අත්දුටු පැරණි කෙම් ක්‍රම | සිළුමිණ

අත්දුටු පැරණි කෙම් ක්‍රම

හෙළයේ සාම්ප්‍රදායික වෙදකම් අතර ‘කෙම් ක්‍රම‘ මේ රටේ ජනයා වසර දහස් ගණනක් තිස්සේ අත්දැකීමෙන් ඇත්ත දැනගත් දේශීය පාරම්පරික ඉතාම රහසිගත ප්‍රතිකාර ක්‍රමවේදයකි. ඖෂධ මෙන්ම ග්‍රහයෝ විවිධ ඇදහිලි විශ්වාස ආදිය නැතහොත් කර්ම පල අධි මානසිකමය බලපෑම් හරහා මේ කෙම් ක්‍රම උපයෝගි කර ගත්හ. වත්පිළිවෙත් විවිධාකාර ඇදහිලි ඉතාම රහස්‍යව කෙරේ.

දරුවන්ගේ පණුගායට - එරබඳු දලු සිහින්ව ලියා පොල් සමඟ මලවා කන්ට දෙනු. පණුවන් හැලේ. ලුණු කැඳ උදේ හිස් බඩ බොන්න දෙනු. පණුවන් හීන් වේ. 

බඩ යනවාට - සූදුරු කබලේ බැද මී පැණි සමඟ දවසට තුන් වරක් දෙනු. වියළි බෙලිගැට මද කබලේ බැද බොන්ට දෙනු.

සෙමට - වදකහ ඉස්ම බොන්ට දෙනු. ලුණුවිල හෝ රත්මල් තැම්බූ වතුරට රත කල්කය මිශ්‍රකර බොන්ට දෙනු.

රෝග නැසීමට - උඳුපියලිය ඉස්ම සමඟ පොරි කැඳ පිසගෙන කුඩා දරුවන්ට බොන්න දෙනු. රෝග නොවැලඳේ.

උඳුගොව්වා කනවාට - කඳුලැස්ස දෙහි ඇඹුලින් ගල ගා හිසේ ගානු. දේවදාර දෙහි ඇඹුලින් ගලගා ගානු. ඌරු තෙල් කතා නොකර ගානු. සුව වේ.

දත් කැක්කුමට - ඕං නීල අනීල එස්වාහඃ බුලත් කොළයට 108 වරක් මතුරා ගන්න. වහා සුව වේ.

බඩේ කැක්කුමට - ඕං රුදිරේ රුදිරේ එස්වාහඃ බුලත් කොළයේ පිටුපස දෙහි කටුවෙන් ලියා 21 වරක් මතුරා සපන්න. වහා සුව වේ.

ගල් තැළුමට - කවඩි බෙල්ලෙකු කටුව පුච්චා එළඟි තෙලින් අඹරා ගල් තැළුම උඩ ගානු. දින 3කින් කොස්ස උඩට ඇදේ. තෝර කොළ, කහ, ලුණු සමඟ අඹරා බඳිනු. සුව වේ.

කකුලේ උලුක්කුවට - ගොරක ගසේ පොතු, හීං නාරං පොතු සහ දලු සමඟ අඹරා ගානු. සුව වේ. නමෝ තිලිය විතිලිය මළේ එස්වාහඃ පොල් කිරිවලට 108 වරක් මතුරා ගානු. වහා සුව වේ.

* කෘෂිකර්මයට අදාළ භෝග වර්ග රැක ගැනීමට ඉපැරණි කෙම් ක්‍රමයන් මෙසේ දක්වමු.

කෘමි උවදුරුවලට - නොපෑගුණ තැනකින් වැලි ගෙන "ඕං නමෝ ඇති හිමියේස් වාහඃ" මන්ත්‍රයෙන් 108 වරක් මතුරා කුඹුරේ හැම තැනම ඉසිනු.

කුඹුරේ ආරක්ෂාවට - මා නැකතින් මී ගසක මුලක් ගලවාගෙන කුඹුරේ දකුණු දිසාවේ සිටුවන්න. සතුන්ගෙන් වන හානි නැති වේ.

කුරුල්ලන්ගෙන් වන හානියට - "ඕං නමෝ වෙනි වෙනි වලාවෙනි ඒස්වාහඃ බදාදා හෝ සෙනසුරාදා දහවල් දියකිරිල්ල අත්තක් කඩාගෙන 108 වරක් මතුරා කුඹුරේ ගිනිකොන දිසාවේ වෙල මැද සිටුවන්න. මල් කූර ගසේ අතු හතරක් ගෙන මේ මන්ත්‍රයෙන් 108 වරක් මතුරාගෙන කුඹුරේ හතර කොන සිටුවන්න. කුරුල්ලන් පලා යයි.

මන්ත්‍රය 

"ඕං නමෝ මහා ගත්තේ

මමයි ඒහි ඒස්වාහඃ

ඌරන් පලවා හැරීමට - එළිඟි තෙල් මැටි බඳුනකට ගෙන මේ මන්ත්‍රයෙන් 108 වරක් මතුරාගෙන යටි පතුල්වල තෙල් ගාගෙන කතා නොකර කුඹුරේ නියර වටේ තුන් වරක් ඇවිදින්න. ඌරෝ නොඑති.

මන්ත්‍රය

"ඕං නමෝ හාරුංකා

ඒස්වාහඃ"

කීඩෑවුන් මීයන් පලවා හැරීමට - නොපෑගුණු තැනකින් වැලි ගෙන එයට මතුරා කුඹුර වටේ ඉසින්න.

"ශනිකුණ්ඩ බන්ද පන්දම් ඒස්වාහඃ"

පණුවන් නැති වීමට - කතා නොකර කයිලවැල් ගෙන තළා කුඹුරේ වතුර බසින වක්කඩේ බඳිනු. පණු රෝග නැති වේ.

ඌරන්ට කෙමක් - මීතෙල් මතුරා පහන් අටක් පත්තු කර කුඹුර වටේ තබනු. ඌරන් ඒම වළකී.

"නමෝ නික්කං මංතං හා හා වරිම්ම නාසිනේ ඒස්වාහඃ"

ගොයම් මැස්සන් පලවා හැරීමට - ගස්ලබු ගෙඩිය ඇස්ස කපාගෙන කුඹුරෙන් ගොයම් මැස්සෙකු අල්ලාගෙන ඒ තුළට දමා උඩු සුළඟට අල්ලන්න. ඌ ඉගිළ යයි.

ගඟකින් හෝ ඔයකින් වැලි ගෙන පහත මන්ත්‍රයෙන් 108 වර මතුරා කුඹුර හතර වටේ ඉසින්න. ගොයම් මැස්සන් වහා පලා යයි. 

මන්ත්‍රය

"ඕං මුඛ ධාරණී ඕං දේවදළ

ධාරණී ඕං චන්ද්‍ර ධාරණී ඒස්වාහඃ"

* සියලු කෘමි සතුන් කුරුල්ලන් හාවුන් මීයන් ඌරන්ට කෙමක් -:

කතා නොකර කදුරු දඬු 7ක් කැත්තෙන් කපා ගෙන 108 වරක් මතුරා කුඹුරේ හතර වටේ සිටුවන්න. සතුන් පලා යයි.

මේ කෙම් ක්‍රම ගැන නිතර නිතර පෞද්ගලිකව අසන නිසා ඉසිවර පාඨකයින්ට ඉතාම ප්‍රයෝජනවත් බැවින් මෙසේ තිළිණ කරමි.

Comments