කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතියට (ASMP) අයත් බෝග වර්ග වගාකරන ගොවීන්ට තවදුරටත් අතිනවීන තාක්ෂණය, පුහුණුව, වෙළෙඳපොළ සහ අගයදාම ක්‍රියාවලිය මඟින් ඔවුන්ගේ නිෂ්පාදනවල ගුණාත්මක තත්ත්වය ඉහළ නැංවීම සඳහා වන නව වැඩපිළිවෙලක් අද (04) ආරම්භ කරනු ලැබීය.
කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති එම වැඩසටහන අද කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවැත්විණි. එම අවස්ථාවට ප්‍රධාන වශයෙන් සහයෝගය ලබාදෙන UNIDO හෙවත් එක්සත් ජාතීන්ගේ කර්මාන්ත සංවර්ධනය සඳහා වන සංවිධානය, එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම වැඩසටහන, BESPA හෙවත් Best Standards Practices For Agri Sector Development සහ ලෝක බැංකුව නියෝජනය කරමින් නියෝජිතයෝ රැසක් සහභාගී වූහ.
මෙම වැඩ පිළිවෙළ යටතේ ගොවීන්ට වගාව සඳහා අවශ්‍ය නව දැනුම, තාක්ෂනික උපක්‍රම, මුල්‍ය පහසුකම් මෙන්ම තම නිෂ්පාදන බෝග සඳහා වෙළෙදපොළ හඳුනාගැනීම පිළිබඳ මුළික පුහුණුවක් ලබා දෙනු ලබයි. එම කටයුතු සම්බන්ධීකරණය කිරීම කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය මගින් සිදු කරනු ලබයි.
කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය යටතේ තරුණ ගොවි සමාගම් ස්ථාපිත කරන අතර, එවැනි ගොවි සමාගම් 60ක් දැනට දිවයින පුරා ස්ථාපිත කර ඇත. එම ගොවි සමාගම් මඟින් අදාළ නිෂ්පාදන කටයුතු සිදු කරන අතර, ඔවුන්ට අගයදාම ක්‍රියාවලිය සිදු කිරීම පිළිබඳව විශේෂ පුහුණුවක් ලබා දීමට නියමිතය.
මෙහිදී පුහුණුව සඳහා වන උපකරණ කට්ටල ගොවි සමාගම් වෙත බෙදා දීම කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අතින් සිදුවිය. එම අවස්ථාවට UNIDO සංවිධානයේ ජාත්‍යන්තර ප්‍රධාන උපදේශක Dr. Jairo Andres Villamil Diaz, ලෝක බැංකුවේ නියෝජිත Mr. John Keyzer , අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ, කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ ආචාර්ය රෝහාන් පෙරේරා යන මහත්වරු ඇතුලු පිරිසක් සහභාගි වූහ.
මෙහිදී අදහස් පළ කළ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා, තරුණ ප්‍රජාව කෘෂිකාර්මික ක්ෂේත්‍රයට ආකර්ෂණය කර ගැනීමට නම්, අනිවාර්යයෙන්ම මෙම අංශය ආදායම් ඉපයිය හැකි ක්ෂේත්‍රයක් බවට තරුණයින් තුළ විශ්වාසයක් ඇති කළ යුතු බව සඳහන් කළේය. කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය නව වැඩපිළිවෙල ඔස්සේ තරුණයින්ට එම විශ්වාසය ඇති කරනු ඇතැයි ද තමන් විශ්වාස කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
වැඩිදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරයා-
ඊයේ මගේ දුරකථනයට කෙටි පණිවුඩයක් ලැබුනා. ඒක එවා තිබුනේ තිරප්පනේ පැත්තේ තරුණයෙක්. ඒ තරුණයා කළින් රජයේ රැකියාවක් කරළා පසුව එයින් ඉවත් වෙලා මිරිස් වගාව සිදු කර තිබෙනවා. ඔහු මිරිස් වගාව සඳහා නවීන කෘෂි තාක්ෂණය යොදා ගෙන තිබෙනවා. ඔහු කියා තිබුනේ අක්කර බාගයකින් රුපියල් ලක්ෂ 65ක ආදායමක් ඔහු මාස හයක් තුළ ලබා ගත් බවයි. ඒ වගේම තවමත් අස්වැන්න නෙළන බවත් ඔහු සඳහන් කර තිබුනා.
අද මෙම අවස්ථාවට සහභාගි ව සිටින ගොවි තරුණයෙක් ඉතාමත් හොඳින් ව්‍යක්ත ලෙස ඉංග්‍රිසි භාෂාවෙන් අදහස් ඉදිරිපත් කළා. අපිට අවශ්‍ය එවැනි තරුණයින්. දැන් අපේ රටේ කෘෂිකර්මාන්තයේ යෙදී සීටින්නේ සියයට 80ක් ම අවුරුදු 50 ඉක්මවූ වැඩිහිටියන්. තරුණයින් සිටින්නේ සියයට 20ක් විතර ප්‍රමාණයක්.
ඔවුන් ගොවිතැනට නොඑන්නේ තවමත් අපේ රටේ කෘෂිකර්මාන්තය යැපුම් මට්ටමේ පවතින නිසායි. අපේ රටේ ගොවිතැන ආදායම් ඉපයිය හැකි යැයි තරුණයින්ට විහ්වාසයක් නැහැ.
ඒ විශ්වාසය නැවත ඇති කිරීම මෙම කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය වැනි ව්‍යාපෘති මගින් සිදු කළ යුතුයි. ඒ සඳහා අවශ්‍ය හැම විටම සහයෝගය ලබා දීමට රජය වශයෙන් පියවර ගන්නා බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.