථානයක් ලෙසිනි.

පෘථිවියේ සිට මෙම ස්ථානය දක්වා ගමන් කිරීමට ආදිත්‍ය යානයට දින 135ක කාලයක් ගතවන බව සඳහන් වේ. එය මාස 4කට වැඩි කාලයකි. මේ අනුව මෙම යානය සිය ගමනාන්තයට ළඟා වනු ඇත්තේ ජනවාරි මාසයේ ය. ‘මෙය දින 135ක ඉතා දිගු ගමනක්.

අපි යානයට සුබ ගමන් ප්‍රාර්ථනා කරමු’ ආදිත්‍ය පෘථිවියෙන් පිටත් වූ අවස්ථාවේ ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනයේ ප්‍රධානියා වන ශ්‍රීධර පනිකර් සෝමනාත් පවසා තිබිණි. ආදිත්‍ය යානය ගමනාන්තයට ළඟාවීමෙන් පසු එහි ඇති උපකරණ නිසි ආකාරයෙන් ක්‍රියා කරන්නේ ද යන්න පරීක්‍ෂා කිරීම සඳහා සති කිහිපයක් ගත කරනු ඇත. එය සූර්ය නිරීක්‍ෂණ කටයුතු ආරම්භ කිරීමට නියමිතව ඇත්තේ එයින් පසුව යි. එම කටයුතු පටන් ගන්නා විට පෙබරවාරි මාසය පමණ වනු ඇති බව සඳහන් වේ.

ආදිත්‍ය-එල් 1 ප්‍රධාන වශයෙන්ම නිරීක්‍ෂණය කරනු ඇත්තේ සූර්යයාගේ වායුගෝලයේ පිටතම ස්ථරය වන කොරෝනාව (Corona), සූර්යයාගේ අපට පෙනෙන මතුපිට තලය වන ප්‍රභාගෝලය (Photosphere), සහ එම ස්ථර දෙක අතර පිහිටි තුනී ස්ථරයක් වන වර්ණගෝලය (Chromosphere) යන ඒවා යි. සූර්ය ගිනි දලු, සූර්ය සුළං, සූර්ය කුණාටු ආදිය පිළිබඳව වඩාත් හොඳින් තේරුම් ගැනීමට මෙම නිරීක්‍ෂණයන් තුළින් හැකි වනු ඇත. සූර්ය ගිනි දලු සැලකෙන්නේ සූර්යයාගේ වායුගෝලය තුළ ඇති වන විද්‍යුත් චුම්භක විකිරණවල පුපුරා යෑමක් ලෙසිනි. සූර්ය සුළං ඇති වන්නේ සූර්යයාගේ කොරෝනාවේ ඇති ආරෝපිත අංශු පිටතට හමා යාමෙනි.

ආදිත්‍ය යානය ඉහත කී නිරීක්‍ෂණයන් සිදු කරනු ඇත්තේ ඒ තුළ ඇති විද්‍යාත්මක උපකරණ හතක් ආශ්‍රයෙනි. මෙම උපකරණ සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිෂ්පාදිත ඒවා වීම විශේෂත්වයකි.

ඉහත සඳහන් කළ සූර්ය ගිනි දලු, සූර්ය කුණාටු, සූර්ය සුළං ආදිය ගැන විද්‍යාඥයන් අධ්‍යයනය කරන්නේ ඒවායින් පෘථිවියට ද විශාල බලපෑමක් වන බැවිනි. මේවා උත්සන්න වන අවස්ථාවල දී පෘථිවියේ ඇති විදුලි සම්ප්‍රේෂණ පද්ධති ආදිය අඩපණ කිරීමට පවා ඒවාට හැකි වේ. එමෙන්ම පෘථිවියට ඉහළින් අභ්‍යවකාශයේ රඳවා ඇති චන්ද්‍රිකා ආදියට ද මේවා බලපායි. ඒවායේ විද්‍යුත් උපකරණවල යම් යම් ගැටලු ඇති කිරීමට මෙම සූර්ය ගිනි දලු, සූර්ය සුළං ආදියට හැකියාව තිබේ. මෙම චන්‍ද්‍රිකා අභ්‍යවකාශයේ රැඳී සිටින්නේ අප වෙත විවිධ සේවා සපයමිනි.

ඉන්දියාව විසින් යවන ලද චන්ද්‍රිකා 50ක් පමණ මේ වනවිට පෘථිවියට ඉහළින් ගමන් කරමින් තිබේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අභ්‍යවකාශ කටයුතු පිළිබඳ කාර්යාලය පවසන ආකාරයට විවිධ රටවල් විසින් අභ්‍යවකාශයේ රඳවනු ලැබූ චන්‍ද්‍රිකා 7800ක් පමණ ද මේ වන විට ක්‍රියාත්මක තත්ත්වයේ පවතී.

‘ආදිත්‍ය-එල් 1 යානය තම ගමනාන්තයට ළඟා වී සිය කටයුතු ආරම්භ කළ විට එයින් ප්‍රයෝජන අත්වන්නේ ඉන්දියාවට විතරක් නොවේ. සමස්ත ලෝකයේ ම විද්‍යාත්මක ප්‍රජාවට එයින් ප්‍රතිලාභ අත් වෙනවා’ ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනයේ ව්‍යාපෘති අධ්‍යක්‍ෂ නිගාර් ෂාජි සඳහන් කරයි.

මෙම ව්‍යාපෘතිය සඳහා වැය කළ මුදල ඉන්දියානු රුපියල් බිලියන 4කට ආසන්න බව ඉන්දීය මාධ්‍ය සඳහන් කර තිබිණි. එය ලංකා රුපියල් බිලියන 15කට ආසන්න වන්නකි.

සූර්යයා පිළිබඳ ගවේෂණය කිරීමට මේ වනවිට පාර්ශ්ව රැසක්ම කටයුතු කරමින් සිටියි. ජපානයේ අභ්‍යවකාශ ගවේෂණ ආයතන, ඇමෙරිකාවේ නාසා ආයතනය, යුරෝපා අභ්‍යවකාශ ඒජන්සිය ආදිය ඒ අතර ඉදිරියෙන්ම සිටියි. සූර්යයා පිළිබඳ අධ්‍යයනය කිරීම සඳහා පළමු වරට යානයක් යැවූයේ ආසියාවේ බලවතකු වන ජපානය යි. ඒ 1981 වසරේ ය.

එය 1991 වසර දක්වා ක්‍රියාත්මකව පැවතිණි. මෙතෙක් සූර්ය ගවේෂණය සඳහා යවා ඇති යානා අතරෙන් වඩාත්ම සූර්යයා ආසන්නයට ගමන් කරනු ඇත්තේ ඇමෙරිකාවේ නාසා ආයතනය විසින් යවන ලද පාකර් නැමැති යානය යි. එය පෘථිවියෙන් පිටත් වූයේ 2018 වසරේය. මෙම යානය කි.මී. මිලියන 6.2ක් පමණ සූර්යයා ආසන්නයට ළඟා වනු ඇති බව සඳහන් වේ. එහිදී මෙම යානයට දරාගන්නට සිදුවන උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 1,400ක් තරම් ඉතා ඉහළ අගයක් ගනු ඇත.

ඉන්දියාවේ ආදිත්‍ය-එල් 1 ව්‍යාපෘතිය ඉදිරියට යමින් තිබිය දී පසුගිය දිනවල සඳ මත ගොඩබට වික්‍රම් යානය සහ ප්‍රඥාන් රෝවරය ගැන ද අලුත් තොරතුරු වාර්තා වෙමින් තිබේ. පසුගිය 02 වැනි දින ඉන්දියානු අභ්‍යවකාශ පර්යේෂණ ආයතනයේ විද්‍යාඥයන් පවසා තිබුණේ වික්‍රම් සහ ප්‍රඥාන් නින්දට යවන ලද බවයි. එහි අදහස නම් ඒවායේ ක්‍රියාකාරීත්වය තාවකාලිකව නතර කරන ලද බවය. ඊට හේතුව මේ වන විට සඳ මත රාත්‍රිය උදා වී තිබීම යි.

වික්‍රම් සහ ප්‍රඥාන් ක්‍රියා කරන්නේ සූර්ය බලයෙන් නිසා රාත්‍රි කාලයේ ඒවාට ක්‍රියාත්මක වන්නට බැරි ය. සඳෙහි එක් රාත්‍රියක් පෘථිවියේ දින 14කට සමාන ය.

එම කාලයෙන් පසු නැවත සඳ මත හිරු උදා වෙද්දී වික්‍රම්ට සහ ප්‍රඥාන්ට නැවතත් ක්‍රියාත්මක වීමට හැකි වනු ඇත.

නමුත් දැඩි ශීතලෙන් යුතු මෙම දීර්ඝ රාත්‍රී කාලයෙන් පසු ඒවා නැවත ක්‍රියාත්මක නොවීමට ඉඩ ඇති බව ද විද්‍යාඥයන් පවසා තිබේ. කෙසේ නමුත් මේවාට පැවරී තිබූ කටයුතු මේ වන විට සම්පූර්ණයෙන් ඉටු කර අවසන්ය. ඉන්දියාව මේ වන විට තවත් සඳ ගවේෂණ මෙහෙයුමකට සූදානම් වෙමින් සිටියි.

ඒ, චන්ද්‍රයාන්-4 ව්‍යාපෘතිය යි. Lupex යන නමින් ද හැඳින්වෙන මෙම ව්‍යාපෘතියේ දී ආසියාවේ තවත් බලවතකු වන ජපානය ද ඉන්දියාව සමඟ අත්වැල් බැඳ ගන්නා බව සඳහන් වේ.

මෙහිදී සඳ මත ගොඩ බසින (Lander) යානය ඉන්දියාව විසින් සැපයෙනු ඇති අතර සඳ මත ගමන් කරමින් තොරතුරු රැස් කරන රොබෝ වාහනය හෙවත් රෝවරය සැපයෙනු ඇත්තේ ජපානයෙනි. චන්ද්‍රයාන්-4 අභ්‍යවකාශගත කෙරෙනු ඇත්තේ 2026 වසරේ යි.

Comments