
බණ්ඩාරවෙලින් පහළ නිම්නයක පිහිටා ඇති කහත්තේවෙල යනු 2018 වසරේ කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් ආරම්භ කරන ලද, ශ්‍රී ලංකාවේ පළමුවැනි කෘෂි ව්‍යවසායකත්ව ආදර්ශ ගම්මානයයි.
එම කෘෂි ගම්මානයේ ගොවීන් වගාවෙන් ඔබ්බට ඉදිරි පියවරක් තබමින්, රජයේ ද සහාය ඇතිව ආරම්භ කරන ලද මෙරට ප්‍රථම ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් ෆැක්ටරි හෙවත්, අල තීරු කර්මාන්තශාලාව පසුගිය 11වැනි දා, කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර අමාත්‍යවරයා, බණ්ඩාරවෙල කහත්තේවෙල ශ්‍රී සංඝරාජ පිරිවෙන් පරිශ්‍රයේදී විවෘත කළේය. ඒ අනුව, මෙම කෘෂි ගම්මානයේ ගොවීන්ගේ අර්තාපල් අස්වනු සඳහා අලුත් මානයක් විවර විය.
මෙතෙක් මේ පළාතේ ගොවීන් බීට්රූට්, කැරට්, ලීක්ස්, බෝංචි ඇතුළු බොහෝ එළවළු වර්ග වගා කළ අතර, ඉදිරියේදී වැඩි වශයෙන් අර්තාපල් වගා කිරීමට ඔවුන් වෙත උත්තේජනයක් ඇති කරන්නට ද, මෙම ෆ්‍රයිස් කර්මාන්ත ශාලාව හේතු වී තිබේ.
ලංකාවේ අර්තාපල්වලින් ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් සෑදීමට නොහැකි යැයි මතයක් පවතී. 'අපේ අර්තාපල් කුඩායි, ඒ නිසා නියමිත දිග ගන්නට බැහැ...' යන මේ මතය ප්‍රචලිත වී තිබූ හෙයින් සෑම වසරකම ඩොලර් බිලියන ගණනක් පිටරටට ඇදී ගිය අතර, අල වගා කරන රටක් ලෙස ඇයි අපිට ම ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් හදාගන්න බැරි? යන මතය කහත්තේවෙල ගොවි සමාගම තුළ ගොඩනැඟුවේ, සමාගමේ සාමාජික ගොවි මහත්වරු විසින්ම ය.
මේ පිළිබඳ ප්‍රධාන කෘෂිකර්ම අමාත්‍යවරයා අදහස් දක්වා තිබුණේ මෙසේය.
අපේ තරුණ ගොවීන් ආරක්ෂා කරගෙන රජයේ සහයෝගය ඇතිව මෙවැනි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම හරහා, රටේ කෘෂි ආර්ථිකය නංවාලීමට හැකි සෑම පියවරක්ම අප ගන්නවා. මෙවැනි කෘෂි වැඩසටහන් ඔස්සේ අපනයන ආදායම් ලබා ගැනීමට වැඩපිළිවෙළ කිහිපයක් ම මේ වන විට අප ක්‍රියාත්මක කර තිබෙනවා. විශේෂයෙන් අප තරුණ ගොවි පරම්පරාවට ආරාධනා කරනවා, ඔබේ උනන්දුව සහ රජයෙන් ලැබෙන මෙවැනි සහයෝගය ලබා ගෙන නව තාක්ෂණය ඔස්සේ කෘෂිකර්මාන්තයෙන් අපනයන ආදායම් වැඩිකර ගැනීමට දායක වන ලෙස..."
“මෙම ව්‍යාපෘතියේදී ගමේ පන්සලෙන් ලබා දිය හැකි උපරිම සහයෝගය ලබා දුන්, බණ්ඩාරවෙල කහත්තේවෙල, ශ්‍රී සංඝරාජ පිරිවෙණාධිපති කහත්තේවෙල රතනසිරි ස්වාමීන් වහන්සේ අදහස් දැක්වූයේ මෙලෙසිනි.
අල ගොවියා රැක ගන්න ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් හදමු කියන තැනට අපි ගමක් විදියට ආවේ අල ගොවීන් මුහුණ දී තිබෙන ගැටලු රැසක් පදනම් කරගෙනයි. ගොවීන් 235 ක් එකතු කරගෙන සැප් සංවිධානය හරහා ලබා දුන් මුදල් යොදා මේ වැඩේට අපි අතගැහුවා. ගොවි සමාගම කෝටි දෙකහමාරක් පමණ මේ සඳහා වියදම් කළා. වල් ඌරන්, මුවන්, ඉත්තෑවන්ගෙන් අල අස්වනු බේරා ගන්න මේ පළාතේ ගොවීන් විශාල ලෙස මහන්සි ෙවනවා.
මේ සඳහා හෝ අපි කාර්මික තාක්ෂණික ආයතනයේ දැනුම ලබා ගත්තා. හොඳම මැෂින් ගෙන්වා ගත්තා. නෙදර්ලන්තයෙන් ගෙන්වන අල තීරු හා සමානම රසයෙන් යුක්තව අපිට දැන් අල තීරු නිෂ්පාදනය කරන්න පුළුවන්. සැප්තැම්බර් පළමු වැනිදායින් පස්සේ දිනකට කිලෝ 3,000ක නිෂ්පාදන ධාරිතාවක් සහිතව අල තීරු නිෂ්පාදනය කිරීමයි අපගේ බලාපොරොත්තුව.
දැනට නෙදර්ලන්තයෙන් ගෙන්වන අල තීරුවලට වඩා මිල අඩුවෙන් ලංකාවේ වෙළඳ පොළට ලබා දීමයි අපගේ අරමුණ. අලුතෙන් බීජ වවා හිඟ කාලයට ගන්න වැඩපිළිවෙකටත් අප යන්න බලාපොරොත්තු වනවා..."
ජනතා ගොවි සමාගමේ සභාපති, පුෂ්ප නුවන් කොළඹගේ මේ පිළිබඳ අදහස් දැක්වූයේ මෙලෙසිනි.
" ජනතා ගොවි සමාගම කියන්නේ, Public Liability හෙවත් පොදු වගකීමේ සමාගමක්. මේකේ ඉන්නේ කොටස්කරුවෝ. ගොවි සංවිධානයකින් මේ සමාගම වෙනස් වෙන්නේ ගොවි සමිතියකට කවදාවත් ව්‍යාපාරයක් කර ලාභාංශ උපයන්නට බැහැ. නමුත් මේක ගොවීන්ගෙන් ම සැදුම්ලත්, ලාභ උපයන ව්‍යාපාර සමාගමක්. ඒ අනුව මම වගේම මෙහි සිටින 235 දෙනාම ගොවීන් වගේම ව්‍යවසායකයෝ. ඒ නිසා අපේ ගොවීන්ගේ සියලු එළවළු අස්වනු අප වෙත ලැබෙනවා ලංකාවේ විශාල ම සුපර් මාර්කට් ජාලයකට, ශ්‍රී ලංකා කේටරින් සහ යුද හමුදාවට අවශ්‍ය එළවළු බෙදා හරින්නේ අපි. එසේ ගොවීන්ගෙන් ලබා ගෙන බෙදා හරින එළවළු ප්‍රමාණය, මාසයකට ටොන් 50ක් පමණ වනවා.
ලංකාවේ පළමු වැනි අල තීරු කර්මාන්තශාලාව අපි ආරම්භ කරන්නේ, අපේ මෙම ගොවි සමාගමේ කොටස්කරුවන්ගේ එකතුවෙන් සහ රජයේ සැප් ව්‍යාපෘතියේ සහයෝගයෙන්. අපගේ අල ගොවීන් 235 දෙනාගෙන් අර්තාපල් කිලෝවක් රුපියල් 300 සිට 350 දක්වා ස්ථාවර මිලකට මිලදී ගන්නට මෙම ව්‍යාපෘතිය සඳහා අපි ගිවිසුමකින් ඔවුන් හා බැඳී සිටිනවා.
දැනට සාමාන්‍ය වෙෙළඳපොලට ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් ගෙන්වන්නේ ඉන්දියාවෙන් සහ නෙදර්ලන්තයෙන්. ඉන්දියානු ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් කිලෝවක් රුපියල් 2,400ක් පමණ මිල වන අතර, නෙදර්ලන්තයෙන් ගෙන්වන ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් කිලෝවක් සාමාන්‍යයෙන් රුපියල් 2,900ක් පමණ මිල වනවා. විශේෂයෙන් අල තීරු ගෙන්වීම සඳහා වාර්ෂිකව පිට රටට වැය කරන මුදල ඩොලර් මිලියන 21ක් පමණ වනවා. නමුත් අපිට පුළුවන් ලංකාවේ හොඳම අලවලින් හදන ඉස්තරම් ම කොලිටියේ ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් කිලෝවක් 2,400කට තරු හෝටල් සහ ඉහළ පෙළේ අවන්හල් සදහා ලබා දෙන්න. ලංකාවේ ග්‍රුනෝලා ප්‍රභේදයෙන් වවන හොඳම අර්තාපල් අස්වනු ලැබෙද්දී, නිකරුණේ පිට රටට වැය කරන විදේශ විනිමය ප්‍රමාණය ඉතිරි කරගන්න සහ අපේ ගොවීන්ගේ අල අර්තාපල් සඳහා හොඳ වටිනාකමක් දෙන්නයි මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළේ.
මේ ව්‍යාපෘතියේදී අප ඉලක්ක කරන්නේ එම ඉහළ වෙළෙඳ පොළයි. නමුත් අර්තාපල් ගෙඩියේ දෙපැත්තෙන් ඉතිරි වන දිගින් අඩු අල තීරු, කුඩා ව්‍යවසායකයින් සඳහා ලබා දෙන්නට අප බලාපොරොත්තු වනවා. එවිට ඔවුන්ට පුළුවන් ව්‍යාපාරයක් ලෙස එම අල තීරු බැද අලෙවි කරන්න.
මෙම ව්‍යාපෘතිය සාර්ථකව ක්‍රියාත්මක කළ විට මාසෙකට අල තීරු ටොන් 25ක් නිෂ්පාදනයේ කිරීමේ හැකියාව අප සතුයි. එමෙන්ම, අල අස්වනු හිඟ කාලයට අවශ්‍ය අල තීරු කලින් සකස් කර ශීත ගබඩාවල තබා ගන්නටත් අප සැලසුම් කර තිබෙනවා. මොකද, සකස් කළ අල තීරු වසර දෙකක් කල් තබා ගැනීමේ හැකියාව තිබෙනවා. අපේ පළමු අල තීරු නිෂ්පාදන තොගය ට්‍රයල් එකක් හැටියට මේ පළාතේ සංචාරක හෝටල්වලට අප ලබා දී තිබෙනවා. මෙම අල තීරු බැදීමෙන් පසුව එන වර්ණය, සුවඳ සහ ක්‍රිස්පි ගතිය පිට රට අල තීරු වලටත් වඩා උසස් බවට ඒවායේ සූපවේදීන්ගෙන් ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා.
මෙම කර්මාන්තශාලා නිසා අපගේ අල ගොවීන්ට වාසි දෙකක් අත්වී තිබෙනවා. එකක්, ගොවීන්ගේ අල අස්වනු සඳහා ස්ථාවර මිලක් ලැබීම. අනෙක තමයි, SAPP ව්‍යාපෘතියෙන්, එක් ගොවියකුට රුපියල් 98,000ක් බැගින් ලැබුණු ආධාර මුදල, සිය ගොවි සමාගමේ ම ආයෝජනය කරන්නට අවස්ථාව ලැබීම. එවිට අලවලින් ස්ථාවර මිලක් ලැබෙන අතර ම, අනෙක් පැත්තෙන් සිය ආයෝජනය හරහා ඔවුන්ට ලාභාංශ ලබා ගැනීමේ හැකියාව තිබෙනවා.
නමුත් අපගේ අල ගොවීන් මුහුණ පෑ ඉතා කනගාටුදායක සිදුවීමක් තිබෙනවා. එනම් අප දන්නා කාලයේ පටන් මේ පළාතේ අල ගොවීන් තමන්ගේ බීජ අල ටික නිෂ්පාදනය කර ගැනීම සඳහා අවශ්‍ය වගාව සිදු කළේ බණ්ඩාරවෙල දියතලාවේ, යුද හමුදා ඉඩමකට අයත් 'නරියා කන්දේ' පහළ කොටසේ. එය ඔවුන් හඳුන්වන්නේ 'කඳු කන්නය' නමින්. මෙම කන්දේ පාරිසරික දේශගුණික සහ පසේ තිබෙන ගුණාත්මකභාවය, හොඳ බීජ අල නිෂ්පාදනය සඳහා තෝතැන්නක්. නමුත් දැන් එම ඉඩම් යුද හමුදාව අත්පත්
කරගෙන. වතුර බට සහ බීජ වගාව පිටින්ම සිය ගොවිතැන අහිමි වූ ගොවීන් දෙසීයකට ආසන්න පිරිසක් මේ සිදුවීම නිසා අනාථ වී තිබෙනවා.
ඇත්තටම නිකම් කැලෑව බෝ කරගෙන තිබෙනවාට වඩා මේ අල බීජ ටික හදාගන්න අවශ්‍ය වන්නේ ජනවාරි සිට අප්‍රේල් දක්වා මාස 4 ක කාලයක් පමණයි. ඒ මාස 4ට පමණක් වත්, ගොවීන්ට බීජ අල ටික වගා කරගන්න අවස්ථාව දෙනවා නම් ලොකු දෙයක්. මහපොළොව තිබිය දී, අවශ්‍ය පරිසර සාධක තිබිය දී, සාර්ථක බිමක් කැලෑවක් බවට පත් වන්නට ඉඩ දී, වාර්ෂිකව පිට රටින් ඩොලර් බිලියන ගණන් වැය කොට බීජ අල ගෙන්වන එක මොන තරම් අපරාධයක් ද? මේ ගැන ජනාධිපතිතුමා ගේ අවධානය යොමු වේ යැයි අප බලාපොරොත්තු වෙනවා. එකකට එකක් බැඳුණු මේ සියලු දේවල් සාර්ථක කරගන්න පුළුවන් නම් රටට ම වුණත් අවශ්‍ය අල තීරු නිෂ්පාදනය කරන්න අපේ ගොවි ජනතාවට පුළුවන් වේවි..."