
ලංකා සමසමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණට පක්ෂ කාර්යාලයේ කටයුතු කරගෙන යෑමට බාධා කළ කේ. ඉලංගකෝන් පාර්ශ්වයේ තැනැත්තන් හයදෙනෙකුට මාලිගාකන්ද ප්‍රධාන මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහ 25 වැනිදා සිකුරාදා නොතීසි නිකුත් කළාය.
කොළඹ දිසා අධිකරණය තිස්ස විතාරණට එරෙහිව නිකුත් කළ වාරණ නියෝගය අගෝස්තු 23දා අවලංගු කිරීමෙන් පසු කාර්යාලයේ කටයුතු කරගෙන යෑමට ඔහු ඇතුළු කණ්ඩායම 24දා සමසමාජ පක්ෂ මූලස්ථානයට ගොස් ඇත. එහිදි පක්ෂ කාර්යාලයේ රැඳි සිටි අනෙක් පාර්ශ්වයේ පිරිස් ප්‍රධාන ලේකම්වරයාට කාර්යාලයේ යතුර භාර නොදී තනතුරේ කටයුතු කරගෙන යෑමට බාධා කර ඇත. මෙහිදි විතාරණ පාර්ශ්වය ඉබි යතුරු කඩා කාර්යාලයට ඇතුළු වීමට උත්සාහ කළ අවස්ථාවේ ආරවුලක් ඇතිව තිබේ.
පොලිසිය මැදිහත්ව ගැටුම සංසිඳු වීමට හා දේපළවල ආරක්ෂාව තහවුරු කිරීමට ක්‍රියා කළත් දිගින් දිගටම දෙපාර්ශ්වය අතර ගැටුම් සහගත තත්ත්වයක් උද්ගතව වූයෙන් 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහයේ 81 වගන්තිය යටතේ නඩුකරයක් පැවරීමට ඉදිරිපත් වන ලෙස දෙපක්ෂයට දන්වා ඇත. ඒ අනුව විතාරණ පාර්ශ්වය පමණක් බැඳුම්කරයකට අත්සන් කර ඇති අතර ඉලංගකෝන් පාර්ශ්වය පොලිසියට පැමිණ නැත.
පොලිසිට අධිකරණයට කරුණු දක්වමින් අනෙක් පාර්ශ්වයට විරුද්ධව නොතිසි නිකුත් කරන ලෙස ඉල්ලා සිටියේය.
නඩුව සැප්තැම්බර් මස 4දා යළි කැඳවීමට නියමිතය. සමසමාජ පාර්ශ්වයේ කණ්ඩායම් දෙක අතර ශ්‍රේෂ්ඨාධිකරණය, කොළඹ දිසා අධිකරණයේ සහ මාලිගාකන්ද දිසා අධිකරණයේ නඩු පවතී.