![](https://archives1.silumina.lk/sites/default/files/styles/large/public/news/2023/09/01/15-3.jpg?itok=mVVppIdY)
වර්තමානයේ පාර්ලිමේන්තුව තුළ බහුතර බලය තියෙන්නේ පොදුජන පෙරමුණට. ඔබ ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක. මේ වන විට ආණ්ඩු පක්ෂයේ හැලහැප්පීම් උග්‍ර වෙලා නේද?
පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයෙන් හයෙන් පහක බලයක් පොදුජන පෙරමුණට ලැබුණා. එයින් සුළු කොටසක් මේ වන විට ස්වාධීනව කටයුතු කරනවා තමයි. නමුත් අති මහත් බහුතරයක් ආණ්ඩුව එක්ක එකට ඉන්නවා. ඒ අය අතර මතවාදී ගැටුම් තියෙන්න පුළුවන්. ඒත් ආණ්ඩුව ශක්තිමත්ව ඉදිරියට ගෙන යන්න අපි කැපවී කටයුතු කරනවා.
එසේනම් ඇයි මේ එළියෙ වත්මන් ජනාධිපතිවරයා ගැන විවිධ කතා මතු වන්නේ?
කවුරු කොතැන මොනවා කිව්වත් අපි එක් විය යුතු තැන දී එකතු වෙලා එතුමා රටේ ජනාධිපති හැටියට පත් කළා. අමතක කරන්න එපා එතුමා පිළිබඳව මුලින්ම විශ්වාසය තැබුවේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන්. ඒ තීරණය එතුමා තනියම ගත් තීරණයක් නෙවෙයි. මමත් හිටපු කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා කර ගත් සාමූහික තීරණයක්.
අපේ ඒ තීරණයේ කොතන ද නොගැළපීමක් හෝ වැරදීමක් සිදුවී තියෙන්නෙ.
නමුත් ජනතාව චෝදනා කරන්නේ සෘජු ජනවරමක් නොමැති වීම නිසා එතුමාට කටයුතු කළ හැකි වන්නේ සීමාසහිත වපසරියක පමණයි කියලා?
මම කලින් කිව්ව වගේ මේ ජනවරම සෘජුව ලැබුණේ හිටපු ජනාධිපතිතුමාට. අනුප්‍රාප්තික ජනාධිපතිවරයාට පැවරෙන වගකීම තමයි ඒ ධුරයේ කටයුතු ඉදිරියට අඛණ්ඩව කර ගෙන යාම. එයට නීතියෙන් සීමා බන්ධන පනවල නැහැ. රට අස්ථාවර වෙන්න ඉඩ නොදී ඊළඟ මැතිවරණය දක්වා ඉදිරියට පවත්වාගෙන යාමට පුළුල් බලයක් අනුප්‍රාප්තික ජනාධිපතිවරයාට පැවරෙනවා. අනෙක් අතින් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාව පාර්ලිමේන්තුව තුළ ඡන්ද විමසීමකින් පත්කරගත්තේ අපි. එතුමා එ.ජා.ප. නායකයා වුණාට මේ අවස්ථාවේදී පොදුජන පෙරමුණු ආණ්ඩුවේ ජනාධිපතිවරයා.
නමුත් ඔබේ පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශනවල නොතිබුණු කටයුතුවලට අත ගහන්න ඔහුට අයිතියක් තියෙනවද?
හොඳ ප්‍රශ්නයක්. ඔය චෝදනාව ප්‍රධාන වශයෙන් එල්ල වෙන්නේ 13 වන ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීම සම්බන්ධයෙන් එතුමා ගෙනියන කතිකාවත නිසා. ප්‍රතිපත්ති ප්‍රකාශනවල අපි කරන්න බලාපොරොත්තු වෙන හැමදේම අකුරින් අකුර සඳහන් වෙන්නේ නැහැ. එහි සඳහන් වෙන්නේ වසර පහේ වැඩපිළිවෙළේ දළ හැඩයක් පමණයි. අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනවල රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා අත ගහලා තියෙන කටයුත්තට පටහැණි කරුණක් සඳහන් වෙන්නෙත් නැහැ.
අපි කියලා තියෙනවා ජනවාර්ගික ප්‍රශ්නය ඇතුළු අනෙකුත් ගැටලු නිරාකරණය කිරීම සඳහා නව ව්‍යවස්ථාවක් හඳුන්වා දෙන බව. වත්මන් ජනාධිපතිවරයා ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව තමන්ගේ අදහස් ඉදිරිපත් කරල තියෙනවා. අපිට පුළුවන් අපේ අදහස් ඉදිරිපත් කරන්න. ඒවා සමාලෝචනය කරලා රටට වඩා උචිත, ඵලදායි විසඳුමකට එන්න පුළුවන් වේවි. ඒකෙ අවසාන ප්‍රතිඵලය නව ව්‍යවස්ථාවක් වෙන්නත් බැරි නැහැ.
ඔබ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට බොහොම පක්ෂපාතී බව මෙයින් ප්‍රකාශ වෙනවා?
" ඔව් " . ප්‍රසන්න රණතුංග කියන්නෙ හැමදාම හිතට එකඟව කතා කරන, කියන දේ කරන දේශපාලනඥයෙක්. මම මේ රටේ පුරවැසියෙක් විදිහටත්, දේශපාලනඥයෙක් විදිහටත්, එතුමට ණයගැතියි. මොකද මැයි 09 සිදුවීමෙන් පස්සේ මේ රටම තනිකර ගිනි ගොඩක් වුණා. රටේ පරිපාලනය, ආරක්ෂාව සියල්ල ව්‍යාකූල වුණා. අරාජිකත්වයක් රට තුළ නිර්මාණය වුණා. පැවති ඒ තත්ත්වය වෙනස් කළේ මේ ජනාධිපතිතුමා. ඒ වෙනකොට මගේ මහගෙදර ගිනිබත් වෙලා ඉවරයි. නමුත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට පුළුවන් වුණා එදායින් පස්සේ එය වළක්වන්න. කැරලි මර්දනය කරන්න. රටේ නීතිය හා සාමය රකින්න.
කඩා වැටුණු ආර්ථිකය කෙටි කලකින් ගොඩ ගන්න රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සුවිශේෂී දක්ෂතාවක් තිබුණද ?
පැහැදිලිවම ඔව්. එතනදි බලපෑවේ එතුමාගේ කෘතහස්ත දේශපාලන භූමිකාව. ඒ වගේම කාලයක් තිස්සේ දේශපාලනයෙහි නිරත වෙලා එතුමා ලබාගෙන තිබුණු පන්නරය. එදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මේ රටේ තිස් අවුරුදු යුද්ධය ජයගන්න භාවිත කළේත් ඒ සුවිශේෂී දේශපාලන පෞරුෂය කියලයි මම විශ්වාස කරන්නේ.
නමුත් පහුගියදා රාජපක්ෂ කඳවුරේ ප්‍රබල චරිතයක් වූ උදයංග වීරතුංග සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ ඔබව දැඩි දෝෂ දර්ශනයට ලක් කර තිබුණා?
මම දන්නේ නැහැ ඒක එතුමාගේ පුද්ගලික අදහසක් ද එහෙම නැතිනම් කාගේ හරි න්‍යාය පත්‍රයක්ද කියල. මට කෙටියෙන් කියන්න තියෙන්නේ මම සම්බන්ධව එතුමා කළ සියලු ප්‍රකාශ ප්‍රතික්ෂේප කරන බව. ඒවා සත්‍යයෙන් තොරයි.
ඔබ අගමැති, ජනාධිපති සූට් මහගෙන හිටියේ නැහැ කියල කියන්නේ ?
කවුද හිතුවේ කාලයක් ලංකාවෙත් හිටපු නැති ප්‍රංශයේ ජීවත් වුණු චන්ද්‍රිකා මැතිනිය මේ රටේ ජනාධිපති වෙයි කියලා. කවුද හිතුවේ මෛත්‍රී මහත්තයා මේ රටේ ජනාධිපති වෙයි කියලා. කවුද හිතුවේ ඇමරිකානු පුරවැසිභාවය ලබාගෙන හිටපු ගෝඨාභය මහත්තයා මේ රටේ ජනාධිපති වෙයි කියලා. වැඩිය ඕනේ නැහැ ජනතාව කුණු මුල්ලට ඇදලා දාපු රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ රටේ ජනාධිපති වෙයි කියලා අපි කවුරුවත් හිතුවද?
උදයංග වීරතුංග හරහා එළියට එන්නේ ඔබ හා රාජපක්ෂවරු සමඟ ඇති සීතල ගැටුම නොවෙයිද?
එහෙම දෙයක් වෙන්න තියෙන හේතුව මොකක්ද? මම අදටත් පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් නායකයා. මිනුවන්ගොඩ ආසන සංවිධායකවරයා. ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායකවරයා. නාගරික සංවර්ධන හා නිවාස ඇමතිවරයා. මේවා ඔක්කොම මට පිරිනමලා තියෙන්නෙ පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙක් විදියට. මම නියෝජනය කරන්නේ පොදුජන පෙරමුණේ දේශපාලන කඳවුර. ඉතින් රාජපක්ෂවරුන්ට මාත් එක්ක තියෙන මත ගැටුම මොකක්ද? අනික එතුමා කියල තිබුණා මම පාන්දරම ඇවිත් ඇප්ලිකේෂන් අරගෙන ගියා කියලා. ඇත්ත. මම ඇප්ලිකේෂන් ගෙනිහිල්ලා යූ.එන්.පී. එකට සාමාජිකයෝ බඳවා ගත්තෙ නැහැ. මම එදා මිනුවන්ගොඩදී රැස් කළේ යූ.එන්.පී. ආසන බලමණ්ඩලය නෙමෙයි.
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගෙන් ප්‍රයෝජන ගන්න ඔබ ඔහුට සමීපව සිටින බවට උදයංග වීරතුංග චෝදනා කරනවා?
මම හැමෝත් එක්කම බොහොම ළඟින් වැඩ කළා. එයාලගේ විශ්වාසය මම හැමදාම රැකපු නිසා තමයි එයාලා මට බොහොම ආදරෙන් සැලකුවේ.
ඔය කවුරුත් දන්නවා මම හරි දේට හරි කියන, වැරදි දේට වැරදියි කියන කෙනෙක්. මම කැබිනට් මණ්ඩලයේ ඇමතිවරයෙක්, කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා වර්තමාන ජනාධිපතිතුමා. අපි කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීම ආරක්ෂා කරන්න බැඳිලා ඉන්නවා. නායකයා ලඟින් ඉඳගෙන එතුමාගේ විශ්වාසය රකින්නේ නැතුව කොහොමද සාමූහික වගකීම රකින්නේ. අනික පාර්ලිමේන්තුව තුළ ජනාධිපතිතුමාට පූර්ණ ශක්තිය ලබා දීම අපේ පක්ෂයේ තීරණයක්. ඒ සඳහා අවශ්‍ය අවස්ථාවල ආණ්ඩු පක්ෂය සංවිධානය කිරීමේ වගකීම පැවරිලා තියෙන්නේ මට. අමතක කරන්න එපා මේ තියෙන්නෙ පොදුජන පෙරමුණේ ආණ්ඩුවක්.
ඔක්කොම දේවල් පැත්තකින් තියන්න. අපි පත් කරගත්ත ජනාධිපතිවරයා ඔහු. මොන හේතුවකටද අපි එතුමට කකුල් මාට්ටු දාන්නෙ. අපට වැරදුණු තැන් තියෙනවා. ඒවා නිවැරදි කිරීමේ අදහසින් තමයි එතුමා ජනාධිපතිවරයා හැටියට පත් කරන්න තීරණය කළේ.
එතුමාව කුණු කූඩෙට ඇදලා දාපු රටේ ජනතාවත්, ජාත්‍යන්තර ප්‍රජාවත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ගැනත්, අපේ ආණ්ඩුව ගැනත්, මේ වන විට විශ්වාසයක් ගොඩනඟාගෙන තියෙනවා. හැම දෙනාටම නැවුම් බලාපොරොත්තුවක් ගෙන දුන්නේ රනිල් වික්‍රමසිංහයන්. අපි රටක් විදිහට එතුමට ණයගැතියි. ඇයි අපි ඕක කියන්න පැකිළෙන්නේ.
ඔබ පවසන්නේ යථාර්ථය රාජපක්ෂවරුන්ට තවමත් තේරිලා නැහැ කියලද ?
මොකද නොතේරෙන්නේ. මම මුලින්ම කිව්වනේ රාජපක්ෂ කෙනෙක් තමයි එතුමා අගමැති හැටියට පත් කළේ කියලා. අපේ පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් මහතා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළා අපට පාරේ බැහැලා දේශපාලනය කරන්න පුළුවන් පරිසරයක් වත්මන් ජනාධිපතිතුමා නිර්මාණය කළා කියලා. ඒක තමයි ඇත්ත.
ඉදිරි ජනාධිපතිවරණයේදී ඔබ නියෝජනය කරන්නේ රාජපක්ෂ කඳවුර ද? වික්‍රමසිංහ කඳවුර ද ?
මුහුද හත් ගව්වක් දුර තබාගෙන අමුඩය ගහන්න කලබල නොවී ඉමු. නුදුරු අනාගතය නිවැරදි දිශානතියකට අපිව යොමු කරාවි. මම අවසන් වශයෙන් මේ ටිකත් කියන්න කැමතියි. වත්මන් ජනාධිපතිතුමාව හඳුන්වන්නේ " රනිල් රාජපක්ෂ " කියල නෙ. මම හදවතින්ම කැමතියි ඊළඟ වසර 05 අපි දෙගොල්ලො විතරක් නෙමෙයි කවුරුත් එකතු වෙලා මේ විදිහට රට ඉදිරියට ගෙනියන්න පුළුවන් නම්. ප්‍රගතිශීලී දේශපාලන කඳවුර නියෝජනය කරන දේශපාලනඥයෙක් හැටියට ඒක මගේ පෞද්ගලික මතය.
මම හිතනවා පොදුජන පෙරමුණ වත්මන් ජනාධිපතිවරයා එම ධුරයට පත්කිරීමට තීරණය කරමින් රට වෙනුවෙන් කරපු ඒ පරිත්‍යාගය, කැපකිරීම, අනිත් දේශපාලන පක්ෂ ආදර්ශයට ගනීවි කියලා. රනිල් වික්‍රමසිංහ මැතිතුමාට තමන්ගෙ උපරිම ධාරිතාවෙන් රටට සේවය කරන්න මීට පෙර අවස්ථාවක් ලැබුණේ නැහැ. එතුමා දැන් ඒ ටික කරනවා. ඒකට පූර්ණ සහයෝගය අපේ පක්ෂය, මන්ත්‍රීවරු එතුමාට ලබා දෙනවා. කීමක් තියෙනවනේ ලොවින් එකෙක් එක් දෙයකට වෙයි සමත කියලා. මහින්ද මහත්තයා ජනාධිපති හැටියටත්, ගෝඨාභය මහත්තයා ආරක්ෂක ලේකම් හැටියටත් රටට යුතුකම් ඉටු කරලා ඉවරයි. ඒ වැඩේ රනිල් මහත්තයට කරන්න පුළුවන් කියලා මම හිතන්නේ නැහැ. ඒත් රට ආර්ථික වශයෙන් කඩා වැටුණු මේ අමාරු අවස්ථාව පරිස්සමෙන් කළමනාකරණය කරගන්න පුළුවන් දැනුම, ආත්ම ශක්තිය, ඉවසීම හා ජාත්‍යන්තර පිළිගැනීම තියෙන එකම නායකයා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා කියලා මම පුද්ගලිකව විශ්වාස කරනවා. එතුමාගේම වචනවලින් කියනවා නම් එතුමා ලංකාව නැමති අත දරුවා ආර්ථික ප්‍රපාතයට වැටෙන්න ඉඩ නොදී වැල් පාලමෙන් පරිස්සමෙන් දැන් එගොඩ කරලා තියනවා. අපි කාටත් දැන් ඉතුරු වෙලා තියෙන්නේ ඒ දරුවව හොඳින් රැක බලා ගෙන ඇති දැඩි කර ගන්න.
සාකච්ඡා කළේ - සිරිල් ලියනාරච්චි