මෙවර යල කන්නයේ වගා හානි වූ බිම් ප්‍රමාණය අක්කර 46,539ක් දක්වා ඉහළට | Page 2 | සිළුමිණ

මෙවර යල කන්නයේ වගා හානි වූ බිම් ප්‍රමාණය අක්කර 46,539ක් දක්වා ඉහළට

පසුගිය 18 දිනය වනවිට මෙවර යල කන්නයේ වී අර්තාපල්, ලොකු ලූණු, බඩඉරිඟු, සෝයා සහ මිරිස් ඇතුළු වගාවන්ට සිදුවු හානිය අක්කර 46,530.74ක් දක්වා ඉහළ ගොස් ඇතැයි කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි.
 
මේ නිසා එම දින වනවිට අගතියට පත්ව සිටින ගොවීන් ප්‍රමාණය 41,046ක් දක්වා ඉහළ ගොස් තිබේ.
 
වගාහානි සිදුව ඇති ආකාරය අනුව වී අක්කර 46,336.54, බඩඉරිඟු අක්කර 159ක්, අර්තාපල් අක්කර 10.25ක්, ලොකු ලූනු අක්කර 1.5ක්, මිරිස් අක්කර 1.2ක්, වෙනත් බෝග අක්කර 31.25ක් ද වේ. වගා හානි තක්සේරු කිරීම වදුරටත් අඛණ්ඩව සිදු කෙරේ.
 
මෙහි ඇති  විශේෂත්වය නම් වැඩිම වී අස්වැන්නක් ලැබෙන ප්‍රදේශවලින් අවම හානියක් වාර්තා වීමයි.
 
ඒ අනුව හම්බන්තොට දිස්ත්‍රික්කයේ මේ වනවිට 541, අම්පාර 482ක්
 අනූරාධපුර 336ක්, පොලොන්නරුව 431ක්, දෙහිඅත්තකණ්ඩීය අක්කර 353ක් වශයෙන් වාර්තා වී ඇත.
 
වැඩිම අස්වැන්නක් ලැබෙන වැඩිම හානියක් සිදුව ඇති ප්‍රධාන කලාපය වන්නේ උඩවළව කලාපයයි.
 
මේ අතර ඊයේ (19)  අම්බලන්තොට වී පර්යේෂණායතන ගොවිපොළේ ක්ෂේත්‍ර දිනය කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කර තිබූනි. එහිදී එම ගොවිපළේ වී අස්වනු නෙළිම ද ආරම්භ විය. කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊට සහභාගි  වූ අතර අමාත්‍යවරයා එහි දී යල කන්නයේ වී අස්වැන්න සම්බන්ධව අදහස් පළ කළේය.
 
යල කන්නයේ හෙක්ටෙයාර් පන්ලක්ෂ තුන්දහසක් වගා කර ඇති අතර අක්කර ලක්ෂයක වගාහානි වාර්තා වුනත් සහල් හිඟයක් ඇති වීමට ඉඩක්  නොමැති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා එහිදී සදහන් කළේය.
 
මෙවර යල කන්නයේ හෙක්ටයාර් පන්ලක්ෂ තුන්දහසක වී වගා කරනු ලැබ තිබේ. ඉතා ඉහළ වී අස්වැන්නක්  යල කන්නයේ අපේක්ෂා කළ ද දිවයිනට බලපෑ නියඟය හේතුවෙන්  මේ වනවිට අක්කර පනස් දහසක පමණ වගා හානියක් සිදුවෙතැයි අනුමාන කළ හැකිය. එසේ වුවත් අස්වනු නෙලා අවසන් කළ කුඹුරු රැසකින් ඉහළ අස්වැන්නක් ද ලැබී ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් සිදු කරන අධ්‍යයන මගින් සනාථ වී තිබේ.
 
නියඟය නිසා යල කන්නයේ කුඹුරු අක්කර ලක්ෂයක වී අස්වනු විනාශ වුවත් ඉදිරියේ දී සහල් හිඟයක් ඇති නොවනු ඇත.
 
දැනට සහල් හිඟයක්  ඇති වෙතැයි බියක් තබා ගත යුතු නැත. රට තුළ පවතින වී සහ සහල් තොග ලබන මහ කන්නයේ අස්වනු ලැබෙන තෙක් ප්‍රමාණවත් වනු ඇත. නමුත් රජය සතුව අමතර සහල් හෝ වී තොග (Buffer stock)   නැත. දැනට සියලු වී  තොග පවතින්නේ පුද්ගලික අංශයේයි. වී අලෙවි මණ්ඩලය වී මිල දී ගැනීම ආරම්භ කළ ද ගොවීන් වී අලෙවි මණ්ඩලයට වී අලෙවි කිරීමෙන් වැළකී සිටිති.
 
එමනිසා ඉදිරි කාලය තුළ සහල් හිඟයක් ඇති නොවුනත් වෙළෙඳ පොළේ සහල් මිල යම් ප්‍රමාණයකට ඉහළ යනු ඇත. පුද්ගලික අංශය සතුව වී තොග පවතින හෙයින් සහල් මිල ඉහළ ගියහොත් ඊට මුහුණ දීමට මෙන්ම පාරිභෝගිකයා ආරක්ෂා කර ගැනීමේ වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට රජයට සිදු වනු ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
 
එමෙන්ම මෙවර යල කන්නයේ දී උඩවලවේ  කලාපය තුළ හානියට පත් කුඹුරු සියල්ලම ඉහළම අස්වැන්නක් ලබා දෙන කුඹුරු බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
 
මෙම  ක්ෂේත්‍ර දිනය වැඩ සටහනට කෘෂිකර්ම  දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මාලතී පරසුරාමන් මහත්මිය ඇතුළු පිරිසක් සහභාගි වූහ.

Comments