සුවඳැල් ගොයම් රැගෙන ‘අග්බෝ‘ බලන්න ගිය ගොවියෝ | Page 5 | සිළුමිණ

සුවඳැල් ගොයම් රැගෙන ‘අග්බෝ‘ බලන්න ගිය ගොවියෝ

මහවැලි එච් කලාපයේ කලාවැවෙන් පෝෂණය වන ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අස්වැද්දුම ගම්මානයේ ජීවත්වන ශාන්ත බණ්ඩාර ගොවි මහතා තමා විසින් මෙවර යල කන්නයේ වගා කළ දේශීය වී සුවඳැල් වී ගොයම අක්කර කාලක කොටසක් කපා ඉදිරිපස වම් පාදයට දඩයක්කරුවෙකු විසින් අටවන ලද බඳින තුවක්කුවක් පත්තුවීමෙන් බරපතල තුවාල ලබා ප්‍රථිකාර ලබමින් සිටින අග්බෝ ඇතාගේ පෝෂණය සඳහා ආහාරයට ලබාදීමට ඊයේ (04) පස්වරුවේ තම ප්‍රදේශයේ සහෝදර ගොවි මහතුන්ගේ සහාය ඇතිව  කටයුතු කරනු ලැබීය.
 
තිරප්පනය, පුදුක්කුළම වැව් පිටියේදී මෙම සුවදැල් වී සහිත ගොයම අග්බෝ හස්තියාට ලබා දීම සිදු කෙරිණි.
 
ශාන්ත බණ්ඩාර ගොවිමහතා කියා සිටියේ තම ප්‍රදේශය කලාවැවෙන් පෝෂණය වන අතර කලා වැව නිර්මාණය කිරීම සඳහා අතීතයේ රජදරුවන් විසින් අලි ඇතුන්ගේ සහය ලබා ගෙන තිබෙන අතර එදා ඒ ඇත් පරපුරටත් පින්සිදු වන ලෙස ප්‍රාර්ථනා කරමින් තම ගොයම අග්බෝ හස්තියාට ලබා දීමට තීරණය කළ බවයි. 
 
තවද එම සුවදැල් වී සහිත ගොයම ආහාරයට ලබා දීම ඇතාගේ පෝෂණයට ඉතා ගුණදායක බව වනජීවී නිලධාරීන්ද පැවසීය.
 
ඉදිරිපස වම් පාදයට දඩයක් කරුවෙකු විසින් අටවන ලද බඳින තුවක්කුවක් පත්තුවීමෙන් බරපතල තුවාල ලැබූ අග්බෝ ඇතාට පසුගිය ජුනි මස 12වැනිදා සිට ආරම්භ කළ ප්‍රතිකාර කටයුතු මේ දක්වා අනුරාධපුර කලාපය භාර වනජීවී පශු වෛද්ය චන්දන ජයසිංහ මහතා ඇතුළු කණ්ඩායම විසින් සිදු කරනු ලබයි. අවස්ථා කීපයක දී විශේෂ පශු වෛද්ය කණ්ඩායම් කීපයක් ද ඊට සහාය දැක්විය.
 
තිරප්පනය බීට්ටු වනජීවි කාර්යාලයේ නිලධාරීන් සහ කාර්ය කාර්යමණ්ඩලයේද පූර්ණ කැපවීම මත අග්බෝ ඇතා මේ වන විට තරමක් සුවය ලබා ඇති බවද දැක ගත හැකිය.
 
‍(තිසර සමල් - අනුරාධපුර)

Comments