පොලොන්නරුවේ සිට මඩකලපුව දක්වා දුම්රිය රක්ෂිතයේ අනවසර පදිංචිකරුවන් වහාම ඉවත් කරන ලෙස ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන දිසාපතිවරයා ඇතුළු රාජ්‍ය නිලධාරින්ට නියෝග කර තිබේ. අමාත්‍යවරයා මෙම නියෝගය කළේ ඉකුත් 31 වන බ්‍රහස්පතින්දා රාජ්‍ය අමාත්‍ය සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන්ගේ ප්‍රධානත්වයෙන් මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැති දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේදීය.
දුම්රිය ආඥා පනත බ්‍රිතාන්‍යයන් විසින් සම්මත කර ඇති ඉතා දැඩි නීතියක් බවද සඳහන් කළ අමාත්‍යවරයා ඒ අනුව දුම්රිය රක්ෂිතයට අයත් ඉඩම්වල කිසිවකුටත් පදිංචිවීමට හෝ ගොඩනැඟිලි ඉදිකිරීමට කිසිදු ඉඩක් නොමැති බව ද එහිදී අවධාරණය කළේය.
දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාට ඇති බලතල යටතේ වුවද මෙම රක්ෂිත ඉඩමක් තාවකාලික බදු පදනමට හෝ ලබා දිය හැක්කේ වසර 05ක ගිවිසුමකට අනුව පමණක් බවද ඇමැතිවරයා එහිදී අවධාරණය කළේය.
එබැවින් දුම්රිය රක්ෂිතයේ ඕනෑම ඉඩමක තනා ඇති ගොඩනැඟිලි ඉවත් කිරීමේ පූර්ණ බලතල දුම්රිය දෙපාර්තමේන්තුවට තිබෙන බව අවධාරණය කළ අමාත්‍යවරයා එවැනි බුල්ඩෝසර්කරණයකට විෂය භාර ඇමතිවරයා වශයෙන් තමා අකමැති නිසා පොලොන්නරුවේ සිට මන්නාරම දක්වා ශීඝ්‍රයෙන් දුම්රිය ඉඩම් අල්ලා ගැනීම වැළැක්වීම සඳහා දිසාපති ප්‍රමුඛ රාජ්‍ය නිලධාරීන් මෙන්ම පොලිසිය හා ආරක්ෂක අංශ ද වහා පියවර ගත යුතු බව තවදුරටත් එහිදී ප්‍රකාශ කළේය.
නීත්‍යනුකූල ආකාරයට දුම්රිය ඉඩම් බදු දීමට අදාළ නව ක්‍රමවේදයක් හඳුන්වා දෙන කැබිනට් පත්‍රිකාවක් නුදුරේදීම ඉදිරිපත් කරන බවද මෙහිදී සඳහන් කළ ඇමැතිවරයා එතෙක් දුම්රිය දෙපාර්තමේන්තුව සතු කිසිදු ඉඩමක් බදු දීම නොකරන ලෙස ද දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාට නියෝග කර තිබෙන බවද කියා සිටියේය.
මීට අතිරේකව අලාභ ලබන දුම්රිය දෙපාර්තමේන්තුව ලාභ ලබන තත්ත්වයට පත් කිරීමට නම් දුම්රිය සතු ඌන උපයෝගිතා ඉඩම් ඇතුළු වත්කම් නව ක්‍රමවේදයන්ට අනුව කළමනාකරණය කළ යුතු බව ද ඇමතිවරයා එහිදී තවදුරටත් කියා සිටියේය.
ඒ සඳහා කොළඹ, මඩකලපුව, අනුරාධපුර, බදුල්ල, ඇල්ල ආදී ඕනෑම ප්‍රදේශයක පෞද්ගලික අංශය හා හවුල්ව ඵලදායී ව්‍යාපෘති ඇරඹීමට යෝජනාවක් ඉදිරිපත් කිරීමේ අවස්ථාව තිබෙන බව ද ඇමතිවරයා පෙන්වා දුන්නේය.
එම අවස්ථාව ප්‍රයෝජනයට ගෙන දෙස් විදෙස් ආයෝජකයන් ඵලදායි යෝජනා ඉදිරිපත් කළහොත් එකී යෝජනා කැබිනට් අනුමැතියකින් පසු නිසි ඇගයීම් ක්‍රමවේදයක් තුළ හවුල් ව්‍යාපෘති ආරම්භ කළ හැකි බව ද වැඩිදුරටත් සඳහන් කළ ඇමැතිවරයා මේ සඳහා සක්‍රීයව මැදිහත් වන ලෙස නැඟෙනහිර ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන්ගෙන් එහිදී ඉල්ලීමක් කළේය.
මෙම සම්බන්ධීකරණ රැස්වීමට නැඟෙනහිර ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන්, සම්බන්ධීකරණ කමිටු සභාපති සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන්, රාජ්‍ය අමාත්‍යවරුන් වන එස්. වියලේන්ද්‍රන්, සිරිපාල ගම්ලත්, පාර්ලිමේන්තු මන්ත්‍රී ගෝවින්දසාමි ඇතුළු මහජන නියෝජිතයන් රැසක්ද එක්ව සිටියහ.